ජීවිතේ එහෙමයි

 මිහිඳුගේ විවාහය පාරමි  එක්කල සිද්ද වුනේ දෙන්නාගෙන් එක්කෙනෙක්ගේවත් කැමැත්තෙන් නෙවෙයි. මිහිඳු  උන්නේ කවදාවත් විවාහයක් අවශ්‍ය නැහැ කියන තීරණය එක්ක. පාරමී උන්නේ කවදාවත්ම දරුවෙක් හදන්න අවශ්‍ය නැහැ කියන තීරණය එක්ක.

මිහිඳු කවදාවත් විවාහ නොවෙනවා කියලා තීරණය කලේ, අවුරුදු දහයක් ඔහු ප්‍රාණ සමව පෙම් කරපු, රැක බලා ගත්ත යුවතිය ඔහුට කරපු ද්‍රෝහී කම නිසා.

” ඒකි මට එහෙම කලානම් අනෙක් ගෑණු ගැන මට  ආයේ කල්පනා කරන්නවත් දෙයක් නෑ බං.. උබලා දන්නවානේ මම ඒකිව බලාගත්ටහ් විදිය.. මම ඒකිට කොච්චරක් ආදරේ කලාද කියලා උඹලා දන්නවානේ බං … අවුරුදු දහයක් බං.. අවුරුදු විසි දෙකේ ඉඳන්, අවුරුදු තිස් දෙක වෙනකල් .. අවුරුදු දහයක් .. මට වෙන ජීවිතයක් ගැන හිතන්නවත් බෑ බං….. මගේ හැම හුස්මකම ඉන්නේ ඒකි .. ඒකි ගිහින්.. දැන් මම මැරිලා අයියේ .. ආයේ මට ජීවත් වෙන්න කියන්න එපා.. පින්සිද්ද වෙයි, මාව වළදාලා දාන්න …”

මිහිඳුගේ අම්මාගේ වදේට මිහිඳු එක්ක විවාහයක් ගැන කතා කරන්න ආව හැම වතාවකම මිහිඳුගේ අයියාට අහගන්න වුනේ ඒ වචන ටික. මිහිඳු උන්නේ ජීවිතේ ගැන එච්චරට කලකිරීමක් එක්ක.

ඒත් හිටි හැටියේම මිහිඳුගේ අම්මා අසනීප වුනා. වෛද්‍යවරු කිව්වේ මානසික ආතතිය නිසා ඇය දුර්වල වෙලා කියලා. ඇගේ රුධිර පීඩනය තිබුනේ අසාමාන්‍ය ඉහල අගයක.

” තෝ පොල් අත්තකින් හරි ගෑණියෙක් කපාගෙන බැඳලා එක්කගෙන වරෙං… ආයේ මට කියන්න තියන්න එපා… කොහෙවත් ඉන්න ගෑණියෙක් නිසා අම්මාට දුක් විඳින්න දෙන්නෙත් නෑ මම… මගේ අම්මව නැති කරගන්නෙත් නෑ මම මිහිඳු …”

අයියා පිස්සෙක් වගේ එහෙම කෑ ගැහුවා.

” හරි .. උබ මට කාව හරි හොයලා දීපං ..බඳින්නම් …”

මිහිඳු විවාහ වෙන්න කැමති බව දැනගත්තාම අම්මගේ අසනීප වලින් භාගයක් සුව වුනා. ඇය ඊට පස්සේ මිහිඳු වෙනුවෙන් විවාහ යෝජනා හොයන එකම තමයි කලේ.

” මම මේ මැරේජ් එක කරගන්නේ අම්මා නිසා…. මට කසාදයක් ගැනවත්, ගෑණු ගැනවත් කිසිම විශ්වාසයක් නෑ …”

හා හා පුරා කියලා ගෙදරින් පිටදී පාරමීව මුන ගැහුනම බෝම්බයක් ගහන්න වගේ මිහිඳු එහෙම කියලා දැම්මා. පාරමී බලාගෙන හිටියේ මිහිඳුගෙන් ඈතක්. මිහිඳු කියපු ඒ වචන එක්ක පාරමීට දැනුනේ තමන් තුළ තිබුණ හිස් බව තවත් වැඩි වුනා වගේ.

” මට තේරෙනවා.. අම්මලට ඕනිවට මැරි කරමු … මම ලංකාවෙන් යන්න ප්ලෑන් කරලා තියෙන්නේ… දෙන්නම රට ගිහින් අපේ පාඩුවේ ජීවත් වෙමු … තනියම …”

පාරමි එහෙම කිව්වාම මිහිඳු පුදුමෙන් බලාගෙන හිටියා.  හීනෙකින්වත් බලාපොරොත්තු  නොවුන විදියේ කතාවක් ඇහෙනකොට ඒක විශ්වාස කරන්න පැකිලීමක් නොදැනුනා නෙවෙයි.

” මට කසාද බඳින්න , ළමයි හදන්න වගේ හීන නැහැ.. ඒත් මම මේ කසාදේ කරගන්නකල් මට ලංකාවෙන් යන්න වෙන්නේත් නැහැ.. අම්මාගෙන් බේරිලා සැනසීමෙන් ඉන්න වෙන්නේත් නැහැ… ඒකයි මම මෙහෙම තීරනය කලේ … ඔයා එකඟ නම්, අපි ඉක්මනට දේවල් ප්ලෑන් කරමු …. හැබැයි .. මේක අතිශය පෞද්ගලික රහසක් වෙන්නෝනා….”

මිහිඳු එකඟ වුනා. දෙමාපියන්ගේ ඉතාම ඉහල කැමැත්ත එක්ක දෙන්නාගේ විවාහ උත්සවය කෙරුණා. මාස දෙකකින් පාරමීට ලැබුණ අවස්තාව ඉස්සර කරගෙන දෙන්නාම විදෙස් ගත වුනා.

” ඔයාට ජොබ් එකක් හොයාගන්නකල් මා එක්ක මේ ගෙදර ශෙයාර් කරගමු … ඔයා ස්ටේබල් වුනාම මෙහෙන් යන්න …”

පාරමී යෝජනා කලා. මිහිඳු ඒ යෝජනාවට එකඟ වුනා. පාරමීගේ රැකියාව තිබුණේ රෝහලක හෙදියක් විදියට. ඒ නිසා ඇය දිනපතා සේවයට ගියා. මිහිඳු තමන්ට ගැලපෙන රැකියාවක් සොයාගන්න වෙහෙසුනා. ඒ අතරේ ඔහු අන්තර්ජාලය හරහා කරපු මුදල් සෙවීමේ කටයුතු දිගටම කරගෙන ගියා.

එක දවසක් මිහිඳු ගැස්සිලා ඇහැරුනේ කාගේ හරි ඉකි බිඳීමක් එක්ක. මිහිඳු කාමරෙන් එලියට ආවේ ඒ හඬ පාරමීගෙද කියලා හිතන ගමන්. සාලේ සෙටියක ගුලි වෙලා ඉකි ගහමින් හඬන පාරමීව මිහිඳු දැක්කේ විදුලි පහන් දැල්වුවාම. මිහිඳු වහාම පාරමී ලඟින් හිඳගත්තා.

” පාරමී .. ඇයි මේ ?…”

මිහිඳු එහෙම අහනකොටම පාරමි තිගැස්සුණා. ඇය කඳුලු පිසදාගෙන කිසිවක් නැති බව පෙන්නන්න උත්සාහ කලා. ඒත් ඇයට ඇයව පාලනය කරගන්න ලේසි වුනේ නැහැ. ඇය මහ හඬින් හඬා වැටුණා. මිහිඳු කලේ ඇයට ඉඩ දීලා උන්න එක. අවසානේදි පැය බාගෙකට විතර පස්සේ පාරමීගේ හැඬුම් ක්ෂය වුනා. ඒත් ඇය උන්නේ වෙහෙසින්. මිහිඳු ඇගේ අතකින් අල්ලගෙන ඇයව පහසු ඉරියව්වක හින්දවගත්තා. කෝපි කෝප්පයක් හදාගෙන ආවා.

” බීලා ඉමුකෝ ….”

පාරමි මිහිඳු දිහාවට ස්තූති බැල්මක් හෙලන ගමන් කෝපි කෝප්පේ බොන්න ගත්තා. මේ මාසෙට දෙකට මිහිඳු තමන්ගේ කෝපි කෝප්පේ රස ගැන ප්‍රාමාණික අවබෝධයකින් ඉන්න එක ගැන පාරමීට පපුව උණුසුම් වෙන රස්නයක් දැනුනා.

” අද නම් සීනි ගානට …”

පාරමි හිනා වෙලා එහෙම කිව්වේ මිහිඳුට කතාවට පිවිසුමක් හදාගන්න ඉඩ දීලා.

” කෝපි එකක් හදාගන්න බෑ කියලා ඇණුම් පද අහල අහලම එපා වෙලා හිටියේ.. අද නම් සැනසීමෙන් නිදාගත්ත හැකි…”

එහෙම කිව්වාම පාරමී තව හයියෙන් හිනා වුනා. මිහිඳුත් දෙපාරක් නොහිතාම ඒ හිනාවට සම්මාදම් වුනා. ඊට පස්සේ පාරමී එක පාරටම පැත්තක තිබුන තමන්ගේ ජංගම දුරකතනය අරගෙන දිගු කලා. මිහිඳු ඒක අරගෙන තිරය දිහා බැලුවේ පාරමී දිහාත් බලන ගමන්. පාරමීගේ අම්මා එවපු වට්සැප් පණිවිඩයක් ඒකේ තිබුනේ.

” උඹේ කාලකණ්ණි කම කොච්චරද කියනවානම් පාරමි .., අපිව මෙහෙ දුක් විඳින්න දාලා උඹ එංගලන්තේට වෙලා සැප විඳිනවා.. අවජාතක උඹට පෙලපත දුන්නාට මෙහෙම කරලා මදි උඹ අපිට .. උඹේ අම්මා මගේ මිනිහාගේ නංගි නොවුනා නම් මම කවදාවත් මේ දේ කරන්නේ නෑ.. මගේ කරුමේට ඒක එහෙමම වුනා… අපිට වියදමට උඹ එවන සල්ලි මදි … බෙහෙත් ටික ගන්නවත් .. මාසෙට තව ලක්ෂ දෙකක්වත් දාන්න .. නංගිලා දෙන්නාගේ වියදම් වලට වෙනම දාන්න … උඹ ඔහොම සැප විඳින්නේ කවුරු නිසාද කියලා හිතලා බලප්ං පාරමි …  වීරකෝන් පවුලේ පොඩි කොල්ලා උඹට කැමති වෙයිද හිතපං උඹේ හරි කල්කිරියාව දැනගත්තා නම් .. මම කිව්වේ, උඹ අවජාතක එලියක් කියලා දැනගත්තම ඒ මහ මිනිස්සු උබව ඒ පවුල පැත්ත පලාතේ වද්දගනීද ?…”

මිහිඳු ආයේ ආයෙම කියෙව්වා. පාරමී බිඳුණු දරුවෙක් බව තේරුම් ගන්න වැඩි වෙලා ගියේ නැහැ. ඇය විවාහයකට, දරුවන්ට අකමැති වෙන්න හේතුව ඔහුට වැටහුණා.

පලවෙනි වතාවට මිහිඳු බලෙන්ම පාරමීව ගුලි කරගත්තා.

” ඔයා කොහේ කොහොම හිටියත් මම ඔයාව තෝරගන්නවා පාරමී .. ඒකේ සැකයක් නැහැ…”

කොහෙන් නැගුනද කියලා දන්නේ නැති ඒ වචන ටික මිහිඳු පපුවෙන්ම කිව්වා.

” අම්මාගේ මැසේජ් කියවන වැඩේ මට බාර දෙන්න .. ඒක මම බලාගන්නම් ….”

ඊට පස්සේ එහෙම කිව්වා. පාරමී මිහිඳුගේ රස්නේ පපුවේ උන්නේ ජීවිතේ පලවෙනි වතාවට දැනෙන හැඟීම තේරුම් ගන්නවත් බැරුව.

“ඔයාගේ අම්මා කොහේද ?..”

” දන්නේ නෑ … ඒගොල්ලෝ කියන්නේ නෑ .. ලංකාවේ නෙවෙයි…”

” අපි  හොයාගමූ ….”

එහෙම කියනකොට පාරමී ඔලුව උස්සලා මිහිඳු දිහා බැලුවා. මිහිඳුගේ තරු ඇස් වල පුදුමාකාර කාන්තියක් තිබුනා. මිහිඳුට පාරමීව තමන්ගේ ජීවිතේ අලවාගන්නටම ඕනි හැඟීමක් කියලා දැනෙන්න පටන් අරගෙන තිබුනා.

ඉතින් .. ජීවිතේ එහෙමයි …..

More Stories

Don't Miss


Latest Articles