පිණි මුතු පලසක් – 44

0
50

ඒ වෙද්දී නඩු තීන්දුවෙන් සති කිහිපයක් ගත වී තිබුණි.නඩු තීන්දුවෙන් පසුව සත්සරාගේ මෙන්ම සමුධ්‍යාගේ ජීවිතයට යම්කිසි තත්ත්වයක් ලැබී තිබුණත්, ඒ වනාහී සිදු වූ සියල්ලෙන් සහමුලින්ම පාහේ මිදිය හැකි, සම්පූර්ණයෙන්ම හිත සුවපත් වූ තත්ත්වයක් නොවේ. අතීතයේ සෙවණැලි තවමත් මෙන්ම තවත් බොහෝ කාලයක් යන තුරු තමන් පසුපස හඹා එන විත්තිය සත්සරා මෙන්ම සමුධ්‍යා ඇතුලු සියල්ලන්ම දැන උන්නහ. පාසලේදී සහ එදිනෙදා වැඩ කටයුතුවලදී මිනිසුන්ගේ වෙනස් දෙනෙත් සරයන් තමා කෙරෙහි යොමු වී තිබීම, තමන්ව දකින අවස්තාවන්වල මිනිසුන් රහසින් යම් යම් දේ කුටු කුටු ගාන අයුරු දැකීම සමුධ්‍යාගේ හදවතට කොපමණ අපහසු දෙයක් වීද, තමන්ගේ මිතුරියන් තමන්ගෙන් ඈත් වීම මෙන්ම, තමන් පාරේ යනු දකිද්දී ඇතැම් කාන්තාවන් ඔවුන්ගේ දරුවල් වහා ගෙවල් ඇතුලට අරගන්නා අයුරු දැකීම සත්සරා භාරගත්තේ අපහසුවෙනි.

“ප්‍රශ්නයක් ඉවර වෙනවා කියන එක වෙනයි මිනිස්සු ඒ වෙච්ච හැමදේම අමතක කරනවා කියන එක වෙනයි කෙල්ලෙ.උඹලට අනුව තිබිච්ච ප්‍රශ්නෙ අහවරක් වෙච්ච එක හැබෑව. හැබැයි අමතක කරන්න එපා මිනිස්සු ප්‍රශ්නෙ දිහා බලන්නෙ අපි බලනවා වගෙ එක පැත්තකින් නෙවෙයි හැම පැත්තෙන්ම. අපි මෙතන මේක උඹට වෙච්ච කරදරයක්, ලකී මහත්තයා වැරදි කාරයා කියලා දැක්කට එලියෙ ඉන්න මිනිස්සුන්ගෙ ඇස්වලට සමහර වෙලාවට උඹව, ඉස්කෝලේ නෝනව වැරදිකාරයා විදියට පේන්නත් ඇති. ඒ හන්දා කිසි වෙලාවක ඔය චිත්තරපටි වල තියෙනවා වගේ මිනිස්සු උඹව මහ ඉහළින් පිළිගනී කියල හිතන්න එපා.

සමහර වෙලාවට පුංචිකමට උඹට හිතෙන්න පුලුවන් අනේ මං මේව කා එක්කවත් නොකිය උන්න නම් මිනිස්සු මං දිහා මෙහෙම බලන්නෙ නෑනෙ කියලා. ඒ උනාට මිනිස්සු මේ වගේ වෙනවා කියල දැනගෙනත් උඹල හැමෝම එක්කහු වෙලා කර දේ වටින විත්තිය මතක තියාගනිං. උඹ ඒක කිව්ව එකෙන් අද ඔය උඹ දිහාව වපරැහෙන් බලන ගෑණූන්ගෙ දරුවො බේරිච්ච විත්තිය මතක තියාගෙන උඹ දිහා වපරැහින් බලන උන් දිහාව නොබලා කෙළින් බලං උඹ උඹේ ගමන පලයං” කියා ගුණවතී කිව්වේ ඒ සමහර බැල්මවල්වල තිබුණේ පැහැදිලි වෛරයක් බවත් “මට ඒ මිනිස්සු දිහා බලන්න බයයි අත්තම්මේ” කියා ගෙදර විත් සත්සරා හඬා වැටෙද්දීය. ඒ ලක්ෂිතගේ පියාගේ දේශපාලන බලයට තවමත් වශී වී සිටි, ඔහුගෙන් ලාභ ප්‍රයෝජන ලබාගත් පිරිසක් බවත් ඔවුන්ට අවශ්‍ය වූයේ ලක්ෂිතගේ අනාගතය විනාශ කළ හේතුව වූ කෙනා ලෙස සත්සරාට දිගින් දිගටම පීඩා කිරීමට බවත් ගුණවතී දැන උන්නාය.

මේ හැම දෙයක්ම මැද, සමුධ්‍යාට ලොකුම ශක්තිය වුණේ අරුණගේ නොසැලෙන සහයෝගයයි. ඔහු ඇය ළඟින්ම සිටියේය. නඩුවට පෙර සිටම ඔවුන් අතර තිබූ මිත්‍රත්වය සහ ආදරය මේ අසීරු කාලය තුළ වඩාත් ශක්තිමත් වී, ගැඹුරු බැඳීමක් බවට පත් වී තිබුණි. ඔවුන් එකිනෙකාට මුහුණ දුන් අභියෝග, ඔවුන්ව තවත් සමීප කල අතර අරුණ සමුධ්‍යාගේ වේදනාව තේරුම් ගත් අතර, ඇගේ ශක්තිය හා ධෛර්යය අගය කරන්නට නිරත්තරයෙන්ම කටයුතු කළේය. 

මිනිසුන්ගේ වපරැසින් මිදෙන්නට කටයුතු කරමින් උන් කාලය අතරවාරයේ දිනෙන් දින සමුධ්‍යාගේ ජීවිතය යහපත් අතට හැරෙමින් තිබුණි. ඇය නැවතත් පාසල් ගියාය. යහළුවන් සමඟ සතුටින් කතාබස් කරන්නට උත්සහ කරාය. කලින් මෙන්ම පාසලේ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වුණාය. ඒත්, සිතේ එක් කොනක තවමත් නොපෙනෙන බියක් සැඟවී තිබුණ බව සමුධ්‍යා හොඳාකාරවම දැන උන්නාය. ලක්ෂිතගේ පියාගේ බලය තවමත් සමාජය තුළ ක්‍රියාත්මක වන බවත්, එය තමාට ඕනෑම මොහොතක හානි කළ හැකි බවත් ඇය දැන සිටියාය. එහෙත් “මෙච්චර ප්‍රශ්න මැද්දෙ ඉස්සරහට ආව නම් ඉස්සරහට එන ප්‍රශ්නෙ මැද්දෙත් මට ඉස්සරහට යන්න පුලුවන්” ය යන සිතුවිල්ල තිබුණේ සමුධ්‍යාගේ සිත පෙලන්නට හේතු වූ ඒ බිය තවමිනි.

එහෙත් අරුණගේ පවුලේ තත්ත්වය තිබුණේ ඊට වඩා වෙනස් වය. අනෝමා තාමත් සිටියේ මානසික කම්පනයකින්ය. ඇය තම ස්වාමිපුරුෂයාගේ මරණය සහ පුතාට සිදුවූ දේ ගැන දැඩි කනස්සල්ලෙන් පසුවූ අතර ඇයව බලාගන්නට ආ අරුණ දිහා වුව ඇය බැලුවේ තමන්ට නැතිවෙන්නට යන තවත් දෙයක් දෙස බලන කණස්සලු සහගත හැඟීමකිනි. ඒ සියල්ල මැද්දේ අරුණ ඇයව බලාගත්තාය. ඇයට හැකි උපරිමයෙන් සැනසීම ලබා දුන්නාය. අරුණ සමග අරුණගේ කොළඹ නිවසේ නතරවෙන්නට ගිය අනෝමා අරුණගේ පෙම්වතිය ලෙස අරුණගේ නිවසට ඔහු බැහැ දකින්නට සමුධ්‍යා පැමිණි අවස්තාවන්වලදී ඇය දෙස බැලුවේද ඒ කණස්සලු සහගටහ් නොමනාපය මුසු වූ හැඟීමකිනි. 

“ආන්ටි සමහර විට හිතනවා ඇති අරුණ මම හන්දා තමයි මේ හැමදේම මේ විදියට උනේ කියා” සමුධ්‍යා කියද්දී අම්මාටත් සමුධ්‍යාටත් හදවත සමාන කොටස් දෙකකට කඩා භාර දී උන් අරුණ ඇත්තටම උන්නේ කල යුතු දෙයක් සිතාගන්නට නොහැකිව හිර වී මෙන් ය.

“සමුධ්‍යා, ඔයාට පුළුවන්ද හෙට හවස මාව හමුවෙන්න එන්න?” අරුණ අහඳ්දී සමුධ්‍යා දෙනෙත් කුතුහලයෙන් කුඩා කරගත්තේ අරුණගේ හඬේ තැවරී තිබුන යම්කිසි නොසංසුන්කාරී හැඟීමක් තේරුණ නිසාවෙන්මය.

“පුලුවන්” කියා මද විරාමයක් ගත්තයින් අනතුරුව සමුධ්‍යා ඉතුරු වදන් ටිකෙන් ටික පෙළ ගැස්සුවාය. “මොකක් හරි හදිසියක්ද ඒයි?”

“හදිසියක් නම් නෙවෙයි. හැබැයි වැදගත් දෙයක්” කියා කියද්දී උනත් අරුණගේ කටහඬේ තැවරී තිබුණේ බැරෑරුම් ස්වභාවයක්ය. 

 “හරි, මම එන්නම්. වෙලාව?”

“හවස පහට. මම ඔයාව ගන්න එන්නම්. ඇඳගෙන ඉන්න.” ඔහු කීවේ මෘදු සිනහවක් සමග “බය වෙන්න ඕන නෑ” කියා නොකියා කියන්නාක් මෙනි.

පසුදා හවස වෙනතුරු සමුධ්‍යා හිටියේ නොඉවසිල්ලෙනි. ඇය අරුණ එනතුරු බලාගෙන හිටියේ කුමක් වේදැයි කියා සිතමිනි. හැඳගෙන යා යුත්තේ කුමන අන්දමේ ඇඳුමක්දැයි කල්පනා කරන්නටත්, ලස්සනට සැරසෙන්නට හිතේ හැටියට වෙලාව අරගත් සමුධ්‍යා වෙලාවටත් පෙර හැඳගෙන අරුණ එනතුරු සුපුරුදු තැනට වී බලා උන්නාය. 

අරුණ උන්නේ එක අතකින් ස්ටියරින් වීලය අල්ලාගනිමින් අනෙක් අත නිදහසේ සමුධ්‍යාගේ උකුල මත වැටෙන්නට ඉඩ දී නිහඬවම රිය ඉදිරියට අරගෙන යමිනි. යන්නේ කොහෙද, කුමකටද කියා කොතෙක් ප්‍රශ්න හිත අස්සේ තිබුණද අරුණගේ ඒ නිහඬ සමාධියට බාධා කරන්නට සමුධ්‍යාට උවමනා වූයේ නැත. අරුණ රිය ගෙනගියේ මූද අද්දර තැනකටය. ඔවුන්  වෙරළට එද්දිත් හිරු බහින යාමය නිසාවෙන්දෝ මුළු අහසම තිබුණේ රන්වන් තැඹිලි පැහැ සලු පිළියෙන් තම ගත වසාගෙනය. මුහුදු රළ වෙරළට හෙමි හෙමින් එන හඬ මෙතෙක් දවසක් හිත වසාගෙන උන් අඳුරු සිතුවිලි පලවා හැර හිතට සාමය ගේන්නට හේතුවෙන බව සමුධ්‍යා කල්පනා කලේ අරුණ විසින් ගෙන ආ සීතල බීම බෝතලය අතට ගන්නා අතරම මෙතෙක් වේලා ක්ශිතිජය වෙත යොමු වි තිබුණ දෙනෙත අරුණගේ ගැඹුරු නෙත් අස්සේ හිරකරගනිමිනි.

 ඒ දර්ශනය එයාගේ හිතට ලොකු සැනසීමක් ගෙන දුන්නා. සාමකාමී පරිසරය තුළ එයා අලුත් බලාපොරොත්තුවක් දැක්කා. එයාලා දෙන්නම ටික වෙලාවක් නිශ්ශබ්දව හිටියේ, සොබාදහමේ සුන්දරත්වය විඳගනිමිනි.

“අපි ආ එක හොඳයි ඇත්තටම, ගෙදරටයි ඉස්කෝලෙටයි යන ගමනයි පහුගිය කාලෙ වෙච්ච දේවලුයි එක්ක මං හිටියෙ ටිකක් රෙස්ට්ලස්නස් ගතියක් එක්ක. ඇඟට නෙවෙයි ඔලුවට හරි මහන්සියෙන් ඉද්දි” කියා සමුධ්‍යා කියද්දීත් අරුණ උන්නේ කිසිවක් නොකියා යමක් ගැන ගැඹුරින් කල්පනා කරන ගමන් බව සමුධ්‍යාට නොතේරුනා නොවේ. මෙතෙක් දවසක් දුටු අරුණගේ පැහැදිලි දෙනෙත මේ වෙලාවේ කුමක් හෝ දෙයක් නිසාවෙන් කලබල වී ඇති බව තේරෙද්දී ඒ ගැන විමසා නොඉන්න හැටියක් ඇයට තිබුනේ නැත.

“මොකක් හරි ප්‍රශ්නයක්ද?” කියා සමුධ්‍යා අහද්දී අරුණ ඇය දෙස එක එල්ලේ බැලුවේය.

“ප්‍රශ්නයක් නම් තමයි” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here