නිරුදා සේලක එක්ක විවාහ වුනේම වෙනම ජීවත් වෙන්න හිතාගෙන. ඒත් නොහිතපු විදියට විවාහයෙන් මාසයක් යන්නත් කලින් සේලකගේ තාත්තා හදිසි අසනීපයකින් මිය ගොයා. ඊට පස්සේ සේලකගේ අම්මාව තනියම ගෙදර තියන්න සේලකට හිතක් නැති බව නිරුදාට වැටහුනා.
” අපි ටික දවසක් අම්මා එක්ක ඉඳිමු සේලක … එහෙම නැති වුනොත් අම්මා වුනත් අසනීප වෙන්න පුලුවන් … ඇයි දන්නවාද එයාට තාත්තා නැති වුන ශොක් එකත් බලපානවානේ… “
” මට තියෙන ප්රශ්නේ මම දන්නවානේ අපේ අම්මගේ විදිය …”
” හරි ඉතින් …….. මම ගලපගන්නම් … අම්මාව තේරුම් ගන්න මට පුලුවන් වෙයි …”
” මට තේරෙන්නේ නෑ නිරූ …”
අන්තිමේදී දෙන්නා එක්කම මහ ගෙදර පදිංචියට ගියා. නිරුදා තාවකාලිකව රැකියාවට සමු දිලා උන්න නිසා සේලක රැකියාවට ගියාම අම්මයි නිරුදායි තමයි ගෙදර ඉතුරු වුනේ.
සේලකට ඔෆිස් එකෙන් වේල් දෙකටම කෑම ලැබෙන නිසා සේලක උදේට තේ එක බීලා, කෙටි ආහාරයක් අරගෙන රැකියාවට යන්න පුරුදු වෙලා හිටියේ. ඒ නිසා අම්මා කෑම උයන්න ගන්නේ ටිකක් පහුවෙලා.
නිරුදා අම්මාගේ උදව්වට කුස්සියට ගියා.
” දූ ඔයාගේ වැඩක් බලලා කරගන්න .. මට මේ ටික යේදලා ලිපේ තියලා ගන්න එක මහ වෙලාවක් යන වැඩක් නෙවෙයිනේ …”
අම්මා එහෙම කිව්වාම නිරුදා කුස්සියෙන් එලියට ආවා. හිතට නොරිස්සුමක් දැනුනත් ඒ ගැන උපේක්ෂාවෙන් හිතුවා.
” අම්මා කැමති එයා උයන පිහන වැඩ ටික කරන්න වෙන්න ඇති … අම්මා මැරි කරලා මෙහෙ ආව දවසේ ඉඳන්ම අම්මාගේ පැශන් එක වෙලා තියෙන්න ඇත්තේ ඔය උයන පිහන එක …. ඉතින් ඒකට අපි කවුරු වුනත් අත තියන එක අම්මාගේ ඊගෝ එකට හානියක් වගේ දැනෙනවා ඇත්තේ.. අම්මාගේ කෑමත් රසයි … එයා සේලකට මෙච්චර කල් උයලා පිහලා කන්න දුන්න ආදරේ තවම වෙනසක් නෑනේ.. රණ්ඩුවක් හදාගෙන්නේ මොකටද?.. කොහොමටත් උයන එක මට කම්මැලි එකේ අම්මට ඉඩ දීලා ඉන්නවා….”
නිරුදා අන්තර්ජාලය හරහා කරන රැකියාවේ වැඩ කිහිපයක් නිම කරා. අම්මා උදේට කන්න කතා කරනකොට නිර්දාට බඩගින්නක් මෝදු වෙන්න අරගෙන තිබුනේ.
සුදු බතුයි, පොල්සම්බෝලයි, හාල්මැස්සො තෙල් දාලයි ..
නිර්දා බඩ පිරෙනකල් දෙපාරක්ම බෙදාගෙන කෑවා.
” අම්මා මෙහෙම රසට උයන්න ගත්තොත් නම්, මාස හය ඉවර වෙලා ආයේ මම ජොබ් එකට යනකොට අලි පැටියෙක් වෙලා ඉඳී …”
නිර්දා කෙසෙල් ගෙඩියක් කන ගමන් අම්මාට එහෙම කිව්වා.
” අපේ මහත්තයත් ඔහොම කිය කියා තමා කන්නේ.. හැබැයි එයැයි බත් අඩුවෙන්ම කෑවේ අන්තිමේදි .. ඒත් ඉතින් නොහිතපු දෙයක්නේ වුනේ….”
එහෙම කියනකොට අම්මාගේ ඇස් වල පිරිලා තිබුන කඳුලු කම්මුල් දිගේ ගවුමට වැටෙනවා නිරුදා දැක්කා. අවුරුදු හතලිහක් තිස්සේ ජීවිතේ හොඳම අර්ධය වෙලා උන්න මිනිසෙකුගේ සමුගැනීම කොහොමට දැනෙනවා වෙන්නෝනිද කියලා නිර්දාට හිතාගන්නවත් පුලුවන් වුනේ නැහැ. තමන්ගේ සැමියාගේ අහිමිවීම කියන්නේ ගැහැණියක ජීවිතේ පලමු මියයෑම අත් දකින මොහොත වෙන්නෝනි කියලා ඇයට හිතුණා.
” ජීවිතේ එහෙම තමයි අම්මේ.. අම්මයි තාත්තයි එකට ඉන්නකල් දෙන්නාට දෙන්නා සන්තෝසෙන් උන්නානේ.. සේලකයි, අයියයි වගේ හොඳ පුත්තු දෙන්නෙක් සමාජෙට දුන්නා… ඉතින්, තාත්තාගේ අඩුව නොදැනෙනවා නෙවෙයි වුනත්, අම්මා හිත හදාගන්න ඕනි ….”
ඊට පස්සේ අම්මා පැයක් විතරම නිරූදට කිව්වේ ඇගේ පෙම් කතාව. ඇයව යාලු කරගන්න සේලකගේ තාත්තා වෙහෙසුණ තරම.
නිරුදා නැති උනන්දුවකුත් පෙන්නගෙන ඒ කතාවට හූ මිටි තිබ්බා.
” අම්මා කියනවා ඔයා එක්ක කතා කර කර හිටපු එකෙන් හිතට සැහැල්ලුවයිලු … මොනාද දෙන්නා කියව කියවා හිටියේ …”
එදා හවස ගෙදර ආව සේලක එහෙම කිව්වාම, නිරුදා අම්මාගේ පෙම් කතාවේ විස්තර කිව්වා.
” අපි දන්නෙවත් නෑ නිරූ ඔහොම කතා.. ඇත්තමයි … අවුරුද්දක් තාත්තා අම්මා පස්සෙන් ආවා කියලාවත් මම දන්නේ නෑ….”
නිරුදා හිස සැළුවා. ඒ කතා තියෙන්න ඇත්තේ අම්මයි තාත්තය් අතරේ විතරක් බව තේරුණා.
” අම්මයි තාත්තයි එ දෙන්නාගේ කතා ඒ දෙන්නා අතරේම තියාගෙන ඉන්න ඇති .. ඒ ගැන ඒ දෙන්නාට කතා බහ කරන්න ඕනෑ තරම් දේවල් තියෙන්න ඇති .. ඒත් දැන් තාත්තා නැති නිසා අම්මව අහගෙන ඉන්න කෙනෙක් ඕනිමයි .. ඔයා, මම , අයියා, අක්කා අපි කවුරුම හරි …”
නිර්දා අම්මා එක්ක දවසේ පැයක්වත් කතා කර කර ඉන්න වෙලාව හදාගත්තා. බෙදා හදාගෙන කරන්න පුලුවන් වැඩ බෙදා හදාගත්තා.
” මම දවල් වොෂින් මැෂින් එකෙන් රෙදි එලියට අරන් තියලා, කෝල් එකක් ආන්සර් කරන්න ගියා.. ඒ එනකොට අම්මා රෙදි ඔක්කොම වැලට දාලා .. ඒ මදිවට හවස රෙදි අරගෙන නවලත් තියලා…”
සේලක නිරුදා දිහා බලාගෙන උන්නේ ඒ කිව්වේ චෝදනාත්මක ස්වරයකින්ද කියලා වටහා ගන්න බැරුව.
” මට තේරුන් නෑ…’
” තේරුන් නෑ කියන්නේ? .. අපේ අම්මාවත් මට එහෙම උදව් කරලා නෑ.. උදේට මම රෙදි වනලා ගියේ නැත්නම් හවස එනකල් රෙදි ටික බේසමේ … අම්මා මෙහෙම කරනකොට මට පපුවත් එක්ක රිදෙනවා…”
” අම්මට ඔයයි මමයි දෙන්නම එකයි .. ඒකයි එහෙම කරන්නේ… එයාට තවම වයස නෑනේ… ඒවා කරන්න දෙන්න …. කමක් නෑ..”
සේලක එහෙම කිව්වාම, නිරූදා සේලකටත් බැණ බැණම ගිහිල්ලා අම්මාගේ කාමරේ දිහාවට එබුනා. අම්මා අඩ නින්දක උන්නේ.
” අම්මේ තේ බොන්න හදන්නේ අපි .. අම්මටත් හදන්නද ?…”
අම්මා ඇඳේ කෙලින් වෙලා වාඩි වුණා.
” මම හැලප තම්බලා ඇති .. එහෙනම් තේකක් බොමූ …”
නිරුදා තේ හැදුවා.
” හප්පේ .. මගේ තේක කැළෙනේ… තාත්තා හිටියානම් හැමදාම දූ ගේ තේක ඉල්ලාවී .. ඕං ආයේ මම තේ හදන්න නම් කුස්සිය පැත්ත පලාතේ යන්නෙ නෑ … ඒ රාජකාරිය දූ ටම බාරයි …..”
ලේසියකට කුස්සීයේ වැඩක් කාටවත් කරන්න ඉඩ නොදෙන අම්මා එහෙම කියනකොට සේලක බලාගෙන හිටියේ පුදුමෙන්.
” දැක්කානේ.. මම කිව්වානේ මම ගලපගන්නම් කියලා… අම්මලාගේ සේලක … අම්මාලගෙ විදිය තේරුම් ගත්තම ප්රශ්න නෑ ..”
නිරුදා එහෙම කියනකොට සේලක ඇයව ආදරෙන් තුරුලු කරගෙන නළල ඉම්බා.