යසස්වී වෙහෙරගොඩ තුසිතයට ආවේ ඇගේ ඇඳුම් පැලඳුම් හා පොත් පත් කළමනා සමග කුඩා රයිස් කුකරයක් ද ඉන්ඩක්ශන් කුකරයක් ද සෝස්පෑන් දෙකක් ද ගෙන ය. ඇගේ ඉහුම් පිහුම් ක්‍රමවේදයේ හැටියට ඒ හොඳට ම ප්‍රමාණවත් ය. අඩුපාඩුවක් තිබුණොත් මිල දී ගන්නට ඇය සිතා සිටියා ය.
කෑම බීම ගැන යසස්වී බලාගනු ඇතැයි චාරුලතා කල් ඇතිව ම වජිරා ට කීවේ, යසස්වී ඔවුන්ට අමතර කරදරයක් නොවනු පිණිසයි. ඔවුන් කැමති ගණනක් කාමරයට අයකරනා ලෙස ද ඇය ඉල්ලා සිටියා ය. මිල මුදල් පිළිබඳ ප්‍රශ්නයක් වෙහෙරගොඩලා ට නොවන අතර තරුණිය ගේ ආරක්ෂාව පමණක් ඔවුන්ට වැදගත් වන බැවිනි. නමුත් දන්නා හඳුනන චාරුලතා ගේ ඥාති දියණියකගෙන් කාමර කුළියක් අය කරන එක මදිපුංචිකමක් සේ වජිරා සැලකුවා ය. එබැවින් කාමර කුළිය කෙසේ වී ද යසස්වී සිය ආහාර පාණ ගැන බලා ගැනීම වජිරා ට අස්වැසිල්ලක් වී ය.
යසස්වී තුසිතයෙහි පහන් කළ පළමු දින උදේ ආහාර වේල ඇයට පිළිගැන්වීමෙන් පසු පවුලේ හැම කෙනෙකු කෙරේ ම ඇගේ මිත්‍රශීලී බව ප්‍රකට විය.
‘දැං දවල්ට දුව උයන්නද හිතාගෙන ඉන්නෙ’
කියා වජිරා විමසූයේ ඔවුන් යළි මතු මහළට විත්, කතා බහකට වැටී සිටියදී ය.
‘ඔව්. ඔය මොනාහරි හදාගන්නව ආන්ටි. අනේ මට ඔය මහ ලොකුවට උයන්නනං ඕන්නෑ. ඒ වෙලාවට බඩට මොනාහරි ටිකක් දාගන්න එකක් හදාගත්තත් ඇති’
‘ආයෙ ඉතිං අමුතුවෙන් උයන්න ඕනයැ… අපි හදන දේකින්ම මේ දුවට බත් කටක් කන්න බැරුවයැ’
විජිත ඒ කීවේ වජිරා නොව යසස්වී වුව බලාපොරොත්තු නොවූ දෙයකි. උයන පිහන වැඩ ගැන උනන්දුවක් නැති, බඩගිනි දැනෙත්දී කුසට යමක් දමා ගැනීමට පමණක් සිතන තරුණ කෙල්ලකට, උයන්නේ නැතිව ම කන්න කෑම ලැබෙනවා කියන්නේ දිව්‍යලෝක සැපතක් ලැබෙනවා හා සමාන වූවකි. කොළඹට පැමිණි ගමන් එහෙම සදෙව් ලොව සැපතක් විපාක දෙන්නට යන්නේ කවදාක කළ පිනක මහිමයෙන් විය හැකි ද? යසස්වි ගේ මුව මඳක් විවර වී තිබුණේ ඇයට ඇහුණ දේ අදහා ගන්නට එක වර ම බැරි විශ්මයෙනි.
‘ඔව් ඉතිං… අපි කන දේකින් බත් කටක් දෙන එකනං මොකද්ද…’
මීට පෙර එවන් අදහසක් තුන් හිතකවත් නොවූව ද වජිරා ට ද එසේ නො කියා බැරි විය. මේ ගෑනු ළමයා ඒ තරම් ඔවුන් ගේ හදවත් වලට ලං වෙමින් සිටි බැවිනි. තුසිතය වූ කලී ගැහැනුකම් වලට අකැප තැනකැයි සිතෙන තරමට එහි ඉපදුණේ ම පිරිමි ළමයින් ය. තුසිතය විජිත ට හිමි වූවාට පස්සේ, ගැහැනු හඬක් නැගුණේ වජිරාගෙන් පමණි. ඔවුන්ට ලැබුණේ කොල්ලන් ම දෙදෙනෙකි. එයින් විවාපත් වූ චේතිය ගේ බිරිඳ බිහි කළේ ද පුතුන් දෙදෙනෙකි. අස්විද දියණියක දෙනු ඇතැයි සිතනු තබා ලේලියක ගෙනේවිද කියාත් බලාපොරොත්තු තැබිය නො හැකි තත්වයකට කාලය හරස් වෙමින් තිබේ. ලොකු පුතා ගෙදරට කැන්දාගෙන ආ ලේලිය නිලූකා කිසි දාක තුසිතයට දොළොස්මහේ පහනක් නොවූ බව විජිත ගේ සේ ම වජිරා ගේ ද හිත් වල ගැඹුරේ සනිටුහන් වී තිබේ. ගෙදරට දුවක වන්නට ඇයට කවදාවත් උනන්දුවක් තිබුණේ නැත. එබැවින් නැදි මයිලනුවන් ගේ හදවත් මත සතුටු බින්දුවක් වී තැවරෙන්නට ඇය අපොහොසත් වූවා ය. නිලූකා ගේ කල්ක්‍රියාව වජිරා ගේ හිත් නො ගත්ත ද ඇය මුණිවත රකින්නේ තුසිතයෙහි නැන්දම්මා ලේලී අර්බුධය ඇති කරන්නට වන අකමැත්තෙනි. ඇතැම් විට නිලූකා එහි වාසිය ගත්තා විය හැක. නමුත් වජිරාට හෝ විජිත ට දුවක ගේ සතුට දෙන්නට අපොහොසත් ලේලිය ලෙස ඇය ඈත කොනක සිටියා ය.
ගෙදර පුරා දුව පැන ඇවිදිමින් කිකිණි සිනහ සලන්නටත්, කොල්ලෙකුට කවදාවත් දිය නො හැකි එළියක් දෙන්නටත් මිණිපිරියක හෝ නොවීම ගැන සංතාපයක් ඔවුන් ගේ හදවත් පත්ලෙහි මිදී පැවතිණ. යසස්වී වෙහෙරගොඩ එක් රැයකින් ඒ හිස්තැන් අතික්‍රමණය කරමින් හිඳී. හදවත් වල පාළු වී අඳුරට හැරී ගිය අහුමුළු, ඇගේ සිනා කතා වලින් පිරී යන්නට පටන්ගෙන තිබේ.
‘අනේ ඒක ඕගොල්ලොන්ට වදයක් වෙයි’
දිගු විශ්මිත නිහැඬියාවකින් පසු යසස්වී මුණිවත බින්දා ය.
‘අනේ මේ පැහෙන්නැතුව ඉන්න කෙල්ල’
වජිරා යුවතිය නිහඬ කළා ය. යසස්වී දිල්නුක ගේ වයසේ වාගේ ය. නමුත් ඇය වජිරාටත් විජිතටත් අමතන්නේ ආන්ටි අංකල් කියා ය. වජිරා යසස්වි ගේ අම්මාට වැඩිය වැඩිමල් ය. ඇගේ ලොකු අම්මා ගේ වයසේ ය. අම්මා ලොකු අම්මා ගේ බාල ම සොයුරිය වූයෙන් ඔවුන් දෙදෙනා අතරේ සැලකිය යුතු වයස් පරතරයක් තිබේ. නිලූකා ඇගේ මව් ට වැඩිය බාල වන අතර යසස්වී ඈ අමතනුයේ ‘අක්කා’ ලෙස ය. අම්මා ට අක්කා කියන්නට වන දුවට නංගී කියන්නට වන අතරමැද වයස් ඛාණ්ඩයන් පැවතීම සාමාන්‍ය ය. යසස්වී කොහොමටත් නෑකමට නොව පෙනුමේ හැටියට නෑකම් කියා ඇමතීමේ පුරුද්දක් ඇති කෙනෙකි. එබැවින් ඕ වජිරා ට ආන්ටී ලෙසත් නිලූකා ට අක්කා ලෙසත් ඇමතීම ගැන පුදුම විය යුතු නැත. ඉන් නො නැවතී ඇය චේතිය ට ද කට පුරා අයියා යි කීවා ය. දිල්නුක හා සනුක නම් වලින් ඇමතීම ඇයට පහසුවක් විය.
දවාලේ සනුක එක්ක සුපිරි වෙළෙඳ සැලකට ගොස් යසස්වී කෑම බීම කළමණා ටිකක් රැගෙන ආවා ය.
‘මේ මොකද මේ…’
කියා වජිරා අසත්දීම,
‘ඒකත් එපා කියන්නනං බෑ ඔන්න’
කියමින් යසස්වී මැදින් පැන්නා ය.
‘ඔය දෙන්න මට දෙන ආදරේට මේ කිසි දෙයක් හිලව් කරන්න බෑ. මාත් ඉතිං මේව කනවනෙ. ඒක නිසා ගෙනාව. එච්චරයි. ඒ වගේද මං උයන්න ඕන නැති එක…’
යසස්වී වජිරා පිටුපස සිට ඇගේ උරහිස් මතින් දෑත් දමා නිකට ගෙල පාමුල තබා ගත්තා ය. දුවක ගේ එහෙම හුරතල් ආදරයක් කිසි දා විඳ නැති වජිරා, උදරයෙහි සීතලක් අත්වින්දා ය. ඒ වෙලාවේ ඇයට ඕනෑ වූයේ යසස්වී බදා වැළඳගන්නට යි.
‘අනේ මේ තාම ඉගෙනගන්න චූටි කෙල්ලෙක්ට පුළුවන්ද උයන්න. මං කොහොමත් හිටියෙ යසස්විගෙ කෑම ටික මං හදල දෙන්නං කියන්න’
ළඟ පාතක සිටි නිලූකා ගේ ඒ ප්‍රකාශය, මොහොතකට වජිරා ට හුස්ම ගන්නට අමතක කරවූ තරමි. නිලූකා කියන්නේ අත ලෙවකන්නට බලාගෙන මීයක් කඩන විදිහේ ගැහැනියක නොවේ. ගෑස් සිලින්ඩරය හිස් වෙනවාට ලොබින් දර ළිපේ ගින්දර කන සකසුරුවම්කාරියකි. එහෙව් ඇය යසස්වී ට තුන්වේල බොජුන් සපයන්නට සිතා සිටියා නම් ඒ යටි අරමුණක් ඇතිව විය යුතු ම ය. නමුත් ඒ යටි අරමුණ කුමක් දැයි වජිරා ට තවමත් සිතාගත නො හැකි ය.
යසස්විට පවුලක් කියනා හැඟීම තුසිතයෙන් ලැබෙත්දී ඇය එහි කොටසක් වූයේ නිතැතිනි. පවුලක් ඇතුළට පිටතින් විත් පවුලේ කෙනෙකු වීම පහසු නැත. නමුත් යසස්වී ඒ අපහසුව ජයගනිමින් සිටියා ය. හැම කෙනෙකු ගේ ම ජීවිත තුළට, ඉතා ඉක්මනින් සැලකිය යුතු මාත්‍රා වලින් ඈ මුහු වෙමින් සිටියා ය. නමුත් අස්විද සූරියබණ්ඩාරගේ හතරමායිමේ ගේට්ටු ඉතා තදින් වසා දමා තිබිණ.
‘අරයගෙ හැටිද අර… නැත්තං පිස්සුද… ඒත් නැත්තං පිස්සුවෙ හැටිද…’
යසස්වී සනුකගෙන් එසේ විමසූයේ ඔවුන් දෙදෙනා මිදුලේ ඇපල් මසන් ගසෙහි ගෙඩි කඩා කමින් සිටි හවසක අස්විද ගේ මෝටර් රථය ගෙවත්තට ඇතුළු වන වෙලාවේ ය. සනුක ගේ තොල් කොනක් සිනහවකට ඇද විය.
‘අඩේ පිස්සුනං දැං සයිකොලොජිස්ට් කෙනෙක් ගෙදරම ඉන්නව නේ…’
‘මහ බක මූණක් තියෙන්නෙ. බකමූණෙක් වගේ’
‘ඒ බාප්පේ…’
යසස්වී සීතල වී ගියේ රියෙන් බසිමින් සිටි අස්විද ට සනුක හඬ නගා කතා කළ විටයි.
‘ඒ එපා ඕයි. තරහයි හොඳේ. ඔන්න ආයි කතා කරන්නෑ… තරහම තරහයි’
යසස්වී පහළ ස්වරයකින් කීවේ වැඩිපුර තොල් හොලවන්නේ හෝ නැතිව ය. අස්විද ෆයිල් මිටියක් ගනිමින් ම තරුණයා හා තරුණිය සිටිනා දෙස බැලුවේ ය.
‘මසන් ඕනද…’
සනුක බොරුවට කතාව හැරවූයේ ය. අස්විද බැල්මකින් පමණක් නික්ම ගියේ ය.
‘මං හිතුව මට විතරයි ඔරං ඔටං මූණ දාන්නෙ කියල. බලනකොට කාත් එක්කවත් වැඩිය කතා කරන්නෑ නේ…’
‘දන්නැද්ද ඉතිං ලෝයර්නෙ. වචන හරි ගණං ඇති’
‘හරිහමං කෙනෙක් හව්වෙලා නෑ ගණං බස්සන්න’
සනුක ගේ කට කොන් සිනහව නැවත ද ඇඳිණ.
හැන්දෑවට අස්විද ගෙදර පැමිණි විට වජිරා ට ඕනේ තරම් වැඩ තිබේ. ඔහු ගෙට ගොඩවන විට ම ඇය තේ හදන්නට වතුර ළිපේ තියයි. ගලවන ඇඳුම් ගෙන ගොස් පෙඟෙන්නට දමයි. අස්විද කෙතෙක් එපා කීව ද වජිරා ඒවා සිය දෑතින් ම සෝදයි.
‘මේ හොඳ ශර්ට් වොශින් මැශින් දැම්මහම සවුත්තු වෙනව. බොත්තං කැඩෙනව. අනික හරියට කුණු යන්නෙත් නෑ මේ සුදු ශර්ට්වල’
ඇයට ඕනෑ තරම් නිදහසට කාරණා තිබේ. අස්විද ගේ ඇඳුම් ලස්සනට පිළිවෙළට මැද තබන්නේත්, සපත්තු පොලිශ් කරන්නේත් වජිරා ය. ඈ ඒ සියල්ල කරන්නේ ආශාවෙනි. ආදරයෙනි. පුතෙකු විවාහ වූවාට පස්සේ ලේලිලා ඔවුන් අයිති කරගන්නා බව වජිරා දනී. ඊට පස්සේ අනවශ්‍ය ලෙස පුතුන් ට ඇඟෑළුම් පාන්නට යාම ලේලිලා රුස්සන්නේ නැත. එතකොට පවුල් ප්‍රශ්න ද මතු වේ. අස්විද විවාහ වන වයස පසු වී තිබිණි ද තවමත් ඔහු ළඟින් හිඳ ආවතේව කිරීමේ මව්වත් ආශාව සපුරා ගන්නට වජිරා ට අවස්ථාව තිබේ. ඔහු විවාහයක් කරගත් ගමන් ඇය මේ කටයුතු සියල්ල ලේලියට පවරා පසෙකට වන බව සහතික ය. චේතිය ගේ වගකීම් වලින් ඇය මිදුණේ ද එසේ ය.
යසස්වී ගෙතුළට එන විට වජිරා කුස්සිය මිදුලේ සේදු රෙදි වැලේ වනමින් සිටියා ය. අස්විද මිදුලේ සිමෙන්ති බංකුවෙහි හිඳ තේ බොන බව ඇය දුටුවේ එතැනට ගියාටත් පස්සේ ය. වජිරා ඇය දැක මුව පුරා සිනහ වූයෙන් ආපසු හැරී යා නො හැකි ද විය.
‘චූටි පුතා ඇඳපු රෙදි ටික හේදුව දුව’
‘ආන්ටි මොකටද දැන් ඕව කරන්න මහන්සි වෙන්නෙ… තමන්ගෙ වැඩ තමන් කරගන්න ඕනෙ කිව්වනං ඉවරනෙ’
අස්විද ට තේ බිඳක් පිටි උගුරේ ගියේ ය. නමුත් ඔහු එය පිටතට පේන්න ඇරියේ නැත. වජිරා සිනහව තද කරගෙන අස්විද ගේ මේස් වල කලෝත් පෙග්ස් ගැසුවා ය.
‘අනික ඔයා චූටි පුතා කිව්වට පොඩි ළමයෙක් නෙවෙයිනෙ. ආන්ටි ඔහොම අබ්බගාතයි වගේ හුරතල් කරල යවල… දවසක ගෑනියෙක්ගෙං අම්බානක ගුටි කනකොට ආන්ටිට තමයි උණ ගන්නෙ’
අස්විද හිස පසෙකට හරවා ඉවත බලාගත්තේ ය. වජිරා තව දුරටත් සිනහව තද කරගෙන සිටියා ය. ගෙදරට අලුත් වුණාට මේ කෙල්ල ගේ කටනං අලුත් නැතැයි අස්විද ට සිතෙමින් තිබිණ.