අරුමැති ආදරයක් – 38

0
3445

උසාවිය ඉන් මසකට පසුව තවත් නඩු වාරයක් සඳහා කල් තැබුවේය. සේනකත්, දයාලුත්, පුෂ්පානන්දත් නැගී  සිටියේ කිසිවෙකු දෙස නොබලමින්ය. ඒ වේගයෙන්ම ඔවුන් උසාවි සංකීර්ණයෙන් පිටව යන අයුරු යුගාෂ් බලා සිටියේ අවඥයා සහගත සිනහවක් මුවගෙහි තබාගෙනය. අමායලාගේ නිවසට පොලිස් ආරක්ෂාව ලබාදී තිබුණේ  යුගාෂ්ගේ ඉල්ලීමක් මතය. ඒ අනුව සිවිල් ඇඳුමෙන්  සැරසුණු පොලිස් නිලධාරීන් දෙදෙනෙකි ඒ අවට රැඳී සිටියේය. 

දෙවරක් තුන් තුන් වරක්ම ඒ අසලින් ගිය වෑන් රථයකට ඔවුනගේ අවධානය යොමුව තිබුණේ සැක කටයුතු වූ නිසාය. වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා මේ වන විටත් සිටියේ පොලිස් නිලධාරීන් බාරයේය. අලුතින් පත්ව ආ පොලිස් ස්ථානාධිපතිවරයා තරුණ නිලධාරියෙකි. සතුටකට වූයේ ඔහු සාධාරණය වෙනුවෙන් පෙනී සිටින කීර්තිමත් නිලධාරියකු වීමය.මේ සේනකලාත් සියල්ලෙන්ම සිරවන කාලයකි.

“ලොකු දෙයක් වෙන්නෙ නෑ යුගාෂ් මාව යාපනයට මාරු කරයි. තනිකඩ වෙච්ච මට මේ ලංකාව ඇතුලේ කොතැනත් එකක්. යුගාෂ් බය නැතුව ඔය වැඩේ ඉස්සරහට කරගෙන යන්න. මගේ සම්පූර්ණ සහයෝගය යුගාෂ් වගේ සාධාරණ මිනිස්සුන්ට සතුටින්ම ලබා දෙනවා. මොකද මටත් ඔය වයසෙම නංගිලා දෙ⁣න්නෙක් ඉන්නවා”

ඔහු පැවසූයේ පෙරේදා හවසය. 

“වෙල්ඩන්  පුතා වෙල්ඩන්…”

ක්ෂේත්‍රයේ පරිණත ඵල පුරුදු නීතිඥ මහතෙකු යුගාෂ්  හමුවට පැමිණ පැවසූයේ ඔහුගේ උරයකට තට්ටු කරමින්ය. 

“සමහර දේවල් දිහා අපිත් බලන් හිටියේ බොහොම පිළිකුලෙන් පුතා. ඒ හැ⁣මදේම වෙනස් වෙන්න කාලේ හරි”

එපමණක් පවසා ඔහු තම ලිපි ගොනුවද රැගෙන පිට වූයේය. මිනිසුන්ගේ දරා සිටින පීඩනය පිටව යන්නට අවැසි වන්නේ කුහුඹු කටක් වන් වූ කුඩා අවකාශයකි. ඉන්පසු ඒ මිනිසුන් සිංහයන් සේ නිිර්භීතය.

“මං දැක්කා බං අන්කල්ගේ මූණ ඒ වෙලාවේ.  උඹව මරන් කන්න පුළුවන් නම් ඒකත් කරනවා.”

යුගාෂ් සිනහසුනා මිස තම මිතුරාට කිසිවක් නොපැවසුවේය. මුලින්ම නැගී සිටියේ ඔහුය. තීක්ෂණ ඒ පසු පසින් උසාවි සංකීර්ණයෙන් පිටතට පැමිණියේය. 

අමායාත්, ඔහුගේ මවත්, පියාත් පාසලේ හිටපු විදුහල්පතිවරයාත් බලා සිටියේ යුගාෂ් හමුවන්නටය. අමායාගේ පාසලේ හිටපු විදුහල් පතිවරයා මේ සටනට සම්බන්ධ වූයේ ඊයේ පෙරේදාය. ඔහු පවසන පරිදි අමායා යනු ඒ පාසලේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවකි.

“සර්.. පුළුවන් නම් අමායත් එක්ක සර්ගේ වාහනයට නගින්න. අමයාගේ අම්මයි තාත්තයි ටිකක් කොහොම ඉන්න.”

යුගාෂ් එසේ පැවසූයේ උසාවි භූමිය ඉදිරිපස රැස්ව සිටිනා පිරිස දෙස බලමින්ය. සිය ජංගම දුරකථන, පටිගත කිරීමේ යන්ත්‍ර හා  මයික්‍රපෝන කිහිපයක් දිගු කරගෙන දයාල්, පුෂ්පානන්ද හා සේනකව වට කරගෙන සිටියේ මාධ්‍ය හිතවතුන්ය.

“ඒ මචං අර…ඇයි බන් දැන් සේනක උඩ පැන පැන හිටියේ මීඩියා වලට මේ කේස් එක යන්න දෙන්නේ නැතුව සෑහෙන්න වියදම් කරනවා කියලා. ලංකාවෙම මීඩියා මෙතනනේ.”

එවරත් යුගාෂ් සිය මිතුරා දෙස බැලුවේ පෙර වූ අවඥා සහගත සිනහවම මුව මත තබාගෙනය. ඉන් යමක් තේරුම් ගත් තීක්ෂණ මිතුරාගේ උරයට තට්ටු කලේ ජයග්‍රාහී සිනහවකින්ය. 

“උඹ තමයි දවසකටවත් මිනිහා..”

“සමහර විට මීඩියා වලින් අමායාගේ අම්මටයි තාත්තටයි කතා කරයි. මෙච්චරයි වෙන්න ඕනේ..මං මේ කියන ටික හොඳට අහගන්න.

අපේ දරුවා අපි හැදුව ඇස් දෙක වගේ එයාට මේ වෙච්ච දේ ගැන ලොකු වේදනාවක් හිතේ තියෙන්නේ. කාගෙන්වත් පලිගන්නෝමනාවක් නැහැ. අපේ දරුවාට සාධාරණයක් ඉෂ්ඨ කරන්න. ඒ සාධාරණය නිසාම අඩුම තරමින් මේ වගේ අපරාධ කිහිපයක් හරි වලකීවි. අපේ ජීවිත පවා අවදානම් මොහොතක ඉස්සරහට එන්න හිතුවේ මගේ දරුවා වෙනුවෙන් විතරක් නෙමෙයි මේ ලංකාවෙම ජීවත්වෙන ගෑණු දරුවෝ වෙනුවෙන්…

මෙන්න මේ ටික හොඳින් මතකෙ තියාගෙන මීඩියා වලට කියන්න. අනිවාර්‍යයෙන්ම හෙට වෙද්දි හැම කාන්තාවක්ම අමායාගේ පැත්තේ හිට ගන්නවා.”

අමායාගේ මවත් පියාත් හිස වැඩුවේ ඔහුට එකඟවය. 

“යකෝ මෙහෙමත් ප්ලෑන් ගහනවද..මේක මාර සප්‍රයිස් එකක් එකක්නෙ බං.”

“උඹ දන්නවද මේ දවස් ටිකේම සේනකගේ ගෙදර මීඩියා වල අයට පාටි. සේනක හැම තිස්සෙම කියන්නේ එයා මහ මොළකාරයෙක් කියලා. හැබැයි මිනිහට මතක නෑ මේවට අකමැති පිරිසකුත් ඉන්නවා කියලා. දේශපාලන පක්ෂ කෙසේ වේවා මේ ඉන්නේ සේනකට විරුද්ධ පැත්ත හිට ගන්න අය. මේ ඇති..අමායගෙන් ප්‍රශ්න කරන්න දෙන්න අවශ්‍ය නෑ.”

“දැන් උඹ අමායා වෙනුවෙන් කරන්න හිතන් ඉන්න දේවල් එයාට කිව්වද.”

“තවම නෑ…අශේනි මට වැඩේ කන්ෆර්ම් කරේ ඊයේ හවස බං. එයාගේ හස්බන්ඩ්ගේ  කම්පැනි එකේ වේකන්සි ඕන තරම් තියෙනවලු. නිව්සීලන්ඩ් කියන්නේ කෙනෙකුට ලේසියෙන් යන්න පුළුවන් රටක්වත් ගිහිල්ලාලා ස්ටැබ්ලිශ් වෙන්න ලේසි රටක්වත් නෙමෙයි. මේ වෙලාවේ අශේනි කරන මේ උදව්ව මට මාර වටිනවා බං. මොකද ඒ කම්පැනි එක අමායට ස්පොන්සර් කරන්න කැමතියි. ඒක මාරම චාන්ස් එකක් සමහර වෙලාවට අමයාගේ වාසනාව  වෙන්න ඇති. එහෙම අවුරුදු හතරක් පහක් ඉඳලා එද්දි, මිනිස්සුන්ට මේ දේවල් මතක නෑ. එතනින් එහාට අමාය තීරණය කරන්න ඕනේ එයාගේ ජීවිතය හදාගන්න ක්‍රමය ගැන. එතකොට අර අම්මටයි තාත්තටයි අනිත් දරුවෝ දෙන්නව තමන්ගේ ළඟට අරගෙන ජීවත් වෙන්න පුළුවන්. මේ මං කලයුතු දෙයක් නෙමෙයි. ඒත් මගේ හිත වද දෙනවා යම් තැනක මමත් අමායාගේ ඉන්සිඩන්ට් එක පාවිච්චි කරනවද කියලා”

“ඒ කිව්වේ..”

“සේනක වගේ දේශපාලනය ඉස්සර කරගෙන මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන උන්ට  දඬුවමක් දෙන්න ඕනේ කියන උවමනාව මට තදින්ම තියෙනවා. ඒකට අමායව යූස් වෙනවද මන්දා බං. ඒ නිසාම මට ඕනේ අමායාට හරි පාර පෙන්නන්න”

තීක්ෂණ හිස වැනුවේ මිතුරාට එකඟවය. අෂානි යනු ඔවුන් හා නීති පීඨයේ උගත් අයෙකි. ඇය විවාහ වූයේ නිව්සීලන්ඩ්  ජාතිකයෙකු සමගය. වර්තමානයේ අෂානි එහි විශ්ව විද්‍යාලයක ආචාර්යවරියකව සිටී. සැබවින්ම මේ අමායාගේ වාසනාවක් බව තීක්ෂණ පවා විශ්වාස කළේය. 

දෙවරක් තුන්වරක්ම අපූර්වා නිවසට පැමිණ යන්නයැයි  ඇරයුම් කලත් යුගාෂ් ඒ ඇරයුම ප්‍රතික්ෂේප කලේ කාරුණිකවය. අම්මා පිටව ගිය පසුව හෝ තරුණයාට එහි යාමට හැකියාවක් වූයේ නැත. කොන්ත්‍රාත් භාරදී ඇති පෙදරේරුවන් යුගාෂ් හොඳින් දන්නා හඳුනන අයයි. සිතට වදයක්  වුවත් තවදුරටත් මේ රහස ඇය වෙනුවෙන් රකින්නට ඔහු සිතා සිටියේය.  අපූර්වා ගැනත් ඔහුගේ සිතෙහි වූයේ සැලසුමකි. 

“මචං මට ගමනක් යන්න තියෙනවා උඹ හවස ප්‍රී ද…”

යුගාෂ් තීක්ෂණගෙන්  ඇසුවේ දිවා ආහාරය ගනිමින් සිටියදීය. ඒ අතරේම අපූර්වාට කතා කරමින් ඒ සිදුවන වැඩ කටයුත්ත පිළිබඳව වගතුග අසන්නට යුගාෂ් අමතක කළේ නැත. යුවතිය සිටින්නේ සතුටින්ය. ඔහුට අවැසි වූයේත් මේ සතුට ඇයට ලබාදෙන්නටය. 

“කොහෙද…”

“ප්‍රශ්න කරන්නෙ නැතුව වරෙන් කෝ..”

“තෝ එක්ක ගිහිල්ලා කොයි වෙලාවක හරි මටත් වෙඩි නොවැදුනොත් ඇති.”

“බූරුවා වගේ ගිහින් අම්මා ලඟදි කියහං පුළුවන්නම් ඕක..”

තීක්ෂණගේ දුරකථනය නාද වූයේ පංචාලිගේ අංකය සටහන් කරමින්ය.

‘මචං පංචාලි’ යනුවෙන් ඔහු තමා අත වූ ජංගම දුරකථනය මිතුරා වෙත දිගු කළේය.

“කතා කරහං  මට නෙමෙයිනේ ගත්තේ උඹටනේ..

තීක්ෂණය දුරකථනය කන තබාගත්තේ යුගාෂ්  එසේ පැවසුවාට පසුවය. විනාඩි දහයක් පමණ පැවති දුරකථන සංවාදය තුළදී මිතුරාගේ දෑස් විමතියෙන් විසල් වන අයුරුත්, කෝප ගන්නා අයුරුත්, වරෙක සිනහවකින් විකසිත වන අයුරුත් යුගාෂ්  බලාගෙනය. ඒ කතා කරන්නේ තමා ගැන වග විශ්වාසය.  ඔහු උන්නේ සිය ජංගම දුරකථනය මත ඇඟිලි තුඩු දුවවමින් අපූර්වා එවූ සේයා රූ   විසල් කර බලමින්ය. ඒ බොහෝ තැන්වල අම්මාත් ඇයත් එක්ව සිටින අයුරු යුගාෂ් නිරීක්ෂණය කළේ සතුටින්ය. ඔහු සැමදාමත් ප්‍රිය කලේ  නිදහස් නිවහල් මනසකින් ජීවත් වන්නටය. එවන් පරිසරයත් තවදුරටත් තම නිවස තුළ නිර්මාණය කිරීමට හැකියාව ඇත්තේ අපූර්වාවන් යුවතියකට පමණකැයි  ඔහු දැඩිව විශ්වාස කළේය. අම්මාටත් ලේලියක නොවී යෙහෙළියක, දුවක වන අයෙකු ඔහු කලක් තිස්සේම සෙව්වේත් එනිසාය. අපූර්වා පිළිබඳව තමාරාගේ සිතෙහි වැඩි ඉඩක් වෙන්ව ඇති බව යුගාෂ් තේරුම් ගත්තේ වරින් වර ඒ මුවින් පිටවන වදන් නිසාය. 

“අංකල් වෙඩි කාපු ඌරා වගේලු බං. ඔෆිස් එකේ ඔක්කොටම බලු බැනුම් බනිනවලු. සේනකයි, දයාලුයි සෑහෙන වෙලාවක් ඔෆිස් රූම් එකට වෙලා හිටියලු. දයාල්ටත් කෑ ගැහුවලු ‘තමුසෙ පිස්සෙක් නේ ඕයි’ කියල. පංචාලි කියන්නේ අංකල්ට මේ නඩුව දිනන්න බෑ කියලා ඔෆිස් එකේ අයත් කතා වෙනවලු. සේනකල ගියපු වෙලේ ඉඳලා ඔෆිස් එකේ දොරත් ලොක් කරගෙන අංකල් රූම් එක ඇතුලට වෙලා ඉන්නවලු. පංචාලි කියන්නේ කීයටවත් දැන් නං යුගාෂ්ට දිනන්න ඉඩ තියන එකක් නෑ කියලා. ලෝකෙ කනපිට පෙරළලා හරි අංකල් මේ නඩුවට පක්ෂව තියෙන එවිඩන්ස්  නැතිකරයිලු.” 

“අපි බලාගෙන ඉමු බං..”

“ඒ උනාට උඹ නිකන් තරහකාරයෙක් ඇති කරගත්තද කියලා මට හිතෙනවා. අංකල් උඹවයි, අම්මවයි ඒ වගේ අතෑරලා  ගියපු එක වැරදියි. ඒ උනාට මෙච්චර කාලෙකට අංකල් උඹට විරුද්ධ වෙනවා මං දැකල නෑ.”

“අප්පච්ච්ටයි  මටයි හැප්පෙන්න තැනක් තිබුනෙ නෑනේ බං.”

“ඒක තමයි මමත් මේ කියන්නෙ. අංකල්ට තියෙන බලයයි සේනකට තියෙන බලයයි එකතු උනාට පස්සේ උඹේ ජීවිතයට වුණත් තර්ජනයක් තියනවා  කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ බං. මට හිතෙනවා බං පංචාලි උනත් නොකියා කිව්වේ ඒ ටික කියලා. ඒකි  කිව්වා මට උඹව  විනාඩියකටවත්  තනි කරන්න එපා කියලා. ඒක ප්‍රායෝගිකව උඹටයි මටයි දෙන්නටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි නේ. මං දන්නෙ නෑ බං මට තේරෙන්නෙ නෑ. ඉස්සර වෙලා උඹ උඹේ ජීවිතය ගැන හිතපන්. සේනක කියන්නේ වැල්ලේ ජීවත් වෙන කාලෙවත් හොඳින් ජීවත් වෙච්ච මිනිහෙක් නෙමෙයි කියලා අපි දන්නවනේ.”

“අපි හැමෝම එහෙම හිතුවොත් බං අහිංසක මනුස්සයෙකුට කවදාවත් තමන්ගේ ජීවිතේ ගැන ආඩම්බර වෙන්න අවස්ථාවක් නැතිවෙයි. සේනකලා වගේ අපරාධකාරයෝ දහස් ගානක් බිහිවෙයි. කවද හරි දවසක උඹේ  මගේ ගෑණුන්ට,  ළමයින්ට පාරේ බැහැලා යන්න ඉඩක් නැතිවෙයි. උඹට මං කලිනුත් කිව්වා මං මේ වැඩේ බාරගත්තේ අප්පච්චි මෙතන ඉන්නවා කියලා නොදැන. හැබැයි අප්පච්චි අසාධාරණය වෙනුවෙන් පෙනී හිටිනවා කියලා දැනත්ත වෙලාවේ තමයි බං මං තීරණය කලේ මං කීයටවත් මේ නඩුව අතාරින්නෙ නෑ කියලා. සමහරවිට පංචාලි කියන විදිහට අප්පච්චි මොනවහරි පෙරළියක් කරලා මේ නඩුවෙන් දිනයි. හැබැයි මට සතුටක් තියෙයි මං සාධාරණය වෙනුවෙන් පෙනී හිටියා කියලා.”

යුගාෂ් නැගී සිටියේ එසේ පවසමින්ය. ඒ අනුව තීක්‍ෂණත් ඔහු පසුපස පැමිණියේය. අඩ හෝරාවකට පමණ පසු ඔහුගේ විසෙල් වර්ගයේ ජීප් රථය නතර වූයේ බේරුවලින් ඇතුලට හැරී ගොස් රේල් පාර පසු කලාට පසුව කුඩා කඳු මුදුනක වූ නිවසක් අසලය. තීක්ෂණ යමක් අසන්නට කට හදද්දීම යුගාෂ් පසුපස වූ ලිපිගොනුවක් ඇතැතිව වාහනයෙන් බැස්සේ මිතුරාටත් පැමිණෙන්න යයි හස්ත මුද්‍රාවෙන් පවසමින්ය.

( හෙටත් හමු වෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here