ශරදාකාසේ – 12

විහාරයේ බෝ පත් සෙලැවෙන සිලි සිලිය අවන් හලට ද ඇසේ. බෝධි වෘක්ෂයේ මුදුන් කොටස, එළිමහන් අවන් හලේ හිඳිනා නිශාමනී ගේ සේ ම පංචලී ගේ ද නෙතු වල හැපෙමින් තිබිණ. ඔවුන් දෙදෙනා ගේ ම හදවත් වල වූයේ ද එබඳු ම සන්සුන් බවකි. සුළි කුණාටු වලින් පසු ද අසීමිත ලෙස පරිසරය සන්සුන් වේ!

සාමාන්‍යයෙන් මේ ස්ත්‍රීන් දෙදෙනෙකුට කෙහෙ වලු පටලවා ගත හැකි නිමිත්තකි. එක ම පිරිමියෙකු බෙදා ගැනීම වෙනුවෙන් එසේ කෙහෙ වලු පටලවා ගැනීම, මිනිස් ඉතිහාසයේ හැම කලෙක ම ගැහැනුන් අතර සිදු විය. එතකොට පිරිමියා නිකන් ම ශ්‍රේෂ්ඨත්වයට පත් වේ. ඔහු බෙදා ගැනීමට ගැහැනුන් මරා ගනිති. නමුත් මේ ස්ත්‍රීන් දෙදෙනාට ම එවන් උවමනාවක් ඇති බවක් පෙනෙන්නට තිබුණේ නැත. 

“මං කොහොමත් සම්ප්‍රදායික ගෑනියෙක්. ඒක දැන් මට වැඩි වැඩියෙන් තේරෙනව”

නිශාමනී සිය හඬ අවදි කළේ පංචලී ව හොයන්නට යාමෙන් නොව තමන් ව ම හොයා ගන්නට උත්සාහ කිරීමෙනි.

“මට ඔයාගෙන් එක දෙයක් දැන ගන්න ඕන පංචලී”

“දන්න දෙයක්නං මං බොරුවක් කියන්නෙ නෑ”

ඇය වාචික ව එසේ  නො කීවත් ඒ ඇස් අවංක කමෙහි ප්‍රතිමූර්තියක් බව මේ විනාඩි කිහිපය තුළ නිශාමනී නිගමනය කර තිබුණා ය.

“ශාරද ඔයා ළඟදි ඇත්තට ම සතුටෙන් හිටියද…”

පංචලී තුළ ඇති වූයේ ගැස්මක් ම නොවේ. ඒ ප්‍රශ්නයට නිවැරදි ම පිළිතුර දෙන්නට තරම් ඈ ඔහු ව නිරීක්ෂණය කොට ඇත් ද වාගේ ප්‍රශ්නයකි. ඒ ප්‍රශ්නයට ද නෑ කියා පිළිතුරු දිය නො හැකි ය. සමාජය කොයි විදිහට නිර්වචනය කළත් ඒ ඇසුර ඇති වූ දා සිට ඇය ශාරද ට අවංක වූවා ය. දිවි හිමියෙන් පෙම් කළා ය. ලෝකයේ නින්දාපවාද දරා ගනිමින් ද කළේ ආදරය විතර ය. එද පෙරලා කිසිවක් ම බලාපොරොත්තුවෙන් නොවේ. වාචික ව කවරක් පැවසී ද ඔහු ඇය වෙතට නො එන බව ඇය ඉඳුරා දැන සිටියා ය. එසේ කරාවියි බලාපොරොත්තුවක් ද නො දරා සිටියා ය. විටෙක ඇය අපේක්ෂා භංගත්වයට පත් නො වූවා ම නොවේ. සිය අනාගතය ගැන බරපතල සන්ත්‍රාසයකට පත් නොවූවා නොවේ. නමුත් දියෙහි ගැඹුර දැන දැන ඊට පැන ගත් පාපයට, නාසයට ඉහළින් වතුර යමින් තිබුණ ද ඉවසා ඉන්නට ඇය ට සිදු වූයේ ය. ශාරද ඈ අස පෙන්වූ ආදරය, ඇයට ඒ සඳහා ශක්තියක් වන්නට ඇත. 

“මං හිතන්නෙ…ඔව්…”

ඔහු ගේ චර්යාවන් ගැන සිහිපත් කළ ඕ ඇය ට දැනුණා වූ අවංක ම හැඟීම ප්‍රකාශ කොට සිටියා ය. නිශාමනී ලොකු සුසුමකින් මිදුණා ය. 

“සමහර දේවල් සිද්ද වෙන්නෙ ලොකු අවබෝධයක් ඇතුව නෙවෙයි නිශාමනී. ශාරද ට ආදරේ වෙන එකත් මේ තරං බරපතල වරදක් කියල ඇත්කටම මුලදි මට දැනිල තිබුණෙ නෑ. වයසක් තියනවනෙ එහෙම…සමාජය ගැන ලොකු අවබෝධයක් නැතුව අපි සමාජයට එන කාලෙ. මගෙ ෆස්ට් ජොබ් එක. මට දැනුණ පළවෙනි ආදරේ. ආදරේ කියන්නෙ හැඟීමක් කියන එක තේරුං යන්නෙ පස්සෙ. මැරි කරපු කෙනෙක් ගැන වුණත් ආදරේ දැනෙන්න පුළුවන්. ඒත් එහෙම කෙනෙකුට ආදරේ කරන එක මේ සමාජෙ ප්‍රැක්ටිකල් නෑ කියල තේරෙනකොට මං ඒ ආදරේ ගැඹුරට ගිලිල ඉවරයි. යමක් තේරෙන්න ගන්නකොට මට ඕන වුණා ඒකෙන් මිදෙන්න. හැබැයි අර කොහොල්ලෑ බබාට රැවටුණ හාවාට වගේ ගැලවීමක් තිබුණෙ නෑ. ගැලවෙන්න උත්සාහ කරන්න කරන්න තව තවත් ඇලුණ එකයි වුණේ”

ඒ එක වචනයකවත් මවා පෑමක් වූයේ නැත. පංචලී කතා කළේ ඇය ට අනුව පරම සත්‍ය ය. නිශාමනී ට ඇය කෙරේ ද්වේශයක් වෛරයක් නොව සුළු කේන්තියක් හෝ නො දැනීම පුදුම සහගත ය. ඇය මේ කෙල්ල ගේ පෙම් හිත ගැන අනුකම්පා කළා ය.

“ශාරද මට කියල තියනව ඔෆිස් එකේ සමහර බැඳපු පිරිමි ගෑනු ළමයිංව රවට්ටගන්න කතා. අනුකම්පාව දිනා ගෙන ඒ ළමයින්ගෙ අනාගතේ නාස්ති කරල දාන කතා. ඒත් එයා එහෙම නොකරයිද කියල හිතුවෙ නැති එක මගෙ දුර්වල කම”

නිශාමනී ගේ මුවග සිනහවක් ඇඳිණ. එය කිසි සේත් ආත්මානුකම්පාවක් මත උපන් සිනහවක් නො වන බව දැනුණ කල්හි පංචලී සසැලී ගියා ය. ගැහැනියකට එහෙම ආත්ම ශක්තියක් තිබිය හැකි යයි ඇය වුව විශ්වාස කළේ නැත. 

“මේ වගේ හුරතල් ලස්සන චූටි දූ පැටියෙක් ඉන්න තාත්ත කෙනෙක්ට ඊට වඩා ලෝකයක් ගෙදරින් පිට තියෙයිද කියල හිතන්න මට අමතක වෙන්න ඇති. ඒත් හිත් කියන්නෙ කිසිම හේතුවක් මත එක තැනක නතර කරල තියන්න බැරි දෙයක් කියල දැං මං දන්නව පංචලී”

“මට සමා වෙන්න. මං තව දුරටත් ඔයාගෙ දුවගෙ තාත්තව මගෙ ආදරෙං බැඳල තියා ගන්නෙ නෑ”

පංචලී සිය වෙව්ලන අතක් නිශාමනී ගේ අතක් මතින් තබා සපථ වූවා ය. ඒ ඇස් කඳුළු පාට ය. නමුත් ඒවායේ අධිෂ්ඨානයක් වන බව නිශාමනී ට දැකිය හැකි විය. ඇය මඳහසක් නගා ගත්තා ය. ඒ සිනහවේ දයාර්ද්‍ර බව පංචලී ගේ පපුවට දැනිණ. 

“අපිට කාවවත් ආදරෙං බැඳල තියා ගන්න බෑ පංචලී. අපි කාටහරි ආදරෙං බැඳිල ඉන්න විතරයි පුළුවන්”

පංචලී ගේ අත සීතල වනු නිශාමනී ට දැනුණේ ය. මඳ වෙලාවකින් ඈ සිය අත මේසය දිග තමන් වෙතට ඇදගත්තා ය. 

“එහෙම බැඳල තියා ගන්න පුළුවන් වුණානං ශාරද ඔයා ළඟට යන්න විදිහක් නෑ නේද..මං බැඳිල ඉද්දි එයාට බැරි වුණා බැඳිල ඉන්න. ලෝකෙ මොනා කිව්වත් ඇත්ත ඒක තමයි පංචලී. දැං මට ඒක තේරෙනව. කෙනෙක්ව කසාද බැන්දට ආදරේ කසාද බඳින්න බෑ. ආදරේ කියන්නෙ ඊට වඩා නිදහස් හැඟීමක්. මට දැන ගන්න ඕන වුණේ කසාද බැඳපු කෙනෙක්ගෙ හිතේ පිටස්තර කෙනෙක් ගැන ඇත්තටම ආදරයක් ඇති වෙන්න පුළුවන් ද කියලයි…ඒක බැරි දෙයක් නෙවෙයි කියල ඔයාගෙ ඇස් මට කියල දෙනව”

“අනේ නිශාමනී”

“ඔයා ඕනනං මට වඩා අවුරුදු දෙක තුනකට බාල ඇති. ඒත් ඒත් මං කොච්චර සම්ප්‍රදායික ගෑනියෙක්ද ඔයා ආදරේ ගැන මට වැඩිය කොච්චර විවෘත විදිහට හිතපු ගෑනු ළමයෙක්ද කියල මේ මොහොත මට කියල දුන්නා පංචලී. ඒක නිසා මේ මොහොතට මං තෑන්ක් කරනව. ඒ වගේම ඔයාටත් තෑන්ක් කරන්න ඕන”

“මට…”

පංචලී ගේ ඇස් විශ්මයෙන් කුඩා විය.

“ඔව්. ශාරද අයාලේ යන්න තිබුණ එක ඔයා නිසා නතර වුණා වෙන්න ඇති. නැත්තං එයා තව කොහේ කොහේ යන්න තිබුණද කියල දැන් මට හිතෙනව”

“ඔයා මාව අඬෝනව නිශාමනී”

“අපි හැමෝම ආදරේ නිසා අඬා වැටෙන ගෑනු පංචලී”

එදා ඔවුන් සමු ගත්තේ හිත් වල බරක් ඇතිව ද නැතිව ද කියා ඔවුන් ම දැන සිටියේ නැත. පංචලී නික්ම ගියේ නිශාමනී හා එසඳි ව ත්‍රීරෝද රියකට ගොඩ කිරීමෙන් අනතුරුව ය.

“මාව හම්බුණා කියන්නෙපා”

රිය පිටත් වෙත්දී නිශාමනී හිස පිටතට දමා පිටුපස බලමින් කීවා ය. පංචලී දැනෙන නො දැනෙන ගාණට හිස දෙපසට සැලුවා ය. 

රිය තුළදී නිශාමනී නො දැන ම ඇගේ කොපුල් දිග කඳුළු දෙපෙළක් ගලා ගියේ ය. ඇය ඒවා පිසලන්නට වෙහෙසුණේ නැත. විවෘත රිය තුළට කඩා වැදුණ අකීකරු සුළං ඒ කාරිය තමන් සතු කර ගෙන තිබිණ. හිතට දැනෙන්නේ සැහැල්ලුවක් ද සතුටක් ද දුකක් ද බරක් ද කියා ඇය ට වැටහුණේ නැත. ඇය බලයෙන් ඒවා තේරුම් ගැනීමේ උත්සාහයක් දැරුවේ ද නැත. 

නිශාමනී ගෙදර යන විටත් ශාරද යහන බදා ගෙන නිදා සිටියේ ය. ඔහු සිටියේ අපේක්ෂා භංගත්වයට පත්ව ය. නිශාමනී මේ විදිහේ හිතුවක්කාර ගැහැනියක ලෙස ඔහු මේ දකිනවා ම ය. දික්කසාදය ඉල්ලා සිටීමට තරම් ඇය දැඩි වූවා යයි තවමත් ඔහු ට විශ්වාස කර ගත නො හැකි ය.

නිශාමනී දින කිහිපයකට පසු මුළුතැන්ගෙට ගොස් රෑ කෑම සකසන්නට පටන් ගත්තා ය. පහුගිය ටිකේ ම ආකාස පිටින් රෑ කෑම ගෙනාවේ ය. ඇය උයන ගමන් ම ජංගම දුරකතනයෙන් ඔහු ට ඇමතුමක් ගත්තා ය.

“කෑම ගේන්න එපා එළියෙං. මං උයනවා”

ආකාස ගේ පපුවට එක වර උණුසුමක් ද සිසිලක් ද දැනිණ. ඒ සංවේදනාවන් හි අරුත් පසිඳින්නට ඒ වෙලාව නොවී ය.

“සාම සාකච්චා වටයක් පැවැත්විලා වගෙයි. මට සතුටුයි”

වෙන මොනවා නැතත් ඇය ගෙදර රැඳෙනවා කියන හැඟීම ම ඔහු ට සතුට ගෙන එන මංගල කාරණයකි. 

“ඒ සාකච්චා වල අන්තිම තීරණේ මං ඔයාගෙ අයියට දැනුම් දුන්නා”

“තීරණේ මොකක් වුණත් එයා කොන්දේසි නැතුව එකඟ වෙන්න ඕනෙ”

“ඔව් එයා එකඟ වෙන්න ඕනෙ. මං එයාගෙන් ඩිවෝස් එක ඉල්ලුව මල්ලි”

ආකාස ගේ ශ්වසනය අවහිර වූයේ ඒ වෙලාවේ ය. ඔහු මඳ වෙලාවක් හුස්ම නතර කර ගෙන බලා සිටියේ ය. ඊළඟට පාරේ අයිනකට කොට රිය නතර කළේ ය.

“මොකද්ද ඔයා කියන්නෙ…”

“ඒ ඔයාට ඇහුණ දේ තමයි. ගෙදර එන්නකො. අපි හෙමිහිට කතා කරමු”

සිය ස්වාමියා වෙනතක බැඳී ඇතැයි අවබෝධයට පත් වීම තුළ ගැහැනියකට ඔහු හා වූ සියලු ප්‍රේම බන්ධන මුදා ලිය හැකි ය. ඇය හඬන්නේත්, ප්‍රේමය යදින්නේත්, ජීවිතය අයැද සිටින්නේත් ඒ අවබෝධයට පෙර ය. අවබෝධය ලැබූ ඉක්බිති ඇයට අවශ්‍ය වන්නේ එතැනින් පලා යාමට ය. තමන් ව ප්‍රතික්ෂේප වූ, නො සලකා හැරුණු තැනෙක තව දුරටත් ළතැවෙමින් වද වෙන්නට කිසිවෙකුට ඕනෑ නැත. 

“අපි දවස් දෙක තුනකට කොහෙ හරි යං. ටිකක් ඈතකට…ලස්සන තැනක ටිකක් නතර වෙලා ඉඳල එන්න. එතකොට ඔයාගෙ හිතේ තියෙන මනස්ගාත ඇරිල යයි”

මුළුතැන්ගෙට පිවිසි ශාරද, ටික වෙලාවක් හොර ගල් අහුලමින් හිඳ කීවේ ය. නිශාමනී ට ඔහු ගේ මූණ දෙස හෝ බලන්නට සිත් වූයේ නැත.

“මට එහෙම යන්න ඕන වුණ දවස් තිබුණා. ඒත් ඔයාට නිවාඩු නැති වුණානෙ එතකොට නේ….ඇත්තටම වුණේ නිවාඩු නැති වුණ එක නෙවෙයි නිවාඩු ඕන නැති වුණ එක…”

“ඇති ඇති ඉතිං…අපෝ…ගෑනුද…කිසි දේකිං සෑහීමට පත් වෙන ජාතියක් නෙවෙයි”

“ඒ කියන්නෙ පිරිමි සෑහීමට පත් වෙනවද ශාරද…ප්‍රශ්නෙ තියෙන්නෙ ගෑනුද පිරිමිද කියන එකේ නෙවෙයි ශාරද…තමුන්ට පාලනේ කර ගන්න බැරි හිතේ. කොයි තරං ආසාවල් පස්සෙ දිව්වත් ජීවිතේ කියන්නෙ ඒ ආසාවල් සන්සිඳෝ ගන්න පුළුවන් තරං දිග එකක් නෙවෙයි කියල තේරෙන දවසට තමයි පාලනය කර ගන්න බැරි හිත් තිබුණ මිනිස්සු නතර වෙන්නෙ. එතකල් දුවයි”

නිශාමනී හැරී බලන විටත් ශාරද පේන්නට හිටියේ නැත. අද සැඳෑවේ, ආකාස ද පැමිණි විට මේ තීරණාත්මක කතාව යළි ඇති කළ යුතු යයි ඇය සිතා ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

(අ)හිමි සිහින -233

අද විශේෂ දවසක්. ඔබ එක්ක මගේ ජීවිත කතාව මේ අවුරුද්ද පුරා මම බෙදාගත්තා. අනේක හැලහැප්පීම් කඩාවැටීම් නැගීසිටීම් දරාගැනීම් එක්ක ආපු මගේ ජීවිතබ්කතාවේ...

නිබ්බුත ගීත -30

මල්ලී හා මා අතරේ වසර තුනක පමණ වයස් පරතරයක් වේ. ඒ නිසා මා කුඩා කල පවා මට ඔහු දැනුණේ කුඩා දරුවෙකු සේ...

නිබ්බුත ගීත -29

මේ ජීවිතයට මම අතිශය ආදරය කරමි. ජීවත් වූ මේ කෙටි කාලයට ජීවිත සිය ගණනක් ජීවත් වූවා සේ මට දැනේ. එය දුක ද...

සුහදිනි – 78

ජය ඝෝෂා නැඟෙමින් තිබුණේ පරාජය පිළි නොගන්නා රසිකයන්ගෙනි.හඹා යා යුතු ඉලක්කය දිගු දුර එකකි.එහෙත් එය නොහැකි ඉලක්කයක් ද නොවේ.අහස් තමන්ගේ ඉනිම ඇරඹුවේ...

(අ)හිමි සිහින -232

මිනිස්සුන්ට විවිධ අදහස් මති මතාන්තර තියෙන්න පුලුවන්.ඒ මිනිස්සු රූපයෙන් පමණක් නොවෙයි අධ්‍යාපනයෙන් ආධ්‍යාත්මයෙන් මනුෂ්‍යත්වයෙන් ධනයෙන් බලයෙන් යසසින් ආදරයෙන්, කරුණාවෙන් වගේ  සියලු දෙයින්...