කියවන්න පොතක් – අසනග වැසි

සංස්කෘතික ගැහැනියක ද යුතුකම් ඉටු කරන ගැහැනියක ද වීරවරියක ද ඒ චරිත අතර හැඩිදැඩි පිරිමියෙකු ද වූ ආලත්ති අම්මා නමින් හැඳින්වෙන වීරවිල මහවිදානේ වසුන්දරා වාසුලදේවී අපට හමු වන්නේ මෑත කාලීනව ඉතා ජනප්‍රිය වූ නවකතාවක වන අසනග වැසි තුළින්. කතරගම පෙරහැරේ කටයුතු වලට පේ වූ ඇයව මැවෙන්නේ ද ගැහැනියකගේ අකුරු මතින්. ඇය දර්ශනා ෂම්මි විජේතිලක යි.

ගෑනියෙකුගෙ ජීවිතේ පිරිමියෙකුත් ජීවත් වෙනවා පුතේ…අපි අසරණ උන දාට.. පිරිමි හව්හරණෙ නැති උනදාට අඬා වැලපි වැලපි ගෑනුකොමට ඉන්නෙ නැතුව අපි ඇතුළෙ ඉන්න පිරිමියා එළියට ගන්න ඕන. කාටවත් බය නැතුව තනියම තීන්දු තීරණ ගැනීම, තනියම ජීවිතේට එන පුරස්න වලදි අපි එළියට දාන්න ඕන ඒ පිරිමියා පුතේ. මගේ ජීවිතේ අවුරුදු විසිපහේදි මම ඒ පිරිමියා එළියට දැම්ම. මම කාටවත් බයට ජීවත් උනේ නැහැ පුතේ.මම කාටවත් අත පාලා ජීවත් උනේ නැහැ. කී දෙනෙක් ඔලුවට අත හේදුවද .. කී දෙනෙක් නින්දා අපහාස කොරාද? තනි ගෑනියෙකුට තියන හයිය අපිට නින්දා අපහාස කරන පිරිමින්ට කඩුවක් කොරාගන්න ඕන පුතේ. මේ ජීවිතේ ලේසිපාසු නෑ පුතේ.”

ගැහැනියක සතු ශක්තිය ගැන නැවත නැවත සිතන්නට සිහි කරවන අසනග වැසි 2018 රාජ්‍ය සාහිත්‍ය සම්මාන, ගොඩගේ සාහිත්‍ය සම්මාන, ස්වර්ණ පුස්තක අවසන් වටය වෙනුවෙන් නිර්දේශ වූ විශිෂ්ඨ කෘතියක්

ආලත්ති අම්මා කෙනෙක් ලෙස හැඳින්වෙන්නේ කතරගම දේවාලයේ ආවතේව භාර කාන්තාවන් ට.
කතරගම පෙරහැර හා ඒ ආශ්‍රිත වත් පිළිවෙත් ගැන සුන්දර කතාන්දරය අතරමැද විසිවන සියවස මුල් භාගයේ රුහුණේ ජීවිතය පැතිරී ගිය මැලේරියා වසංගතය, සූරිය මල් ව්‍යාපාරය, නිදහස හිමීවීමට පෙර කොළඹදී පැවැත්වූ මුල්ම වැඩවර්ජනය පිළිබඳ බොහෝ දෑ ඔබට ඉගෙන ගත හැකියි.

සම්බන්ධතා බිඳී යෑම්, යළි ගොඩ නැඟීම් ගැන කියා දෙන රතු මහත්තයා, සෙන්ද අම්මා, රවිනාථ හමු වන අසනග වැසි තුළ කාන්තාවක සතු ලාලිත්‍යය සේම ධෛර්යය ගැන ද නිතරම ඉස්මතු වීම විශේෂත්වයක්.

ලා දුඹුරු ඇස් දෙකක් සහ පොටෝ පෙට්ටියක් නිසා ආලත්ති අම්මාගේ ජීවිතය වෙනස් කරන රවිනාථ, එතැනින් ඇයට මුණ ගැහෙන ඔහුගේ පළමු විවාහයේ දරුවන් ගැහැණියකගේ ආදරය මොනතරම් ගැඹුරු ද යන්න අපට වටහා දෙනවා.

“නිවන් දකින්න කලින් ආයෙම හමු වෙන්න. ජීවිතේ වෙච්ච වැරදි හදාගෙන ආයෙ මං ළඟටම එන්න.ආදරෙන් සතුටින් එක හිතින් ඉන්න. එකම එක වතාවක් ආයෙ මේ සංසාරෙ හමු වෙන්න..”

ජීවිතයට මොනතරම් අකුණු සහිත වැසි හෙවත් අසනග වැසි පැමිණිය ද ගැහැනියකගේ ආදරය සහ යුතුකම් ඉවතට විසි කළ නොහැකි බව හා ඇගේ දිවියේ සමබර බව විනාශ කළ නොහැකි බව අසනග වැසි කියවන ඔබට ඉගෙන ගන්න පුලුවන්..

හිනා වෙවී දුක හංගන් ඉන්න ගෑනියෙක් ට වරදක් වුණොත් ඒ ගෑනි හැපින්නියක් වෙන්න පුලුවන්”

ගැහැනුකම යනු බියවීම, පලා යාම නොව ප්‍රේමයෙන් සියල්ල දරා ගැනීම සහ නොනවත්වා සටන් කිරීම බව කියා දෙන වසුන්දරා හමු වන්නට නම් මේ අපූරු කෘතිය අනිවාර්යයෙන් කියවන්න.

Related Articles

Don't Miss


Latest Articles