විහඟ පියාපත් 13

රූගත කිරීම් ඇරඹී තිබුණේ උදෑසන හය වෙද්දීමය.  ශයිනිගේ දෙමාපියන් කොළඹ බලා පිටත්ව ගොස් තිබුණි. ශයිනි කෙටි ගවුමකින් සැරසුණාය. එදින කාර්‍යමණ්ඩල රැස්වීමේ පළමු අදියර පැවැත්වීම ට නියමිතව තිබුණ නිසා තිළිණි උන්නේ කැබිනය තුළ ශයිනි බලාපොරොත්තුවෙනි. දෙදෙනා එක්ව පසුගිය මාසය තුල කාර්‍යමණ්ඩලය තුළ ඇතිව තිබූ අර්බුධකාරී අවස්ථාවන් කිහිපයක් වෙනුවෙන් සැලසුම් තවදුරටත් සාකච්ඡා කලෝය 

ඉන් පසුව මේ මාසයේදීද  ලබා දීමට නියමිත වැටුපට අමතර මුදල පිළිබඳව චරිත් විසින් ලබාදුන් වාර්තාවද තිළිණි ශයිනි අතට පත් කලාය. 

“සැලරි වැටෙන්නේ අනිද්දා නේද?

“ඔව්.. “

“මේක මේමම ඇපෲව් කරලා චරිත් ට දෙන්නම්.. ආයේ මේකේ කතා කරන්න දෙයක් නෑනේ..සැලරි වැටුනහම කට්ටිය දැනගනීවි නේ…”

තිලිණිද ඒ හා එකඟ විය. 

“අර මේන්ටේනන්ස් වලට අලුතින් ආව  සෑහෙන්නම ෆෝර්වඩ් .. ඒ ළමයා මට නිව්  ඊවිනින් මෙනූ ප්ලෑන් කිහිපයක් ම වට්සැප් කරලාත් තිබුණා.. අපිට එයාගේ පොසිශන් එක පොඩ්ඩක් වෙනස් කරලා, වෙනස් ශෙඩූල් එක්කට ඇජෙස් කරන්න බැරිද ?”

ශයිනි විමසද්දී තිළිණි ඇගේ පිළිතුරු වෙනුවට ශයිනිගේ ම අදහස පවසනතෙක් මොහොතකට රැඳී උන්නාය.

“එයා සතියේ දවස් දෙකක්වත් කිචන් එකට දැම්මොත් ප්‍රශ්නයක් වේවිද?’

” ඒ කොල්ලා බේකරි කෝස් එකක් කරන්න පටන් අරගෙන තිබ්බා ශයි… ඒත් සර්ටිෆිකේට් එක ගන්න වෙලා නෑ.. ගෙදර ප්‍රශ්න වගයක් නිසා අන්තිම මාසේ මඟැරිලා.. ඊට පස්සේ බැජ් එක එක්ක එන්න කිවලු. ඒත් ඊට කලින් මේ ජොබ් එකට ඇවිල්ලා ගෙදර ප්‍රශ්න නිසාම…”

ශයිනි තම සොයාගැනීම පිළිබඳව සෑහීමකට පත් වන ස්වරයකින් තිළිණි කීවාය.

“අන්න ඒකනේ.. ඒ ළමයට ඒ කෝස් එක කම්ප්ලිට් කරගන්න රිලීස් කරන්න …  ඒ කම්ප්ලීට් කරන් ආවම එයා එක්ස්ට්‍රා විදියට හරි කිචන් එකට දාන්න. එතකල් මේන්ටේනන්ස් ඉන්න දෙන්න…”

“රිලීස් කරන්න කිව්වේ ?”

“සතියට දවස් දෙකක් , තුනක් නේ ඇත්තේ ඕක.. ඒ දවස් ටික නිවාඩු දෙන්න… වීකෙන්ඩ් වැඩ කරන්න කියන්න.. සන්ඩේ හාල්ෆ් ඩේ වගේ ලීව් දෙන්න… “

“ඩොකියුමන්ට් එකක් විදියටම දෙනවද?”

“ඔව්… එහෙම කරන්න.  එයාට කෝස් එක කම්ප්ලීට් කරගන්න ෆයිනෑන්ශියල් ඉශූ තියෙනවා නම්, චරිත් ට කියලා පොඩි ලෝන් එකක් ඇපෲ කරවලා දෙන්න.. සැලරි එකෙන් හෙමිහිට ඒක ඩිඩක්ට් කරගන්න ප්ලෑන් එකක් මට දාන්න කියන්න …”

“හරි.. එහෙම කරමු…”

රැස්වීම සඳහා දෙදෙනා පිටත්ව ගියේ උදෑසන ආහාරයද රැගෙන අවසානයේය. රැස්වීමේ පළමු අදියර දහවල් දොළහ හමාර වන විට අවසන් වූ අතර ,දෙවන අදියර සවස දෙකට ඇරඹීමට නියමිතව තිබුණි. ඒ අතර කාලයේ ශයිනි ටෙලි නාට්‍යයේ සහය අධ්‍යක්ෂවරයා මුණ ගැසුනේය. ඔවුන්ට සැපිරිය යුතු යමක් වේදැයි විමසුවේය. එලෙස යමක් වේනම් ඍජුවම තමාට අමතන්නට මැලි නොවම ලෙසද පැවසූයේය. 

ඇය  සහාය අධ්‍යක්ෂවරයාට සමුදී පැමිණ පහල මාලයට යෑම සඳහා  ආපසු හැරෙද්දී, අකලංක කාමරයේ සිට පිටතට ආවේ යමෙකුට කෝපයෙන් බැණ වදිමිනි. ඒ හඬ නිසාම ශයිනි තත්පර කිහිපයක් එලෙසම රැඳුණාය. අකලංක වහා ඇමතුමෙහි ස්වරය වෙනස් කර,  තවත්  තත්පර කිහිපයක් තුළ ඇමතුම අවසන් කලේය. ඒ වනතුරුද ශයිනි උන්නේ අකලංක පසුකර නොයමිනි.  අකලංක ද ජංගම දුරකතනය ඩෙනිම් කලිසම් සාක්කුවේ ඔබා ගනිමින් එතැනම උන්නේය. 

“ඒඩී මල්ලිව මුණ ගැහෙන්න ආවේ… මුකුත් වෙන්න ඕනිද අහලා යන්න….”

ශයිනි වහා පිළිතුරු දුන්නේ, අකලංක කිසිත් නොවිමසාමය. ඔහු යම් වැරදි වැටහීමක් ඇති කරගනීවිය යන බිය ඒ ස්වරයේ විය. ඒ වගක් අකලංක ට නොදැනුනා වුවද, ශයිනි ඒ වග සැඟවීමට දැරූ උත්සාහ ය යම් වෙනසක් ලෙස අකලංක ට දැනුනේය. 

“ඌ ඒඩී මල්ලි නෙවෙයි .. අය්යා… “

අකලංක හිනැහෙමින් කීවේය. ශයිනි ඔහු දෙස බලා උන්නාය.

“ඔව් ඔව්..ඇත්තටම ඕකා හෙන නාකියා… “

අකලංක යලි හිනැහුණේය. ඒ උස් හඬින් එලෙස පවසමිනි. ශයිනි ඔහු දෙස බලා උන්නේ  අර සිනහවට ඉනාවක් වි තමා ගිලගන්නා බව දැනෙද්දීය. එහෙත්; 

“ඒඩී අය්යා කියලා කියන්න මීට පස්සේ..”

අකලංක එලෙස පවසන විටම ශයිනි පසුකර ආ යමෙක් , අකලංක වැළඳ ගත්තේ ඔහුට පහරක්ද ගසමිනි.

“කවුද යකෝ නාකි… තවම යන්තම් විසි පහ පැන්නා විතරයි  ..”

“ඔව් ඔව්.. තොට විසිපහේදි යකෝ අපි ශිෂ්‍යත්ව පන්තියේ….”

අකලංක පෙරළා පවසද්දී , ශයිනි පියවි ලොවට පිවිසියාය. අසීරුවෙන් සිනාසුණාය. 

“මූ මෙහෙම තමා .. හෙන ජෝක් කාරයා…”

සහාය අධ්‍යක්ෂවරයා ශයිනිට කීවේ අකලංක ගේ දෙවුරෙන් අල්ලා ඔහු සොළවන්නට උත්සාහ කරමිනි. අකලංක ඔහු හා පොර බැන්දේය. ශයිනි අඩි කිහිපයක් පසෙකට වූවාය. 

“මූට අහුවෙන්නෙපා මිස් හොඳේ… හෙනම කුකුළා…”

අකලංකට කිසිත් පවසන්නට හෝ නොදීම සහාය අධ්‍යක්ෂවරයා දිගටම ශයිනි ඉදිරියේ අකලංක දිය කරන්නට පටන් ගත්තේය. ශයිනි උන්නේ අකලංක ගේ දෑස් වල අතරමං වෙමිනි. ඒ සිතා මතා කල යමක් නොවෙය.  ඔහු ද ,  කෙලින්ම ඇයට කැල්මන් හෙලා, ඉන් පසු ඇසිල්ලේ මිදුණේ ය. මැජික්මය ඇස් දෙකක්, ඇස් අග්ගිස්සේ වැටුණු රැලි තුනක් , ඉතා ඝණ ඇහි බැම යුග්මයක් ශයිනිගේ පපු මැද්දෑවේ වැදුනේය. යන්තමින් ඇලවුණේය.

“හතර වටේ කෙල්ලෝ.. කොල්ලා හැන්ඩියානේ..දන්නවනේ…”

“කට වහගෙන පලයං &%…”

අකලංක සහාය අධ්‍යක්ෂවරයා තල්ලු කර යැව්වේ, ශයිනි සිටින වගද අමතකව කියූ වචා කිහිපයක් ද සමඟිනි.

ශයිනි උන්නේ අපහසුවෙන් වුවද ඕ සන්සුන් වෙන්නට උත්සාහ කලාය.

“ඌට පිස්සු… ගනන් ගන්නෙපා… ඕකා යන යන තැන මඩ…”

ඔහු යළි කීවේය. ශයිනි එයට හිනැහුනා පමණි.

“මං යන්නම් එහෙනම්.. ඊළඟ ටේක් එක මගේ…”

ශයිනි ඔහුට එකඟ වන්නට මෙන් හිස සැලුවාය. අකලංක ආපසු හැරෙන්නට පෙර ඇය දෙස බලා ඍජු සිනහවක් පා කලේය. ඒ අනිච්චානුගවම ය. එහෙත් ඇයට එය දැනුණේ එලෙස නොවේය. එය හදවත මැදට   යලි බරුවක් සේ වැදුණි. මැජික්මය ඇස් දෙකක්, ඇස් අග්ගිස්සේ වැටුණු රැලි තුනක් , ඉතා ඝණ ඇහි බැම යුග්මයක් ශයිනිගේ පපු මැද්දෑවේ ඇලවී තිබූ තැනින්  ඉලිප්පුණේය. 

ශයිනි තමාට පිටුපා යන යෞවනය උමතුවක හෙලූ තරුණයා කෙරෙන්   දෑස් ඉවතට  ගත්තාය. වහා දෑස් ඉවතට ගත්තාය. එහෙත්, හිත තුළ කලබල එමට විය. මැජික්මය ඇස් දෙකකින් ආසක්ත වූ පසු ගැලවී යෑම පහසු නොවන වග ශයිනි අත්දැකීමෙන් අවබෝධ කරගන්නට සූදානම් වන්නේ මෙවරය.

“විකාරයක් වෙන්නේ ඇයි ශයිනි… ඒ අර බන්ධනාගේ බෝයි .. අනෙක , ඒඩී කිව්ව එක ඇහුනා නේද? හී මේ ජස්ට් අ ප්ලේ බෝයි….”

ඇය තමාටම පවසා ගත්තාය. හිස දෙපසට සලමින් එවෙලෙහි එතැන වූ තත්වයෙන් මිදෙන්නට උත්සාහ කලාය.  

ශයිනි විදුලි සෝපානය වෙනුවට පඩ්පෙළ තෝරාගත්තාය. අවැසි  වු හුදෙකලාව වැඩි වේලාවක් රඳවා ගන්නට ඉන් ඉඩ ලැබෙන්නේය. ඕ පඩි පේළි දෙකම බැස්සේ සියුම් හතියක් සමඟය.

ඒ හතිය පසුපසම හඹා එමින් අකලංකගේ ඉනාමය සිනහව ඇය තවත් හතියක හෙලමින් තිබුණි. 

ශයිනි කැබිනය තුළට ඇතුළු වූයේ දොර අඟුලු ලාගෙනය. ඉන් පසුව ඕ පුටුව මතට වැටුණාය.  

“මොන විකාරයක් ද මේ…”

ඕ හිසකේ අස්සෙන් දෑඟිලි යවා හිසකේ ගස්සා හැරියාය.  ඉන් පසුව තිළිණි ට ඇමතුමක් ගත්තාය. දිවා  ආහාරයට සුදානම්දැයි විමසුවාය. යළි කැබිනයෙන් පිටතට ආවාය. 

අර මැජික්මය ඇස් දෙකත් , ඇස් අග්ගිස්සේ වැටුණු රැලි තුනත් , ඉතා ඝණ ඇහි බැම යුග්මයත්  යළි ඈ ඉදිරියේ විය.  ඕ වියලුණු දෙතොල් මුව තුළට ගත්තාය….

| අපේක්ෂා ගුණරත්න | 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles