The silent neighbor

සිතාරා උදේ පාන්දරම අවුරුදු හතරක් වයසැති තමන්ගේ පුංචි පුතාව අතින් අල්ලගෙන නිවාස සංකීර්ණයේ පඩිපෙළ බැහැගෙන පල්ලෙහාට ආවේ පුංචි පුතාව පෙර පාසලට ඇරලවන්න යන්න හිතා ගෙන. ඒ වෙලාවේ තමයි සිතාරා දැක්කේ නිවාස සංකීර්ණයට ඇතුළු වෙන තැන කිහිප දෙනෙක් ලොරියකින් ගෘහ භාණ්ඩ බිමට  බාන ආකාරය. ඉතාම නිස්කලංක පරිසරයක පිහිටලා තිබුන මේ නිවාස සංකීර්ණයට වරින් වර අලුත් අය පදිංචියට එන එක ඉතාම සාමාන්‍ය දර්ශනයක්. ටිකක් උනන්දුවෙන් බලනකොටයි සිතාරා දැක්කේ රූමත් තරුණ කාන්තාවක් ගෘහ භාණ්ඩ ඉහළ මාලයට ගෙනියන සේවකයන්ට උපදෙස් දෙනවා කියලා.  

” හායි, ඔයාද ෆ්ලැට් එකට අලුතෙන් ආවේ ? ” 

සිතාරා ඇහුවේ පුංචි පුතාවත් අතින් අල්ල ගෙන ඒ කාන්තාව ළඟට යන ගමන්. 

” ඔව් ” 

කාන්තාව පිළිතුරු දුන්නා. ඒත් මොකක්දෝ ගුප්ත බවක් ඇගේ මුහුණ හැංගිලා තියෙනවා කියලා සිතාරා ට හිතුනා.

” මම සිතාරා. දෙවනි තට්ටුවෙ ඉන්නෙ ” 

සිතාරා උත්සාහ කළේ තව දුරටත් නිවාස සංකීර්ණයට අලුතෙන් ආපු සාමාජිකයාගේ විස්තර දැනගන්න. ගෙවල් තිහ හතළිහකින් සමන්විත වෙච්ච නිවාස සංකීර්ණයේ හැම පවුලක්ම එකිනෙකාව දැන අඳුනගෙන හිටියා වගේම හැමෝම ජීවත් උනෙත් එක පවුලක් විදිහට. ඒ නිසා හැමෝම එකිනෙකාගේ පෞද්ගලික තොරතුරු බොහොමයක් දැනගෙන හිටියා.

” මම මීරා ” 

එහෙම කියලා යන්තමට හිනා වෙච්ච මීරා සිතාරාට තවත් යමක් කියන්න ඉඩ නොතියා පඩි පෙළ දිගේ උඩට ගියා.ඒ නිසාම සිතාරාට පළවෙනි මොහොතේම මීරා ගැන දැනුනේ නොපහන් හැඟීමක්.

” මහා උද්දච්ච ගෑනියෙක්ද කොහෙද. අනිත් එක මං හිතන්නේ එයා විතරයි ඉන්නෙත්.කොහේ ඉඳලා ආපු එක්කෙනෙක් ද දන්නෑ ” 

සිතාරා පුංචි පුතාව පෙර පාසලට ඇරලවලා එන අතරේ පද්මිනීගේ ගෙදරට ගොඩ වෙලා මීරා ගැන කතා කරා.

” මං හිතන්නේ ඒ ගෑනු කෙනා ඉන්නේ තනියම තමයි . එහෙම මහ ලොකු බඩු ගොඩක් තිබුණෙත් නැහැ අදින්න ” 

පද්මිනිත් අඩු වැඩිය එකතු කරා.

නිවාස සංකීරණයේ එහා මෙහා යන අය මඟදි හම්බවෙන කා එක්කත් නතර වෙලා ආ ගිය තොරතුරු කතා කරලා එතනින් නතර නොවී ගෙදරට ගිහිල්ල තේ එකක් බීලා හරි යන්න පුරුදු වෙලා හිටියත් කවදාවත් මීරා එහෙම වුණේ නැහැ. මීරා ගෙදරින් එළියට බැස්සෙත් හරිම කලාතුරකින්. ගෙදරට ඕන කරන බඩු ටික පවා ගොඩක් වෙලාවට මීරා ඩිලිවරි සේවාවකින් ගෙන්න ගත්තා මිසක් ඇය ඉඳලා හිටලාවත් ළඟ තියෙන සුපිරි වෙළඳ සලටවත් යන බවක් කවුරුවත්ම දැක්කේ නැහැ.

කොටින්ම එහෙම ඉඳලා හිටලා එලියට එන වෙලාවකදී හරි මූණට කවුරුත් මුණ ගැහුණත් මීරා ඒ කා එක්කවත් වැඩිය කතාවකට ගියේ නැහැ. ඒ නිසාම ඇය ආවෙ කොහෙන්ද ,කරන්නේ මොනවද සහ තනියම ජීවත් වෙන හේතුව වත් කාටවත් හොයා ගන්න බැරි වුණා.

” මෙතන මොකක් හරි හොරයක් තියෙනවා අක්කේ ” 

සිතාරා පුරුද්දක් විදිහට පුංචි පුතාව පෙර පාසලට ඇරලවලා පද්මිනීගේ ගෙදරට ගොඩ වෙනවා. එහෙම වෙලාවක මීරා කියන්නේ සිතාරාගේ සහ පද්මිණීගේ අනිවාර්ය මාතෘකාවක්.

” ඒ ගෑණු කෙනා අපි කාත් එක්කවත් කතා කරන්නේ නැහැ කියමුකෝ. අඩුම ගානේ ඒ ගෙදරට කිසිම මනුස්සයෙක් යන්නේ එන්නෙවත් නැහැනේ? මේ ගැන නම් ටිකක් හොයලා බලන්න වෙයි. කවුද දන්නේ ගේ ඇතුලෙ ඉඳන් මොනව කරනවද කියලා ” 

කිසිම කෙනෙක්ව ආශ්‍රය කරන්නේ නැති , හරිම කලාතුරකින් ගෙදරින් එළියට එන මීරා ගැන නිවාස සංකීර්ණයේ හැමදාම කොතැනක හරි කතා උනා.හැමෝගෙම සැකය මීරා වෙත එල්ල වෙන්න ගියේ බොහොම ටික දවසයි. 

ඔය අතරේ එක දවසක නිවාස සංකීර්ණයේ පඩිපෙළ ළඟ සෙල්ලම් කරමින් හිටපු සිතාරාගේ පුංචි පුතා පඩි කිහිපයකින් පහළට ලිස්සලා වැටිලා නළල තුවාල කර ගත්තා.සිතාරාගේ විලාපය නිවාස සංකීර්ණයම දෙදරලා ඇහෙන කොට ඒ ආසන්නයේ හිටපු කිහිප දෙනෙක් වගේම මීරා ත් නිවසේ දොර ඇරගෙන දුවගෙන ආවා. හැමෝගෙම උපදේශය වුණේ හැකි ඉක්මනින් පුතාව රෝහලට අරගෙන යන්න කියන එක. තරමක් හුදෙකලා ප්‍රදේශයක පිහිටලා තිබුන නිවාස සංකීර්ණය අසල කුලී රථයක්වත් හොයාගන්න නැති වෙනකොට සිතාරා තව තවත් අසරණව හඬන්න පටන් ගත්තා.

” අපේ වාහනේ තියෙනවා. අද හස්බන්ඩ් වැඩට ගියේ ට්‍රාන්ස්පෝට් එකේ ” 

නිවාස සංකීර්ණයේම කෙනෙක් වෙච්ච ආශා කිව්වා. දහවල් කාලය නිසාත් බොහෝ දෙනෙක් රැකියා වලට ගිහින් තිබුන නිසාත් සිතාරා හිටියේ පුංචි පුතාව රෝහලට ගෙනියන්න කරකියා ගන්න දෙයක් නැතුව.

” වාහනේ යතුර දෙන්න.මට ඩ්‍රයිව් කරන්න පුළුවන් ” 

වට වෙලා හිටපු හැමෝවම පුදුමයට පත් කරමින් මීරා ඉස්සරහට ආවා. ගොඩක් දෙනෙක් ඇගේ කටහඬ ඇහුවෙත් ඒ වෙලාවෙයි. කොහොම හරි ආශා ගෙදරට දුවලා ගිහින් වාහනයේ යතුර ගෙනල්ල මීරා අතට දීලා වාහනය තියෙන තැනට මීරාව එක්ක ගෙන යනකොට පුංචි පුතාව වඩා ගත්ත සිතාරාත් ඒ පසු පසින් ආවා.

මීරා රියදුරු අසුනින් වාඩි වෙලා ලොකු හුස්මක් ගත්තා. වාහනය පණ ගන්වද්දී පුතාව තුරුළු කර ගත්ත සිතාරා වගේම පද්මිණිත් වාහනයට නැග්ගා. තත්පර කිහිපයක් යමක් කල්පනා කරමින් හිටපු මීරා පුළුවන් තරම් වේගයෙන් වාහනය පදව ගෙන ළඟම තිබුණ රෝහල වෙත ආවා.

පැයක් විතර ඇතුළත සිතාරා ගේ පුතාගෙ තුවාලයට බෙහෙත් දමලා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න රෝහලේ සේවකයන් කටයුතු කළා. ඒ තරම් ලොකු තුවාලයක් නොවුණ නිසා තවත් ටික වෙලාවකින් පුතාව ගෙදර අරගෙන එන්නත් සිතාරාට අවසර ලැබුණා. මේ හැම දෙයක්ම වෙනකන් මීරා රෝහල් කොරිඩෝවේ කොනකට වෙලා පුරුදු නිහඬ බවින් බලා ගෙන හිටියා.

එක පවුලක් වගේ ජීවත් වෙන නිවාස සංකීර්ණයේ අය වරින් වර පද්මිනීට වගේම සිතාරාටත් දුරකථන ඇමතුම් දීලා පුතාගේ තත්ත්වය ගැන හොයලා බලපු නිසා ඔවුන් නැවත නිවාස සංකීර්ණයට එනකන් හැමෝම වගේ බලාගෙන හිටියා.

වාහනය තිබුණු තැනම නතර කරපු මීරා ඒකෙන් බැහැලා බිම බලාගෙන ඇවිල්ලා ආශා අතට යතුර දුන්නේ යන්තමින් හිනාවෙන ගමන්. ඊට පස්සෙ ආයෙමත් සිතාරා වඩාගෙන හිටපු පුංචි පුතා දිහා බලලා පුරුදු සන්සුන් සහ නිහඬ බවින් තමන්ගේ නිවසට ගිහිල්ල දොර වහ ගත්තා. හැමෝම මුහුණින් මුහුණ බලා ගත්තේ පුදුමයෙන්.

” මාර මනුස්සයෙක් තමයි ” 

එහෙම කියපු පද්මිණී වගේම සිතාරාත් ගිහින් මීරා ගේ දොරට තට්ටු කරා.තප්පර කිහිපයක් ඇතුළත දොර විවෘත වෙද්දී කඳුළු පිරුණු දෑසින් මීරා දොර ඉස්සරහ හිටගෙන හිටියා.පද්මිණි සහ සිතාරා ගෙට ඇතුල් වුණේ බලෙන්ම වගේ.

සාලය පුරා බැල්මක් හෙලපු සිතාරාගේ වගේම පදිමිනීගේත් හදවත කඩාගෙන වැටුණේ එකම මොහොතක. සිතාරාගේ පුංචි පුතාගේ වයසේම දරුවෙකුත් එක්ක මීරාගෙයි ඇගේ ස්වාමිපුරුෂයාගේයි ඡායාරූප බොහෝමයක් සාලයේ තැනින් තැන එල්ලලා තිබුණා.ඒ වගේම තවත් එක තැනක මීරාගේ සැමියා සහ දරුවා විතරක් ඉන්න ඡායාරූපයක් සුදු පැහැති මල් මාලයකින් සරසලා තියෙනවා දැක්කම සිතාරාට කඳුළු නවත්ත ගන්න බැරි වුණා.

” අනේ මීරා ” 

සිතාරා පියවරට දෙකට මීරා ළඟට ගිහින් ඇයව වැළඳ ගත්තා.මෙච්චර කාලයක් නිහඬ ජීවිතයක් ගත කරපු මීරා මහා හඬින් හඬන්න පටන් ගත්තේ ඊට පස්සේ.

” හස්බන්ඩ් බබාව නර්සරි එකට දාන්න යනකොට වෙච්ච ඇක්සිඩන්ට් එකකින් ඒ දෙන්නම නැතිවුණා. දැන් අවුරුදු දෙකකට කලින්.ඒ දෙන්නත් එක්ක හිටපු ගෙදර ජීවත් වෙවී මට හිත හදාගන්න බැරිම තැන තමයි මගේ කියලා කාත් කවුරුත් නැති පලාතක පදිංචියට ආවේ ” 

මීරා කඳුළු අතරින් මිමිනුවා. පළවෙනි දවසේ ඉඳලම ඇයව විනිශ්චය කිරීම ගැන සිතාරාට සහ පද්මිණීට දැනුනේ පසුතැවිල්ලක්. 

” එදා මට හදිසි වැඩක් තිබුණ නිසයි මම ගෙදර නතර වුණේ.එහෙම නොවුනනම් මටත් ඒ දෙන්නා එක්කම යන්න තිබුණා. එදායින් පස්සේ මං කවදාවත් වාහනයක් ඩ්‍රයිව් කරේ නැහැ.ඒ දෙන්න නැති උනාට පස්සේ අද තමයි මම පළවෙනි වතාවට ඩ්‍රයිව් කරේ ” 

” අනේ ඔයාට අපි හැමෝම ඉන්නවා මීරා. ඔයා මෙහෙම තනියම ඉන්න ඕනේ නැහැ ” 

මීරාගේ අතින් අල්ලගත්ත පද්මිනිත් කිව්වා. ඊට පස්සේ නිවාස සංකීර්ණයේ හැම විශේෂ අවස්ථාවකටම වගේ මීරා ට ආරාධනා කරන්න කවුරුත් අමතක කරේ නැහැ. ඒ වගේම සිතාරාගේ පුංචි පුතා පවා පෙර පාසල නිම වෙලා ගෙදර ආව ගමන්ම මීරාගේ ගෙදරට යන එක පුරුද්දක් කර ගත්තා වගේම හැමෝම හැම වෙලාවකම මීරාව තනි නොකරන්න වග බලා ගත්තා.

” සෑම කෙනෙක්ම ඔබට නොපෙනෙන ,ඔබ නොදන්න අරගලයක සිටිනවා. ඒ නිසා කෙනෙක්ව විනිශ්චය කිරීමට, විවේචනය කිරීමට හෝ සැක කිරීමට පෙර කරුණාව දක්වන්න. ඇහුම්කන් දෙන්න ” 

More Stories

Don't Miss


Latest Articles