සාරි

ඔෆිස් එකේ සාරි සේල් එකක් තියෙනවා කියලා නිවේදනය කරලා තිබුනේ සතියකට විතර කලින්. වැටුප් ලැබුනාට පස්සේ තියෙන සාරි සේල් එකෙන් සාරියක් දෙකක් මිලයට ගන්න බොහෝ දෙනා  සූදානමින් උන්නේ. චන්දිමා උන්නේත් සාරි ගන්න සූදානමින්.  හැබැයි ඔය අතරේ චන්දිමාලාගේ මේ උත්සාහය අවලාදයට නඟන කිහිප දෙනෙක්මත් කාර්‍යාලයේ එහෙන් මෙහෙන් උන්නා. දුලංගි ඉන් එක්කෙනෙක්.

” අනේ ඔය සේල් වල තියෙන්නේ තේරිච්ච සාරි ..ඔව්වාගෙන් ගන්න එව්වා එහෙම අඳින්න ගැලපෙන එව්වා නෙවෙයි …”

එක්කෙනෙක් එහෙම කිව්වේ චන්දිමා ආයතන ප්‍රධානියාගේ යම් අනුමැතියක් අරගෙන අසුනට එන අතරේ. චන්දිමා ඒ බවක් නෑහුනා වගේ අසුනෙන් ඉඳගත්තා. චන්දිමාගේ යාබද අසුනේ උන්න තමරා චන්දිමා දිහාවට එබුණා.

” උන්ට එපා නම් නොගෙන උන්න දෙන් චන්දි .. ඒක වැඩිය හොඳයි… ආයේ අපිට පෝලිම් වල තෙරපෙන්නේ නැතුව නිස්කාංසුවේ සාරියක් තෝරගන්න පුලුවන් …”

” අනේ මන්දා අප්පා .. මේ මිනිස්සුන්ට පුදුමාකාර දේවල් නේ හිතෙන්නේ .. තමන්ට එපා නම්, තරමට මදි නම් පාඩුවේ ඉඳහල්ලකෝ ..”

” එහෙම බෑනේ …තම තමන්ගේ ලෙවල් එක පෙන්නන්න එපැයි මොක කරන්නත් .. ඒකනේ ඔය ප්‍රශ්නේ …”

චන්දිමා ආයෙම වැඩ කරන්න අවධානය යොමු කරා.

පහුවෙනිදා සාරි සේල් එකෙන් චන්දිමා වගේම කාර්‍යාලයේ බොහෝ දෙනා තමන්ගේ අතේ තිබුන මුදලට හිතේ හැටියට සාරි මිලයට ගත්තා. ඒ තියා චන්දිමාගේ ආයතන ප්‍රධානියා වගේම ගණකාධිකාරිවරියත් සාරි මිලදී අරගෙන තිබුණා.

ඒ ආරංචිය දුලංගිලාට අලුත් පුවතක් වුනා.

” බොසා නම් කුණා … කෝමටත් නෝනාට ඉතින් තෑග්ගක් දෙන්නේ නැතුවැති ලේසියකට .. ඒත් අකවුන්ටන්ට් මැඩම් ඔච්චර චීප් ඇති කියලා මම ලේසියකට හිතුවේ නෑ …”

” අනේ ..පිස්සුද ?.. අකවුන්ටන්ට් බොසාට එහා…”

තව කෙනෙක් එහෙම කිව්වා. දුලාංගි නිශ්ෂබ්ද වුනේ ඒ කතාව අහගන්න තිබුන උනන්දුව පෙන්නගෙන.

” අර ෆේස් බුක් එකේ තියෙනවා භාවිතා කරපු ඇඳුම් , විකුණන , හුවමාරු කරගන්න ගෲප් එකක් හොඳේ …. දවසක් අකවුන්ටන්ට් එකේ පෝස්ට් එකක් දාලා තිබුනා ඇඳුම් වගයක් ගැන විස්තරයක් දාලා… මට් කියන්න අමතක වුනා ඒක ….”

” නෑ ?…”

” නෑ නෙවෙයි අනේ ඔව් … ඔහොම ගෲප් වල පෝස්ට් දාලා ඇඳුම් විකුනනවා මාරු කරනවා කියන්නේ, ගන්නවත් ඇති නේ .. ආයේ ඒකේ කතා දෙකක් නැ.. ඒකේ ලක්ෂ දෙකක් විතර මෙම්බර්ස්ලා ඉන්නවා..”

” අකවුන්ටන්ටත් පිස්සු අනේ … එක්කෝ ෆේක් එකකින් දාලා කරන දෙයක් කරගන්න එපැයි …”

මේ කතාබහ චන්දිමාලත් අහගෙන හිටියත් කිසිම දෙයක් කිව්වේ නම් නැහැ.

” මොකෝ කට්ටිය සේල් සාරි අඳින්නේ නැද්ද ?…”

සේල් එකෙන් දවස් දෙක තුනක් යනකල්, දුලාංගිලාගේ ඔය සරදම් බස් පවා එහෙන් මෙහෙන් ඇහුණා. හිනාවෙන් එහෙම අහන්නේ සරදම් කරලා අපහසුවට පත් කරන්න අබ්ව හොඳින්ම වැටහුන නිසා චන්දිමා කලේ හිනාවෙන්ම ඒ කතා මඟෑරලා උන්න එක.

” අපි හෙට මහරගම ශොපින් යනවා…. “

පඩි දවසට පස්සෙ එන සෙනසුරාදාවක් ඉස්සර කරගෙන දුලාංගිලා පුරාජේරුව පටන් ගත්තා.

” වෙඩින් දෙකක් තියෙනවා… ෆැමිලි වෙඩින් නිසා ඉතින් යන්තමට ඇඳලා බෑනේ.. මහරගමින් ඩ්‍රෙසස් බලන්න හිතාගෙන ඉන්නේ.. ඒ සෙට් නොවුනොත් වැල්ලවත්තේ සාරි ශොප් කිහිපෙකටම කතා කලා .. යන්නෝනි …”

චන්දිමත් ඇය දන්න කියන තැන් ගැන රෙකමදාරු දුන්නා.

” අපෝ .. ඒ තැන් වල කොලිටි නෑ චන්දි …  අඳින්නේ නම් එක වතාව තමා .. ඒත් ඉතින් කොලිටිය නැති කරගෙන බෑනේ .. ආයේ ඉතින් නෝන්ඩි වෙන්න පුලුවන්ද අනේ සුපිරි හොටෙල් වලනේ තියෙන්නේ ..”

චන්දිමාගේ අත කවුරු  හරි කෙනෙත්තුවා.

” කට වහගෙන හිටහං … වැඩක් නැත්නම් ලයිබ්‍රි එකට ගිහින් පොතක් තෝරලා බලහං  ගිහින් .. තමන්ට අදාල නැති මඟුල් වලට කට දාලා නිකන් පද අහගන්නවා… උන්ට ඕනි කොලිටිය උඹ දන්නේ නෑනේ.. උන් එව්වා බලලා කරගනීවි ..”

චන්දිමා තොල් නොපිට පෙරලලා මිතුරියට එකඟ වුනා.

දවස් දෙක තුනකට පස්සේ ආයේම දවසක සාරි කතාවක් ඇඳුණා.

” ආහ්හ් .. එදා හොඳ සාරියක් හොයාගත්තාද දුලාංගි ?..”

අකවුන්ටන්ට් මිස් එහෙම අහනකොට දුලාංගිගේ මූන ඇද වෙලා යනවා දැක්කේ චන්දිමා විතරක් නෙවෙයි . ඒත් ඒ වෙනසට හේතුව නම්  ඒ කාටවත්ම වැටහුනේ නෑ .

” ආහ් ..ඔව් මැඩම් .. ගත්තා…”

” එතන තියෙන්නේ පොඩි ඩැමේජ් නිසා එක්ස්පෝර්ට් නොකරන ඇඳුම්, සාරි එව්වා.. ඒ වුනාට පිට කොලිටි ලොස් එකක් ඇත්තේම නෑ…”

ඇය එහෙම කිව්වාම චන්දිමාට එක පාරටම සිහි වුනා මේ කියන්නේ ඇය දුලාංගිට කියපු වෙළැඳසැල ගැන නේද කියලා. චන්දිමා ඇගේ මිතුරිය දිහාව බැලුවා.

ඇගේ මුහූනේ තිබුනෙත් සිනහවක්.

” නෑ .. එහෙම අවුලක් තිබුනේ නෑ…”

” හැබැයි එදා සේල් එකෙත් ශෝක් සාරි වගයක් තිබ්බා වෙඩින් වලට හරියන .. මම හිතන්නේ එඩියුකේශන් එකේ මැඩම් එකක් ගත්තා… ඒ ගානට මාරම වටිනවා…”

අකවුන්ටන් එහෙම කිව්වාම දුලාංගි යන්තම් හිනා වුනා.

” දුලාංගි එතනින් සාරි ගොඩක් ගත්තා ද ?.. මං දැක්කා එලියට එනකොට සෑහෙන්නම මලු ගොඩක් උස්සන් ආවා.. සාරිද? ඇඳුමද ?…”

අකවුන්ටන්ට් මිස්ගේ වචනත් ඉවරයක් වුනේ නෑ.

” ඔක්කොම ගත්තා මැඩම් .. මම පොඩි වැඩක් අතරමැද දාලා මේ පැත්තට ආවේ.. ඒක  බලලා එන්නම් …”

දුලාංගි තේ කෝප්පෙත් අරගෙන නැගිට්ටා.

” මිනිස්සු තමන්ගේ තත්වේ නඩත්තු කරගන්න සෑහෙන්නම වෙහෙසෙනවා… ඒක සමහර වෙලාවට අනෙක් අයව පීඩාවට පත් කරන තරමට .. හොඳම දේ අපි අනුන් එක්ක අපේ ජීවිත සසඳගන්නේ නැතුව, අපිට පහසු විදියෙන් ජීවත් වෙන එක… ඔය දුලාංගිලා මවලා පෙන්නන ලෝකේ එයාලාගේ ජිවිත වල ඇත්තටම නෑ .. එයාලා ඇත්තටම පෙන්නන්නයි හදන්නේ ඒක …”

චන්දිමා ඒ වචන කිහිපයෙන් ජීවිතේට සෑහෙන්නම දෙයක් එකතු කරගත්තා.

More Stories

Don't Miss


Latest Articles