මීදුම් මාරුත -7

සෙනුරගේ අම්මාත් තාත්තාත් කාව්‍යා දකින්නට ආවේ සෙනුරගේ වියෝවට අට මසක් ගෙවෙන දිනකදී ය.සන්සුන්ව ගලා යමින් තිබූ ජීවිත අතර කාව්‍යා පැමිණීම සෙනුරගේ අම්මාට එකල්හි ඉතා සන්තෝසජනක කාරණාවක් විණි.කාව්‍යා තරම් සෙනුරට ගැළපෙන යුවතියක නැතැයි ඇය අනේක වාරයක් උදම් ඇනුවේ එනිසා ය.දිගුකාලීන ප්‍රේම කතාවකට පසු කාව්‍යා සෙනුරගේ මනාලිය වූ දා සෙනුරගේ අම්මා බොහෝ තුටු වූයේම එනිසා ය.

“අවුරුදු ගණන් යාලු වෙලා හිටිය කියල බෑ.කසාද බන්දන්න කලින් කේන්දර බලන්න තිබ්බා.මංනම් කියන්නෙ ඔය ගෑනු ළමයගෙ කේන්දරේ මොකක්හරි දෝසයක් තියෙන්නැති.”

ඥාති ගැහැනුන් ඇයට විස පොවන්නට තැත් කළ ද ආත්මය මියගොස් ඇවිදින මළ කඳක් වූ සෙනුරගේ අම්මා ඒවා ඇසුවේ නැත.නමුත් ඇය ඒ කතා වලට එරෙහි වූවා ය.

“මේ කාලකන්නි ලෙඩෙක් දැන් ලක්ෂ ගාණක් ලෝකෙ පුරා මැරිලා ඉවරනෙ.ඒ ඔක්කොම කේන්දර දෝස තියෙන මිනිස්සුද?”

ඇය ඒ ඥාතීන්ගෙන් පෙරළා ප්‍රශ්න කළා ය.ඉතා තරුණ වයසකදී තම සැමියා අහිමි වූ ලේලියට රිදවන්නට ඇයට සිත් වූයේ නැත.දස වසරක් පමණ ආදරය කර විවාහ වූ ප්‍රේමවන්තයා විවාහයට වසරක් පිරෙන්නටත් පෙර කාව්‍යාට අහිමි වීම දෛවයේ හෝ ග්‍රහ තාරකා වල බලපෑමක් නොවන බව ඒ බුද්ධිමත් අම්මා දැන සිටියා ය.ලෝකයම ගිලී ගිය වසංගතය තමන්ගේ නිවස තුළට පැමිණ එහි තිබූ වටිනාම වස්තුව පැහැර ගෙන අවසන් ය.එහි වේදනාව තමාටත් ඇයටත් බව සෙනුරගේ අම්මා දැන සිටියා ය.

“දූ, අයියා අපිට ටිකට්ස් එවලා.මමයි අම්මයි යනව කියන්නයි ආවේ..”

සෙනුරගේ තාත්තා කාව්‍යාට පැවසී ය.කාව්‍යා හිස සැලුවා ය.

“අයියා කියනව දුව කැමතිනම් දූටත් එහෙ ආවැකි කියල.ගිහින් තව මොනවහරි ඉගෙන ගන්න හරි බැරිය..”

සෙනුරගේ අම්මා කාව්‍යාගෙන් අසද්දී සසැලුණේ කාව්‍යාගේ අම්මා මාලිකා ය.

“එයා යන එකක් නෑ අක්කේ..”

ඇය මේ මොහොතේ දියණියගෙන් දුරස් වන්නට ඇති අකමැත්තට පැවසී ය.කාව්‍යා නැන්දම්මාට ළතෙත් මඳහසක් පා කළා ය.

“මං ඉන්නං අම්මා.මට එහෙම එන්න හිතක් නෑ.කොහොමත් මට මේ දැන් අම්මලා එක්ක එන්න බෑනෙ.ටික කාලයක් ගිහින් මට එහෙම එන එක හොඳයි කියල හිතුණොත් මම අම්මට කෝල් කරන්නම්කො..”

සෙනුරගේ තාත්තා කාව්‍යා දෙස බැලුවේ කියන්නට අත්‍යවශ්‍යම වූ කාරණාවක් ගැන ඇයට කියන්නට ය.තමන්ගේ ජීව විද්‍යා අමතර පන්තියේ සිටි දක්ෂතම සිසුවිය මේ දස වසර තුළ තමන්ගේම දියණියක වීම ඔහුට සතුටකි.නමුත් කාව්‍යා තවදුරටත් තම පවුලට බැඳ තබා ගැනීම දොසක් බව ඔහු සිතී ය.

“කාව්‍යා,ඔයා තව ඉගෙන ගන්න ඕන තමයි පුතා.ඔයා තරුණ දරුවෙක්නෙ.අනික මං ඔයාලට ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම කිව්වේ මොනතරම් කඩාවැටීම් වුණත් තමන්ගෙ හීනයි බලාපොරොත්තුයි අතෑර ගන්න එපා කියල.ඒක මම පුතාට ආයෙම කියනව.ඔයාටත් අපටත් වුණේ බරපතලම වේදනාවක් තමයි.අම්මයි මමයි වයසක මිනිස්සු නිසා ඒ වේදනාවෙන් ගොඩ එන්න අමාරු වෙයි.ඒත් පුතා ටික ටික එතැනින් ගොඩට එන්න ඕන..”

විවිධාකාර ඕපාදූප ද අසභ්‍ය කතා සහ දේශපාලනික වග විස්තර ද කියවමින් කාලය නාස්ති කරන ටියුෂන් පන්ති අතර සෙනුරගේ තාත්තා වූ “හේමචන්ද්‍ර සර්” ගේ ජීව විද්‍යා පන්තිය එසේ නොවූ බව කාව්‍යාට අමතකව නොයේ.ඔහු සෑම මොහොතකම පැවසුවේ ජීවිතය වඩා යහපත් කරගන්නට අවවාද සහ මඟ ළකුණු ය.ඔහුගේ සිසුවියගෙන් මිදී දියණිය වූ පසු ද එහි වෙනසක් වූයේ නැත.

“තාත්තා මටයි අයියටයි වඩා ඔයාටයි එරන්දි අක්කටයි තමා ආදරේ.” කාව්‍යා සහ අයියාගේ බිරිඳ ගැන සෙනුර එසේ ඉරිසියා කළ තැන් පවා තිබිණ.හේමචන්ද්‍ර මහතා එපමණකට තම ලේලියන්ට ආදරය කළ තාත්තා කෙනෙකි.

“මාත් කියන්න හිටියෙ මාලිකා නංගි.දුව සදහටම අපේ තමයි.ඒකෙ වෙනසක් නෑ.ඒත් මෙහෙම හැමදාම ඉන්න දෙන්න නම් බෑ.තව ටික කාලයක් ගිහින් අපි හොඳ මහත්තයෙක් හොයන්න ඕන අපේ කෙල්ලට..”

සෙනුරගේ අම්මා එසේ පැවසුවේ කඳුළු අතරිනි.කාව්‍යා මහ හඬින් ඉකිගසමින් ඇය වැළඳ ගත්තා ය.

“අනේ අම්මා..සෙනුරට වඩා හොඳ කෙනෙක් ආයේ නෑ..මට ඔහොම ඒවා කියන්න එපා..”

ඒ කඳුළු කාව්‍යාගේ අම්මාට ද බෝවන්නට එතරම් වෙලාවක් ගත නොවිණ.හඬන ගැහැනුන්ට දුකෙහි ඇලෙන්නට නොදී හේමචන්ද්‍ර මහතා ඔවුන් ඇමතුවේ ය.

“කසාදයක් කියන්නෙ අත්‍යවශ්‍යම දෙයක් නෙවෙයි තමා.කාව්‍යා දුව අඬ අඬා දුකින් ඉන්නවටයි අපි අකමැති.ඒකට චූටි පුතාත් කැමති වෙන එකක් නෑ.දුව ආයේ මැරි කරන නොකරන එක ගැන අපි පස්සෙ හිතමු.”

සෙනුරගේ තාත්තා එසේ කියද්දී කාව්‍යා කඳුළු පිසදා ගත්තා ය.සෙනුරට තමන් හන්දා දුක් වන්නට ඉඩ දිය යුතු නොවේ.ඔහු සතුටින් පිරුණු මිනිසෙකු ලෙස ජීවත් වූවෙකි.පණනල අයදිමින් සටන් කළ මිනිසුන්ව ජීවත් කරවීමේ සටනක නියැලුණු සෙනුර ජීවිතය අතැර දැම්මේ සතුරා අවසානයේ ඔහු ගොදුරු කරගත් හන්දා ය.නමුත් ඔහු අවසන් හුස්ම හෙළන්නට ඇත්තේ ද සැනසීමෙන් වග කාව්‍යා සිතුවා ය.සෙනුර එතරමට යහපත සමඟ ජීවත් වූ තරුණයෙකි.

“මං අපේ ගේ රෙන්ට් එකට දෙනව අම්මෙ.මං මෙහෙ හිටියට කමක් නෑ නේද?”

සෙනුරගේ අම්මාත් තාත්තාත් සමුගෙන ගිය පසු බොහෝ වෙලාවක කල්පනාවේ සිටි කාව්‍යා අම්මාගෙන් ඇසුවා ය.මාලිකා ඇය වැළඳ ගෙන හිස පිරිමැද්දා ය.

“මොනවද පුතේ මේ අහන්නෙ?මේ ඔයාගෙ ගෙදරනෙ.ඔයාලගෙ තාත්තා ඔයාලට හදපු ගේ..”

තාත්තා ජීවත්ව සිටියානම් මේ වේදනාව ඔහු සමඟ බෙදා ගන්නට තිබිණ.එසේ වී නම් ජීවිතය මෙතරම් බරක් ලෙස නොදැනෙන බව කාව්‍යා සිතුවා ය.තාත්තා ද සෙනුර ද දෙදෙනාම උදුරා ගත් දෛවයට දොස් නොපැවරූ නමුත් කාව්‍යා සිටියේ තිගැස්මෙනි.ඒ ඇය දන්නා ආදරණීයම පිරිමින් දෙදෙනා ය.තාත්තාත් සෙනුරත් හැරුණු විට ඇයට ආරක්ෂාකාරී හැඟීමක් සහ සෙනෙහසක් උපදවන්නට සමත් පිරිමින් වූයේ දෙදෙනෙකි.ඉන් හේමචන්ද්‍ර මහතා නවසීලන්තයට පිටත්ව යන්නට නියමිත ය.කාව්‍යා අනෙකා ගැන සිතන්නට වූවා ය.

ඔහු ඇගේ බාල කාලයේ මිතුරා ය.ඒ මිතුරුකම මේ අතිශය අසීරු කාලය දක්වා රැගෙන ආ තරුණයා ය.ඔහු තමන්ගේ මස්සිනා වූ පසු ඒ මිත්‍රත්වය රැකේදැයි කාව්‍යා සිතුවා ය.සියල්ල අහිමිව යන තැනක මිත්‍රත්වයකට ලොබ බැඳිය යුතු නැතැයි ඇය ඉනික්බිති සිතුවා ය

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත -22

දොර හැරි ගමන් ආදිත්‍යා කළේ යටිගිරියෙන් කෑ ගසනා එක ය. ඇය දෙතුන් වරක් එසේ කෑ ගැසුවා ය. ආමන්තා ඇඳෙන් බැස ඈ වෙත...

බබ්බු බැලිල්ල.

නාලිකා කාර්යාල මේසය උඩින් අත් බෑගය තිබ්බේ සද්දේ ඇහෙන්න.ඊටත් පස්සේ වටේම බැලුවේ කවුරුහරි ඒකට හේතු අහයි වගේ.කාවින්දිට හිනා යන්න ආවත් හිනාව හංගාගෙන...

මීදුම් මාරුත -19

"සකුණ භාවනාගෙන් බ්‍රේකප් නේද?"උදාරා එසේ අසද්දී කාව්‍යා සුසුමක් හෙළුවා ය.නංගී ප්‍රේමයකින් පැරදීම මහා කාරණාවක්ව නොගන්නා බව ඇය දනියි.නමුත්...

මතක දිගහැරුම 75 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ පස්වන දිගහැරුම ,දරුවන්‍ට ඉතා හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා ඔවුන්ව හොඳ පාසලකට ඇතුළත් කිරීම අපගේ ඊළඟ අරමුණ විය.ඒ...

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content