අකල් වැහි -26

“හිතුණු හැටියේ එළියට බැහැලා ඔහේ රස්තියාදු ගහනව කියන්නේ ඇත්තද?”

චේතන එසේ ඇසුවේ හිරුදි අඩ නින්දකට පිළිපන් මොහොතකදී ය. ඔහු අවම සදාචාරයක් හෝ ඇති මිනිසෙකු නොවේ.ප්‍රසව හා නාරි වෛද්‍යවරයා ඉදිරියේ ලෝකයේ සිටින හොඳම තාත්තාගේ චරිතය රඟපාන්නට වෙහෙසෙන තේජන ඉන් පිටතට ආ පසු සුපුරුදු චරිතයට වෙස් මාරු කර ගනියි.ගැහැනුන්ට ආදරය කරන්නට ඔහු දන්නේ නැත.ඔහුගේ විවිධාකාර පෙම්වතියන්ට ද හොඳ සරාගී සහකරුවෙකු මිස ආදරණීය මිනිසෙකු වන්නට ඔහුට නොහැකි බව හිරුදි විශ්වාස කළා ය.

“නිදාගන්න දෙන්න චේතන.ඔයා මහ රෑ ඔයාට හිතූ හිතූ වෙලාවට ඇවිල්ලා කතා කරලා ඇහැරවන්න එපා.මං ඉන්නේ අපහසුකම් එක්ක.මට අමාරුකම් එනවා.”

තවම මෝදු නොවූ කුස මත අත තබා හිරුදි පැවසුවේ තදිනි.මේ මිනිසා සමඟ ආදර කතාබහේ යෙදීම ඵල රහිත ක්‍රියාවකි.

“ඕක ලෙඩක් යැ.”

චේතන අසංවේදි සහ අකාරුණික ලෙස පැවසී ය.දරුවෙකු කුස දැරීම ගැන ඔහු දන්නේ මොනවදැයි අසන්නට සිතුණ ද හිරුදි කිසිවක් ම නොකියා ඉන්නට සිතුවා ය.නමුත් චේතන දිගින් දිගටම කතා කරන්නට පටන් ගත්තේ ය.

“ළමයෙක් බඩේ තියන් ඉන්නව කියන එක ලෙඩක් නෙවෙයි.පණ ඇතුව ඉන්න.ළමයෙක් බඩේ තියන් ඉන්නව කියන එක ලෙඩක් වෙන්නෙ ඕන නැති වෙලාවෙ ළමයි ආවම.මේ ළමයා අපිට ඕනෑම වෙලාවක එන ළමයෙක්.”

මේ අකාරුණික මිනිසාගේ නහය තැලෙන්නට පාරක් දෙන්නට පැමිණි ආශාව හිරුදි මැඩ ගත්තා ය.ඔහුට “ලෙඩක් වූ ළමයින්” ට ඔහු ඉපදෙන්නට ඉඩ නොදී හිඳින්නට ඇතැයි ඇය අනුමාන කළා ය.

නමුත් මේ මිනිස්කම නොදන්නා මිනිසා අතින් දූෂණයට ලක් වී එහි ඵලය ලෙස දරුවෙක්ට උපත දෙන්නට සිදු වූ ගැහැනුන් ද ඕනෑතරම් සිටින්නට හැකි ය.මේ ඔහුගේ කුළුදුල් දරුවා නොවන වග ඔහු සක්සුදක් සේ දැන සිටියේ ය.

“බල්ලන්ට කොයි පඳුරත් එකයි.ඕනෑ පඳුරකට කකුල උස්සනවා.ගඳ ගහන්නේ පඳුර.”

චේතනගේ අනියම් සම්බන්ධතා ගැන කෝපයට පත්ව එවැන්නක් ගැන ළසඳාට පැවසූ මොහොතක ඇය කීවේ එහෙම කතාවකි. හිරුදි ඒ කතාව අසා මිදී ගල් වී ගියා ය.අම්මා තමන්ගේ පුතු කවරෙකුදැයි කියා අවසන් ය.එතැනින් එහා වාද කර ඵලක් නොවේ.

“ලබන සතියේ දවසක අම්පාරේ යන්න තියනව.”

චේතනගේ හඬින් හිරුදි නැවතත් පියවි ලෝකයට ආවා ය.ඔහු යනෙන තැන් ඇයට පවසන මිනිසෙකු නොවේ.එනිසාම මේ කියන්නේ ඔහු සමඟ යා යුතු ගමනක් වග ඇය දනියි.අම්පාරේ හිඳින ජොතිෂ්‍යවේදිනිය මුණාගැසෙන ගමන හිරුදිට ඇති අප්‍රසන්නම ගමනකි.සාම්බ්‍රානි සුවඳ එන ඒ කුටිය ඇයට වමනය ඇති කරන්නට සමත් අඳුරු රහස් ගුහාවකි.ඒ ගැහැනියට මානසික ආබාධයක් ඇති බව තමන්ට සිතුණ ද අනෙක් සෑම කෙනෙකුටම ඇය අනාගතය දකින්නියක සේ පෙනෙන කාරණාව හිරුදිට පැහැදිලි නොවේ.

“එහෙමෙහෙ යන්න කලින් ඩොක්ටගෙන් අහන්න ඕන.දුර ගමනක්නෙ.”

හිරුදි පැවසුවේ දෑස් පියාගෙන ය.

“දැන් තමුසෙ ඔය හැම තැනම රස්තියාදු ගහන්නේ ඒවා හොඳයිද?

විදුලි බුබුල නිවා දමා සයනයට වැටෙන අතර චේතන අසයි.ඒ යන ගමන ගැන ඔහු දන්නේ නම් මේ ප්‍රතිචාරය මීටත් වඩා වෙනස් වග හිරුදි දන්නී ය.නමුත් ඇය කිසිවක්ම නොපවසා ඉන්නට තීරණය කළා ය.සතුරු ප්‍රහාරයකට ලක් වූ දා පටන් චේතනට කෝපය පාලනය කර ගන්නට අසීරු ය.ඒ නොහික්මුණු මිනිසා ප්‍රකෝප ගන්වන කිසිවක්ම නොකර හිඳින්නට හිරුදි තීරණයක් ගත්තා ය.

දරුවෙක් කුසට පැමිණීම ගැන සතුටට පත් විය හැකි අනිත් කාරණාව ඔහුගේ විකෘති ලිංගික ආශාවන්ගේ ගොදුරක් වීමට ඉඩ නොලැබීම ය.හිරුදි ගැබ් ගත් පසු ඔහු ඒ සම්බන්ධයෙන් උනන්දු නොවේ.ඒවාට ඔහුට අප්‍රමාණ පෙම්වතියන් හිඳීම එක් ආකාරයක සතුටකි.

හිරුදි චේතනට නින්ද යන්නට හැර හෙමින් සීරුවේ යහන මතින් නැගිට ගත්තා ය.ඈ සඳැල්ලට ආවේ නිදහසේ හිඳින්නට ය.තාරකා අනන්තාපරිමාණ ලෙස පිරුණු අහස දෙස බලමින් ඇය සිතුවිලි මත කිමිදෙන්නට වූවා ය.

“මම නිතර මෙතනට එන නිසා මගේ බබාට ඇහෙන්නේ ඔයාලාගෙ දේවල්නෙ.එයා රටට ආදරේ කෙනෙක් වෙයි නේද?”

එසේ අසද්දී සිතිජගේ මුහුණ මත ඇඳුණු මුදු මඳහස ඇයට මේ මොහොතේ ද සිහි කරන්නට හැකි ය.

“ඔයාට බබාගේ තාත්තා එක්ක තියන ප්‍රශ්නෙ මම අහන්නේ නෑ.ඒත් මම ඔයාට දෙයක් කියන්නම්.ඔයා අම්මෙක්.දරුවෙක්ට තියන ලොකුම හයිය අම්මා.ඔයා හයියට ඉන්න.එයා ඔයාට ඕනම විදියේ දරුවෙක් වෙයි.මේ ලෝකෙට වටින දරුවෙක් වෙයි.”

සමු ගන්නට මොහොතකට පෙර සිතිජ පැවසූ ඒ වදන් හිරුදි සිහි කළා ය.තමන් භාග්‍යා සමරවික්‍රම වග නොදැන ඔහු එසේ පවසන වග සිතද්දී ඇයට උපන්නේ තිගැස්මකි.චේතන දේවතිලකගේ දරුවෙකු ලෝකයට වටිනා දරුවෙකු වග සිතිජ සිතන්නට ඉඩක් නොවේ.

“ඔයාගේ තාත්තට සීයට මේ රටේ මිනිස්සු වෛර කරනවා.ඒත් මගේ පුතේ ඔයාට එහෙම වෙන්න දෙන්න බෑ..”

හිරුදි එසේ සිතමින් කුස පිරි මැද්දා ය.මේ ජීවිත අතරට මැදි වන්නට එන කුඩා ජීවියා අයහපත පිරුණු නිවසක අයහපත් ලේ උරුමයක් සහිත දරුවෙකි.නමුත් ඔහුට අයහපත ඉදිරියට රැගෙන යාමට ඉඩ දිය යුතු නොවේ.

“ඔයා දුවෙක් වුණොත්..”

දියණියක ලැබුණහොත් සාස්තරකාරියගේ අනාවැකි අසත්‍ය වේ. වාසනාව ගෙනෙන පුත්‍ර ලාබය නැති වී ගියහොත් චේතනගේ විකාර මිථ්‍යා විශ්වාසයන් තවදුරටත් වැඩි වන වග ඇයට ඉනික්බිතිව සිතිණ.ඇතැම්විට කළලය විනාශ කරන්නට පවා ඔහු නොපැකිලෙනු ඇත.දියණියක අවාසනාව මිටින් රැගෙන උපදින්නට ඉඩ ඇතැයි අනාවැකියක් පළ වුවහොත් සිදු වන්නේ එවැන්නකි.

“ඒ නිසා ඔයා පුතෙක් වෙන්න.කාගෙවත් වාසනාව අරන් එන්න ඕන නෑ පුතේ.ඔයා වාසනාවන්ත දරුවෙක් වෙලා උපදින්න.”

හිරුදි එසේ පැවසුවේ මුදු හඬකිනි.මේ බිළිඳා රාජ යෝග රැගෙන ආ යුතු නොවේ.මිනිසත්කම අත් මිට මොළවා රැගෙන පැමිණිය යුතු වේ.

“පුලුවන්කමක් තිබුණොත් අපි ලොකු අම්මා ළඟට යං.ගිහින් නිදහසේ ජීවත් වෙමු.ඕන දෙයක් වුණාවේ කියලා ජීවිතේ අත් ඇරලා හිටිය කාලේ ඉවරයි කියලා අම්මටත් හිතෙනවා.අපි ජීවත් වෙමු.”

සති කිහිපයක් වයස කළලය ප්‍රවේසමින් මේ සියල්ල ධාරණය කරගන්නා වග විශ්වාස කරමින් ඈ පැවසුවා ය.සිතිජ කියනා අන්දමටම මේ සටනෙහි නිරත විය යුතු වේ.ඉන් ජය ලැබිය යුතු වේ.

අයහපත් පුතෙකු ගැන ළසඳා මෙන් ආඩම්බර නොවිය යුතු වේ.

ජීවිතයේ හොඳම දේ වෙනුවෙන් සටන් කරන්නට හිරුදි තදබල තීරණයකට එල්බ ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles