මේ කතාව කියන දවසෙත් මාතර නගරෙ කිසි වෙනසක් කියලා දෙයක් තිබ්බෙ නෑ.
මුහුදු රළ සද්දේ, වෙළෙන්දන්ගෙ සද්දෙ, මුහුදු හුළඟටත් වඩා වේගෙන් එහෙට මෙහෙට ගලාගෙන යන මිනිස්සු අතන මෙතන කතාකරන ඕපාදූප වල සද්දෙ එදත් සුපුරුදු විදියට පැතිරුණා. මේ හැමදේම අස්සේ කිසි වෙනසක් නැතුව මිනිස්සු සුපුරුදු වතාවතක් විදියට කරගෙන ගිය දේකුත් එහෙමම සිද්ද වුණා.
ඒ මිනිස්සු මාලනී ටීචර්ගේ ගේ ළඟින් යනකොට හැම වෙලාවෙම ටිකකට නැවතිච්ච එක.
මිනිස්සුන්ට එහෙම මාලිනී ටීචර්ලගෙ ගේ ළඟින් යද්දි මිනිස්සුන්ට නතර වෙන්න හේතුවක් තිබ්බා. හැබැයි ඒ ගේ මාලිනී ටීචගෙ ගෙදර ගාලා තිබ්බෙ ඒ පැත්තෙ තිබ්බ අනික් හැම ගෙදරකම ගාපු තීන්ත වලට වඩා වෙනස් කහ පාටක් හන්දා නිසා නෙවෙයි. ගේ ඉස්සරහා කිසි වෙනසක් නැතුව හැමදාම එකම ගාණකට වගේ මල් පිපිලා තියෙන අරලිය ගහ නිසාත් නෙවෙයි.
මිනිස්සු එහෙම කරපු එකම හේතුව ඒ ගෙදර තුන්වෙනි තට්ටුව. ඒක සොල්දරයක් වගේ. හැමෝම ඒක දැක්කා. ඒ තට්ටුවට තිබ්බෙ කුණාටුවකදීවත් සෙලවෙන්නේ නැති පරණ curtains දාලා තිබ්බ තනි ජනේලයක් විතරයි. මේ තුන්වෙනි තට්ටුව කියන්නේ මේ ගමේ උන්න, මාලිනී ටීචර්ලගෙ ගෙදර වැඩට ආව කිසිම කෙනෙක්ට යන්න පුලුවන්කමක් නොතිබ්බ fully restricted area එකක්.
මාලිනී ටීචර් තනියම ජීවත් වුණේ. හැමදාම ඇන්දෙ එකම විදියක සුදු සාරි. එයා ළඟින් ගිටපු හැම කෙනෙක්ම කිව්ව එක දෙයක් තිබ්බා “ඒ මනුස්සයගෙ ඇඟෙන් හැම තිස්සෙම පුදුම හඳුන්කූරු පුස්ඹක් එන්නෙ”.
ගමේ ගැනු මිනිස්සු සෑහෙන්න මාලිනී ටීචර්ට ගරු කරා. පිරිමි අයත් තනියෙන් ජීවත් වෙන ගෑනි කියලා අනං මනං සීන් වලට ගියේ නෑ. සිරාවටම සෑහෙන්න ගරු කරා.වැඩි නෙවෙයි කොහෙත්ම කතා බහක් නැති මාලිනී ටීචර්ගෙ නිස්සද්දෙට බය උනා. “මහ අමුතු ගෑනියෙක්” කියලා කිව්වට මොකෝ මිනිස්සු මූනට ඔය කිසිම දෙයක් කියන්න ගියේ නෑ මාලිනීගේ.
මාලිනී ටීචර්ට තනිකමක් දැනෙන වෙලාවට එයා තුන්වෙනි තට්ටුවට යනවා. ඒ කාමරේ ඇතුළේ තිබුණේ ලී පුටුවක්, මේසයක් සහ ඒ මේසෙ උඩ තිබ්බ එකම එක පොතක් විතරයි. කාමරේට යන හැම වතාවකම මාලිනී ඒ පොතේ කවියක් ලියනවා.
“හිනාවෙන්න බැරි තරමට කඳුලු බර වැඩියි
මට දරාගන්නට බැරි තරමට හිතට දුක වැඩියි
ඔබ ළඟ නොමැති හන්දාම පාලුවත් හරි බරයි
ආයෙ නොඑන බව දන්නා නිසාම මටත් හරි තනියි”
කවිය ලියලා ඉවර වුණාම එයා ඒක පොඩි කෑලි වලට ඉරලා ජනේලයෙන් එළියට දානවා. සුළඟ ඒ කවි කෑලි අරගෙන මුහුද දිහාට අරගෙන යනවා. ඒ එක්කම මාලිනී කාටවත් කියන්නෙ නැතුව හිත අස්සෙ හිරකරගෙන උන්න මොකක් හරි දුකක් ඒ එක්කම මූදට ගහගෙන යනවා.
මාලිනීගෙ ඒ කතාව ඇත්තටම පටන් ගත්තේ අවුරුදු 20 කට විතර කලින්.
එයා ගාල්ලේ හිටපු කාලේ. ඒ කාලෙත් මාලිනී ටීචර් කෙනෙක්. එයා කෙනෙක්ට සෑහෙන්න ආදරේ කලා. හැබැයි ඒ කෙනා මාලිනීට එක දේකින් ගැලපුනෙ නෑ. සල්ලි, වත්කම්, පෙනුම, කිසි දේකින් නෙවෙයි. වයසෙන්.
ඔව් වයසෙන්.
මොකද මාලිනී ආදරය කරපු අමිත් කියන්නෙ මාලිනීගෙන් ටියුශන් ගත්ත ළමේක්. ඒලෙවල් පංතිවල ළමේක්. සල්ලි උවමනා හන්දම මාලිනී ඉස්කෝලෙ වැඩ ඉවර උනාට පස්සෙ කීප දෙනෙක්ට ටියුශන් දුන්නා. අමිත්ව හම්බුනෙත් ඒ වගේ ටියුශන් දෙන්න ගිහිල්ලා.
මාලිනී කොච්චර අමිත් ලඟ පින්සේන්ඩු උනත් අමිත් මාලිනීට ආදරේ උනේ නෑ. මොකෝ අමිත්ට මාලිනීට ආදරේ කරන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ. හැබැයි ඒ වයස හන්දා නෙවෙයි.ඒ වෙද්දිත් අමිත් යශෝරාට ආදරේ කර හන්දා. යශෝරායි අමිතුයි එක වයසෙ. ඉස්කෝල දෙකක. පෙනුමෙන්ද හැම එකෙන්මද හොඳට ගැලපිච්ච ජෝඩුව.
“මාලිනී ටීචර් මගෙ පස්සෙන් එනවා” කියලා අමිත් කිව්වම යශෝරා විහිලුවට වගේ ඒත් කිව්වා “මාලිනී මගෙන් ඔයාව උදුරලා ගනීවිද දන්නෙ නෑ” කියලත්. එතකොට නම් අමිත් කිව්වෙ “එයා මාව මොන විදියට අයිති කරගන්න හැදුවත් එයාට මගෙ හිත කවදාවත් එයාගෙ කරගන්න බෑ” කියලා තමයි.
මාලිනී ටීචර්ට අමිත්ගෙ ආදරේ දිනාගන්න පුලුවන් උනාද? එහෙම උනානම් අමිත් – යශෝරා ආදර කතාවට මොකද උනේ කියන කිසිම දෙයක් කවුරුවත්ම දැනගෙන උන්නෙ නෑ.
කාලයක් ඔහොම ගෙවිලා ගියා. මාලිනී ටීචර්ගෙ ගෙදර උඩ තුන්වෙනි තට්ටුව හැමදාම එකම විදියට වහලා දාලා තිබ්බා. මාලිනී ටීචර්ගෙ ලඟින් අර අමුතු හඳුන්කූරු පුසුඹ ආවා. හැම සිකුරාදාවකම මාලිනී ටීචර් බඩු ගන්න ගෙයින් එලියට බැස්සා.
එක දවසක ඇරෙන්න.
මාලිනී ටීචර්ගේ මරණයෙන් පස්සේ මාතර නගරයේ පොලීසිය ගේ විමර්ශනය කරන්න ආවා.
ගේ ඇතුළේ කිසිම සොරකමක් හෝ මිනීමැරුමක සලකුණු තිබ්බේ නෑ.
හැබැයි මෙච්චර කාලයක් පුරාවට මිනිස්සුන්ට හිතාගන්න බැරිවෙච්ච රහස තුන්වෙනි තට්ටුවට ගිය පොලිසියෙ අය දැක්කා.
මෙච්චර කාලයක් සුදු සාරි ඇඳන්, සුවඳ ගහ ගහ උන්නු මාලීනි ටීච අවුරුදු ගාණක් තිස්සෙ ගෙදර උඩ තට්ටුවෙ සොල්දරේ වගේ එකේ හංගන් උන්නෙ මොනවගේ රහසක්ද කියන එක දකින්න එයාලට පුලුවන් උනා.
ඒ කාමරේ ඇතුළේ තිබුණේ ලී පුටුවක්, මේසයක් සහ ඒ මේසෙ උඩ තිබ්බ එකම එක පොතක් විතරක් උනාට, මෙච්චර දවසක් ඒ කාමරේට ආවෙ ගියේ මාලිනී ටීචර් විතරයි කියලා හිතුවට ඒ කාමරේට එක පාරක් විතරක් ආවා කවදාවත් ඒ කාමරෙන් එලියට ගියේ නැති තව කෙනෙක් හිටියා.
“ඔබ නැතිව මගේ ජීවිතේ හිස් වුණා. නමුත්, ඔබ මගේ හිතේ හැමදාම හිටියා.” කියලා ඒ එකපාරක් විතරක් ආවා, ඒත් එක පාරක්වත් කාමරෙන් එලියට ආවෙ නැති මනුස්සයා වාඩි වෙලා උන්න පුටුවට ඉස්සරහා මේසෙ තිබිච්ච පොතේ මාලිනී අන්තිමට කවියක් ලියලා තිබ්බා.
පුටුවෙ වාඩිවෙලා උන්නා, පණක් කියලා දෙයක් තියෙන්න ඇත්තෙ මීට අවුරුදු විස්සකට විතර එහයින් වෙන්නැති කියල හිතිච්ච අන්දමේ ඇටකටු මනුස්සයෙක්.
එයා ඇඳගෙන උන්න සුදු පාට school uniform එකේ තැනක එයාගෙ prefect badge එකේ නම ගහලා තිබුණා.
“අමිත් සිරිරත්න” කියලා.
අන්තිමේදී හිතෙන් අයිති කරගන්න බැරි උනත් මාලිනී අමිත්ව ශරීරෙන් තමන්ගෙ කරගෙන තිබ්බා.