ආදර සැලසුම් – 44

0
509

මෞර්යා සවස පහයි තිහ වන විට කාර්යාලයෙන් පිට වූවාය. වාහන අංගනයේ කොනක නවතා තිබූ වාහනයට නැගි මෞර්යා හෙමින් සීරුවේ වාහනය පිටතට ගෙන පාරට දැම්මාය. කාර්යාල අවසන් වන වේලාව නිසා එම වෙලාවට මාර්ග තදබදයට හසු වීම අතිශය සාමාන්‍ය දෙයකි.එම නිසාම මෞර්යා වාහන පෝලිම අතරින් වාහනය හෙමිහිට පැදවූවාය.

පැලවත්තේ පිහිටි G Flock වෙත මෞර්යා වාහනය හැරවූයේ අනුත්තරාට සරිලන කුමක් හෝ ඇඳුමක් මිලදී ගනු පිණිසය. පළවෙනි වැටුප ලැබී බොහෝ දිනක් ගත වූවද අනුත්තරාට කුමක් හෝ ත්‍යාගයක් ලබා දීමට තිබූ අදහස ක්‍රියාත්මක කිරීමට පසුගිය දින ගණනාව පුරාවට හැකි වූයේ නැත. රැකියාවට පැමිණීමට පෙර ඇඳුම් මිලදී ගැනීම සඳහා අනුත්තරා තමාට ලබා දුන් සහයෝගය නිසා පළවෙනි වැටුපෙන් ඇයට කුමක් හෝ ත්‍යාගයක් ලබා දීමට මෞර්යා අදහස් කරගෙන සිටියේ රැකියාවට ගිය මුල් දිනවල සිටමය. විවිධ හේතු මත එය දිනෙන් දින මග හැරී ගියත් තවදුරටත් එය කල් නොදැමිය යුතු බව මෞර්යා සිතුවාය.

වාහන අංගනයගේ වාහන පිරී තිබුණු නිසා මෞර්යා පාර අයිනේ වාහනය නතර කර එයින් බසින්නට සූදානම් වූවාය. දුරකථනය නාද වූයේ එවිටමය. ඇමතුම පැමිණෙමින් තිබුණේ අභිමන් ගෙනි.

” කියන්න මිස්ටර් අභිමන් ” 

තමා කාර්යාලයෙන් පිටත් වන විට අභිමන් පෙනෙන්නට සිටියේ නැති බව මෞර්යාට සිහිවූයේ දුරකථනයට පිළිතුරු දෙන අතරය.සමහර විට තමා තවමත් කාර්යාලයේ සිටින බව සිතමින් කුමක් හෝ කාර්යයක් සඳහා අභිමන් තමා අමතනවා වන්නට ඇත.

” කොහෙද යන්නේ මෞර්යා ? ” 

අභිමන් ඇසූ ප්‍රශ්නය මෞර්යාට පැහැදිලි නොවූ නිසා ඇය මොහොතක් නිහඬව උන්නාය

” මට තේරුන්නෑ මිස්ටර් අභිමන් ? ” 

” මං අහන්නේ ඔෆිස් ඇරිච්ච ගමන් කොහෙද මේ යන්නේ කියලා ? “

මෞර්යා වටපිට බැලුවාය. පෙනෙන තෙක් මානයක අභිමන් පෙනෙන්නට සිටියේ නැත.

” මිස්ටර් අභිමන් කොහෙදිද මාව දැක්කේ? ” 

” කොහෙදිවත් නෑ මං ඔයාගේ පිටිපස්සේ ඉන්නෙ ” 

මෞර්යා වාහනයේ පිටුපස බලන කණ්ණාඩියෙන් බලන විට තම වාහනයට පිටුපසින් නවතා තිබෙන අභිමන් ගේ වාහනය දුටුවාය.

” මිස්ටර් අභිමන් කොහේ යන ගමන්ද ? ” 

” කොහෙ වත් නෙමෙයි. ඔයාව හම්බ වෙන්න ආවේ. ඇත්තටම මං ඔෆිස් එක ගාව ඉඳලා ඔයාව ෆලෝ කරා ” 

මෞර්යාගේ සිතට ඇතිවූයේ තරමක නොරිස්සුමකි.අභිමන් වුවද කුමන අරමුණක් අරඹයා හෝ මෙසේ හැසිරිය යුතු නැත. 

” ඇයි මිස්ටර් අභිමන් ? ” 

මෞර්යා ඇසුවේ ඔහුගේ සිත නොරිදෙන ආකාරයට නමුත් තරමක් තදිනි.

” මට ඔයත් එක්ක කතා කරන්න ඕන උනා. කොහෙට හරි යනවද වාහනේ ඉඳන් කතා කරනවද ? ” 

ඔහුට දිය යුතු පිළිතුරු කුමක් දැයි මෞර්යාට සිතා ගත හැකි වූයේ නැත.ආදිත්‍ය තරම් අභිමන් තමාට කිට්ටු නැත. නමුත් අභිමන්ගේ මේ හැසිරීමට යම් හේතුවක් තිබිය හැකි නිසා එයට ඇහුම්කන් දීමට අවසන මෞර්යා  තීරණය කළාය.

” ඔයා අහගෙනද ඉන්නේ මෞර්යා ? ” 

” මට පොඩි වෙලාවක් ඉන්න පුළුවන් මිස්ටර් අභිමන්. මම මෙතන වැඩේ කර ගෙන ඉක්මනට ගෙදර යන්න ඕනේ ” 

” හරි ඉන්නකෝ ” 

එසේ කියූ අභිමන් දුරකථන ඇමතුම විසන්ධි කළේය. අභිමන් වාහනයෙන් බසින බව මෞර්යා දුටුවේ පැති කන්නාඩියෙනි. අනතුරුව මෞර්යා ගේ වාහනය දෙසට පැමිණි අභිමන් අනෙක් පස දොර වෙත පැමිණ වීදුරුවට තට්ටු කළේය. මෞර්යා වාහනයේ ලොක් එක විවර කිරීමෙන් පසුව අභිමන් වාහනයේ දොර ඇරගෙන එයට නැග්ගේ සිනා මුසුවය. 

” මොකද නිකන් තරහා ගිහින් වගේ ? ” 

බලාපොරොත්තු වූ තරම් මෞර්යා ගෙන් හොඳ ප්‍රතිචාරයක් නොවූ නිසා අභිමන් ඇසුවේය. 

” නෑ මට තේරෙන්නේ නෑ මිස්ටර් අභිමන් මොකක්ද මේ කරන්න හදන්නේ කියලා ? මොකක් හරි හදිසි වැඩක් නං ඔෆිස් එකේදි කතා කරන්න තිබුණනේ ? අනික පාරේදි කවුරු හරි දැක්කොත් ඒක මිස්ටර් අභිමන්ටයි මටයි දෙන්නටම හොඳ නෑ ” 

අභිමන් මොහොතකට නිහඬ වූයේය. ඒ මෙවැනි ප්‍රතිචාරයක් මෞර්යාගෙන් බලාපොරොත්තු නොවූ නිසාය. නමුත් එක අතකට ඇය කියනා කතාව සාධාරණය. ඇය සමග කතා කිරීමට ඇයව කාර්යාල කාමරයට ගෙන්නා ගත්තා නම් මේ කතාව මීට වඩා හොඳ ආකාරයකට ආරම්භ කිරීමට තිබුණි.

” මට තේරෙනවා මං කලේ වැරැද්දක් කියලා. ඒක නිකන් මේ කොලුකමට කරපු වැඩක් ” 

අභිමන් කීවේ වරදකාරී හැඟීමෙන් මෙන්ම සමාව අයදිනා ස්වරයකිනි.

” කොළුකමට දේවල් කරන්න කලින් හිතන්න තිබුණා නේද මිස්ටර් අභිමන් මගේ බොස් කියලා “

අභිමන් නිහඩව ඉදිරිය බලා ගෙන උන්නේය.මෞර්යා හිඳින්නට උත්සාහ කරන්නේ ඇගේ සීමාවේය. එහෙත් තමාට දැන් ඇයව සීමාවක තබා ගත නොහැක.තමා මේ උත්සාහ කරන්නේ ඒ සීමාව බිඳ දැමීමටය. එහෙත් එය හිතනා තරම් පහසු නැත. දින ගණනාවක් පුරාවට බලා සිටියේ මෙවන් අවස්ථාවක් එළඹෙනා තුරු වුවත් මෞර්යා එයින් නොරිස්සුමට පත් වී ඇති බව අභිමන්ට දැනුණි.

” තරහා ගියාමත් ලස්සනයි ඉතින් ” 

අභිමන් මිමිනුවේ ඉදිරිය බලාගෙනමය. මෞර්යා සිනාසුනේ නැත. එහෙත් හිස හරවා අභිමන් දෙස බැලුවේය.

” විහිළු නෙමෙයි මිස්ටර් අභිමන්. මොකටද මිස්ටර් අභිමන් මාව ෆලෝ කරේ ? “

” මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන උනා මෞර්යා ” 

අභිමන් සුසුමක් පිට කළේය. පාසල් යන වියේදී වත් තමාට පෙම්වතියක් සිටියේ නැත. එයට හේතුව වූයේ බහ තෝරන වයසේ පටන්ම නිවසේ තිබූ ගැටුම්කාරී තත්ත්වයය. අනෙක් අතට අශිකා සෑම විටම අධ්‍යාපන කටයුතු පිළිබඳව සොයා බැලූ නිසා තමා මෙන්ම තම සහෝදරයා ද වැඩි පුරම අවධානය යොමු කළේ අධ්‍යාපන කටයුතු වෙතය. අමතර පන්ති පැවැත්වීම පවා නිවසේදීම සිදු වූ නිසා උසස් පෙළ කාලයේ දී හෝ ගැහැණු ළමයින් වැඩිපුර ඇසුරු කිරීමට තමාට අවස්ථාව නොලැබුණු ආකාරය අභිමන් සිහි කළේය.

” මං අහගෙන ඉන්නෙ මිස්ටර් අභිමන් “

කතා කරන්නට උවමනා බව කිහිපවරක් අභිමන් පැවසුවද ඔහු නිහඬව සිටින නිසා මෞර්යා කීවාය. අභිමන් ඔහු සිටි කල්පනා ලෝකයෙන් මිදුණේ ඒ මොහොතේදීය.

” ඔයා දන්නවනේ අපේ ගෙදර තත්වේ. අපේ අම්ම ගේ තත්වේ ,අයිය ගේ තත්වේ. ඒ මදිවට ඊයේ තාත්තා ඇවිල්ලා අම්මට මොනවදෝ කියල ගිහින්.අම්මා ඒ ගැනත් ඉන්නේ හිතේ අමාරුවෙන් “

” මොනාද ? ” 

” එයාට මේ ප්‍රශ්න කෙළවරක් කර ගන්න ඕනේ කියලා. මං හිතන්නේ එයා නොකියා කියලා තියෙන්නේ එයාටත් ඩිවෝස් එක ඕනේ කියලා “

මෞර්යාට සිහි වූයේ චන්දිකවය.චන්දික ගේත් අශිකා ගේත් පෙම් පුරාවත නිමා කරමින් අශිකාට කර දුන් විවාහයද කෙළවරක් වෙමින් පවතින්නේය. අශිකා මොනතරම් ආදරණීය ගැහැණියක වුවද ආදරය ලැබීමට තරම් වාසනාවක් ඇයට පෙනෙන මානයේත් නැත.

” එතකොට ? ” 

” මං දන්නෑ මෞර්යා. හැම මනුස්සයෙක්ම හොයන්නේ හිතේ සැනසීම. මං උනත් අයිය උනත් අම්මා උනත් එහෙමයි. අයියා වගේ ලොකුවට මං අම්මට ක්ලෝස් නැහැ. ඒ වුනාට මට හිතෙනවා මගේ ජීවිතේ හැමදේම බෙදා ගන්න කෙනෙක් මට හිටිය නම් හොඳයි කියලා”

අභිමන් පැමිණියේ හරිම තැනටය. කතාව ගෙන ඒමට වුවමනා වූයේද එතනට නිසා අභිමන් කතාව නතර කර බැලුවේ මෞර්යා දෙසය. ඇය උන්නේ ඉදිරියෙන් පෙනෙන පාර දෙස බලාගෙන අභිමන්ට සවන් දෙමිනි.

” මෞර්යා ? ” 

” අහ් ? ” 

මෞර්යා තිගැස්සී අභිමන් දෙස බැලූවාය. අභිමන් නැවත ඉදිරිය බලා ගත්තේ කියන්නට ආ දෙය කියන්නටය.

” ඔයා අහගෙනද හිටියේ ? ” 

” ඔව් ” 

අභිමන් නිහඬව තවත් තප්පර කිහිපයක් ගත කළේය. හිතට ධෛර්යය ගත යුතුය. මෙවැනි වෙලාවක් නැවත පැමිණෙන්නේ නැත.

” අයියා මැරි කරලා ගියාට පස්සේ මං අම්මත් එක්ක ගෙදර තනි උනාම මට ගොඩක් වෙලාවට හිතිලා තියෙනවා මාත් කාට හරි ආදරය කරන්න ඕනේ කියලා. ඒත් ඒකට වෙලාවක් වත් අවස්ථාවක් වත් මට ලැබුණේ නැහැ. ඒත් මට දැන් හිතෙනවා ඒකට වෙලාවයි අවස්ථාවයි දෙකම ඇවිල්ලා කියලා ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here