ආදිත්‍යය උන්නේම මුලුගැන්වී ගෙනමය.එයට මෙහෙමයි කියා කියන්නට හේතුවක් නොමැති වුවද ඔහු හට හිතට සතුටක සේයාවක් හෝ ලං කර ගන්නට හේතුවක් සොයා ගත නොහැකි විය. ග්‍රෙගරි වැව ආසන්නයට ගොස් බෝට්ටු සවාරි යාමේදීද , පෝනියන් පිට නැගී වටයක් දෙකක් ගොස් පිරිස සතුටු වෙද්දීද ආදිත්‍යය ඒවාට සහභාගී වූවා මිසක හදවතින් වින්දේ නැත.
විනෝද චාරිකාවේ වැදගත්ම අංගය ලෙස අභිමන් සැලසුම් කර තිබුනේ රාත්‍රී සාදයයි. නිවාඩු නිකේතනයේ පිරිස විසින් එය මනා ලෙස සූදානම් කර තිබුණු අතර නිවාඩු නිකේතනයෙහි ගෙමිදුලෙ හි ගිනි මැලයක්ද , විවිධ ආහාර පාන සහ මත්පැන්ද සූදානම් කර තිබුණේ සියලු දෙනාටම සතුට සහ විනෝදය සපිරි කාලයක් ගත කරනු පිණිසය.
දහවල සිටම වෙහෙස මහන්සි වූ නිසා පැයක පමණ විවේකයක් ගෙන රාත්‍රී හතයි තිහ වන විට ගිනි මැලය ආසන්නයට පැමිණෙන ලෙස සියලු දෙනාටම දැනුම් දුන්නේ නෙහාරා විසිනි. හතයි තිහ වන විට එකා දෙන්නා ගිනි මැලය දෙසට ඇදෙමින් උන්නේ පරිසරය ඉතාම සීතල වූ නිසාය. චන්දිකට සහ නිල්මිණිට දුරකථන ඇමතුමක් ගැනීමට අවශ්‍ය වූ නිසා මෞර්යා කාමරයේ මොහොතකට පමා වූ අතර සාදයේ සැලසුම සහ එය දියත් කිරීම නෙහාරාට බාර වූ නිසා ඇය කල් ඇතිව කාමරයෙන් පිටව ගොස් තිබුණි.
” තාත්තටයි මටයි හිතට මොකක්දෝ වගේ පුතේ.ඔයා කවදාවත් ගෙදරින් පිටට මෙහෙම ගිහින් නෑ නේ. අනේ මන්ද ඔයාව ඇරලවලා ආපු වෙලාවේ ඉඳන් තාත්තා මේ ඉන්නේ හෝන්දු මාන්තු වෙලා වගේ “
වීඩියෝ ඇමතුමක් ලබා ගත් නිල්මිණි එසේ කීවේ අසල වූ චන්දිකව පෙන්වමිනි.චන්දික ආයාසයෙන් සිනාසුනේ මෞර්යා යනු තවත් කෙනෙකු ගේ සිතැඟි ඉතා හොඳින් හඳුනාගත හැකි පන්නයේ සිතක් ඇති කෙනෙකු නිසාය.
” මං ගෙදර නැති එක කොච්චර හොඳද අනේ ? ඕගොල්ලන්ට කනක් ඇහිලා ඉන්න පුළුවන්නේ ?ඒ නිසා ඔය දෙන්න අද දවසේ පුළුවන් තරම් නිදහසේ ඉන්න මන් නැතුව.හෙට ඉතින් මං එනවනේ ”
මෞර්යා කීවේ දඟකාර සේ සිනාසෙමිනි. නිවසේ සිටින විට තමා ගේ විහිළු තහළු සහ දඟකාරකම් නිසා නිවසම පිරී තිබෙන බව චන්දික නිතරම පවසන්නේය. තමා නිවසේ නොමැතිව ගෙවෙන පළමු රැය දෙමව්පියන් හට මේ තරම් දැනෙනවා ඇත්තේ ඒ නිසාය.
” අම්මා , පල්ලෙහා පාටි එක. බාබකිව් එකකුත් තියෙනවා.හතාමාර වෙද්දි එන්න කියලා තමයි කිව්වේ. මෙතනම හතයි 45යි.මං පල්ලෙහාට යන්නද එහෙනම් ? ”
මෞර්යා දුරකථන ඇමතුම අවසන් කළ අතර චන්දික සහ නිල්මිණි මෞර්යාට සමු දුන්නේ ඒ තරම් කැමැත්තකින් නොවේ. එහෙත් මෞර්යා ඇගේ ලෝකයේ සතුටින් සිටීමට ඉගෙන ගත යුතු නිසා අකමැත්තෙන් වුවද චන්දික සහ නිල්මිණි ඇමතුමට සමු දුන්හ.
ලා කොළ පැහැති සැහැල්ලු කලිසමකට සුදු පැහැ ටී ෂර්ට් එකක් හැඳ එයට උඩින් සුදු පැහැ ජර්සියක්ද හැඳ ගත් මෞර්යා කොණ්ඩය උඩට කර බැඳ ගත්තාය. නැවත වරක් කන්නාඩිය ඉදිරිපිටට ගොස් ඉන් පෙනෙන තම රූපය දෙස බලා මෞර්යා කාමරයෙන් පිටතට පැමිණ දොර වසා දැම්මාය.
ආදිත්‍ය කාමරයෙන් පිටතට පැමිණියේ ද ඒ මොහොතේමය. ඔහු සහ අභිමන් සිටි කාමරයේ තිබුණේ මෞර්යා සිටි කාමරය තිබූ කොරිඩෝවේ කෙළවරේය. මෞර්යා දොර වසා දමා යන්නට සැරසෙනු දුටු ආදිත්‍ය පය ඉක්මන් කර බිම බලා ගෙන පැමිණියේ ඇය නොදුටුවා සේය. ලා එළියක් පමණක් තිබූ කොරිඩෝවේ කෙළවරේ සිට කවුරුන් හෝ පැමිණෙන බව දුටු මෞර්යා හැරී බැලුවාය. ආදිත්‍ය බිම බලා ගෙන පැමිණේ. පුරුදු මලානික බවද ඔහුගේ මුහුණේ ඇඳී තිබේ.
” ආදිත්‍ය ? ”
මෞර්යා එලෙස ආදිත්‍ය ඇමතුවේ වටපිටාවේ කවුරුන් හෝ දකින්නට නොසිටි නිසාය. කවුරුන් හෝ සිටියා නම් තමාට මෙසේ ආදිත්‍ය ඇමතිය නොහැක. ඒ , අන් අයට අනුව තම ප්‍රධානියාව එසේ ඇමතීම දෙදෙනාගේම ප්‍රතිරූපයන් වලට හානි කරන නිසාය. මෞර්යාගේ හඬට ආදිත්‍ය හිස ඔසවා බලා ආයාසයෙන් සිනාවක් පෑවේය. මෞර්යා ඒ සිනහව හොඳින් හඳුනන්නීය.
” මං උදේ ඉඳන් බලා ගෙන හිටියේ. සතුටෙන් නෙමෙයි ඔයා ඉන්නේ ”
මෞර්යා ඇත්තම කීවාය. ආයතනයේ සියල්ලන්ම වටපිටාවේ සිටින නිසා ආදිත්‍ය සමග නිදහසේ වචනයක් දෙකක් හෝ කතා කරන්නට අවස්ථාවක් තිබුණේ නැත. අනෙක් අතට මෙවැනි පෞද්ගලික කාරණාවක් අසන්නට සුදුසු වටපිටාවක් ද කිසිදු වේලාවක තිබුණේ නැත. තමා හා ආදිත්‍ය අතර පෙර සිටම කිට්ටු බැඳීමක් තිබෙන බව අඩුම තරමේ අභිමන්ට හෝ ඇඟවිය යුතු නැත.
” මට තේරෙන්නේ නෑ මෞර්යා ”
ආදිත්‍ය බිත්තියට හේත්තු වූයේ එසේ කියන අතරය. තමා කාමරයෙන් පැමිණියේ පහළ පැවැත්වෙන සාදයට සහභාගී වීමට වුවත් මොහොතකට මෞර්යා අසල නවතින්නට හදිසි සිතුවිල්ලක් ඔහු තුළ පහළ වූයේය. මෞර්යා හමු වූ බොහෝ දින වලදී හිතට දැනුනේ අප්‍රමාණ සැනසීමකි.මේ මොහොතේ දී පවා ආදිත්‍ය ගේ හිත සොයමින් සිටියේ එවන් වූ සැනසීමක්ය. එහෙත් එවැන්නක් මෞර්යා ගෙන් ඉල්ලා සිටිය නොහැක.
” එහෙම කියන්න එපා ආදිත්‍ය. මේ වෙලාවේ සතුටින් ඉන්න.සමහරවිට මේ වගේ දවසක් ආයෙ එන්න ඉඩ නැති වෙන්න පුළුවන්නේ. මං දන්නවා ඔයා ඉන්නෙ ප්‍රශ්න ගොඩක කියලා. ඉතින් ඒ ප්‍රශ්න වලින් පොඩි වෙලාවකට හරි එළියට එන්න මේක හොඳ වෙලාවක් කර ගන්න ඔයාට පුළුවන්නේ ? බලන්න හැමෝම කොච්චර සතුටින් ඉන්නවද කියලා.ඔයාගේ අම්මා උනත් කාලෙකට පස්සේ ගෙදරින් එළියට බැහැලා ඇවිල්ලා මේ හැමෝමත් එක්ක කොච්චර සතුටු වෙනවද? ඔයාටත් පුළුවන්නේ එයාලට එකතු වෙන්න ? දුක් වෙවී ඉන්න තරම් අපේ ජීවිත දිග නෑ ආදිත්‍යය “
ආදිත්‍ය මෞර්යා දෙස බලා උන්නේය.පැහැදිලි හේතුවක් කියා ගත හැකිව නොතිබුණද සඳක් සේ පැහැබරව හිඳිනා යුවතිය තමන්ට එළිය වෙන්නට උත්සාහ කරමින් හිඳින්නීය. පැහැබර සඳක් ලෝකයක් එළිය කරමින් ආලෝකමත් වන්නට නම් එයට තිබිය යුත්තේ මනරම් අහසකි. එහෙත් තමා හට කෙදිනකවත් මෞර්යාට එවන් මනරම් අහසක් විය නොහැක. තමා ගේ ජීවිතයම ඇත්තේ අඳුරකය.
” මොනවද සද්ද නොකර කල්පනා කරන්නේ ?”
මෞර්යා මුහුණ ඇලකර ආදිත්‍ය ගෙන් ඇසුවේ හුරතලයටය. මෙවන් හැසිරීම් මෞර්යා තුළින් පැමිණෙන්නේ චන්දික ඉදිරියේය. එහෙත් ඇය තුළ ජීවත් වන කුඩා ළදැරිය මේ මොහොතේ ද එළි බසිමින් උන්නාය.
” ඇත්තමයි ඔයා හඳක් වගේ මෞර්යා ”
ආදිත්‍යය ගෙන් එවදන් පිට වූයේ නිරායාසයෙනි. මෞර්යා බලා උන්නාය. ආදිත්‍ය සුන්දර මිනිසෙකි. තමා ඉදිරියේ සිටිනා ස්ත්‍රී ආත්මයක් හදවතින් වර්ණනා කළ හැක්කේ සුන්දර හදවතක් ඇති පිරිමියෙකුට පමණි. ආදිත්‍ය හට එවන් සුන්දර හදවතක් ඇත. එහෙත් එය බිඳී ගොසිනි. එයට නැවත ජීවයක් ලබා දිය හැක්කේ ශක්තිමත් ආදරයකටය. මේ මොහොතේ ඔහු සොයනවා ඇත්තේද බිඳී ගිය හදවතේ කැබලි එකතු කර පිළිසකර කරන්නට හැකි තරමේ ආදරයකි.
” මගේ ජීවිතේ කොහොම කොහෙට යයිද කියලා මං වත් දන්නේ නෑ මෞර්යා. ඒත් මං එක දෙයක් දන්නවා. ෂෙහාරා හිතා මතාම කෑලි කෑලි වලට කඩල දාපු මං , මාව වෙනස් කරන්න පුළුවන් විදියේ ආදරයක් හොයනවා මෞර්යා “
මෞර්යා සිතමින් හුන් දෙයම ආදිත්‍ය වචන වලට පෙරළුවේය. ඔහු ගේ හඬ හැඬුම්බරය.එය බිඳී ගොස් තිබේ. ඒ තරමටම ඔහුගේ හදවත ද බිඳී තිබෙනවා විය හැක. මෞර්යා හට දැනුනේ ශෝකයකි. ආදිත්‍ය මේ තමා ඉදිරියේ විවර කරන්නේ ඔහු ගේ සංවේගයෙන් පිරි හදවතය. ඒ ඔහු තමාව දැඩි ලෙස විශ්වාස කරන නිසාය. ඒ හිත තව දුරටත් පළුදු නොකළ යුතුය.
” මං මොනාද කරන්න ඕනේ ආදිත්‍යය ? ”
මෞර්යා ඇසුවේ සිහින් හඬිනි. ආදිත්‍යය තව දුරටත් බිත්තියට හේත්තු වී හිස ඇල කර බලා උන්නේය. කියන්නට බොහෝ දේ සිතේ.එහෙත් කිව නොහැක. තම ජීවිතය බැමි වලින් සිරවී ඇත.ඒවායින් නිදහස් වී මිසක තම සිතැඟි කිව යුතු නොවේ.
” ඔයාට මොනාද කරන්න පුළුවන් මෞර්යා ? ”