නවාතැනක්

නුගේගොඩේ ඒ පොඩි ඇනෙක්ස් එකට විනු මුලින්ම ආවේ හෙමින් හෙමින් වැහි පොද වැටෙන වෙලාවක.

ඒක බෝගන්විලා පඳුරු වලින් වැහිලා තිබුණු, නිස්කලංක පාරක කෙළවරේ තිබුණ ලා කහ පාට ගෙයක්. ගේට්ටුවේ හරිම ලස්සන පිළිවෙල අකුරෙන් ලියලා තිබුණු බෝඩ් එකේ තිබුණේ:

“කුලියට දීමට – නිස්කලංක ගැහැණු ළමයින්ට පමණයි.” කියලා.

ඒක මහ වෙනස් විදියක දැන්වීමක් උනත් බෝඩ් එකෙන් ගේ දිහාවට හුවමාරු කරගත්ත බැල්ම විනූට ඉඩ දුන්නේ නෑ ඒ අමුත්තට හිත අස්සෙ ඔඩු දුවන්න. ඒ ගේ චිත්‍රයක් වගේ. හරියට තමන්ට “එන්න එන්න විනූ එන්න එන්න” කියලා ආරාධනා කරනවා වගේ තමයි විනූ ඒ ගේ දැක්කෙ.

විනූට අවුරුදු විසි හයයි.එයා වැඩ කරේ Book Publishing Company එකක.එයා රස්සාවට තමයි කොළඹ ආවේ. එයා සීනුව නාද කලේ සැකෙන් සැකෙන් වගේ උනාට ගේට්ටුව හෙමින් ඇරගෙන, එළියට ආව අවුරුදු හැටක වගේ පෙනුමක් තියෙන, ආදරණීය පෙනුමක් තියෙන ආන්ටි කෙනෙක් කියලා දැක්කම විනූගෙ ඒ හිතේ තිබ්බ බය සැක නැති බංගස්තාන උනා.ැඒ ආන්ටි ඇඳන් උන්නේ කපු සාරියක්. කොණ්ඩෙ තදට බන් එකක් බැඳලා උන්නට ලිහිල් වෙච්ච කෙස් ගස් දෙක තුනක් කණ දෙපැත්තෙන් එළියට පැනලා තිබ්බා. අපි කියන්නෙ අර cute ආච්චි ලා කියලා. අන්න ඒ වගේ හෙන cute look එකක් තමා මේ ආන්ටිට තිබ්බේ.

“මගේ පුතේ… ඔයා හරී ලස්සනයිනෙ. එන්න එන්න. මම හිල්ඩා ඇන්ටි. ඔයා විනු නේද?” කියලා ඒ ආන්ටි අහද්දි විනු අපහසුවෙන් හිනා වෙලා ඔළුව වැනුවා. ඒ ආන්ටි “හරී” කියලා “ඊ” අකුරු ගොඩාක් එන විදියට කියද්දි මොකක් හරි ඒ cute බව අස්සෙ හැංගිච්ච අමනුස්ස විලාසයක් තියෙනවා කියල මතක් වෙද්දි අනිත් අතට විනූට මතක් උනේ අර ශර්ලොක් හෝම්ස් පොත්වල උන්න අමුතු නවාතැනක් කරන ගෑනිගෙ කතාව. ඒ ගෑනිගෙ නම මේ වෙලාවෙ මතක් නොතිබ්බට කතාව විනූට මතක තිබ්බා. මේ වගේම ලස්සන ගෙයක්ලුනෙ ඒකෙත් තිබ්බේ. ඒත් ආන්ටිගෙ කටහඬේ තිබුණු උණුසුම විනුට එයාගෙ අම්මව මතක් කළා. ඒ ආදරණීය හැඟීම නිසාම විනු ඒ ඇනෙක්ස් එකේ නවතින්න තීරණය කළා. ඒ පොඩි ඇනෙක්ස් එක හරිම පිරිසිදුයි. උඩ තට්ටුවෙ තියෙන ඇනෙක්ස් එකට යන්න කලින් පහළ තමන්ගෙ ගෙදරට ඇවිත් තේ එකක් බොන්න කියලා හිල්ඩා ආන්ටි කිව්වා.

ආන්ටි හදලා තිබ්බේ ඉඟුරු දාපු කහට තේ. ඒ බොන ගමන් කන්න සුපිරි රස වඩේ වගේකුත් ආන්ටි බැදලා තිබ්බා.

“දූගෙ ගෙවල් නුවර කිව්වා නේද?” කියලා ආන්ටි අහද්දි විනූ ඒකට දුන්නෙ ඕනවටත් වඩා දිග උත්තරයක්.

ඇත්තටම තමන් එච්චර පොඩි ප්‍රශ්නෙකට අච්චර දිග උත්තරයක් දුන්නෙ ඇයිද කියල එදා නිදියන්න ගිහිල්ලත් විනූ කල්පනා කරා.

“ඔව් ආන්ටි ගෙදරින් එළියේ ඉන්නෙ මේ පළවෙනි වතාවට. ඇත්තටම ටිකක් බයයි.”

“බය වෙන්න එපා දුවේ. මෙහෙ ඔයාට තනියක් දැනෙන්න මං ඉඩක් තියන්නෙ නෑ. ඔයාට මොනවා හරි ඕන නම්, මොනාම හරි, සීනි ටිකක්, කුඩයක්, නැත්නම් ප්‍රශ්නයක් වෙලා ඒක කියන්න කෙනෙක් ඕන නම් දොරට තට්ටු කරන්න.”

විනු හිනා වුණා. හරියට හා කියන්න වගේ. හිල්ඩා ආන්ටිගෙ ඇස්වල තිබ්බ දුකක් වගේ හැඟීමක් ඒ වචන අස්සෙන් එබිලා බැලුවත්, විනු ඒ ගැන අහන්න ගියේ නෑ. ඊළඟ සති කීපයේ, විනු රෑට ගෙදර එනකොට එයාගේ කාමරේ දොර ළඟ තියෙන පුටුව උඩ රස්නේ කෑම එකක් තියලා තිබුණා.

“ආන්ටි අනේ ඔයා මට හැමදාම කෑම උයන්න ඕන නෑ! ආන්ටිට කොච්චර කරදරද?.”

“කාටහරි උයලා දෙද්දි තමයි දූ මට ජීවත් වෙනවා වගේ දැනෙනවා. මගේ දුවත් පොළොස් ඇඹුලට හරිම ආසයි. මං ඒකයි අද මේ පොළොස් ඇඹූලයි පරිප්පුයි පොල් සම්බෝලයි එක්ක ඉඳි ආප්ප එව්වෙ”

ඒක තමයි හිල්ඩා ආන්ටි එයාගෙ දුව ගැන කතා කරපු පළවෙනි වතාව. ටිකෙන් ටික එයා එයාගෙ දුව ගැන තව තව දේවල් කිව්වා. දූ කොච්චර ශක්තිමත්ද, දක්ෂද, හැබැයි “වැරදි මිනිස්සුන්ව විස්වාස කළා” කියලා.

කොළඹ ඇවිත් මාස කීපයක් යද්දි විනුට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක්ව හම්බුනා.

එයාගෙ නම නුවන්. විනූට නුවන්ව සෙට් වුනේ වැඩ කරන තැනදී. නුවන් ලේඛකයෙක්. හෙනම radical මත දරන, අපි අර බකපණ්ඩිතයි කියන type එකේ ඒත් කතාකරද්දි හිත ඇදිලා යන, මාරම matured කියලා පෙන්නන, බෙංගාලි ලේඛකයෙක්ව සිහි කරන විදියෙ අමු රෙදි කලිසම්, කමිස අඳින, කොන්ඩෙ බැඳපු අඩි හයක් විතර උස පොරක්. ආදරේ කොහොමත් රහ හොරෙන් කන තරමට කියල හිතිච්ච හින්දද මන්දා මේ ගැන “අම්මා කෙනෙක් වගේ උන්න” හිල්ඩා ආන්ටිට කියන්න විනු බය වුණා.

එක වැස්ස දවසක, dinner out එකකට ගිහින් එන ගමන් නුවන් විනුව බෝඩිම ළඟින් ඇරලෙව්වා. කාරෙකෙන් බැහැලා යන්න කළින් නුවන් විනූට පොඩි hug එකක් දුන්නා. කවුරුහරි බලන් ඉන්නවද කියල බලන්න විනු හැරිලා බලනකොටම ගෙදර සාලේ ලයිට් එක එකපාරටම ඕෆ් වුණා.

ඊළඟ දවසේ, එදා weekend එකක් උදේ නැගිටලා දොර අරිද්දි හරිනම් දර ළඟ පුටුව උඩ තියෙන්න ඕන කඩල, බිත්තර, ටෝස්ට් කරපු පාන් එහෙම මුකුත් දොර ලඟ තිබ්බෙ නෑ.

ආන්ටි මොකක් හරි අවුලකින් කියලා හිතිච්ච හන්දමයි විනූ ගිහින් හිල්ඩාට කතා කරේ.

“ආන්ටි? අසනීපෙන්ද එහෙම නැත්තම් මාත් එක්ක අමනාපෙකින්ද?”

“දුවේ… මට එක දෙයයි කියන්න ඕන. පිරිමි ළමයි මෙහෙට එක්කරගෙන එන්න එපා. ගේට්ටුව කිට්ටුවටවත් එපා. කතාවටත් යන්න එපා.”

“මං ඇත්තටම ආන්ටිට කියන්න හිටියෙ එයා ගැන. ඒත් සොරි මං ඒක මෙච්චර පරක්කු කරාට. එයා මගෙ boy friend ආන්ටි. අපි තාම ගෙවල් වලට කිව්වෙ නෑ. ඉක්මනට කියන්න ඉන්නෙ. ඒකයි මම ආන්ටිට කිව්වෙත් නැත්තෙ. අනේ එයා ගේ ඇතුලට ආවෙ නෑ ආන්ටි. මාව drop කරලා යන්න ආවෙ”

” මගෙ දුවත් ඕකමයි කිව්වේ. මුලින් එයාලා ගෙදරට ඇරලවනවා, ඊට පස්සේ තේ බොන්න එන්න අහනවා. ඊට පස්සේ දවසක… එයාලා කවදාවත් කොච්චර බලන් උන්නත් ආපහු එයාලා එන්නෙ නෑ. දුක විතරයි ඉතුරු වෙන්නේ.”

විනුට හිතට හරිම අමාරු උනේ ආන්ටි ඒක ඇස් දෙකේ කඳුලු පුරවන් කිව්ව හන්දා. සමහරවිට ආන්ටිගෙ හිතට මහ දුකක් දීලා ආන්ටිගෙ දූ කොල්ලෙක් එක්ක පැනලා යන්න ඇති. විනූ එහෙම හිතලා සමාව ඉල්ලලා ආයෙත් එහෙම වෙන්නේ නෑ කියලා පොරොන්දු වුණා. හැබැයි එතනින් පස්සෙ හිල්ඩා ආන්ටි වෙනස් වුණා කියන එක විනූට නොදැනුනා නෙවෙයි.මෙච්චර දවසක් උන්න උණුසුම් මනුස්සයා වෙනුවට හිල්ඩා ආන්ටි සීතල මනුස්සයෙක් උනා. සතියකට දෙකකට විතර පස්සෙ ආයෙ back to normal වෙච්ච බව ඇත්ත. ඒත් මොකක් හරි වෙනසක් තිබුණා.

එහෙම කාලෙ ගිහිල්ලා දවසක් හිල්ඩා ආන්ටි විනුට තෑගි දෙන්න පටන් ගත්තා. මුලින්ම දුන්නෙ සාරියක්. පස්සෙ සාරානාත් බුදු රූපයක් තිබුණු ‍ෆ්‍රේම් කරපු ෆොටෝ එකක්. කොණ්ඩෙට ගහන කට්ටක් වගේ එකිනෙකට ගැලපෙන්නෙ නැති තෑගි කෑම පිඟන් එක්ක පුටුව උඩ තියන්න හිල්ඩා ආන්ටි පටන් ගත්තා

“මේවා මගේ දුව හරියට ආස වෙච්ච දේවල්. ඒකයි මං දූට මේවා දෙන්න හිතුවෙ. ඔයාටත් මේව ගැලපෙනවා. එයාගෙ හිනාවමයි පුතේ ඔයාට තියෙන්නෙ. හරී ලස්සනයි” කියලා කියද්දි ආපහු වතාවක් අර “හරී” කියන වචනෙ අස්සෙ “ඊ” අකුරු මහ ගොඩක් තියෙනවා විනූට දැණුනා. ඒත් මේ හැමදෙයක් අස්සෙම, මේක මහ අමුතු obsession එකක් විකාරයක් කියලා විනූට හිතෙන්න පටන් ගත්තා. ඒ හැඟීම තමයි විනුගේ හිතේ නොසන්සුන්කම වැඩි කලේ. හිල්ඩා ආන්ටිට හොරෙන් තමයි එයා වෙන තැනක් හොයන්න පටන් ගත්තෙ නවතින්න.

එක හවසක, වැඩ ඇරිලා එද්දි විනූව හන්දිය ළඟදි නවත්තගත්තෙ ලස්සන කෙල්ලෙක්. කාගෙන්හරි මූණ හංගගන්න වගේ ඔලුවෙ ස්කාෆ් එකක් බැඳන් උන්නට ඒ ස්කාෆ් එක අස්සෙන් දැක්ක මූණෙ එයාගෙයි තමන්ගෙයි මොකක් හරි සමානකමක් තියෙන විත්තිය තේරුණත් ඒ මොකද්ද කියලා identify කරගන්න විනූට ඒ වෙලාවෙ පුලුවන් උනේ නෑ. ඒ ගෑණු ළමයා විනූගෙන් ඇහුවෙ එක දෙයයි.

එයා මේ ළඟ සැලොන් එකක් කරන කෙල්ලෙක්. නම රෝෂිණි කියලා කිව්වෙත් එයමයි.

“ඔයා නතර වෙලා ඉන්නෙ හිල්ඩාගෙ ගෙදර බෝඩිමේද?”

“ඔව් ඔයා දන්නෙ කොහොමද?”

“ඔයාටත් එයා ඔයා එයාගෙ දුව වගේ කියලා කිව්වද?” කියලා රෝෂිණී අහද්දි විනූගෙ කටින් එකපාර පැන්නෙ “ඔයා කොහොමද ඒක දන්නෙ?” කියන වචන.

“මං දන්නෙද? මං දන්නෙ එයා මටත් ඒක කිව්ව හන්දා.

එයා ඔයාට උයලා දෙනවද? කඩල, වඩේ අරව මේව දූ කන්න ආසයි කියලා? ඊටපස්සෙ ටික ටික ඔයාගෙ අම්මා වෙන්න හදනවා නේද? කරුණාකරලා ඔයා ඔතනින් වහාම වෙන තැනකට යන්න.ඔතන පරිස්සම් තැනක් නෙවෙයි” කියලා ඒ ළමයා හෙන කලබලෙන් වගේ වටපිට බල බල එතනින් මාරු වෙන්න හදද්දි විනූට අහන්න තව ප්‍රශ්නයක් තිබ්බා.

“ඇයි එහෙම කිව්වේ?”

“එයාට කවදාවත් දුවෙක් හිටියෙ නෑ. දුවෙක් කවදාවත් හිටියේ නෑ.”

“මොකක්ද?”

“ඔයාට එයාව දාලා යන්න අමාරු වෙයි. ඒත් මං කියන දේ විශ්වාස කරන්න ඔයා තව කාලයක් මෙහෙ හිටියොත්, ඔයාට ටිකෙන් ටික ඔයාව නැති වෙලා යනවා වගේ තේරෙයි. මොකද මටත් මාවම අමතක වෙන්න ගියා.”

ඒ රෑ, විනු කාමරේ වාඩි වෙලා, හිල්ඩා ආන්ටි දුන්න සාරිය අල්ල අල්ල කල්පනා කරා. එයාට නින්ද ගියේ නෑ. ඇත්තටම කිව්වොත් නිදාගන්න විනූට බය හිතුනා. ඊළඟ දවසේ උදේ, ඉර උදාවෙන්න කලින් එයා තමන්ගෙ බෑග් ටික ලෑස්ති කරගත්තා.

බෑග් ඔක්කොම අරගෙන විනූ පඩිපෙල බැහැන් එනවා හිල්ඩා ආන්ටි කුස්සියෙ ඉඳන් බලාගෙන හිටියා.

“දුව, මෙච්චර ඉක්මනට යනවාද? අද උදේ කෑම කන්නේ නැද්ද?”

“මට රස්සාවට ළඟින් නතරවෙන්න තැනක් හම්බ වුණා ආන්ටි”

“ආ. අනිත් හැමෝම වගේ දූත් යනවද? මං හැමදේම දෙනවා, එයාලා යනවා. දුවලා කරන්නේ ඕක තමයි නේද?”

“ආන්ටි… ඔයාට ඇත්තටම දුවෙක් නෑ නේද?” කියලා විනූ හින් සැරේ අහද්දි හිල්ඩා ආන්ටි හිනා වුණා. ඒක මහ හීතල හිනාවක්.

“ඒක තමයි එයාලා හැමෝම කියන්නේ. හැබැයි එයාලා හැමෝම මගේ. හැමෝම. එයාලා මගේ හිත ආයෙ ආයෙ කඬලා බිඳල දාලා යනකල්. ඒත් මං මගේ බලාපොරොත්තු අතාරින්නේ නෑ. මං අලුත් බලාපොරොත්තුවක් හොයාගන්නවා. මං අලුත් දුවෙක් හොයාගන්නවා” කියලා හිල්ඩා ආන්ටි කියද්දි විනූ බෑග් එක අරගෙන ගියේ ආපහු හැරිලවත් බලන්නෙ නැතුව.

අවුරුදු ගාණකට පස්සේ, අලූත් බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක විනු නුගේගොඩ පැත්තෙන් යද්දි, නිකමට වගේ හිල්ඩා ආන්ටිගෙ ගේ පැත්තෙන් යද්දි පුරුදු, ඒත් අලුත් දැන්වීමක් දැක්කා:

“කුලියට දීමට – නිස්කලංක ගැහැණු ළමයින්ට පමණයි.”

පොඩි කෙල්ලෙක් ගේට්ටුව ලඟ උන්නෙ අතේ බෑග් එල්ලගෙන. හිල්ඩා ආන්ටි හරිම උණුසුම් විදියට හිනාවෙලා එයාව පිළිගන්නවා විනූ දැක්කා.

“මගේ පුතේ… ඔයා හරී ලස්සනයිනෙ. එන්න එන්න. මම හිල්ඩා ඇන්ටි” කියල “ඊ” අකුරු ගොඩක් තියෙන “හරී” වචනයක් එක්ක ඒ ගෑණු ලමයව ආන්ටි පිළිගන්නවා ඇති කියලා විනූට මතක් වුනා.

එයාගේ ඇස්වල තිබ්බ ආදරය, කරුණාව, බලාපොරොත්තුව සහ… ලොකු දුකක් කියන එක විනූට ආයෙ මතක් වුණා.

විනුට වගේම ඒ අලුත් ගෑනු ළමයටත්, හිල්ඩා ආන්ටිගේ කටහඬේ තිබ්බෙ එයාගේ අම්මගේ කටහඬ කියන එක මතක් කරලා දෙන ගමන්ම ඒ උණුසුම නිසාම එයා එතන නවතින්න තීරණය කළා.

“මට තිබ්බ ඊට වඩා හොඳ විදියකට හිල්ඩා ආන්ටිව සමුදෙන්න” කියලා විනූ එතන පාස් කරන් යන ගමන් ආයෙ වතාවක් හිතට කියාගත්තා.

“දූලා එන්නෙ යන්න බලාගෙන.ඒත් අම්මලට කවදද පුළුවන් උනේ දූලව හිතෙන් අතාරින්න” කියලා විනූ ෆේස් බුක් එකේ තැනක ලියලා තිබ්බා.

More Stories

Don't Miss


Latest Articles