කෝටිපතියෙකු වූ කුලහීන දියණිය

මේ කතාව පටන් ගන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පොඩි ගමකින්. 

කල්පනා ඉපදුණේ හරිම දුප්පත්, දාලිත් කුලේ පවුලක.

 ඔයාලා දන්නවාද දන්නෙ නෑ මේ දාලිත් කියන්නෙ හරිම පහත් කුලයක්. ඉන්දියාවේ මිනිස්සු දාලිත් කුලේ අයව පොඩ්ඩක්වත් ගණන් ගන්නෙ නෑ. අනික මේ කතාව කියන කාලෙ වගේම කතාව ඔයාලා කියවන කාලෙත් ඉන්දියාවේ කුලභේදය හරිම දරුණු එකක්..

කල්පනාගේ තාත්තා පොලිස් නිලධාරියෙක්. එයා විශ්වාස කළේ දරුවන්ගේ අනාගතය තීරණය කරන්නෙ කුලය නෙවෙයි, අධ්‍යාපනය තමයි කියලා. ඒ නිසාම මේ තාත්තා තමන්ගේ දුවට හොඳට ඉගැන්නුවා. 

“අපේ කුලේ අය ඉගෙනගත්තා කියලා රස්සාවල් කරන්ඩ බෑ තමයි. ඒත් ලියුමක් කියවගන්ඩවත් පුළුවන් වෙනකල් කෙල්ල ඉස්කෝලෙ ගියාවෙ..” කල්පනාගේ පාසැල් ගමන ගැන ගමේ මිනිසුන් එක එක ඒව කියද්දි කල්පනාගෙ තාත්තා උත්තර දෙන්නෙ අන්න එහෙම.

ඒත් අඩුකුලේ ළමයෙක් පාසලට එන එක ගැන ඉහළ කුලවල දරුවෝ කැමති වුණේ නැහැ. ඒ නිසා හැමදාම පාසලේ අනිත් ළමයි කල්පනාට විහිළු තහළු කරා, අඩන්තේට්ටම් කළා.

කල්පනාට කිසිම යෙහෙළියක්, යහළුවෙක් හිටියේ නැහැ. එයා අඩුකුලේ නිසා කිසිම ළමයෙක් එයාව ගණන් ගත්තේ නැහැ. ඒ විතරක් නෙවෙයි, ඉහළ කුලවල දරුවෝ එක්ක අඩුකුලේ ළමයෙක් තරග කරන එක බරපතළ පාපයක් කියලා ඒ කාලේ අය හිතුවා. ඒ නිසා පාසලේ ක්‍රීඩා තරගයකටවත් සහභාගි වෙන්න කල්පනාට අවසර තිබුණේ නැහැ.

මේ හැමදේම හැබැයි මේ පොඩි කෙල්ල ඉවසගෙන හිටියා. එයාගේ එකම හීනය වුණේ අකුරු ඉගෙනගෙන ඉහළට යන එක. ඒත් ඒ ගමන වැඩිකල් යන්න ලැබුණේ නැහැ. මොකද, දෛවය කල්පනාට වෙනත් ඉරණමක් සූදානම් කරලා තිබුණ හන්දා.

ඉන්දියාවේ, පොඩි ගෑණු දරුවො හරි ඉක්මනට මනමාලියො වෙලා තමන්ගෙ ගෙදරින් පිටත්වෙලා යනවා කියන එක අරුමයක් නෙවෙයිනෙ. අන්න ඒ විදියට පොත්පත් එක්ක, යාළුවෝ එක්ක සෙල්ලම් කරලා සතුටින් හිටපු ඒ පොඩි කෙල්ලගේ ජීවිතේ එක මොහොතකින් උඩු යටිකුරු වෙනවා.

මොකද කල්පනාටත් මංගල යෝජනාවක් එනවා. එයාට වඩා අවුරුදු දහයක් වැඩිමල් මනුස්සයෙක්ගෙන්.

එතකොට එයාගේ වයස 12යි. පොඩි දරුවෙක්. ඒත් ඒ කාලේ සිරිත් විරිත් අනුව කල්පනාගෙ ගෙදර අය කල්පනාව ඒ මනුස්සයට බලහත්කාරයෙන් විවාහ කරලා දෙනවා.මෙච්චර දවසක් පොත්පත් පිරිච්ච මේසයකට වාඩිවෙලා පාඩම් කරපු එක වෙනුවට කල්පනාට සිද්ද වෙනවා කසාද බැඳලා, ළමා මනමාලියක් විදියට අබලන් පැලකට ගිහින් ජිවීතේ පටන් ගන්න. ඒකත් මුම්බායිවල අපිරිසිදු පැල්පත් නිවාස සංකීර්ණයක. ගෙදර තිබ්බෙ එක කාමරයයි. ඒ කාමරේ කල්පනා, එයාගෙ සැමියා, කල්පනාගේ සැමියාගේ අයියා සහ එයාගේ බිරිදත් ජීවත් උනා. ඒ වගේම කල්පනාට හම්බුවෙන්නෙ ලස්සන විවාහ ජීවිතයක් නෙවෙයි. එයාගෙ සැමියාගේ පවුලේ අය කල්පනාට සැලකුවේ හරියට සේවිකාවකට වගේ. නින්දා අපහාස, හිංසා පීඩා විඳ විඳ ඉන්න අතරෙ කල්පනා කෙට්ටු වෙලා, දුර්වල වෙලා හිටියේ හරියට පණ තියෙන ඒත් මල කඳක් වගේ. කල්පනා හැමදේම ඉවසගෙන ගෙදර හැමදේම කරනවා, සැමියා, එයාගෙ අයියා, නෑනගෙ ඇණුම් බැණූම් කරබාගෙන අහන් ඉන්නවා.

ඉවසන්න බැරිම දවසක තාත්තාට එයා ලියලා අරිනවා. 

“තාත්තේ, එක සැරයක් බොම්බායට ඇවිත් මාව බලල යන්න” කියලා

ඒ ලියුමට උත්තරයක් විදියට එක දවසක තාත්තා දුවව බලන්න එනවා. තාත්තා එන වෙලාවෙත් කල්පනාගෙ නෑන ඉන්නෙ කල්පනාට ගුටි බැට දිදී. ඇඳුම් ඉරිච්ච, මල කඳක් වගේ ඉන්න තමන්ගෙ දූගෙ තත්ත්වය දැකලා තාත්තා හරියට දුක්වෙනවා. මේ වගේ තමන්ගෙ ඇස් ඉස්සරහා තමන්ගෙ දරුවගෙ ජීවිතය විනාශ වෙන්න දෙන්න බැහැ කියලා හිතපු තාත්තා, දුවව ආපහු ගෙදරට එක්කගෙන එනවා.

අන්න එතැනින්  තමයි කල්පනාගේ ජීවිතයේ පළමු දුක්ඛිත පරිච්ඡේදය අවසන් වෙන්නෙ.

ඒත් අලුත් දුක පරිච්ඡේදයක් පටන් ගන්නෙ එතනින්.

ආපහු ගෙදර ආවත්, කල්පනා ඉන්නෙ අසරණ තැනක. පොඩි වයසකින් කසාද බඳින්න වෙච්ච නිසා කල්පනාට හරියට අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ. රස්සාවක් නෑ. සල්ලි නැහැ. ගමේ මිනිස්සු කල්පනාට එක එක ඒව කියනවා.

“මූසල කෙල්ල, කසාදෙ කඩං ගෙදර ආවා” කියනවා. 

හැමදේම දරාගන්නවා කියල හිතුවට අන්තිමට, ඒ දුක දරාගන්න බැරිම දවසක් උදා වෙනවා. මිනිසුන්ගේ නින්දා අපහාස විඳගෙන ඉන්න බැරිම තැන, ඇඳුම් මහලා හම්බ කරගත්තු සොච්චම අරගෙන නගරෙට ගිය කල්පනා කෘමිනාශක බෝතල් තුනක් අරන් එනවා.

” මට තවත් විඳවන්න බෑ,” කියල හිතන කල්පනා කාමරේට ගිහින් වස බොනවා.

වාසනාවකට වගේ, වස බොන්න කලින් කාමරේ දොර අගුලු දාන්න එයාට අමතක වෙලා තියෙනවා. ඒ වෙලාවේම කල්පනාගේ නැන්දා ගෙදරට එනවා. ගෙදර කවුරුත් නැති නිසා බලද්දී කාමරේ දොර අඩවන් වෙලා තියෙනවා දකින නැන්දා දොර ඇරලා බලද්දී කටින් සෙම පෙරමින් බිම වැටිලා ඉන්න කල්පනාව දකිනවා. බිම වැටිච්ච වස බෝතල් දකින නැන්දා තත්පරයක්වත් පරක්කු නොවී කල්පනාව රෝහලකට අරන් යනවා. වාසනාවට කල්පනාගේ ජීවිතය බේරෙනවා. මාස ගාණක් රෝහලේ ප්‍රතිකාර අරගෙන එයා එළියට එන්නෙ අලුත් අධිෂ්ඨානයක් එක්ක.

“මං ජීවත් වෙනවා. හැබැයි මේ කාලකණ්ණි ජීවිතය නම් ඉවර කරනවාමයි. මං මැරෙන්නේ දවසක වෙනස්ම ජීවිතයක අයිතිකාරියක් විදිහට!” 

ආපහු මුම්බායි වලට යන කල්පනා රස්සාවක් හොයා ගන්නෙ අන්න ඒ අධිෂ්ඨානය නිසාමයි. කල්පනාට රස්සාව හම්බුවෙන්නෙ ඇඳුම් මහන තැනක. එයාට දවසට ලැබුණේ රුපියල් දෙකක් විතරයි. හිතාගන්න පුළුවන්ද ඒ තරම් සොච්චම් මුදලකින් කොහොමද ජීවත් වුණේ කියලා? ඒත් ඒ සොච්චමෙන් තමයි කල්පනා තමන්ගෙ හැම අරමුණක්ම ඉටු කරන්න මුල් පියවර තියන්නේ.

කල්පනා හරියට මහන්සිවෙලා වැඩකරනවා. එයාගෙ අරමුණ වෙන්නෙ නිකන්ම ජීවත් වෙනවාට වඩා ජීවිතේ හොඳ තැනකට අරගෙන යන්න ඕන කියන එක.

ඒ විදියට තමයි 1984 දී එයාගේ ජීවිතයේ වෙනස්ම විදියකට හැරවෙන්නෙ. කල්පනා රුපියල් 50,000ක ණයක් අරගෙන තමන්ගේම මැහුම් ව්‍යාපාරයක් පටන් ගන්නවා. මේක ලොකු අවදානමක්. ඒත් ඒ අවදානම බය නැතුව ගන්න කල්පනාගෙ එකම අරමුණ ඉන්න තැනින් තව අඩියක් හරි උඩට යන එක.මහන්සි වෙලා වැඩ කරන කල්පනාට පුලුවන් වෙනවා ටික කාලෙකින් කඩේ සාර්ථක කරගන්න. ඒ විතරක් නෙවෙයි, එයා ගෘහ භාණ්ඩ ව්‍යාපාරයක් පවා පටන් අරගෙන ඒකත් සාර්ථක කර ගන්නවා. සොච්චම් පඩියක් ගත්ත කෙල්ල ව්‍යාපාරිකාවක් වෙන්නෙ අන්න ඒ විදියට.

කල්පනාගේ කතාවේ ලොකුම අභියෝගය එන්නේ 2000 දී. ‘කමානි ටියුබ්ස්’ කියලා ප්‍රසිද්ධ කර්මාන්ත ශාලාවක් බංකොලොත් වෙන්න ආසන්න බව කල්පනා දැනගන්නවා. ඒ සමාගම ඉස්සර හරිම ලොකුවට බිස්නස් කරගෙන ගියපු කම්පනි එකක් උනත් අසාර්ථක කළමනාකරණය නිසා ණය ගොඩක හිර වෙලා, සේවකයෝ 3500කට අවුරුදු ගානක් වැටුප් දීලා නැතුව මේ වෙද්දි නට්ටං වෙලා තමා උන්නේ. හැමෝම හිතුවේ ඒ සමාගම ආයෙත් “ගොඩගන්න බෑ” කියලා තමයි.

ඔන්න ඔය අතරෙ තමයි මේ වැටිච්ච කම්පනි එක ගොඩගන්න කල්පනාට අවස්ථාව එන්නේ. සාමාන්‍ය මනුස්සයෙක් මේ වගේ අභියෝගයක් භාර නොගත්තට කල්පනා ඒ අභියෝගය භාර ගන්නවා. රුපියල් ලක්ෂ 50කට කල්පනා ඒ සමාගම මිලදී ගන්නවා.  හැබැයි කල්පනා දන්නවා මේ තමන් කරන්න යන දේ ලේසි පාසු වැඩක් නෙවෙයි කියලා.

කල්පනා දැඩි අධිෂ්ඨානයෙන් සමාගම නැවත හදනවා. අලුත් ක්‍රමවේද හඳුන්වලා දෙනවා. හැමෝම එක්ක විශ්වාසය ගොඩනඟා ගන්නවා.

 හැබැයි මේ කියන තරම් මේක මේ ලේසි දෙයක් නම් නෙවෙයි! 

අසාමාන්‍ය කැපවීමක් එක්ක තමයි කල්පනා මේ හැමදේම කරන්නෙ. ටික කාලෙකින් ඒ සමාගම ආපහු පණ ගන්නෙ කල්පනාගේ ඔන්න ඔය මහන්සිය හන්දා. එයා ණය ගෙවලා ඉවර කළා විතරක් නෙවෙයි, රුපියල් කෝටි 100කට වැඩි ආදායමක් ලබන දැවැන්ත සමාගමක් බවට මේ නට්ටං වෙලා තිබිච්ච සමාගම අරගෙන එන්න කල්පනාට පුලුවන් වෙනවා.

හැබැයි කල්පනාගෙ ගමන මෙතනින් නතර වෙන්නෙ නෑ. එයා දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයට, සිනමාවට පවා එන්නෙ තමන්ගෙ ගමන තව ලස්සන, අභියෝග පිරිච්ච එකක් කරගන්න. 2013 දී ඉන්දියානු රජය කල්පනාගෙ දායකත්වය අගය කරලා ඉහළම සම්මානයක් පිරිනමන්නෙ අන්න ඒ අභියෝග භාරගැනීමෙ අධිෂ්ටානය නිසාමයි. ඒ දක්ශතාවය නිසාමයි.

අද වෙද්දි කල්පනා සරෝජ්ගේ වත්කම් රුපියල් කෝටි 917ක් විතර වෙනවා. මේක නිකන්ම නිකන් සල්ලි නෙවෙයි, නොපසුබස්නා උත්සාහයේ, දරාගැනීමේ, සහ අධිෂ්ඨානයේ සංකේතයක්.

ඔයාලට හිතෙනවා ඇති “එයාගෙ වාසනාවට මෙහෙම උනේ” කියලා. හැබැයි කල්පනාගේ කතාව කියන්නේ වාසනාවක් ගැන නෙවෙයි. වේදනාව, දුක, අසාර්ථකත්වය පියවරක් කරගෙන නැඟිට්ට කාන්තාවකගෙ ශක්තිය ගැන.

උපාධි සහතික, ධනය, වරප්‍රසාද විතරක්ම සාර්ථකත්වයට හේතු වෙන්නේ නැහැ කියලා කල්පනාගේ කතාව අපිට හරි ලස්සනට කියලා දෙනවා. ඒ හැමදේටම වඩා වටින්නේ අපේ හිතේ තියෙන අධිෂ්ඨානය, ධෛර්යය සහ නොපසුබට උත්සාහය බව කල්පනා අපිට ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්නනවා.

“මං  බොම්බායට එනකොට ඒ  විශාල නගරයේදී මට දැනුනේ මං අගුටුමිට්ටෙක්  වගේ. මං පාරක් තොටක් හොයා ගන්නවත්  දැනගෙන හිටියේ නෑ.  ඒත් අද මේ විශාල නගරයේ මගේ ව්‍යාපාරය නමින් පාරවල් දෙකක්ම නම්  කරලා තියෙනවා. තමන් කරන දේ වෙනුවෙන්  හදවතින්ම කැප වෙන්න.  ඔබේ ජීවිතය වෙනස් වෙනවා සහතිකයි.”  කියලා කල්පනා කියන්නෙ අන්න ඒ හන්දා.

ඉතින්,

 කල්පනා සරෝජ් කියන්නේ ව්‍යාපාරිකාවක් විතරක් නෙවෙයි, අපේ ඉරණම අපිටම හදාගන්න පුළුවන් කියලා පෙන්නපු අද කාලයේ සැබෑ වීරවරියක්.

Related Articles

Don't Miss


Latest Articles