සුරංගනා කතාවක් බදු ආදර හමුවීමකින් රැජිනක් වීමට වාසනාවන්ත වූ සාමාන්‍ය තරුණිය මේරි

අපි පුංචි කාලේ ආසාවෙන් බලපු සුරංගනා කතා ඇත්ත ජීවිතේදි හමුවෙන්න නැහැ කියන ඇත්තට අපි පොඩ්ඩ පොඩ්ඩ ලොකු වෙද්දි මුහුණ දුන්නා.

සින්ඩරෙල්ල කතාව, නිදි කුමාරිගෙ කතාව වගේ දේවල් වෙන්නෙ සුරංගනා ලෝකෙ විතරයි කියන ඇත්ත ආදරේ ලඟදි විවාහය ලඟදි හිත බිඳුණම අපි ආයෙ ආයෙමත් අපේ හිතට තේරුම් කරල දුන්නනෙ.

ඒ වගේ සුරංගනාමය ලස්සන ආදර කතා අපිට හමු උනේ නැති උනාත්, ඒ වගේ සුරංගනා කතා හැබෑ කරගන්න වාසනාවන්ත මිනිස්සුත් අපි අතරෙ නැතුවම නෙවෙයි. ඉතින් අපි අද කතා කරන්න යන්නෙ ඒ වගේ හැබෑවුණ කුමාරයෙක්ගෙයි – සාමාන්‍ය කෙල්ලෙක්ගෙයි සුරංගනා ආදර කතාවක් ගැන.

මේ ෆෙඩ්‍රික් සහ මේරිගෙ ආදර කතාව.

ෆෙඩ්‍රික් ඔස්ට්‍රේලියාවට එන්නෙ 2000 අවුරුද්දෙ ඔස්ට්‍රේලියාවෙ පැවැත්වුණ ඔලිම්පික් තරගෙ බලන්න.

ඩෙන්මාර්කයේ ඉඳල සැතපුම් දහස් ගණනක් ඈත ඔස්ට්‍රේලියාවේ ඩාර්ලිං වරායේ සිඩ්නිවල තියෙනව පබ් එකක්. තරුණ කෙල්ලො කොල්ලො ඔය පබ් එකට එනවා විනෝද වෙන්න. ෆෙඩ්‍රිකුත් මේ
පබ් එකේම කෙලවරකට වෙලා වයින් වීදුරුවක් රස විඳ විඳ ඉද්දි තමයි එයාගෙ ඇස් ලස්සන කෙල්ලෙක් ලඟ නතර උනේ.

අපේ රටේ වගේ ඇස් වලින්ම කතා කර කර ඉන්නෙ නෑනෙ ඒ රටවල කෙල්ලො කොල්ලො. ඉතින් මේ ලස්සන කෙල්ල ලඟට වෙන කොල්ලෙක් ලංවෙන්න කලින් ෆෙඩ්‍රික් හිතුවා ගිහින් කතාකරන්න

“හායි. මම ෆෙඩ්‍රික්” ඒ ලස්සන කෙල්ලට අත දිගු කරල තමන්ව අඳුන්වල දුන්න ෆෙඩ්‍රික් කිව්වා

“මගෙ නම මේරි, මම ඇඩ්වටයිසින් එක්සෙකටිව් කෙනෙක්” මේරි ෆෙඩ්‍රික්ට තමන්ව අඳුන්වල දුන්නා.

හෙමින් සැරේ වයින් වීදුරුව තොල ගගා කතා කර කර උන්නු මේ දෙන්නගෙ හිත් එකිනෙකා එක්ක බැඳුනෙ හිතුවෙවත් නැති විදියට.

කතා කර කර ඉද්දි මේ දෙන්න ලඟට ලං වෙච්ච මේ පබ් එකේ සේවය කරපු කෙනෙක් මේරිගෙන් මෙන්න මෙහෙම අහනවා

“මේ කවුද කියලා ඔයා දන්නවද?”

මේරිට හිතාගන්න බෑ ඇයි එහෙම ඇහුවෙ කියල. තමන් වගේම මෙච්චර වෙලා තමන් එක්ක කතා කර කර උන්නු ෆ්‍රෙඩ් කියන්නෙත් සාමාන්‍ය කොල්ලෙක් කියල හිතාගෙන උන්නු සිතුවිල්ල වැරදි බව මේරි තේරුම්ගන්නේ ඊළඟට අහන්න වෙච්ච වචන ටිකක් එක්ක.

“මේ ඉන්නෙ ෆෙඩ්‍රික් කුමාරයා. එයා තමයි ඩෙන්මාකයේ ඔටුන්න හිමි කුමාරයා”

එහෙම දෙයක් අහන්න උනාම සාමාන්‍ය කෙල්ලෙක් වෙච්ච මේරිගෙ හිත මොනතරම් ගැස්සෙන්න ඇතිද කියල ඔයාලට හිතිල තියෙනවද?

“අපි මුණ ගැහිල කතා කරල අතට අත දුන්න පලවෙනිනි අවස්තාවෙ එයා ඩෙන්මාකයේ ඔටුන්න හිමි කුමාරයා කියල මම දැනගෙනවත් ඉඳියෙ නෑ. අපි පැය බාගයක් විතර කතා කර කර ඉද්දි තමයි ඒ මනුස්සය ඇවිල්ල ෆ්‍රෙඩ්‍රික් කවුද කියල කිව්වෙ

මට හිතාෆන්න බැරිවුනා”

මේරි ඒ අවස්තාවෙ හිතට දැනුන හැඟීම 2003 Australia in 60 minutes වැඩසටහනට කිව්වෙ ඒ විදියට.

මේ හමුවීමෙන් පස්සෙ වෙන්වෙලා ආපහු තමන්ගෙ රටට යන්න ගියත් දෙන්නගෙ හිත් එකම තැනක එකම විදියට නතරවෙලා තිබුනා. රටවල් දෙකක උන්නත් දෙන්නගෙ ආදරේ දලු දැම්මා. එහෙම ඉද්දි අවුරුද්දකට විතර පස්සෙ තමයි මේරි ෆෙඩ්‍රික්ව හමුවෙන්න ඩෙන්මාකයට යන්නේ.

ඩෙන්මාක් වලට ගිය මේරි මුලින්ම කරන්නෙ හොඳින්ම ඩෙන්මාක් බාසාව ඉගෙන ගන්න එක. ඒ හමුවෙදිම මාග්‍රට් රැජිණ හමුවෙලා විවාහ ගිවිස ගැනීමට අවසර ගන්නත් මේ දෙන්නට පුලුවන් වෙනවා.

ඉන්පස්සෙ තමයි ෆෙඩ්‍රික් කුමාරයා දියමන්ති මුද්දක් මේරිගෙ ඇඟිල්ලට දාලා එයාව තමන්ගෙ බිරිඳ කරගන්නෙ. එහෙම නැත්තම් ඔස්ට්‍රේලියාවෙන් බිහිවුන පලවෙනි රාජ කුමාරි බවට මේරිව
පත්කරන්නෙ. 2004 අවුරුද්දෙ මැයි මාසෙ දවසක පැවතිච්ච ලස්සන රාජකීය විවාහ මංගල්‍යයක් අවසානයේ මේරි ලෝකෙ පැරණිම රාජාණ්ඩුවක සාමාජිකාවක් වෙනවා.

2004 මැයි මාසෙ 14 වෙනිදා කෝපන්හේගන්වල දෙව් මැදුරක විවාහ වෙච්ච මේ දෙන්න ෆ්‍රෙඩන්ස්බර්ග් මාලිගාවෙ පිලිගැනීමෙ උත්සවයකින් රජ පවුලට පිලිගත්තා. මේ විවාහ උත්සවයට මේරි ඩෙන්මාක් ඇඳුම් නිර්මාණ ශිල්පියෙක් වන උෆේ ෆ්‍රෑන්ක් නිර්මාණය කරපු දිග ලස්සන ගවුමක් ඇඳලා තිබුණා. 1905 ස්වීඩනයේ ඔටුන්න හිමි මාගරිටා කුමරිය මුලින්ම පාවිච්චි කල වේල් එකක් සහ මාග්‍රට් රැජිණ සහ හෙන්‍රික් කුමාරය දුන්න Tiara එකක් මේරි හිස පලඳගෙන හිටියා.

මංගල උත්සවයෙදි තමන් උපන් රටට ආචාර දක්වන්න ඉයුකැලිප්ටස් වලින් සරසපු මල් කළඹක් අරගත්ත මේරි තමන්ගෙ මියගිය අම්මාගෙ විවාහ ගිවිස ගැනීම මුදුවත් ලඟ තබාගෙන තිබුනා.

රාජකීය විදියට හැම දේම උනාට මේරි මේ හැමදෙයක් ගැනම කියන්නෙ වෙනස් කතාවක්

“මට කවදාවත් රජ කුමරියක් වෙන්න ඕන උනේ නෑ. මට ඕන උනේ පශු වෛද්‍ය කෙනෙක් වෙන්න. මම ෆෙඩ්‍රික්ට ආදරේ කලා. එච්චරයි

අපි දෙන්න කතා කරන්න පටන් ගත්ත මුල්ම දවසෙ ඉඳල කවදාවත් කතා කරන එක නතර කලේ නෑ. මම හිතන්නෙ ඒක තමයි අපේ ආදරේ මෙච්චර හයිය කරන්න හේතු උනේ”

මංගල කතාවෙදි ෆෙඩ්‍රික් “මම ඇයට ආදරෙයි. මම හදවතින්ම ඇයව ආරක්ෂා කරනවා” කිව්වෙ ෆෙඩ්‍රික්ටත් රජකමටත් වඩා ආදරේ වැදගත් උන නිසා වෙන්නැති.

ඉතින් මේ දෙන්න යාලුවෙලා අවුරුදු දෙකක් විතර යනකම් තමන්ගෙ සම්බන්දෙ රහසිගතව තියාගන්න හිතල තිබුනා. 2001 නොවැම්බර් වලදි ඩෙන්මාක් ටැබ්ලොයිඩ්බ් පුවත්පතක් එයාලා දෙන්න ගැන කතා කරනකම්ම කවුරුවත් මේ ගැන දැනගෙන හිටියෙ නෑලු.

2005 ඔක්තෝබර් 15 වෙනිදා මේ දෙන්න තමන්ගෙ පලවෙනි දරුව උන ක්‍රිස්ටියන් කුමාරයට උපත දෙනවා. එයා තමයි දැනට ඩෙන්මාකයේ සිංහාසනයට උරුමකම් කියන ලැයිස්තුවෙ පලවෙනියා.

ඉන්පස්සෙ ඉසබෙලා කුමරිය, වින්සන්ට් සහ ජොසෆින් වත් මෙයාලා තමන්ගෙ පවුලට පිලිගන්නවා.

මේරි රැජිණ කියන්නේ “මම මගේ දරුවන්ට පුරුදු කරනවා රාජකීය වරප්‍රසාද නැතුව උනත් ජීවත් වෙන්න සහ ස්වාදීන ශක්තිමත් මිනිස්සු වෙන්න” කියලා.

මෙහෙම බාර් එකකදි ඔටුන්න හිමි කුමාරයෙක් හම්බෙන එක අහඹුම සිදුවීමක් උනත් ටැරෝ කාඩ් කියවන්නෙක් මේ ගැන අනාවැකි කියල තිබුන කියල මේරි රැජිණ කියනවා.

මේ දෙන්න බඳින කොටත් ඩෙන්මාකයේ රැජිණ උන මාග්‍රට් රැජිණ අසනීප තත්ත්වයන් නිසා රජකම අතාරිනවා. ඒ ෆෙඩ්‍රික් කුමාරයට රජ ඔටුන්න බාරදෙන ගමන්.

ඉතින් ඒ ලස්සන දවස ආවෙ මීට දින හතරකට විතර කලින් 2024 ජනවාරි 15 වෙනිදා. ඩෙන්මාක ඉතිහාසයේ දීර්ඝතම රාජ්‍ය කාලයට හිමිකම් කියුව මාග්‍රට් රැජිණ පහුගිය දවසක ෆෙඩ්‍රික් කුමාරයට තනතුරු භාරදුන්නා.

ඉතින් ෆෙඩ්‍රික් රජු වෙද්දි මේරි තමයි දැන් ඩෙන්මාකයේ රැජිණ.

පබ් එකේදි හමුවෙච්ච කොල්ල එක්ක කතාකරද්දි ඊට අවුරුදු ගාණකට පස්සෙ තමන් ඩෙන්මාකයේ රැජිණ වෙයි කියල මේරි නොහිතන්න ඇති.

ඒ උනාට ලස්සන ආදරණීය හිතක් ලඟ නතරවෙච්ච තමන් කොහොමත් ෆෙඩ්‍රික්ගෙ ලෝකෙ රැජිණ කියල නම් මේරි දැනගෙන ඉන්න ඇති නේද?

Related Articles

Don't Miss


Latest Articles