මූද අද්දර කතාවක් – 3 කොටස

උදේ වුණේ හරිම හෙමීට.

හරියට තුවාල වෙච්ච සතෙක් බඩගාගෙන බේරෙන්න පුලුවන් තැනකට යනවා වගේ වගේ ක්ෂිතිජය දිගේ බඩගාගෙන ආපු ඉර, අහසට පාට ඉස්සා. පහළින් තිබුණ මූදු රැල්ල දැඟලුවෙ හරියට තමන් උත්තරේ දන්නවා කියන්න හදන ඉස්කෝලේ යන ලමේක් ගුරුවරයා ප්‍රශ්නයක් ඇහුවම උත්තරේ දෙන්න අත උස්සනවා වගේ.

අද කඳු මුදුනේ හුළඟ හරිම සැරයි. ඒ හුලඟට පුලුවන් වුනා A-3179 ගෙ කම්මුල් වලට රිදෙන විදියට ඇවිත් හැප්පෙන්න. ඒ හුලඟ එයාගෙ කොන්ඩෙ අවුල් කරලා දැම්මා. ඉස්සර දිළිහිච්ච එයාගේ ඇස් තවමත් උන්නේ හොඳ දෙයක් වෙයි කියන බලාපොරොත්තුව ඇස් අස්සෙ අන්දගෙන. 

A-3179 ඒ විදියට මූද දිහා බලන් කල්පනා කරද්දි එයා නොදන්නවා උනාට එයාට පිටිපස්සේ ‘සෙක්ටර් වන්’ එක හුස්ම අල්ලගෙන බලාගෙන හිටියා දඩයමට හරි වෙලාව එනකන්. නගරෙ ඈතින් තිබුණු වීදුරු කුළුණු ඉර එළිය වැදිලා දිලිසුණා. එයාලගේ ඇන්ටනා A-3179 කරන හැම චලනයකටම සුසර වෙලා තිබුණා. නගරය A-3179 දිහා බැලුවේ ඉස්සර දැක්ක විදියට පුතෙක් විදිහට නෙවෙයි, මනුස්සයෙක් විදිහට නෙවෙයි, තමන් අතෙන් වෙච්ච වරදක්, තමන්ගෙ පිටපතෙන් එහාට ගිය අසාමාන්‍ය දෙයක් දිහා බලනවා වගේ. අහසෙ වලාකුලු අස්සේ නොපෙනෙන විදියට settings හදලා තිබුණ මව් යානය ඇතුළේ, ඉස්සර A-3179 ගෙ තාත්තා කියලා හඳුන්වා ගත්තු ඔරින්, සූදානම් වෙමින් උන්නේ තමන් අතින් වෙච්ච වරද හදන්න වගේ. එයා දෙන්න බලාපොරොත්තුවෙන් උන්නු order එක හරිම සරලයි: 

“දිය කිඳුරිව අල්ලගන්න”

“A-3179 ව විනාස කරන්න”

හැබැයි A-3179 මෙතනට එද්දිම එයා දැනගෙන ආවා “මේක ජිවීතයත් මරණයත් අතර game එකක්” කියන එක. එයා ආවේ ජීවත් වෙන්න බලාගෙන නෙවෙයි. එයා ආවේ සිස්ටම් වලට කවදාවත් replicate කරන්න බැරි බව හොඳටම දන්න, මනුස්සයෙක්ගෙ ගැහෙන හිතක් අස්සේ හොඳටම පරිස්සම් තැනක store කරලා තියෙන ගොඩක් වටින හැඟීමක් වෙනුවෙන්. සමුද්‍රා මූදු රළ මැද්දෙන් පීනගෙන ආවෙ හරියට මෙච්චර කාලයක් තිස්සෙ හිත අස්සෙ හංගලා තිබ්බ ලස්සනම මතකයක් වගේ. ඒ මතකෙ පරණයි, දිලිසෙනවා, ඒ වගේම හරිම ලස්සනයි සහ වටිනවා කයන එක A-3179 සමුද්‍රා දිහා බලාගෙන කල්පනා කරා.

මුලින්ම දැක්ක දවසෙ වගේම සමුද්‍රාගෙ රෝස පාට කොරපොතු දිළිහුනා.එයාගෙ දිග, කළු කොණ්ඩෙ මුහුදු පැලෑටි වගේ උරහිස්වලට ඇලිලා තිබුණා. එයාගෙ ඇස් මුහුද වගේම කෙළවරක් නැති තරම් ගැඹුරුයි කියන එක A-3179 දැක්කා. සමුද්‍රා තමන්ව දැකලා නතරවෙච්ච බව දැක්කම A-3179 පුරුදු විදියට දුවගෙන දුවගෙන ගිහින්, ඉන්පස්සෙ පීනගෙන පීනගෙන සමුද්‍රාගේ අත් අස්සෙ උණුසුමට නතර වුණා.

“ඔයා ආපහු ආවා,” කියලා සමුද්‍රා හිමින් කියද්දි වෙනදා වගේම ඒ වචන සංගීත නාදයක් වගේ ඇහුනට ඉස්සරහට වෙන්න තියෙන නරක දෙයක් ගැන හැඟීමක් ඒ වචන අස්සෙ රැඳිලා තියෙනවා කියන එක A-3179ට නොතේරුණා නෙවෙයි.

 “මම ඔයා වෙනුවෙන් හැමදාම එනවා” කියලා කියනවා ඇරෙන්න වෙන දෙයක් ඒ වෙලාවෙ කියන්න A-3179ට මතක් උනේ නෑ.

එයාලා දෙන්නගෙ වචන කතා කළේ මේ ලෝකෙටත් ඊට කලින් තිබ්බ ලෝකෙටත් වඩා පරණ භාෂාවකින්.

“එයාලා බලන් නේද ඉන්නෙ?” කියලා අහද්දි උනත් සමුද්‍රාගෙ කටහඬේ තිබ්බ ඉස්සරහට වෙන්න තියෙන වෙන්වීමක දුකා මිසක් බයක් නෙවෙයි කියන එක මිනිස්සුන්ගෙ හැඟීම් ගැන තේරුම් ගන්න පුලුවන් වෙච්ච A-3179ට ඒ වෙලාවෙ තේරුණා. 

“ඔව්.”

“එයාලා අපිව හොයාගෙන එයි නේද?”

“එයාලා දැනටමත් මෙතන.”

ඒ වචන එක්ක සමුද්‍රා අහස දිහා බැලුවා. 

එයා ආයෙම පෘථිවි දිහා බැලුවා.

 “අපි ගිහින් බේරෙන්න පුලුවන් තැනක හැංගෙමු,” සමුද්‍රා කිව්වා.

“බේරිලා ගිහින් හැංගෙන්න තැනක් මේ ලෝකෙ අපිට නෑ. තියෙන එකම තැන මූද විතරයි.” ඒ වචන එක්කම වගේ  ඔරින් අණ දුන්නා.

අහසෙ පාවෙමින් තිබුණ යානයේ ඉඳලා හීන් සැරේ විශාල net එකක් දිය කිඳුරිව අල්ලගන්න බලාගෙන පහලට වැටෙන්න පටන් ගත්තා. සමුද්‍රාව “target” කියලා ඒ systems වලට focus උනා. ඔරින් ඉඳියෙ ඒ දිහාම බලාගෙන. කවදාවත් ඇත්තක් විදියට තමන්ගෙ ඇහැට ගැටේවි කියල නොහිතපු අවුරුදු ගාණක් විනාස නොවී කටෙන් කට පැතිරි පැතිරි ආව, systems වල ලියවිලා තිබිච්ච දිය කිඳුරු කතන්දරේ ඇස් ඉස්සරහා ඇත්තක් වෙමින් තිබ්බා. ඒ හැමදේම දැක්කා උන්ත ඔරින් එයාගේ පුතා කඳු මුදුනේ වේදනාවෙන් ගල් වෙච්ච හිතක් එක්ක හඬා වැටෙනවා දැක්කේ නැහැ. A-3179 ගෙ ඇස්වල තිබුණු සමුගැනීමේ වේදනාව එයා දැක්කේ නැහැ. දැක්කත් එයා ඒක අඳුරගන්න තරම් “මනුස්සගත” වෙලා ඉඳියෙ නැහැ.

මේ අවසාන මොහොත බව තේරුම්ගත්ත A-3179 අත දික් කරලා සමුද්‍රාගෙ අත අල්ලා ගත්තා. පලවෙනි වතාවට අද දමයි A-3179ට තේරුණේ සමුද්‍රාගෙ අත සීතල බව. මෙච්චර දවසක් උණුහුමට දැනිච්ච ඒ අත අද වෙන්වීමේ වේදනාව හන්දම හීතල වෙලා තිබුන බව A-3179ට තේරුණා.

“මොකද්ද ඔයා කරන්න යන්නෙ?”

“එයාලා මාව හැදුවෙ මොකටද? අන්න ඒක ඉස්ට කරන්න”

“ඔයා කාගෙවත් ඉලක්කයක් නෙවෙයි. ඔයා මේ ලෝකෙ උඩ මීට කලින් ඇවිදපු හුස්ම ගත්ත මිනිස්සුන්ට වඩා වෙනස් මනුස්සයෙක් උනත් ඔයා මෙයාලට වඩා වෙනස්. ඔයාට පුලුවන්කමක් නෑ කාවවත්ම විනාස කරන්න”

“ඔව් ඇත්තා, එයාලට ඕන උනේ මෙච්චර කාළයක් පුරාවට එයාලට count කරන්න පුලුවන් මට්ටමේ, control  කරන්න පුලුවන් මට්ටමේ කෙනෙක්ව තියාගන්න. මම ඒ route එකෙන් එලියට පැන්න ගමන්, එයාලගෙ system එකට මාව control කරන්න හෝ track කරන්න බෑ කියලා තේරිච්ච ගමන් එයාලා හදන්නෙ මාව system එකෙන් සදහටම අතුගාලා දාන්න.

ලෝකෙ කොච්චර වෙනස් උනත්, කාලෙ කොච්චර වෙනස් උනත් බලය අතට ආවට පස්සෙ හැම මනුස්සයම හැසිරෙන්නෙ එකම විදියට වෙන්නැති සමුද්‍රා. සමහරවිට ලෝකෙ එක වතාවක් විනාස වෙන්න ඇත්තෙත් ඒ නිසාම වෙන්නැති”

A-3179ගෙ කතාව අහගෙන උන්න සමුද්‍රාගෙ ඇස්වලින් තනි කඳුළක් කම්මුල දිගේ ලිස්සලා ගිහින් ලුණු වතුර බිඳුවක් වෙලා මූදට වැක්කුරුනා.

“මං වෙනුවෙන් මේ කැපකිරීම කරන්න එපා,” සමුද්‍රා හෙමින් කිව්වා.

A-3179 ඒ කතාවට හිනා වුණා – දුකෙන්වත්, තරහෙන්වත් නෙවෙයි. ඒත් හරියට පොඩි එකෙක් කියන බොළඳ හුරතල් කතාවකට හිනාවකින් උත්තර දෙන matured මනුස්සයෙක් වගේ.

“මං මේ කැපකිරීම කරන්නෙ ඔයා වෙනුවෙන්වත් මං වෙනුවෙන්වත් නෙවෙයි සමුද්‍රා. අපි දෙන්නම වෙනුවෙන්. කවදාවත් කිසිම system එකකින් replicate කරන්න බැරි විදියෙ ලස්සන මතකයක් මට දුන්නට ඔයාට ස්තුතියි.”

A-3179 ඒ වචන එක්ක සමුද්‍රාගේ ලුණු රස නළල උඩ තමන්ගෙ දෙතොල් තද කරගෙන ඇස් පියා ගත්තා. මුහුදෙ සද්දෙ හෝ හෝ ගගා තමන්ගෙ පපුව ඇතුළේ දෝංකාර දෙනවා වගේ එයාට දැනුණා. හිත ඇතුළේ තිබුණු හැම ආදරයක්ම, දුකක්ම එක්ක, සමුද්‍රා ආයෙ වතාවක් තමන්ට කතා කරනවා එයාට ඇහුනා.

“පෘථිවි, ඔයා කියන්නෙ මම කවමදාකවත් පය තිබ්බෙ නැති පොළොවක්. මම ඔයාට හැමදාම ආදරෙයි. මේ ලෝකෙ විනාස වෙවී ගොඩ නැගෙන හැම වාරයක් පාසාම අපි හමුවෙමු.

මාව අමතක කරන්න එපා”

කියනවාත එක්ක ඒ දෙන්නවම අල්ලගන්න බලාගෙන net එක පහලට එනවත් එක්කම සමුද්‍රාව හයියෙන් තුරුලු කරගත්ත A-3179 ලුණු රස මූදු රල අස්සෙ හැංගිලා ගියා.

Creators ලට කවදාවත් ඒ දෙන්නගෙ ශරීර හොයාගන්න බැරි උනා.

“තාවකාලිකව උපරිම පැයක් දෙකක් වතුර යට ඉන්න පුළුවන්කම තිබුනත් අපි දැනට හදලා තියන දියුණුම system එක අනුවවත් ඊට වඩා කාලයක් මේ මනුස්සයෙක්ට වතුර යට ජීවත්වෙන්න බැහැ.

A-3179 විසින් එයාගෙ system එකට කරගත්ත මොකක් හරි අලුත් update එක නිසාවෙන් අපිට එයාව track කරගන්න විදියක් නෑ වතුර යටදි. කොහොමත් අපිට මූද යට සීමිත දුරක් විතරයි තවම explore කරන්න පුලූවන් කම තියෙන්නෙ. හදිසියේ හරි A-3179 කොහේ හෝ තැනකිජ් ආයෙම පොළොව මතට ආවොත් අපිට එයාව track කරගන්න පුලුවන්. ඒත් දැනට මේ සිදුවීම වෙලා දින තුනක් ගෙවිලත් අපිට එයාව track කරගන්න බැරි උනා කියන්නෙ එයා මූදෙන් ගොඩට ඇවිත් නෑ කියන එක.

A-3179 මියගිහින් ඇති කියලා හිතනවා ඇරෙන්න අපිට වෙන නිගමනයකට එන්න තරම් data ප්‍රමාණවත් නැහැ” කියලා එයාලා කිව්වා.

එයාලට කවදාවත් A-3179ගෙ ශරීරය හොයාගන්න බැරි වුණා. සමහරු කියනවා සමුද්‍රා එයාව මූදෙ ගැඹුරුම අගාධයට අරගෙන ගිහින් වළලලා දැම්මා කියලා. තවත් සමහරු කියනවා සමුද්‍රා එයාව කොරල් පරයක් බවට පත් කරලා සදාකාලික කළා කියලා.

 හැබැයි මුහුදට හැමදේම මතක තිබ්බා. පොළොවට හැමදේම මතක තිබ්බා. 

අදටත් හැම තප්පරේකම මූදු රැල්ල වෙරළ ලඟට හෙමින් හෙමින් ඇවිත් හෝ හෝ ගාලා,

නමක් නැති කොල්ලෙක්ට ආදරය කරපු දිය කිඳුරියක් ගැන කතාවක් කියලා යනවා!

(අවසානයි)

More Stories

Don't Miss


Latest Articles