අස්විද තනිවමත් සිනහ වූයේ ය. සිනහව යනු කුමක් දැයි හඳුනන්නේත් නැති ආඩම්බරකාර නීතීඥවරයා, අස්විද සූරියබණ්ඩාර, ඔහු ගේ ම ඇතුල් හිත පවා සිනහවෙනු දුටුවේ ය. එතෙක් මෙතෙක් ඔහු නො දුටු ලෝකය, නො එසේ වී නම් කළු කුහරයක් සේ ඔහු දුටු ලෝකය වර්ණවත් වී හැඩ වී පෙනෙන්නට ගති. කිසි දාක මලක් දුටුවේ නැති ගස් වල පවා මල් පිපී තිබෙනු ඔහු දුටුවේ ය. සුළඟ හමනා බව ද, මල් වලින් සුවඳ ගිලිහෙන බව ද ඔහු හඳුනාගනිමින් සිටියේ ය. ආදරය කියා යමක් මෙලොව වන බව, එය සිත තුළ ඉපදී හැදී වැඩෙන බව ඔහු අත්විඳිමින් සිටියේ ය. හද බැඳි ගැහැනියක වෙනුවෙන් බලා සිටිත හැකි බවත්, ඇය නො දැක සිටීම දුෂ්කර බවත්, එතකොට හිත නො ඉවසිලිමත් බවත් ඔහු අත්දැකීමෙන් පසක් කරගනිමින් සිටියේ ය.
හද පුරා පෙම් කරත හැකි පිරිමියෙකු ජීවිතයේ සිටියදී ආත්මය කෙතරම් ශාන්තිදායක ද යන්න යසස්වී නියත වශයෙන් ම සාක්ශාත් කරගත්තා ය. ඊට පස්සේ ගලා ගිය ගඟක් මුහුදට වැටුණා සේ වෙයි. ගඟක් කියා යමක සලකුණක් හෝ දකිත නො හැකි වෙයි. ගඟ කියන්නේත් මුහුදට ම වෙයි. මුහුද තුල ගඟක් වෙයි. ගඟ දිය මුහු නොවූ මුහුදක් නො වුණේ වෙයි. අස්විද තුළ ඇය දිය වී ගියා සේ යසස්වි ට දැනිණ. ඉනික්බිති ඇය කියා පුද්ගලයෙකු වෙනුවෙන් කිසිදු වෙහෙසක් දැරීමට සිදු නොවෙනවා වන් සැහැල්ලුවක් දැනෙයි. ඔහු යෙහෙන් පවතිනවා නම් නිරායාසයෙන් ම ඇය ද ඔහු තුළ යහතින් පවත්නේ ය. දෙදෙනා අංශු දෙකක් ම වී ද එකී අංශු දෙක එකිනෙක මුහු වූ විට ඒකාත්මික බවක් දැනෙන්නට ගනී. ප්‍රේමය එක් රොක් වන්නේ එතැන ය. ඒකාත්මික වීමක් තුළ ය.
ඇගේ දෑස්හි තෘප්තිමත් ස්ත්‍රී සලකුණ වන දීප්තිය වැඩි වී තිබිණ.
‘මොකද්ද අලුතෙන් වුණේ..’
හැන්දෑවේ ගඩා ගෙඩි කඩමින් කන වෙලාවක සනුක ඇසුවේ ය. යසස්වි තිගැස්සී ගියා ය.
‘මොකද්ද…’
‘මං දන්නෑ ඉතිං මොකද්ද කියල. මොකක් හරි වෙලා වගේ දෙයක් ඇස් දෙකෙන් කියනව’
සනුක සිනහවක් පෑවේ ය. යසස්වි දෑතෙහි අතැඟිලි වලින් ඇස් පියන් වසාගත්තා ය.
‘ඇස් වලටත් නිකං ඉන්න බෑනෙ ඕපදූප කියවන්නැතුව. දැං මොනා කියනව වගේද පෙනුණෙ…’
‘පෙනුණෙනං ආදරේ කරනව වගේ තමයි’
‘ඇත්තමයි මේ ඇස්නං…’
සනුක උස් හඬින් සිනහ වූයේ ය. යසස්වි ගේ දෑස් වැඩි වැඩියෙන් බැබළිණි.
‘නෑ ඉතිං අපිට කියන්න ඕනනෑ. හැබැයි ඉතිං මගෙ අනුමානෙ වැරදි නැතුව ඇතිනෙ…නේ…’
‘හ්ම්. වැරදි නෑ’
ආදරය වාගේ මිහිරි ම රහසක් හිතේ විතරක් තියාගෙන ඉන්නා එක ගෑනු ළමයෙකු ට පහසු නැත. ඒ මිහිරි සංවේදනය ගැන අඩු ම තරමින් සමීපතම මිතුරෙකුට හෝ පවසන තෙක් හිතට ඉස්පාසුවක් නැත. මිහිර බෝ කරන තෙක් හදවත ට නිවනක් නැත. තවමත් කොළඹ ඇයට ඉන්නා හොඳ ම මිතුරා සනුක ය. ඔහු විශ්වාසවන්ත බව සිතන්නට ඇය කැමති වූවා ය. අප කැමති අය අපට විශ්වාසවන්තයි කියා සිතීම අපේ ම සැනසුමට හේතු වේ.
‘ඒකනෙ ඒකනෙ…’
‘ඒ කවුද කියල අහන්නැද්ද…’
‘එහෙම අහනඑක හොඳද දන්නෑනෙ. ඕනනං කියයිනෙ ඉතිං’
‘කියන්නං. හැබැයි මීට පස්සෙ මට යසස්වි ගාන්න ඔට්ටු නෑ හරිද…’
‘එහෙනං… මිසිස් කවුරු කියලද කතා කරන්න ඕන මැඩම්…’
‘පුංචි කිව්වනං හරි’
‘මො… මොකක්ද…’
‘හ්ම්. ඔයා හිතුව එක හරි’
‘අඩෝ… නෝ… තමුසෙ… තමුසෙ ඔය කියන්නෙ…බාප්ප…’
‘හ්ම්. ඒක තමයි. අපි දෙන්න ඇරෙන්න… රයන් අයියයි ඔයයි විතරයි තාම ඒක දන්නෙ. මට ඔයාට ඒක නොකිය ඉන්න බැරි වුණා. මේ කොළඹ මට ඉන්න හොඳම යාළුව ඔයා නිසා’
‘මේ මේ. ඕන මගුලක්. හැබැයි පුංචි කියන්නනං බෑ හොඳේ. තමුසෙ අපේ බාප්ප එක්ක යාළු වුණාට මං මක්කරන්නද…තමුසෙ පුරුදු යසස්විම තමයි. ඇයි යකෝ… එහෙම කොහොමද කටට පුරුදු වෙච්ච නෑකං වෙනස් කරන්නෙ’
සනුක එය කී විලාශයට යසස්වි බඩ ද අල්වාගෙන සිනහ වෙන්නට වූවා ය.
‘ඒයි ඇත්තමයි මරු ඕයි. මොනා වුණත් දැන් තමුසෙ අපේමනෙ. ඒක මරු. හැබැයි මේ… අපේ අම්මටයි නිලූ පුංචිටයි එහෙම දැන්ම ඕක දැනගන්න තියන්නෙපා. මොනා වුණත් තමුසෙ ඔහොම ටික කාලයක්හරි සතුටෙන් ඉන්නව. දැන් ම බාල්දි ඕන්නෑ. අර උදාරය කැති පිහි තුවක්කු එහෙම අරං ආපු දාක අපේ බාප්ප රොබින් හුඩ් වගේ තමුසෙව බේරගන්න ෆයිට් කරනකොට මේ මමත් ඉන්නව හරිද කැටපෝලෙකින් ගලක්හරි විදින්න. එහෙනං…තුසිතෙට පිළිගන්නව බොක්ක’
සනුක ඈ වැළඳගත්තේ ය. යසස්වි තුළ අමුතු සතුටක් ඇතිව තිබිණ. පියාපතක සැහැල්ලුව ඇය අත්වින්දා ය.
අච්චාරු හදන්නට ඇඹරැල්ලා කපත්දී නිලූකා මුළුතැන්ගෙයි දී යසස්වි ව අල්වාගත්තා ය. තනිව ඇය හමු වෙන තෙක් නිලූකා සිටියේ කල් බලමිනි.
‘අපේ මනුස්සය ගිහිං අර කුළියට ඉන්න මිනිස්සුන්ගෙන් ගේ ඉල්ලල. ඉක්මනට හිස් කරල දෙන්න කිව්වලු. ඔයා කරපු වැඩේ නිසා තමයි මේව වුණේ යසස්වි’
යසස්වි නළල රැලි ගන්වා ඇදෙස බැලුවා ය.
‘ඔයාට ඔය දිල්නුක විහිළුවට වගේ කරපු දේ ගැන ඔච්චර නටන්න දෙයක් නෑනෙ’
‘විහිළු… ඒක හොඳ විහිළුව. අනේ අක්ක දිල්නුක විහිළු කරන්නෙ එහෙමනං මං ඒ වගේ විහිළු වලට කැමති නෑ’
‘මගෙ අතට කීයක් හරි ආවෙ ඔය ගෙයි කුළියෙං. ඔයාට ඕක ඔච්චරම කියන්න ඕන වුණානං මහ උන්දගෙ කනේ තියන්නැතුව මට ඇවිත් කියන්න තිබුණනෙ. දිල්නුකගෙ අම්ම මමනෙ’
‘ඒ කිව්වත් අක්ක කියන්නෙ ඉතිං ඕකනෙ. ඒක විහිළුවක් කියලනෙ. අනික අපේ ලොකම්ම මාව බාරදීල ගියේ වජිරා ආන්ටිටනෙ. ඉතිං මේ ගෙදරදි මට මොකක්හරි ප්‍රශ්නයක්නං මං කියන්න ඕන එයාට කියලයි මං හිතුවෙ’
‘අනේ යසස්වි මේ… ඔයා මේ ගේ ඇතුළෙ බොරු සෝබන දාන්නෙපා. ඕව කාට ලොකු වුණත් මටනං ලොකු නෑ’
ආලින්දයෙහි සිට මුළුතැන්ගේ දෙසට ඇසෙමින් තිබුණේ අස්විද ගේ සපත්තු අඩි බිම ගැටෙනා හඬයි. ටයි පටිය බුරුල් කරමින් මුළුතැන්ගෙට පැමිණි හෙතෙම වීදුරුවක් අතට ගනිමින් ගුරුලේත්තුව වෙතට ගියේ ය.
‘අස්විද දැං වෙනදට වඩා කලිං ගෙදර එනව නේ…’
කියමින් නිලූකා කුස්සිය මිදුලට බැස්සා ය. ඇය වත්ත දෙසට යනු දුටු අස්විද යසස්වි පිටුපසින් නතර වූයේ ය.
‘දොළදුකද…’
ඇය ඇඹරැල්ලා ගෙඩියත් පිහියත් අත් දෙකෙහි තිබියදී හිස මඳක් හරවා දඟකාර දෑසකින් බැලුවා ය.
‘මෙච්චර ඉක්මනට දොළදුක හැදෙන්න තරං දෙයක් මං කළේ නෑනෙ’
ඔහු ඇගේ නග්න ගෙල හා උරහිස අතර පෙදෙසෙහි ඉක්මන් දෙතොල් තබා සිපගත්තේ ය. යසස්වි කිතියකින් වාගේ උරහිස හැකිළුවා ය.
‘කවුරුත්… එයී…’
ඇගේ ස්වරයෙහි තරවටුවක් සේ ම ආශාවක් ද නො වූවා නොවේ. නමුත් දෑස් පියුම් මත නම් වූයේ මකරන්ද සේ වැගිරෙන ආදරය ම පමණකි. අස්විද පැන්ට්‍රි මේසයට බර වී ඇගේ වත පෙනෙන සේ හිටගත්තේ ය. ඔහු ගේ දෑස් ඇය විනිවිදිමින් හිඳිනා බැව් යසස්වි ට දැනිණ.
‘මො… කද ඔහොම බලන්නෙ…’
‘ඉඹින්නෝනෙ’
පිහිය ලිස්සා අත කැපේවියි බියෙන් ඕ එය පරෙස්සමට අල්වාගත්තා ය. කම්මුල් වලට ලේ පුරා පුපුරු ගසනු ද යටි පතුල් සීතල වී හිරිවැටී යනු ද දැනිණ. අස්විද ගේ දෑස් මන්දාකිණි දහසක දීප්තියෙන් දැල්වීගෙන ම තිබිණ.
‘කෝ දැන් අර ඉස්සර තිබුණ කට… බටකොළ ආච්චි වගේ…’
‘තියනෝ…කියන එක්කෙනාගෙත් අර තිබුණ බකමූණු මූණට මොකද්ද දන්නෑ වුණේ’
ඒ මොහොත එක බැල්මකට හසු කොටගත් අස්විද, කිසිවෙකු පේන මානයක නොවන බව ඇසිල්ලකින් තහවුරු කරගෙන ඇගේ කොපුලක් තදින් සිපගත්තේ ය.
‘ඔයි…ය… මගෙ අතත් කැපෙනෝ…’
‘තේ එකක් ඕනෙ’
කියාගෙන අස්විද නික්ම ගියේ ඔහු ගේ ජීවිතයෙහි ඇයට වන ඉඩත්, ඈ ගැන ඔහු ට වන අයිතියත් ගැන සලකුණක් යසස්වි තුළ ඉතිරි කරමිනි. සංසාරයක් බර ආදරයක් හදවතින් දරාගෙන ඇය හිස හරවා බලා සිටියා ය.
‘සිල්වා කපුව දවල් කෝල් කරල ඇහුව අර කියපු කාරණා දෙක ගැන මොකද කියන්නෙ කියල චූටිපුතා’
තේ බොන ගමන් වජිරා යළිත් මාතෘකාවට පිවිසියා ය. මුවෙහි වන තේ ටික යසස්වි ඉක්මන් කොට ගිල දැමූයේ පිටි උගුරේ යතැයි බියෙනි. ඊට පස්සේ ඕ ඒ සිනහවට ඕනෑ දෙයක් වෙන්නට ඉඩහැරියා ය. අස්විද ඇදෙස බැලුවේ නො සන්සුන් ව යි. කුමක් කියන්න ද කියා ඔහු ට වැටහුණේත් නැත.
‘බලන්න යනව කියන්න ආන්ටි’
සිනහව පුපුරා යත්දී ඇය කීවා ය. අස්විද ඇදෙස බලා රැව්වේ ය. සනුක ගේ දෙතොල් අතරෙහි වූයේ මන්දහාසයකි.
‘ඕන්නෑ කියන්න අම්ම’
මඳ තත්පර වීමකට පසු ඔහු අසීරුවෙන් කියාගත්තේ ය.
‘ඕන්නෑ කියල කොහොමද චූටි පුතා… මේ දවස දවස ගෙවෙන්නෙ වයස. ඔයාගෙ හිතේ මොකක් තියනවද කියල මට තේරෙන්නෑ’
යසස්වි හොරැහින් බැලුවා ය. ඒ බැල්මට සනුක ට නැවත ද සිනහ ගියේ ය.
‘බාප්ප ඔය එපා එපා කියන්නෙ කවුරුහරි ඉන්න නිසා කියල තේරෙන්නැද්ද ආච්ච…’
‘ඉන්නවනං ඉතිං කියන්නෙපැයි. ඕක හංගං හිටියයි කියල කටයුත්ත කෙරෙන්නෑනෙ. අර යසස්වි කිව්ව වගේ ළමයි මොන්ටිසෝරි ගෙනියන්න ඉන්නෙ හැරමිටියෙන් යන ගමන්ද…’
වජිරා කතා කළේ තරමක් තදිනි. මේ වතාවේ තදින් කතාකොට හෝ අස්විද ගේ හිත වෙනස් කරගන්නට ඇය හිතාගෙන සිටියා ය. යසස්වි සිනහ වෙවී සිටියේ ඔහු තව තවත් අපහසුවේ හෙළමිනි.
‘අ… ඔව් අම්ම. ඉන්නව තමයි කෙනෙක්…’
යසස්වි ගේ සිනහව ක්ෂය වූයේ ක්ෂණිකවයි. ඇගේ දෑස් විසල් ව අස්විද දෙස බලාගත්තේ අසරණව ය. ‘අනේ මුකුත් කියන්නෙපා ආන්ටිට’ වැනි බැල්මක් එහි ලියැවී තිබිණ. ඇගේ උඩුතොල මත දහදිය බින්දු නැගීගෙන ආවේ ය. අස්විද ගේ දෙතොල් මත අඩ සිනහවක් විය.