මෞර්යා කාර්‍යාලය නිමවී ” Bakery at the lake ” වෙත පැමිණියේ අනුත්තරා මුණ ගැසීම සඳහාය. පෙර දිනයේ දි ආදිත්‍යය සමඟ වාඩි වූ මේසයේම වාඩි වී ඇය අනුත්තරා එනතුරු බලා උන්නාය. ඇයට ආදිත්‍යය ව සිහි වූයේ ඒ නිසාය. තමා කාර්‍යාලයෙන් පිට වී ආ බව ආදිත්‍යය දන්නෙ නැත. තමා ඒ ගැන කියන්නට නැවතුනේද නැත. එහෙත් කිහිප වරක්ම කාර්‍යාල කාමරයෙන් පිටතට පැමිණි අවස්ථා වලදි ආදිත්‍යය තමා අසලින් ගිය බව මෞර්යා දුටුවත් ඇය නොදුටුවා සේ උන්නේ කාර්‍යාලයෙ කිසිවෙකුටත් වෙනසක් නොදැනෙනු පිණිසය.
” හායි ”
අනුත්තරා පැමිණියේ පුරුදු සිනාවෙනි. මෞර්යා උන්නේ ඈත බලාගෙන කල්පනාවකය.
” අනු , ලඟට එනවා දැක්කෙත් නෑ ”
” දකින්නේ කොහෙද ඉතින් වෙන කොහෙද නේ හිත තිබ්බේ ”
අනුත්තරා අසුන් ගත්තේ විහිලුවක් කරන අතරේය. මෞර්යා ආදිත්‍යය සමඟ ගත කල පෙර දිනය සිහි කරමින් පැශන් ෆෘට් වීදුරු දෙකක් ඇණවුම් කලාය.
” ඉතින් ? මොකද මාව මතක් උනේ ? ජොබ් එකට ගියා විතරයි කෙල්ල හරි බිසීනේ ”
” බිසී නම් තමයි අනූ. ඔයාට කියන්න දේවල් ගොඩක් තියෙනවා ”
මෞර්යා කතාවට මුල පිරුවාය. අනුත්තරා බලා උන්නේ මෞර්යා කතා කරන තුරුය.මිතුරිය බොහෝ වෙනස් වී ඇත. එය හොඳාකාරයේ වෙනසකි.
” මොකෝ ? ඔෆිස් ගිහින් කොල්ලෙක් වත් සෙට් උනාද ? ”
අනුත්තරා එසේ ඇසූ විට මෞර්යා මදහසක් පෑවාය. ඒ ආදිත්‍යය ව මතකයට පැමිණීමෙනි. තමා හට ආදිත්‍යය කෙරෙහි දැනෙන්නේ වෙනස්ම වූ හැඟීමකි. එය අනුකම්පාවක් ද එසේත් නැත්නම් වෙන ආකාරයේ ළෙන්ගතුකමක් දැයි කියා තවමත් තෝරා බේරා ගත නොහැක.
” කියන්නකො ? එහෙමද ? ”
අනුත්තරා නැවත ඇසුවේ මෞර්යා නිහඬ නිසාය.
” එහෙම එකක් නෑ.ඒත් නෑම කියන්නත් බෑ ”
” නෑ? ඒ කියන්නේ වැඩේ හරිද ? ”
අනුත්තරා හඬ නඟා සිනාසුනු අතර මෞර්යා එයට පිළිතුරු දෙන්නට පෙර ඇයගේ දුරකථනය නාද විය. ඇමතුම නොදන්නා අංකයකිනි. මෞර්යා මොහොතක් ඒ දෙස බලා සිට ඇමතුම ක්‍රියාත්මක කලාය.
” හෙලෝ ? ”
” ඔයා කොහෙද මෞර්යා ඉන්නේ ? ඇයි කියන්නැතුව ගියේ ? ”
ඒ හඬ ආදිත්‍යය ගේය. එහි ඇත්තේ කෝපය මුසු වූ නමුත් ආදරණීය ආමන්ත්‍රණයකි. මෞර්යා තැති ගත්තාය.ඒ තමා කොයිම මොහොතක වත් ආදිත්‍යය ට තම දුරකථන අංකය ලබා දී නැති නිසාය
” ඔයාට කොහෙන්ද මගේ නම්බර් එක ? ”
මෞර්යාට ඉබේටම ඇසුනාය. එහෙත් ඇසිය යුත්තේ එසේ නොවන බව පසක් වූයේ අසා අවසන් වූ පසුය.
” දැන් ඒකද මෙතන ප්‍රශ්නෙ ? ”
ආදිත්‍යය තරමක තරහෙනි. මෞර්යා ට සිනහ නැගුනේ ඒ නිසාය.
” හරි හරි වැඩ ඉවර නිසා මං ආවා මගෙ යාලුවව හම්බ වෙන්න. ඔයාටත් ඕන නම් එන්න ”
මෞර්යා කීවේ ආදිත්‍යය ව හමු වීමට ඇති ආසාවටය. ඔහුත් මෙතැන සිටියා නම් හොඳය. එහෙත් එසේ සිතෙන්නේ ඇයි දැයි නොහැඟේ
” කවුද යාලුවා ? ”
” අනුත්තරා අනේ.ඔයා දන්නෑ නේ මගේ යාලුවන්ව. ඇවිල්ලම අඳුර ගන්න ”
මෞර්යා ආදිත්‍යය ට පැමිණිය යුතු ස්ථානය කියා ඇමතුම අවසන් කලාය. අනුත්තරා බලා උන්නේ පුදුමයෙනි. තම මිතුරියට මෙතෙක් කල් තමා නොදන්නා කිසිම මිතුරෙක් සිට නැත.
” කවුද ?”
” මගෙ බොස් “
මෞර්යා සිනාසුනේ අනුත්තරා වෙත විරිත්තමිනි.අනුත්තරා උන්නේ කිසිවක් ගලපා ගත නොහැකිවය. මේ සියල්ල ප්‍රහේලිකාවකි.
” බොස් ? ”
” ඔව්. එයා දැන් මෙතනට එනවා කිව්වා ”
මෞර්යා දඟකාර ලෙස සිනාසෙමින් කීවාය.
” ඔය මොනවා කරනවද කියලා මට නම් තේරෙන්නෙ නෑ ”
” බලන්නකො ”
මෞර්යා පැශන් ෆෘට් වීදුරුව තොල ගෑවාය. ආදිත්‍යය පැමිණීමට පෙර එය අවසන් කර නැවත කෙටි කෑම වර්ග කිහිපයක් ද , ආදිත්‍යය වෙනුවෙන් තවත් පැශන් ෆෘට් වීදුරුවක් ද ඇණවුම් කලාය.
” මොකක්ද මේ වෙන්නේ මෞර්යා ? “
අනුත්තරා නැවත ඇසුවේ කුතුහලයෙනි.ඒ නිසාම මෞර්යා ආදිත්‍යය ව පුදුමාකාර ලෙස හමුවූ ආකාරය අනුත්තරා ඉදිරියේ කියා සිටියාය. ඉන් අනතුරුව ඔහු නැතිව කාර්යාලයේ ගෙවුණු දවස් සහ ඉතාම අහම්බෙන් ඔහු තමාගේ ප්‍රධානියා බව දැනගත් ආකාරය ද කීවාය. අනුත්තරා සියල්ල අසා උන්නේ මුව අයා ගෙනය.මෙවැනි අහම්බකාරක හමුවීම් පිළිබඳව ඇත්තේ නවකතා පොත් වලය. එහෙත් එවැන්නකට තම මිතුරියම මුහුණ දී ඇත.
ආදිත්‍යය පැමිණියේ තවත් පැය භාගයකට පමණ පසුවය. මෞර්යා එතෙක් අනුත්තරා හා කාර්‍යාලයෙ වෙනත් තොරතුරු පවසමින් උන්නාය. ආදිත්‍යය පැමිණෙන බව දුර තියාම මෞර්යා දුටු අතර ඇගේ මුහුණ ආලෝකමත් වූයේ නිරායාසයෙනි.
අනුත්තරා හැරී බැලුවාය. මනා සේ හැඳ පැළඳ තඹ පැහැ ගැන්වූ කොන්ඩය හිස් මුදුනට බැඳ ඉතා කඩවසම් සහ දේහදාරී තරුණයෙකු තමා සහ මිතුරිය අසලට පැමිණෙමින් සිටියි. අනුත්තරා නැවත හැරී මෞර්යා දෙස බැලූ අතර මෞර්යා ඇසක් වසා ඉඟි කළාය.
” එන්න ”
මෞර්යා ඇයට අනෙක් පසින් වූ අසුන පෙන්වා ආදිත්‍යයට අසුන් ගැනීමට ආරාධනා කළාය. ආදිත්‍ය අනුත්තරාට මඳ සිනහවක් පා අසුන් ගත්තේය.
” මේ අනුත්තරා. මගේ හොඳම යාළුවා ”
මෞර්යා ආදිත්‍ය වෙත අනුත්තරාව පෙන්වූවාය.
” අනූ මේ ආදිත්‍ය. මගේ බොස්. ”
මෞර්යා තවදුරටත් කී අතර ආදිත්‍ය අත දිගු කර අනුත්තරාට අතට අත දුන්නේය.
” හායි අනුත්තරා ”
සේවකයකු පැමිණ මෞර්යා විසින් ආදිත්‍යය වෙනුවෙන් ඇනවුම් කළ බීම වීදුරුව පිළිගැන්වූ අතර ආදිත්‍ය ඉන් බිඳක් පානය කළේය.
” ඔයාට කොහෙන්ද මගේ නම්බර් එක ? ”
මෞර්යා නැවතත් ඒ පැනය ඇසුවාය.ආදිත්‍යය රවා බැලුවේය. ඒ අනුත්තරා දෙසද බලමිනි.
” කියන්නකො අනේ. අනූ හිටියට කමක් නෑ ”
මෞර්යා ළදැරියක මෙන් ඇවිටිලි කලාය. ආදිත්‍යය ගේ හිතේ තිබූ නොරිස්සුම පහව ගියේ ඒ ළයාදරත්වය ටය.
” අමතක උනාද මම ඔයාගේ බොස් කියලා ? මට ඔයා ගැන ඕන ඩීටේල් එකක් ඕන වෙලාවක හොයා ගන්න පුලුවන් ”
ඔහු දඩබ්බරයෙකි.එසේ නම් ඔහු තමා ගේ ජංගම දුරකථන අංකය සොයා ගන්නට ඇත්තේ ජීව දත්ත පත්‍රිකාවෙනි. තමා ගැන සොයන්නට එතරම් උනන්දුවක් ඔහු තුළ ඇති වන්නට ඇත්තෙ නිකරුණේ විය නොහැක.
” ඉතින් මොකටද හෙව්වේ ? ”
මෞර්යා අනික් අතට ඇසුවාය. අනුත්තරා මේ සංවාදය බලා උන්නා ය. මේ තම මිතුරිය ගේ නොදුටු පැතිකඩකි. ඇය ඉන්නේ සැහැල්ලුවෙනි. ඕනෑම ගැහැණු ළමයෙකු තුළ ජීවත් වන කුඩා දැරිය ඇය තුලින් ඉස්මතු වෙමින් පවතියි. ඒ ද මේ තරුණයා ඉදිරියේ ය.
” මං උත්තර දෙනවා මෙතන අනූ හිටියේ නැත්තම් ”
ආදිත්‍යය එවර සිනාසුනේ ය. මේ දැනෙන්නේ කල්ප කාලයකින් නොදැනුනු තරමේ සැනසිල්ලකි. එයට ලොබ බඳින්නට සිතේ.එහෙත් තමා විවාහකයෙකි. ඊටත් වඩා විවාහයෙන් බැට කෑ අයෙකි. ඉන් නොලද සැනසුම පතා හෝ මෞර්යා වැනි තමාට වඩා වසර දහයකින් ලාබාල තරුණියකට ලං වීම නොකල යුතුය. එය සිතන විට පවා මහත් සංවේගයක් දැනේ.
” ඔයා අවුල් ගියා ආදිත්‍යය ? ”
මෞර්යා සෑම විටම තමාව සියුම් ලෙස නිරික්ෂණය කරන්නේය. ෂෙහාරා තමා සමඟ එක වහලක් යට ජීවත් වීද , කෙදිනකවත් තමා ගේ සිතැඟි මේ අයුරින් වටහා ගත්තෙ නැත. එහෙත් , මෞර්යාට බලාපොරොත්තුවක් ඇති වන අයුරින් තමාට හැසිරෙන්නට නොහැක.
” නෑ මෞර්යා. මේ.. මං යන්නද ? පරක්කු වෙනවා ”
එසේ කියූ ආදිත්‍යය එකවරම නැගී සිටියේය.