The Locked Drawer

කාවින්දි ගෙදරට ගොඩ වුණේ හරියටම මාස තුනකට පස්සේ. විවාහයෙන් පස්සේ කොළඹම පදිංචි උන කාවින්දිට මහ ගෙදරට ගොඩවෙන්න විශේෂ හේතුවක් යෙදෙන්නම ඕන උනා. කාවින්දි මේ ආවේ තාත්තාගේ තුන් මාසයේ දානෙට. 

පවුලේ එකම දරුවා වෙච්ච කාවින්දි අම්මගේයි තාත්තගෙයි ආදරය මැද හැදී වැඩුනට සමහර වෙලාවට කාවින්දිට ඒක විශාල කරදරයක් වුණා. යන එන හැම තැනක් ගැන වගේම කරන කියන හැම දෙයක් ගැනම පවා අම්මයි තාත්තයි ඕනෑවට වඩා හොයලා බලපු එකට කාවින්දි හිටියේ නොරිස්සුමෙන්. 

කාවින්දිගේ තාත්තා වුන පියසේන රජයේ රැකියාවක් කරපු කෙනෙක්. බොහොම සාම්ප්‍රදායික අදහස් සහ ගතිගුණ තිබුන නිසා ඔහු කාවින්දිව උස් මහත් කළේ නීති හුඟක් මැදයි. උසස් පෙළ කරන කාලයේ හැම යාළුවෙක්ම වගේ නගරයේ තියෙන විශාලම අමතර පන්තියට යනකොට කාවින්දි ට සිද්ධ උනේ ගෙදරටම එන ගුරුවරියක ගේ අමතර පන්තියට සහභාගී වෙන්නයි. යාලුවෝ හැමෝම සහභාගි වෙන අමතර පන්තියේ විශේෂ සිදුවීම් වගේම රස මුසු තැන් ගැන යාළුවෝ ඉස්කෝලෙට ඇවිල්ල කතා වෙනකොට කාවින්දිට තාත්තා ගැන දැනුනේ කේන්තියක්.

” අපේ සිංහල ක්ලාස් එකට එන්න ඔයා කොහොම හරි තාත්තව කැමති කර ගන්නකෝ කාවින්දි ? “

කාවින්දිගේ හොඳම මිතුරිය වුණ උත්පලා එහෙම කිව්වත් ඒක කවදාවත් කරන්න බැරි වැඩක් කියලා කාවින්දි දැනගෙන හිටියා. 

” අනේ තාත්තේ මාව සිප් සතර එකේ සිංහල ක්ලාස් එකට දාන්නකෝ ? මගේ යාළුවා හැමෝම යන්නේ ඒකට. අනිත් එක එතන සර් මතක හිටින විදිහට පාඩම් කියලා දෙනවා ” 

ගෙදර ආපු කාවින්දි හවස වැඩ ඇරිලා ආව තාත්ත ගෙන් එහෙම ඉල්ලීමක් කළේ බොහොම බැගෑපත් වෙලා.

” මං ඔයාට මෙහෙම හරි ටීචර් කෙනෙක් ගෙදරට ගෙන්නලා පන්තියක් කරවන්නේ ඉස්කෝලෙදි නොතේරෙන තැන් ආපහු ඔලුවට දා ගන්න ඕන නිසා. එහෙම නැතුව ඔය අමතර පන්ති කෙරුවාව ගැන මගේ ලොකු පැහැදීමක් නෑ. ඔය ලොකු ලොකු පන්ති වලට ළමයි යන්න කැමති රංචු ගැහෙන්න ලේසි නිසා. ඔයා ඕවට යන්න ඕනේ නැහැ ”  

පියසේනගේ උත්තරේ වුනේ ඒක. කාවින්දි එදා රෑට කෑම නොකා නින්දට ගියත් පියසේන ගේ තීරණයේ වෙනසක් උනේ නැහැ.

” ලබන සතියේ මගේ birthday party එක තියෙනවා. ඔයා එන්නම ඕනේ කාවින්දී ” 

උත්පලා ඇගේ උපන්දින සාදයට කාවින්දිට  ආරාධනා කළේ බොහොම ආසාවෙන් වුණත් කාවින්දි හිටියේ දෙගිඩියාවෙන්. අම්මගෙනුයි තාත්තගෙනුයි මේ සාදයට සහභාගී වෙන්න අවසර ගන්න එක ලේසි නෑ කියල අත්දැකීමෙන්ම දන්න නිසා කාවින්දි ඒකට අවසර ගන්න පියසේන ළඟට ආවෙත් ඒ තරම් හිත හොඳින් නෙමෙයි.

” ඔයාට පිස්සුද ළමයෝ  ? මහ රෑට ඔහොම පාටි වලට යනවද හැදිච්ච ගෑනු ළමයෙක් ? ඔන්න දවාලක හරි හවසක හරි නම් කමක් නෑ. අනිත් එක ඕවට ගිහින් රෑ වෙලා ගෙදර එන්නේ කොහොමද ? ” 

යාලුවොත් එක්ක විනෝද වෙන්න තිබුන අවස්ථාව කාවින්දිට නැති වෙලා ගියේ එහෙම. යාලුවෝ බොහොම උද්යෝගයෙන් සාදයට සූදානම් වෙන හැටිත් , සාදයෙන් පස්සේ ඒ ගැන තොරතුරු බෙදාගන්න හැටිත් කාවින්දි බලාගෙන හිටියේ බොහොම කනස්සල්ලෙන්.

කාවින්දි උසස් පෙළ සමත් උනේ ඉතා සාමාන්‍ය විදිහට. සිංහල භාෂාව හසුරවන්න පුළුවන්කම වගේම ඉතාම නිර්මාණශීලී අදහස් තිබුණ නිසා කාවින්දිගේ හීනය උනේ ලේඛිකාවක් වෙන එක. ඒ නිසාම උසස් පෙළ කරලා ඉවර වුණ ගමන් ප්‍රතිඵල එන්නත් කලින් කාවින්දි කලේ පත්තර වලට සහ සඟරාවලට එක එක ලිපි වගේම කවි ලියපු එක. 

ඔය අතරේ කාවින්දි හැම සතියකම වගේ ලිපි ලියපු පත්තරයකින් කාවින්දිට රැකියා අවස්ථාවක් ලැබෙනවා. ඒ කොළඹ තියෙන පත්තර කාර්යාලයකින්. ලේඛිකාවක් වෙන්න හීන දෙකපු කාවින්දිට ඒ අවස්ථාව ඉහටත් උඩින් උනත් කොළඹ නතර වෙලා රැකියාවට යන්න කාවින්දිට ඕන උනේ ගෙදර තියෙන දැඩි නීති සහිත පරිසරයෙන් මිදෙන්නත් එක්කමයි.

” එක රැයක්වත් ඔයා ගෙදරින් පිට ඉඳලා නැහැ.එහෙම එකේ කොළඹ නතර වෙලා රස්සාවකට යවන්න මට හිත හදාගන්න බැහැ ” 

කාවින්දි රැකියා අවස්ථාව ගැන කියපු ගමන්ම පියසේනගේ උත්තරය වුනේ ඒක. කාවින්දට දැනුනේ පාලනය කරගන්න බැරි තරමේ කෝපයක්.

” මොන කරදරයක්ද තාත්තේ මේක ? අරක එපා මේක එපා ගගා මාව ගේ අස්සෙම තියාගෙන ඉන්නද ඔයාට ඕනේ ? ලේසියෙන් කෙනෙක්ට හම්බවෙන චාන්ස් එකක් නෙමෙයි මේක. අනිත් එක කොච්චර ආසාවෙන්ද මං මේ පත්තරේට ලිව්වේ? එහෙම එකේ ඒ මිනිස්සුම මට ජොබ් එකක් දෙන්න හදනකොට තාත්තා මාව ගේ අස්සේ තියා ගෙනම හිටියහම හරි යනවද ? “

එහෙම කියපු කාවින්දි ගස්සගෙන කාමරයට ගිහින් දොර වහ ගත්තා. 

” දුව කියන්නේ ඇත්ත පියසේන.එයා කවද හරි අපි නැතුව තනියම මේ ලෝකේ දකින්න ඕනේ. කවද හරි එයා අපේ ඔඩොක්කුවෙන් බැහැලා ජීවිතේ දිහා එයාගේ ඇස් දෙකෙන් බලන්න ඕනේ. ඔන්න ඔහේ එයා කැමති දෙයක් කරන්න දෙමු ” 

රාත්‍රියේ නින්දට යන්නට සූදානම් වෙනකොට වසන්ති කිව්වේ පියසේන කල්පනා කර කර හිටපු නිසා.

” එහෙනම් අපි දැනට කොළඹ පොඩි නංගිලාගේ ගෙදර මෙයාව නවත්තමු. පස්සේ බැරියෑ හොඳ තැනක් බලලා නවතින්න හදලා දෙන්න ” 

පියසේන අමාරුවෙන් හිත හදාගෙන කොළඹ ඉන්න පොඩි නංගිගේ නිවසේ කාවින්දිට නතර වෙලා රැකියාවට යන්න සූදානම් කරලා දුන්නා. කාවින්දි හිටියේ ඉහේ මලක් පිපුණා වගේ. 

එක දවසක උදේ පියසේන සහ වසන්ති එක්ක කොළඹ ආපු කාවින්දි පොඩි නැන්දගේ ගෙදර නතර වුණා. කාවින්දිව නතර කරේ තමන්ගේ සහෝදරියගේ නිවසේ නිසා පියසේන ආපහු වසන්තිත් එක්ක ගෙදර ආවෙ හිතේ තරමක සැනසීමකින්.

කොළඹ රැකියාවට යන්න එන්න පුරුදු වෙච්ච කාවින්දි මාස හතර පහක් යනකොට වැටුප් වැඩිවීමකුත් ලබා ගත්තා. මාසෙකට දෙවතාවක් විතර ගෙදර යන්න වගේම ගෙදර සුළු සුළු වියදම් වලට පවා මුදල් යවන්න කාවින්දිට හැකියාව ලැබුණා.

අවුරුද්දකට විතර පස්සේ පියසේන විශ්‍රාම ගත්තා. කොළඹ ජීවිතයට පුරුදු වෙච්ච කාවින්දිට කොළඹ පුද්ගලික කාර්යාලයක උසස් රැකියාවක් කරන නිමේෂ් ගෙන් විවාහ යෝජනාවක් ආවේ ඔය අතරෙදි. තවත් මාස කිහිපයක් නිමේෂ්ව ආශ්‍රය කරපු කාවින්දි දෙමව්පියන්ට ඔහුව හඳුන්වලා දුන්නා. නිමේෂ් කියන්නේ උගත් වැදගත් තරුණයෙක් නිසා පියසේන වගේම වසන්ති ඔහුට අකැමැත්තක් දැක්වූයේ නැහැ.

දෙන්නගෙම මහන්සියෙන් කොළඹ නිවසක් මිලදී ගන්න තවත් මාස කිහිපයක් යද්දී කාවින්දිටයි නිමේෂ්ටයි පුළුවන් වුණා. ඊට පස්සේ දෙපැත්තෙම දෙමාපියන්ගේ ආශිර්වාදය මැද්දෙ විවාහ මංගල්‍යයක් අරගෙන කාවින්දි නිමේෂ් එක්ක විවාහ වුණා.

ලේඛිකාවක් වෙන්න හීන දැකපු කාවින්දි දිගටම රැකියාව වෙනුවෙන් වෙහෙසෙන කොට නවකතාවක් එළිදක්වන්න තිබුන හීනෙ දවසින් දවස කල් ගියේ කාර්ය බහුලකම නිසාමයි.

හැමදේම හොඳින් සිද්ධ වේගෙන යනකොට එකම එක අඳුරු දවසක නොහිතපු වෙලාවක කාවින්දි ට හරිම අවාසනාවන්ත පණිවිඩයක් ලැබුණා. 

ඒ තමයි පියසේනගේ මරණය.

පියසේන හෘදයාබාධයක් නිසා රාත්‍රී නින්දේදීම අවසන් හුස්ම හෙලලා තිබුණා.රැකියාවේ කාර්යබහුල කමයි වැඩ කටයුතු නිසයි මාසෙකින් විතර ගෙදර යන්න බැරි වුණ කාවින්දි දෙගිඩියාව හිතේ දරාගෙන මහ ගෙදරට ගොඩ වුණා.

බොහොම චාම් විදිහට පියසේනගේ අවසන් කටයුතු සිද්ධ කරපු කාවින්දි ආපහු කොළඹට පය තිබ්බේ කම්පාවෙන්. නිවසේ අඩුපාඩු හොයලා බලලා මුදල් හදල් වලින් මොන තරම් උදව් කරත් පවුලේ එකම දියණිය විදියට තමන් අම්මටයි තාත්තටයි හරියටම යුතුකම් ඉටු කරාද කියලා සති ගානක් යනකං කාවින්දිගේ හිත වද දුන්නත් ඊට පස්සේ ඒ හැඟීම එහෙමම මැකිලා ගියා.

කාවින්දි ආයෙමත් මහ ගෙදරට පය තිබ්බේ පියසේනගේ තුන් මාසේ දානෙට.

ගමේ අය වගේම නෑදෑ අයත් රාත්‍රියේ පැවැත්වෙන බණට සූදානම් වෙන්න ගෙදරට ගොඩවෙලා තිබුණා. කාවින්දි සාලෙට වෙලා තේ එකක් බිබී ඉන්නකොට වසන්ති ආවේ යතුරකුත් අරගෙනයි.

” තාත්තා නැතිවෙන්න සතියකට කලින් විතර ඔයාව හුගක් මතක් කලා. මේක තාත්තගෙ පරණ කබඩ් එකේ ලාච්චුවේ යතුර. ඊළඟට ඔයා ගෙදර ආව දවසට මේක ඔයාට දෙනවා කියලා තාත්තා හිටියේ ” 

කාවින්දි යතුරත් අරගෙන පියසේනගේ කන්තෝරු කාමරයට ගියා. පියසේන වසර ගණනාවක් පාවිච්චි කරපු කබඩ් එකේ උඩම ලාච්චුව විතරක් ලොක් කරලා තිබුණ නිසා කාවින්දි වසන්ති දීපු යතුරෙන් ඒ ලාච්චුව ඇරියා.

ඒ ලාච්චුවේ තිබුණේ පියසේන හරිම ආදරයෙන් එකතු කරපු කාවින්දිගෙ මතක. කාවින්දි ඉපදුන දවසේ ඉඳලා ගත්ත විවිධ ඡායාරූප , කාවින්දි පුංචි කාලයේ ඇඳපු ඇඳුම් කිහිපයක් , කාවින්දිගේ පරණ කොන්ඩ කටු කිහිපයක් , කාවින්ද ඉස්කෝලෙ යන කාලෙදි පියසේනට හදලා දුන්න උපන් දින සුභපැතුම් පත් වගේම ලියුම් කවරයකුත් ඒ ලාච්චුව ඇතුලේ තිබුණා.

කාවින්දි වෙව්ලන දෑත් වලින් ලියුම් කවරය අතට ගත්තා. ඉහළ වටිනාකමකින් යුතු මුදල් නෝට්ටු ගණනාවක් වගේම පුංචි ලියුම් කෑල්ලකුත් ඒ ලියුම්කවරය ඇතුලේ තිබුණා.

මගේ දුවේ ,

ඔයා හීන දැකපු විදිහටම ඔයාගේ පළවෙනි පොත එළි දක්වන්න මේ සල්ලි පාවිච්චි කරන්න.

මීට,

ඔයාට හැමදාමත් නීති දාපු ඔයාගේ තාත්තා 

කාවින්දි මහා හඬින් හඬා ගෙන බිම වාඩි උනේ පුංචි ලියුම් කෑල්ල පපුවට තද කර ගන්න ගමන්.

” තාත්තලා ගේ ආදරය නිහඬයි. ඒත් එය සදාකාලිකයි ” 

More Stories

Don't Miss


Latest Articles