මුහුද ආපහු එයාට කතා කළේ නෑ.
ඒ වෙනුවට මූද කලේ එයා එනකම් බලාගෙන උන්නු එක.
ගල් පොත්තෙන් පහලට වැටිලා දිය කිඳුරියක් තමන්ව බේරගත්ත දවස පහුවෙලා දැන් දවස් කීපයක්ම ගිහින් තිබ්බා. තවදුරටත් මෙච්චර කාලයක් ජීවත්වෙච්ච් A-3179 එතන හිටියෙ නැහැ. හැබැයි ඒ හදවතින් විතරයි. එළියෙන් එයාට පෙන්නන්න උනා තමන් ඉඳපු කෙනාම තමයි කියලා. තමන්ගෙ routine එකට අනුව එයා ‘සෙක්ටර් වන්’ එකේ ජීවිතේ ගෙව්වා. එයා එයාගේ දෙමව්පියන්, එහෙම නැත්තම් උරුමකරුවන්ගෙ අහස උසට තිබුණු බලකොටුවේ corridors දිගේ ඇවිද්දා.
එතන වීදුරු පොළොවෙන් යට තියෙන man made gardens එයා දැක්කා. තියන හැම අඩියක්ම කීකරුකම පෙන්වනවා වගේ දෝංකාර දුන්නා. Creators ලා එක්ක තියෙන meetings වලට සහභාගි උනා. ඒ කිසිම කෙනෙක් හිටියෙ A-3179 වෙනස් වෙලා කියන එක තේරුම්ගන්න පුලුවන් තැනක නෙවෙයි කියන එක එයාට තේරුණා. එයා වෙනදා හිටියා වගේම හිටියා. වෙනදා වගේම වැඩ කරා. හැබැයි හිත ඇතුළෙන් මිනිහා උන්නේ සෑහෙන්න වෙනස් වෙලා. කොච්චර meetings වලට ආවත්, ඒව හොඳට අහගෙන ඉන්නවා වගේ පෙන්නුවත් තමන්ගෙ හිතත් සිතුවිලිත් තිබුනෙ වෙනම තැනක, මූද අද්දර තැනක, රෝස පාට කොරපොතු තියෙන තමන්ගෙ නම “සමුද්‍රා” කියලා කිව්වා දිය කිඳුරියකගෙ ඇස් අද්දර කියන එක දැනගෙන හිටියෙ A-3179 විතරයි.
හැම රෑම, එයා සමුද්‍රා ගැන හිතුවා. බයකින් නෙවෙයි, පුදුමෙකිනුත් නෙවෙයි මොකක් හරි තේරුම් කරගන්න බැරි ආසාවකින් වගේ.වතුර යටදි දකින්න ලැබිච්ච එයාගෙ ඇස්, ඇසිපිය නොගහා, සන්සුන්ව තිබිච්ච හැටි, A-3179 ට හිත අස්සෙ මුල් ඇදගෙන තිබුණා. සමුද්‍රා වැඩිපුර කතා කළේ නැති බව ඇත්ත, ඒත් එයාගෙ ආවේ සංගීත නාදයක් වගේ හරි තාලෙකට, ලස්සනට, දැනෙන්නෙවත් නැති විදියට. ඊටත් වඩා A-3179 දැනුනෙ තමන් සෑහෙන කාලයක් තිස්සෙ එයාව දැනගෙන උන්නා වගේ. ඒත් මේ කියන කාලේ මිනිස්සුන්ට පෙර ආත්ම කියලා දෙයක් තිබ්බෙ නෑ. මොකද A-3179 කියන්නෙ ඇත්ත මනුස්සයෙක් නෙවෙයි, අලුත් ලෝකෙකට ගැලපෙන විදියට හදපු මනුස්සයෙක් හන්දා. තමන් ඉපදෙන්නත් කලින් ඉඳන්ම සමුද්‍රා තමන් වෙනුවෙන් බලාගෙන හිටියා වගේ කියලා දැනුනත් ඇත්තටම තමන් ඉපදෙන්න කලින් තමන් වෙනුවෙන් බලාගෙන උන්නේ තමන්ගෙ creators ලා විතරයි කියන එකත් A-3179 ට ඒ වෙලාවෙ මතක් වුණා.
ඒත් මේ හිතුවිලි හිතට වද දෙන්න පටන් ගත්ත එක ඉවසගන්න බැරි තැනමයි එයා ආයෙ මූද අද්දර තියෙන තමන්ගෙ පෞද්ගලික නවාතැනට ආවෙ.
එයා හැන්දෑව වෙනකම් බලාගෙන හිටියා. ‘සෙක්ටර් වන්’ එකේ උස ගොඩනැගිලි සුදු පාටට දිලිසෙනකම්, නගරය time algorithm එකකින් හදපු නින්දකට වැටෙනකම් එයා බලාගෙන හිටියා. ඊට පස්සේ, තමන් වටේට fix කරලා තියෙන රහස් කැමරා ජාලයෙන් රිංගලා, පුද්ගලික පාවෙන වාහනේක ආවා.
මුහුද තිබ්බෙ එදා වගේම කිරි පාටට හඳ එළිය වැටිලා දිළිසි දිළිසි. එයා කලින් වතාවෙ තමන් වැටිච්ච කළු ගල් පතුර අද්දර ඇවිත් හිටගෙන හිටියා. කිසිම වචනයක් නොකියා, කිසි සද්දයක් නොකර, ඇහුන්කම් දීගෙන හිටියා.
ඒ විදියටම සමුද්‍රා හිටියෙත් ඒ ලස්සන පිරිමි ළමයා ආයෙ එනකම් බව A-3179 දැනගෙන හිටියෙ නෑ. ඒත් තමන් වගේම සමුද්‍රාත් පහුගිය දවස් කීපෙම උන්නෙ තමන් ගැන හිත හිත ආයෙ කවද්ද අපි හම්බුවෙන්නෙ කියලා හිතමින් කියන එකත් A-3179 දැනගෙන හිටියෙ නෑ.
කලින් දවසෙ වගේම හඳ එළිය වැටිලා සමුද්‍රාගේ රෝස පාට කොරපොතු නිල් කොළ පාට මූදු වතුර මැද්දෙ දිළිසෙනවා A-3179 දැක්කා. සමුද්‍රා තමන් දිහාවට පීනගෙන එනවා කියන එක එක තප්පරේකින් තේරුම් ගත්ත A-3179 මූද දිහාවට යන්න තිබිච්ච පාර දිගේ දුවගෙන දුවගෙන පල්ලෙහට ගියේ හිත අමුතුම විදියකට තාල නගද්දි.සමුද්‍රා මූදෙන් අයින්වෙලා තමන් වෙත ආවෙ නෑ. එහෙම එන්න එයාට කකුල් නෑ කියන එක දන්න හන්දම A-3179 මූදු වතුරෙ පීනගෙන පීනගෙන සමුද්‍රා දිහාවට ඇවිදගෙන ගියා.සමුද්‍රාගෙ අත් දෙක අස්සේ A-3179 ට දැනුනෙ කවදාවත් දැනිච්ච නැති විදියෙ උණුහුමක්. තමන්ගෙ six pack muscled body එක වටේ අත දාගෙන තමන් දිහාවම බලාගෙන ඉන්න, තමන්ට වඩා අඟලක් කීපයක් පහළින් පේන්න ඉන්න සමුද්‍රාගේ මූණ හඳ එළිය වැටුණම කොච්චර ලස්සනද කියන එක A-3179 ට තේරුණේ ඒ වෙලාවෙ. එයා එක වචනයක්වත් කිව්වෙ නෑ. ඔහුගේ කටින් එක වචනයක්වත් පිට වුණේ නැහැ, එයා බලාගෙනම උන්නෙ තමන් දන්න මීට උඩ වෙනස්ම ලෝකෙක ඉන්න මිනිස්සුන්ගේ වගේ කෘත්‍රිම ලස්සනක් නැති, perfect නැති උනත් හිත අද්දවගන්න සමුද්‍රාගෙ ලස්සන මූණ දිහා.
“ඔයා එහෙනම් ආයෙ ආවා,” සමුද්‍රා කිව්වේ හරිම ලස්සනට හිනාවෙලා. එයාගෙ කටහඬ ගල් පර්වත උඩින් ලිස්සලා යන වතුර දහරාවක් වගේ බව එවෙලෙත් A-3179 ට තේරුණා.
“මට ඔයාව මතක් වෙද්දි තවත් එහෙට වෙලා ඔයාව නොදැක ඉන්න බැරි වුණා,” කියලා A-3179 පිළිගත්තා.
සමුද්‍රා කිව්වෙ කරුණාවෙන්.
“ඔයා මේ ලෝකෙ කොටසක් නෙවෙයි.”
“ඔයත් එහෙමයි, ඔයා වෙනස්”
කියලා A-3179 කියද්දි සමුද්‍රා හීන් සැරේ හිනා උනා.
“ඒක ඇත්ත. අපි දෙන්නම… අවතැන් වෙච්ච අය.”
“ඔයාට නමක් තියෙනවද?” සමුද්‍රා ඇහුවා.
“නමක් තියෙනවා ඔයාගෙ වගේ නමක් නෙවෙයි හැබැයි. මගේ නම A-3179” කියලා එයා කිව්වම සමුද්‍රා කරේ ආයෙම හිනාවෙන එක.
“ඒක නමකට වඩා වෙනස් නේද? මම ඔයාට නමක් දෙන්නද? අපි දෙන්න විතරක් දන්න නමක්?” සමුද්‍රා ඇහුවා.
“මොකද්ද දෙන නම?”
“ම්ම්ම් අපි ඔයාට පෘථිවි කියලා කතා කරමු”
“ඇයි ඒ?”
“මම ඉන්නෙ සමුද්‍රයේ, ඔයා ඉන්නෙ පොළොවෙ නිසා”
ඒ දවසින් පස්සේ එයාලා හැමදාම රෑට මුණගැසුණා. දවල්ට, A-3179 creators ලා බලාපොරොත්තු වුණු විදිහටම ජීවත් වුණා. Meetings, work schedules වගේ දේවල් අස්සෙ සහ Z-4501 එක්ක merge වෙන්න සූදානම් වෙන ගමන්. හරි දේවල් කිව්වා, හරි වෙලාවට ඔළුව වැනුවා, පරිපූර්ණ උරුමක්කාරයාගේ චරිතය රඟපෑවා. ඒත් හිතෙන් තවදුරටත් ඒ ලෝකයේ ජීවත් වුණේ නැහැ. එයාගෙ හදවත ජීවත් වුණේ වතුරේ. සමුද්‍රා එක්ක පෘථිවි විදියට.
සමුද්‍රා එයාව එක්කරගෙන ගියා මූද යටට, ලෝකෙ විනාස වෙන්න කලින් ඉතිරි වෙච්ච දේවල් මූද යට නටඹුන් විදියට ඉතුරුවෙලා තියෙනවා කියලා පෙන්නන්න.1912 වගේ අවුරුදු දහස් ගානකට කලින් මූදු පතුලෙ ගිලිච්ච විසාල නැවක කොටස්, එක එක වටින චිත්‍ර වල කොටස් වගේ ලෝකෙ විනාසෙ එක්ක මූද පතුල ඇදගත්ත දේවල්, ලෝකෙ කඩා වැටුණාට පස්සේ මූද අස්සෙ ගිලිච්ච නගර, වීදුරු ජනෙල් කැඩිලා, බෙල්ලන්ගෙන් වැහිලා තිබුණු පල්ලි, මුහුණු දිරාපත් වෙලා, ඇස් හිස් වෙලා, කටවල් තවමත් මොනාහරි කියන්න හදනවා වගේ ඇරිලා තිබ්බ කොරල් පරවල අඩක් ගිලුණු යෝධ ප්‍රතිමා A-3179 එහෙම නැත්තම් පෘථිවි දැක්කා.
“මේක තමයි පරණ ලෝකය,” සමුද්‍රා කිව්වා.
“ලෝකෙ විනාස වෙන්න කලින්, ආයෙ අහසෙ මිනිස්සු ඇවිත් ලෝකෙ හදන්න කලින් මේ වගේ දේවල් තිබ්බෙ පොළොව උඩ. නිර්මාතෘවරු මකලා දාන්න කලින්, එයාලා ඉතිහාසය ඉලක්කම්වලටයි, රටාවලටයි අඩු කරන්න කලින්, ඔයාල වගේ අය මෙතනට ඇවිත් සින්දු කිව්වා. ඇඬුවා. ආදරය වෙනුවෙන් මැරුණා.”
“ඇයි එයාලා මේ හැමදේම මකලා දැම්මෙ?” පෘථිවි ඇහුවා.
“මොකද ඒක එයාලව බය කළා,” ඇය පිළිතුරු දුන්නා. “හැඟීම්… මතකයන්… වැරදි… නිර්මාතෘවරුන්ට ඕන වුණේ පාලනය කරන්න. කිසිම බාධාවක් නැතුව පාලනය කරන්න නම් මිනිස්සුන්ට අතීතෙ අමතක වෙන්න ඕන, එහෙම නැත්තම් අමතක කරන්න ඕන කියන එක එයාලා දැනගෙන ඉන්න ඇති”
ඒ විදියට හැම රෑම සමුද්‍රා පෘථිවිට අතීතය ගැන කිව්වා. පරණ කතා. ලස්සන තාල තිබ්බ සින්දු, එක එක විධියෙ බාසාවලින් අහුල ගත්ත වචන සමුද්‍රා කියලා දුන්නා. සමුද්‍රා අත ඇල්ලුවාම, එයා වතුරෙ ඉන්න කෙනෙක් උනත් පෘථිවිට දැනුනෙ රස්නයක්. නගරේ තියෙන කෘත්‍රිම උණුසුම වගේ දෙයල් නෙවෙයි, තමන්ගෙම කෙනෙක් ළඟ ඉන්නවා කියන එකේ තේරුම දෙන උණුසුමක්.
A-3179 පෘථීවි විදියට සහමුලින්ම වෙනස් වෙන්න පටන් ගත්තෙ අන්න ඒ උණුහුම ටිකෙන් ටික එයාට දැනෙන එක වැඩිවෙද්දි.
කාටවත් ඒ වෙනස තේරෙන එකක් නෑ කියල පෘථිවි හිතුවට creators ලා උන්නේ ඒ වෙනස් වීම දකින ගමන්. සිස්ටම් එක හැමතිස්සෙම උන්නෙ බලාගෙන හිටියා. පෘථිවිගෙ හැසිරීම්වල වෙනස්කම් කොච්ච පුංචි ඒවා වුණත්, ඒ වගේ පුංචි පුංචි data malfunctions ටික එක එක්කහුවෙලා A-3179ගෙ system එකේ ලොකු error එකක් තියෙන විත්තියට creators ලට alarm කලා . එයාගෙ හැඟීම් වෙනස් වීමේ මට්ටම් ඉහළ ගියා. රැස්වීම්වලට සහභාගිවීම අඩු වුණා. මානසික වාර්තාවල අසාමාන්‍ය දේවල් සටහන් වෙන්න පටන් ගත්තා. හැමදේටම වඩා නරකම දේ තමයි, Z-4501, එයා වෙනුවෙන් වෙන් කරලා තිබුන එයාගේ අනාගත සහකාරිය – ඒක තේරුම් ගන්න පටන් අරන් තිබුණා.
ඒත් A-3179, Z-4501 ගැන් නොදැන උන්නු දෙයක් තිබුනා. ඒ තමයි තමන් වගේම Z-4501ත් එයා අනිත් අය වගේ නෙවෙයි තමන් වෙනස් කියලා දැනගෙන උන්නු බව. එයා කවදාවත් අහලා නැති පරණ සින්දු වල වචන දැනගෙන හිටියා. Data streams වල mark උනාට වඩා වැඩි වෙලාවක් කවුළුවෙන් එළිය බලාගෙන හිටියා. එයාට දැනුණා, ඒක මොකක්ද කියලා සම්පූර්ණයෙන් තේරුණේ නැති වුණත් මොකක් හරි වෙනසක් තියෙනවා කිව්ව එක. A-3179 ගෙ data වලින් අමුතු දේවල් දකින්න ලැබුණට පස්සෙ Z-4501 එයාව සැක කරන්න පටන් ගත්තා උනත් එයාව report කරේ නෑ. ඒ වෙනුවට කලේ කාටවත් නොපෙනී එයාව follow කරපු එක.
ඒ විදියට A-3179 යන්නෙ කොහෙද කියන එක, එයා හමුවන්නෙ කාවද කියන එක දැනගන්න පුලුවන්කම ලැබුණා. එයා සමුද්‍රාව දැක්කා. දිය කිඳුරි වතුරෙන් මෑත්වෙද්දි ඒ වරළෙ තිබ්බ රෝස පාට කොරපොතු දිළිහෙන විදිය, දිය කිඳුරියො කියල ජාතියක් ඇත්තටම ඉන්නවා කියන එක එයා තේරුම්ගත්තා. ඒ වගේම A-3179 හිනා වුණා තමන් කවදාවත් නොදැකපු විදියට කියන එකත් ඒක ඇත්ත හිනාවක් කියන එකත් එයාට තේරුණා.
Z-4501 ට ඊර්ෂ්‍යාවක් දැනුණේ නෑ. එයාට තිබ්බෙ ලොකු පුදුමයක්. මුහුද එයාලාට ප්‍රතිචාර දැක්වූ විදිහ, එයාලා සියවස් ගණනාවක් වෙන් කරලා තිබුණු වෙනස් ලෝක දෙකක් එකට merge වෙච්ච විදිය දකිද්දි එයා පුදුම වුණා. ලෝකෙට නොගැලපෙන අසාමාන්‍ය දේවල් මර්දනය කරන්න තමන්ව පුහුණු කරලා තිබුණා වුණත් මේක වැරැද්දක් නෙවෙයි කියන එක එයා තේරුම් ගත්තා. එදා රෑ A-3179 ආපහු නගරයට ආවා. එයා කෙලින්ම Z-4501 ළඟට ගියා. ඔහේ ඇවිදගෙන ගිහින් එයා පොත් කියවමින් හිටපු දත්ත කාමරයට ගිහින් නිහඬව හිටගත්තා. එයා ඔළුව ඉස්සුවා. දෙන්නගෙ ඇස් එකිනෙක බැඳුණා
“ඔයා වෙනස් වෙලා,” Z-4501 සද්ද නැතුව කිව්වා.
“ඔයත් එහෙමයි,” A-3179 පිළිතුරු දුන්නා.
“ඉතින්?”
“මට දැන් නමක් තියෙනවා”
“මම දන්නවා” කියලා Z -4501 කිව්වම A-3179 තප්පර ගාණකට freez උනා.
“ඒ කොහොමද?’
“මම හැමදේම දැක්කා”
“එහෙනම් ඇයි ඒ කිසි දෙයක් report කරේ නැත්තෙ?”
“ඇයි මම එහෙම කරන්නෙ?” කියලා Z -4501 අහද්දි දෙන්න ඕන උත්තරේ මොකද්ද කියන එක A-3179 දැනගෙන උන්නෙ නෑ.
“ඒක මොන වගේ හැඟීමක්ද?”කියලා ඇහුවේ Z -4501.
“මොකක් ගැනද ඔයා අහන්නේ?”
“ආදරය කරන එක ගැන”
“ඒක මට කවදාවත් දැනගන්න ඉඩ නොදුන්න, ඒත් මගේ හිත අස්සෙ කොහේ හරි තැනක store කරලා තිබ්බ, මට ඕන කියල මම දැනගෙන උන්නෙ නැති දෙයක් වගේ.”
“එයාලා ඇයව හොයාගෙන එයි. ඒක කරන්න එයාලා ඔයාව පාවිච්චි කරයි.” කියලා Z -4501 කියද්දි A-3179 තප්පර ගාණක් සද්ද නැතුව උන්නා.
“මම දන්නවා.”
ඒත් ඒ වෙලාවෙත් තමන් වටේ තිබුන බිත්ති පවා තිබුනෙ මේ කතාවට කන් දීගෙන බව ඒ දෙන්නම දැනගෙන උන්නෙ නෑ.
‘සෙක්ටර් වන්’ එකේ රහස් නිරීක්ෂණ පද්ධතිය බලාගෙන ඉඳලා, ඔරින් අණ දීම දැනටමත් කරලා තිබුණා. ඒ වගේම දඩයම දැනටමත් පටන් අරන් තිබුණා.
ඒත් කවුරුවත් දන්නෙ නැතුව. බොහොම සූක්ෂවමව.
(අවසාන කොටසෙන් ඉක්මනට හමුවෙමු)