සඳ ගංතෙර – 64

“අපි යං”

දුලාජ් එහෙම කීවේ ය. තාරුකාගේ තාත්තා මිය යද්දී ඔහු ඇගේ පෙම්වතා ය. තොරක් නැතුව හඬමින් සිටි තාරුකා ද ගලක් වී බලා සිටි සඳරැස් ද එහෙමම සිටියදී දුලාජ් මල්වැන්න මහතාගේ අවසන් ගෞරවය වෙනුවෙන් බර කරට ගත්තේ ය.එහෙත් අක්කා මලෝට තාත්තා ගැන හද කකියන වේදනාවක් මිසක පසුතැවීමක් නොතිබිණ. ඒ ඔවුන්ගේ හොඳම මිතුරා ය. හොඳම ගුරුවරයා ය. රස කෑම සාදා දුන් කෝකියා ය. සියල්ලටම වඩා අම්මා ද වූ තාත්තා ය. මල්වැන්න මහතාට අක්කාත් මල්ලීත් බැඳී සිටියේ ගහට පොත්ත වාගේ ය. කොලුකමට කළ දඟ වැඩ හැරෙන්නට සඳරැස් පවා ඔහුව රිදවූයේ නැත. දෙවැනි වතාව වෛද්‍ය පීඨයට යා හැකිදැයි උත්සාහ කර බලන්නැයි කියද්දී එය නොපිළිගැනීම හැරෙන්නට තාරුකා ද තාත්තාට අකීකරු වූ දවසක් නැති තරම් ය.

තාත්තාව ඔවුන්‍ට කිසිම මොහොතක මඟ හැරුණේ නැත.

නමුත් මෙතැන කතාව වෙනස් ය. චාන්දනී විජේවර්ධන දරුවන් අතැර දැම්මා ය. ඇයට නැවත කිසිම අයුරකින් අවස්ථා ලබා නොදෙන්නට දරුවන් ද වග බලා ගත් හන්දා හිඩැස ඇති වී බොහෝ කල් ය.

එක්කෝ මේ හිඩැස පිරෙන මොහොතකි. නැතිනම් චාන්දනී තවත් මානසිකව වේදනාවට පත් වන මොහොතකි. නමුත් අක්කාත් මල්ලීත් එහි රැගෙන යන්නට දුලාජ් තීරණය කළේ ය.

“තවදුරටත් නෑකම් හංගන් රඟපාන්න බැරි වෙයි මල්ලි.”

රෝහල පෙනෙන මානයේදී තාරුකා පැවසුවා ය. නමුත් සඳරැස් මොකවත්ම කියන්නට ගියේ නැත. ඔහුට ඇත්තටම අවශ්‍ය විහස්ව අල්ලා ගන්නට ය. ඔහුට නොබිඳී ඉන්නට උදව් කරන්නට ය.

“අම්මට අමාරුද හිතෙනවා.”

විහස්ගේ හඬ බිඳී තිබේ. තාරුකා ඔහුගේ හිස පිරිමැද්දා ය. අම්මා අසනීප වූ විට වඩාත්ම වේදනාව ගෙදර බඩපිස්සාට බව ඇය සිතුවා ය.

“අම්මා රූම් එකට දැම්මා. පුතාලට බලන්න පුලුවන්. මායි සහසුයි බලලා ආවේ.”

කමල් පැමිණ කීවේ කාටත් ඇසෙන්නට ය. ඒ අවසරයෙන් තාරුකා ඇතුළට යන්නට සැරසුණා ය.

“අම්මට කාවවත් මීට් වෙන්න දෙන්න බෑ”

සහස් වහා මැදට ආවේ ය. මේ වෙන්නට යන දෙයට ඔහුට මනාපයක් නැත.

“අක්කට අම්මා ගාවට යන්න දෙන්න”

කමල්ගේ කටහඬ ගැඹුරු ලෙස නැඟී ආවේ ය. ඒ ඉල්ලීමක් නොවේ අණකි!

තාරුකා ගිලන් සයනය වෙතට පියමං කළා ය. වසර ගණනාවකිනි. කාලය ඉතා දීර්ඝව ගෙවී තිබේ. කරන්නට කිසිම දෙයක් නැත. මේ මොහොත ගෙවන්නටම ඕනෑ වී තිබේ.

කාලයකට පසු සනීප අතකින් නළල පිරිමැදෙන අන්දම චාන්දනී දරා සිටියා ය.

සිහිනයකි!

ඇගේ යෞවන කාලය ඇගේ හිස පිරිමදිමින් සිටියි. ජීවිතය අවසන් වී ඇති බව ඇයට පැහැදිලි ය. යෞවනය අතීතය ගැන සිහි කැඳවමින් ඇය වෙත පැමිණ තිබේ.

“අම්මා…”

ඒ ස්වරය ඇසුණේ සිහිනයකින් වාගේ ය. චාන්දනී ඇස හැරියා ය.

“ලොකු දූ.”

තාරුකා ඇයවම හඳුන්වා දුන්නා ය.චාන්දනී ගැස්සී ගියා ය

“ඔලුව රිදෙනවද අම්මා?”

කාලයකට පසු හමු වූ දියණියකට එවැනි සරල ප්‍රශ්නයක් අසන්නට ඇතැයි චාන්දනී සිතුවේ නැත. නමුත් ඇය අසමින් සිටින්නේ එය ය. සරල ප්‍රශ්නයකි. නමුත් චාන්දනීගේ හිස බර වී ගියේ ය.

“අත ගාන්නද?”

කුඩා කාලයේ අම්මා නළලේ තබන ඕඩිකොලොන් රෙදි පටිය තාරුකාට සිහි වේ. අනතුරුව ඇය කවි කියයි. ප්‍රියතම කවි කොයි තරමට ද?

සඳ ද සිනිඳු රැස් කඳු 

නො හෙළා බිමැ එක බඳු  

වලාකුලින් පිරිසිදු

පෙරා එවයි බිඳු බිඳු

අම්මා එසේ ගයද්දී හොඳටෝම උණ ගැනුණු දැරියකට සඳරැස් බිමට වැටෙන අන්දම බලන්නට ඕනැ වේ.

“සඳරැස් තොටිල්ලෙන් ඩුක් කියල බිම වැටුණොත් තමයි.”

අම්මා හිනැහේ. ඒ අතීතය මොනතරම් මිහිරි ද? නමුත් දැන් ඒ මිහිරි බව නොදැනෙන තරම් ය.

 “කාත් එක්කද ආවේ පුතේ?”

අම්මාගේ අත අත් හැරී කාලයේ මොනතරම් දේ සිදු වුණාදැයි තාරුකා සිතුවා ය. නමුත් දැන් ඒවා ගැන කතා කර තේරුමක් නොවේ.  ඒ නිසා ඇය අම්මාගේ හිස පිරිමදිමින් බලා සිටියා ය.

“අපි වැඩියෙන්ම හොඳට දන්නවා කියලා හිතන මිනිස්සු ගැන මුකුත්ම අපි දන්නේ නෑ.ඔයාටත් වෙලා තියෙන්නේ ඒක.අම්මාගේ ජීවිතේ හීන,ටාගට්ස් ගැන තේරුම් ගන්නවා නම් ඔයාට එයාව නැති කරගන්නේ නැතුව ඉන්න පුළුවන්..”

තාත්තා එහෙම කිව්වේ බොහෝ කාලයකට පෙර ය. නමුත් එය එසේ බව දැන් ඇයට සිතේ. අම්මාට ද ලෝකයක් තිබිණ. ඇය එය පිළි ගත්තේ නැත. එහෙත් දැන් එය පිළි ගන්නට සිදු වේ.

“දරුවා කොහෙද පුතේ?”

මේ අලුත් අම්මා කෙනෙකි. ඇය දරුවා දමා පැමිණීම ගැන චාන්දනීට දුකක් දැනේ. අම්මා කෙනෙකුට දරුවෙකු මඟ හැරෙන්නට ඕනෑ නැත.

“එයා අම්මා ගාව අම්මේ”

අම්මා! ඇය එය පැවසුවේ තමාට නොවේ. ඇයට අම්මා කෙනෙකු හිඳියි. ඒ ගැන තාරුකා නොසිතා පවසන්නට ඇත.

එහෙත් චාන්දනීගේ හද බිඳී ගියේ ය.

(අපි හෙට දිග කොටසක් කියවමු)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles