Two Cups of Tea

ආන්‍යා විවාහ වෙලා පදිංචියට ආවේ මිහිරගේ නුවර තියෙන ගෙදරට. මිහිර කොළඹ නැවතිලා වැඩිදුර අධ්‍යාපනය හදාරලා කොළඹ රැකියාවක් කරලා නවීන පන්නයට ගැලපෙන තාලයට ජීවත් වුණත් ඔහුගේ මුළු පවුලම ඉතාම සාම්ප්‍රදායික අදහස් දරන සංස්කෘතියට සහ සදාචාරයට එකඟව ජීවත් වන පවුලක් වුණා. ඒ ගැන ආන්‍යා ගොඩක්ම දැන ගත්තේ විවාහයට කලින් දෙතුන් වතාවක්ම මිහිරගේ ගෙදරට ගිහින් තිබුන නිසා. ඒක ගෙදරකට වඩා පැරණි තාලේ වලව්වක්. නමුත් ඒකෙ මේ වෙනකොට ජීවත් උනේ මිහිරගේ අම්මා සහ සේවක සේවිකාවන් දෙතුන් දෙනෙක් විතරයි.

නුවර ගිය එක වතාවක මිහිරත් එක්ක එළියට ගිය වෙලාවක ආන්‍යාට උදේශිකාව මුණගැහුනා. උදේශිකා ශිෂ්‍යත්වය සමත් වෙලා ඉගෙන ගන්න ආවේ ආන්‍යා ඉගෙන ගනිමින් හිටපු කොළඹ ඉස්කෝලෙටයි. එතනදි ගොඩනැගුණු මිතුදමට අනුව ආන්‍යාගේ හොඳම යහළුවන් කිහිපදෙනා අතර උදේශිකාත් හිටියා. පහු කාලීනව මිතුරියන් කිහිප දෙනා එක එක මාර්ග වල ගමන් කරපු නිසා මුණ ගැහුනේ ඉඳහිට. සමහර වෙලාවට මාස කිහිපයකට වතාවක් දුරකථන ඇමතුමක් වගේම කෙටි පණිවිඩයකුත් හුවමාරු වුණා.

නුවරදි ආයෙමත් උදේශිකාව මුණ ගැහුනට පස්සේ ආන්‍යාට ඒ මුණගැහීම අමතක උනත් දවස් දෙකකට විතර පස්සේ උදේශිකා ගෙන් ආන්‍යාට දුරකථන ඇමතුමක් ලැබුණා.

” ඔයාට ලේසි වෙන්නෙ නෑ ආන්‍යා. මිහිර ගේ අම්මා සිරිත් විරිත් ඔලුවේ තියාගත්ත හරිම සාම්ප්‍රදායික මනුස්සයෙක්. ගමේ මිනිස්සු පවා එයාව ආශ්‍රය කරන්නේ හරිම පරිස්සමෙන්. හැබැයි එයා කසාද බැඳලා ඔය වලව්වට ආව කාලේ නම් එහෙම නැහැල්ලු. වයසට යනකොට ඉතින් මිනිස්සු වෙනස් වෙනවනේ  ” 

උදේශිකා ඒ වචන ටික කියන්න කලින් මිහිර ගේ අම්මා කොහොමටත් එහෙම කෙනෙක් කියලා සමහර කාරණා වලදී ආන්‍යාට දැනිලා තිබුණා. විවාහ මංගල්‍යය දවසට ආන්‍යාට සාරියකින් සැරසෙන්න ඕන උනත් මිහිර ගේ අම්මා එක හෙලාම එයට විරුද්ධ උනා.

” මොන ලැජ්ජ නැති වැඩක්ද ? පළවෙනි දවසෙ මනමාලී අනිවාර්යයෙන්ම අඳින්න ඕනේ ඔසරියක්.අපේ පරම්පරාවෙ කවුරුත් පළවෙනි දවසට සාරි ඇඳලා නැහැ ” 

සාරි ඇඳීමේ ආසාව පැත්තකට කරලා විවාහයේ පළවෙනි දවසට අඳින්න ආන්‍යා ඔසරියක් සූදානම් කර ගත්තේ ඊට පස්සෙයි.

රැකියාවට සමු දුන්න මිහිර ඔහුගේම ව්‍යාපාරයක් ආරම්භ කළේ පරම්පරාවෙන් ඔහුට ආදායම් ලැබෙන ආකාරයේ ඉඩම් කිහිපයකුත් හිමි වෙලා තිබුණ නිසයි. ඒ නිසා තවදුරටත් කොළඹ රැඳෙන්න උවමනාවක් මිහිරට තිබුනේ නැහැ. ඒ නිසා මිහිරගේ අදහස වුණේ විවාහයෙන් පස්සේ නුවරින් නිවසක් මිලදී අරගෙන ආන්‍යා එක්ක පදිංචි වෙන්නයි.

” මොන පිස්සු වැඩක්ද ? මෙච්චර මේ සාගරයක් වගේ ගෙයක් තියාගෙන කෝටි ගානක් වියදම් කරලා ගෙයක් ගන්න ? ” 

ආන්‍යාටත් මිහිරටත් තිබුන ගෙයක් ගැනීමේ සිහිනය බොඳ වෙලා ගියේ ඒ විදියට. ඒ විදියට අවසානයේ දී විවාහයෙන් පස්සේ මිහිරගේ මහ ගෙදර පදිංචියට එන්න ආන්‍යාට සිද්ධ උනා.

ඒක ගෙදරකට වඩා නීති වලින් පිරිච්ච කඳවුරක් වගේ කියලා ආන්‍යාට තේරුම් යන්න පටන් ගත්තෙ පළවෙනි දවසෙ ඉඳලමයි. උදේශිකා කලින්ම කිව්ව වගේම මිහිරගේ අම්මා ,මාලා ඉතාම සාම්ප්‍රදායික ගැහැණියක් වුණා. වලව්වක් වගේ නිවසේ පිරිසිදු කිරීම් වලට , ගෙවත්තේ වැඩ වලට වෙන වෙනම සේවකයන් හිටියත් කෑම පිළියෙළ කිරීමේ වැඩ කටයුතු සියල්ලම මාලා කරන බව ආන්‍යා කලින්ම දැනගෙන හිටියා. ඒ නිසා උදේම අවදි වෙච්ච ආන්‍යා මිහිරට තේ එකක් හදා ගෙන කාමරයට යන්න හදනකොටම මාලා කම්මුලට අත තියාගෙන ආවේ ආන්‍යා විශාල වරදක් කරපු ගානට.

” ඔහොම තැන් තැන්වල ඉඳගෙන තේ බොන සිරිතක් මේ ගෙදර නැහැ. කෑම මේසෙ පිළිවෙලට වාඩි වෙලා මොන හරි කැවිලි ජාතියක් කන ගමන් තමයි අපි තේ බොන්නේ ” 

ගෙදර තියෙන තේ බොන සිරිත ගැන ආන්‍යා හරියටම දැන ගත්තේ ඒ වෙලාවෙයි. ඒ නිසා ගෙදර තිබුණ වැලි තලප වගයක් කන ගමන් ආන්‍යා වගේම මිහිරත් මාලා එක්ක තේ බිව්වා. ඒක ඒ තරම් හිතන්න කාරණාවක් නොවෙන නිසා ආන්‍යා තේ බිව්වට පස්සේ කෑම ටිකක් හදන්න ලෑස්ති වුණේ මිහිර මිතුරෙක් මුණගැහෙන්න එළියට ගියාට පස්සේ.

ශීතකරණය ඇරපු ආන්‍යා ඒකෙ තිබුණ කැරට් ,ලීක්ස් ටිකක් එළියට අරගෙන පැත්තකින් තියලා අධිශීතකරණයේ තිබුණ කුකුල් මස් ටිකකුත් එළියට ගත්තා. කුකුල් මස් වල අයිස් ඉවත් වෙන්න වෙනම වතුර භාජනයක තියපු ආන්‍යා අල ටිකකුත් ලං කර ගෙන කැරට් ටික සුද්ද කරන්න පටන් ගන්න කොටම මාලා මුළුතැන් ගෙයට ආවා.

” මොනාද ඔය හදන්න ලෑස්ති වෙන්නේ ? ” 

මාලා මුළුතැන් ගෙය පුරාම බැල්මක් හෙලුවා.

” ෆ්‍රයිඩ් රයිස් එකක් හදලා , අල කිරටයි චිකන් මිරිසටයි හදන්න හැදුවේ අම්මේ. මිහිර එහෙම කන්න ආසයි නේ ” 

” අපෝ ඔය සුකුරුත්තන් කෑම මේ ගෙදර හදන්නේ නැහැ. ඔය තියෙන එළවළු ඔක්කොම එකට දාලා හදන එක මොන නාස්තියක්ද ? අනිත් එක කොළ මැල්ලුමක් එහෙම නැතුව කෑම ටිකක් කන්න පුලුවන්ද ? ” 

ආන්‍යා වචනයක් වත් නොකියා පැත්තකට වුණා. කෑම පිළියෙල කරන්න ඕන පිළිවෙල දන්නෙ තමන් නිසා ඒ වැඩේ තමන්ම කරන්නම් කියලා මාලා කැමැත්තෙන්ම බාර ගත්තා. ඒ නිසා ආන්‍යා වලව්වක් වගේ විශාල නිවස පුරා ටිකක් ඇවිදලා බලනවා කියල හිතුවේ ඒ නිවසේ තවමත් නොදැකපු නොගියපු තැන් තියෙන නිසා.

මුලුතැන්ගෙය පැත්තෙන් එළියට බැහැපු ආන්‍යා මිදුල දිගේ නිවසේ පිටුපස කොටසට ආවා. බාගෙට විවෘත කරලා තියෙන දොරක් දැකපු  ආන්‍යා ඒක ලඟට ගිහින් ටිකක් උනන්දුවෙන් බැලුවා. බැලූ බැල්මට ඒක ගබඩා කාමරයක් කියලා පේන්න තිබුන නිසා ආන්‍යා බාගෙට විවෘත කරලා තිබුණ දොර ඇරගෙන ඒ කාමරයට ඇතුළු වුණා. පරණ ගෘහ භාණ්ඩ , කාඩ්බෝඩ් පෙට්ටි සහ ඡායාරූප අපිළිවෙළට ගොඩගහලා තිබුන ඒ කාමරය මකුළු දැල් වලින් පිරිලා තිබුනා. කාමරය පුරා ටිකක් ඇවිදල බලපු ආන්‍යා නිකමට වගේ වහලා තිබුණ කාඩ්බෝඩ් පෙට්ටියක් විවෘත කළා. විවිධාකාරයේ පොත් වලින් පිරිලා තිබුණ ඒ පොත් පෙට්ටියේ පොත් අතර තිබුණු ඉතාම පැරණි දිනපොතක් ආන්‍යාගේ ඇහැ ගැටුනේ අහම්බෙන් වගේ. 

දිනපොත අතට ගත්ත ආන්‍යා ඒකෙ දූවිලි ගසලා ඇරල බැලුවා. ඒක මාලාට අයිති දිනපොතක් කියලා ආන්‍යා තේරුම් ගත්තේ පළවෙනි පිටුවේම ඇගේ නම ලියලා තිබුන නිසා. තව කෙනෙකුට අයිති දිනපොතක් කියවන එක වැරැද්දක් උනත් ආන්‍යා ඒ දිනපොතේ තැනින් තැන පිටු කිහිපයක් කියෙව්වේ මාලා ගැන විශාල අනුකම්පාවකින් හදවත පුරව ගන්න ගමන්.

ඒ දින පොතේ හැම පිටුවකම වගේ තිබුණේ මාලාට එයාගේ නැන්දම්මා සලකපු විදිය ගැනයි. නැන්දම්මා ජීවතුන් අතර හිටපු කාලයේ මාලා මොනතරම් ශෝකයෙන් ජීවිතය ගත කලාද කියලා ඒකෙ ලියලා තිබුණා. මාලා ඉතාම තද නීති සහිත නැන්දම්මා කෙනෙකුගේ භූමිකාව රඟපාන්නට හේතුව ඇයට ඇගේ නැන්දම්මා විසින් කරපු කෙනෙහිලි කම් කියලා තේරුම් ගන්න ආන්‍යා ට අපහසු උනේ නැහැ.

දිනපොත ආයෙමත් තිබුන තැනින්ම තියපු ආන්‍යා කාමරයට ගියා. මාලා දවල් කෑම හදලා ඉවර වෙලා ගෙවත්තේ වැඩ කරන මනුස්සයා එක්ක කතාබහක ඉන්නවා ආන්‍යා දැක්කා. මුළුතැන්ගෙට ගිය ආන්‍යා තේ කෝප්ප දෙකක් ලෑස්ති කරලා කොළඹින් ගෙනාපු බටර් කේක් කෑලි දෙකකුත් එක්ක කෑම මේසයෙන් තිබ්බා.

” අම්මේ ” 

ඉස්සරහ දොර ගාවට ගිය ආන්‍යා මාලාට කතා කලා. ගෙවත්තේ වැඩ කරන මනුස්සයාට වැඩක් පවරපු මාලා ගේ ඇතුලට ආවා.

” ඇයි ? ” 

” එන්නකො ” 

ආන්‍යා බොහොම ආදරයෙන් මාලාගේ අතින් අල්ලගෙන කෑම මේසයට එක්කගෙන ආවා. තේ මේසය දැකලා මාලාගේ මුහුණේ පුරුද්දට වගේ තියෙන රෞද්‍ර ගතිය නැති වෙලා ගියා. යන්තමින් වගේ මුහුණට හිනාවක් අරගෙන මාලා කේක් කෑල්ලක් අතට ගන්න ගමන් කෑම මේසයෙන් වාඩි වුණා.

” අම්මා අම්මගේ නැන්දම්මා එක්ක අවුරුදු ගානක් ජීවත් වෙලා ඒ විදියටම හිතන්න පුරුදු වෙලා නේද ? ” 

ආන්‍යා ඒ වචන ටික කිව්වේ බොහොම කරුණාවෙන්. මාලා එක පාරටම ආන්‍යා දිහා බැලුවේ පුදුමයෙන්.

” මොකද්ද  ? ” 

” අම්මට අම්මගේ නැන්දම්ම සලකපු විදිහටම මට සැලකුවොත් , මට ඉන්න වෙන්නෙත් අම්මා හිටියම වගේ හැමදාම දුකෙන්. මම දුකෙන් හිටියොත් ඒක මිහිරටත් දැනෙනවා.සමහරවිට ඒක නිසා අපි දෙන්නා අතර ප්‍රශ්න වුණත් ඇති වෙන්න පුළුවන්. අම්මා ආසද අම්මගේ පුතාට එහෙම වෙනවට ? ” 

බලාගෙන ඉද්දිම මාලාගේ ඇස් දෙකට කඳුළු පිරුනේ අතීතය මතක් වෙලා. ඇත්තටම තමන්ගෙ නැන්දම්ම තමන්ට සලකපු විදියටම තමනුත් ආන්‍යාට දවසක් හරි සැලකුවා නේද කියලා මාලාට හිතුනා.

” අපි ළඟ ඉන්න මිනිස්සුන්ගේ ගති පැවැතුම් සමහර වෙලාවට අපිටත් පුරුදු වෙනවා තමයි.හැබැයි ඒවා හොඳ දේවල් නෙමෙයි නම් අපි ඒ පුරුදු අතාරින්න ඕනේ. හැම වෙලාවෙම නෝක්කාඩු කියන නැන්දම්මා කෙනෙක් නිසා අම්ම දුකින් හිටියනේ. ඉතින් අම්මට ඕනෙද මමත් එහෙම වෙනව දකින්න ? ” 

මාලා ඇස් දෙකට පිරුණු කඳුළු පිහිද ගත්තා. තමන්ගේ නිවසට ඇවිල්ල පළවෙනි දවසෙම තමන්ගෙ ලේලිය තමන්ට මේ පහදල දෙන්න උත්සාහ කරන්නේ කොච්චර හොඳ දෙයක්ද කියලා හිතුනාට පස්සේ මාලා තමන් ගැනම දැනුන ලැජ්ජාව පසෙක තියලා වාඩිවෙලා හිටපු තැනින් නැගිටලා ඇවිත් ආන්‍යාව තුරුලු කර ගත්තා.

More Stories

Don't Miss


Latest Articles