බොයිලේරුවක් අසල ඝාතනය වූ පුංචි මල් කැකුළ

ඔබ දන්නවා, අපරාධ විද්‍යාව වර්තමානයේ බොහෝම ප්‍රබල වෙන සාක්ශි සපයන්නේ ඩීඑන් ඒ විසින්. ඒත් අපි මේ කියන්න යන කතාව අධිකරණ විසින් ඩී එන් ඒ අපරාධ සාක්ශියක් ලෙස පිළි නොගත්තු කාලේටයි අයිති. 

පුංචි ඇලිස් 

1990 ඔක්තෝබර් මාසේ මැද දවසක්. කැනඩාවේ සුන්දර නගරයක්.  ඇලිස් කීටින් හය හැවිරිදි සුන්දර ගැහැණු දරුවෙක්. දෙමාපියන්ගේ දික්කසාදයට පස්සේ තමන්ගේ අම්මා වුන ග්‍රේස් එක්ක ජීවත් වෙමින් හිටියේ. මේ දවසේ ග්‍රේස් ගෙදර එන්න ප්‍රමාද වුනා. ඇලිස් අම්මගේ අලුත් පෙම්වතා එක්ක රසම රස නූඩ්ල්ස් එකක් කන ගමන්, කාර්ටූන් බල බලා හිටියේ. ඇලිස් අම්මගේ අලුත් පෙම්වතාව දැන අඳුනගෙන මාස දෙකකට නොවැඩි වුනත්,ඇලිස් ඔහුට ඇමතුවේ තාත්තා කියලා.  ඒ කොහොම වුනත් ග්‍රේස් සහ ඇගේ අලුත් පෙම්වතා අතරේත් විසඳාගන්න පුලුවන් මට්ටමේ අමනාප, අවලාදකම් දිගින් දිගටම තිබුණා.

කොහොම හරි ග්‍රේස් ගෙදර ආවට පස්සේත් ඔය වගේ අමනාප රණ්ඩුවක් දෙන්නා අතරේ වුනා. පහු වෙනිදා උදේ නවයට විතර, ඇලිස් කිව්වා සෙල්ලම් කරන්න යන්න ඕනි කියලා. ග්‍රේස් ඇලිස් ට හාදුවක් දීලා කිව්වේ, පාරට නොගිහින් තමන් ඉන්න ගොඩනැගිල්ල සීමාවේ සෙල්ලම් කරන්න කියලා. ඇලිස් ගොඩනැගිල්ලෙන් එලියට ආවා. අහල පහල නිවසක කෙනෙක් ඇලිස්ව දැකලා තිබුණා උදෑසන 9.30ට විතරත්. 

අතුරුදන් වුන ඇලිස් 

හැබැයි 11.30 වෙනකල්ම ඇලිස් ආයෙම ගෙදර ආවේ නැහැ. ග්‍රේස් හොඳටම කලබල වෙලා නිවාස සංකීර්ණයේ හැම ගෙදරකටම දුව දුවා ඇලිස් ඉන්නවද කියලා බැලුවා. ග්‍රේස් ගේ පෙම්වතා ත් හැම තැනම ඇලිස්ව හෙව්වා. ඒත් දවල් 1.00 වෙනකල්ම ඇලිස් ගැන ආරංචියක් ආවේ නැති නිසා ග්‍රේස් කලේ ඇලිස් අතුරුදන් බවට පොලිසියේ පැමිණිල්ලක් දාපු එක. ග්‍රේස් හිටියේ කරන්න ඕනි දෙයක් ගැන අදහසක් නැති තරමටම කලබල වෙලා.

පැමිණිල්ලට පස්සේ පොලිසිය වහාම ක්‍රියාත්මක වුණා. නිළධාරින් හැත්තෑ හත් දෙනෙක්, හෙලිකොප්ටරයක් වගේම ඔවුන් සතුව තිබුණ විශේෂ බලකායත් මේ සෙවීමට එකතු කරන්න ප්‍රාදේශීය පොලිසිය කටයුතු කරලා තිබුණා. පොලිසියේ සොයා බැලීමේ කටයුතු වලට සිවිල් වැසියන් සිය ගානක් දෙනා ස්වෙච්ඡාවෙන් ම ඉදිරිපත් වුනේ ඇලිස් කීටින්ගේ අතුරුදන් වීම ඒ තරමටම ප්‍රදේශය තුළ සෙලවිමක් කරලා තිබුණ නිසා. මේ සියලු දෙනා එකතු වෙලා ඇලිස් ජීවත් වුණ ප්‍රදේශයේ සියලු ගොඩනැගිලි, කඩ සාප්පු, ගස්, ගල්, පඳුරු අස්සේ පවා විමර්ශනශීලිව හැමදේම හොයලා බැලුවා.

ඒත් කිසිම සාක්ශියක් ලැබුණේ නැහැ.

“ඇලිස්ව හුළඟේ ගහගෙන ගියා වගේනේ…”

අසල්වැසි කාන්තාවක් එහෙම කියනවා ඇහෙනකොට පොලිස් නිළධාරීන් පවා ඒකට එකඟ වෙන බැල්මකින් තමයි එකිනෙකා දිහා බැලුවේ.

සාක්ශි එකින් එක එකතු වෙන හැටි

ග්‍රේස් ගේ ගෙදර ස්ථාවර දුරකතනය විසන්ධි කරලා තිබුණේ බිල් ගෙවාගන්න බැරි නිසා කියලා ග්‍රේස් කිව්වේ පොලිස් ප්‍රශ්න කිර්‍රිම් වලදී. කලින් දවසේ රෑ නිවාස සංකීර්ණය ඉස්සරහ පාරේ කාන්තාවක් සහ පිරිමියෙක් රණ්ඩු කරමින් සිටි බවත්, පස්සේ ඔවුන් කුඩාදැරියකුත් නිල් පැහැ වෑන් රියකට දමාගෙන ඉතා වේගයෙන් එතැනින් පිටව ගියා කියලත් අසල්වැසියෙකුගේ කට උත්තරේක කියවිලා තිබුණා. ඒ නිසාම පොලිසියේ පලමු සැකකාරිණිය වුනේ ග්‍රේස්; ඇලිස්ගේ අම්මා. හැබැයි කොහොම වුනත් පැය විසි හතරක විතර  ප්‍රශ්න කිරීම් වලට පස්සේ පොලිසිය තීරණය කලා ඒ වෑන් එකේ හිටියේ වෙනමම පවුලක් කියලා. 

මේ අතරේ ඇලිස්ව සොයමින් කෙරුණු පරීක්ෂණ කටයුතු දිගින් දිගටම කෙරුණා. දවස් හතකට පස්සේ පොලිසිය ග්‍රේස්ට දැනුම් දුන්නා සොයා බැලීමේ කටයුතු නවත්තලා දාන බව. ග්‍රේස් කිසිම හවුහරණක් නැතුව අසරණ වුනා.

හැංගුණ කාමරයක – හැංගුණ සිරුර

ඒ වෙනකොට නිවාස සංකීර්ණයේ තිබුණ තට්ටු පහේම හැම නිවසක්ම පස් වතාවකට වැඩියෙන් පොලිස් නිරීක්ෂණයන්ට අහු වෙලයි තිබුණේ.  ඒත් එතනදී මඟහැරුණ කාරණයක් තිබුණා. ඇත්තටම මේ නිවාස සංකීර්ණයේ තට්ටු හයක් තිබුණා. උඩම තව වහලා දාපු  කුඩා කාමරයක් තිබුණා.

ඇලිස් ගැන සොයා බැලීම් අවසන් කරලා දවස් දෙකකට පස්සේ මුලු ප්‍රදේශයම සලිත කරවමින්, නිවාස සංකීර්ණයේ ඉහලම මහලේ කාමරයක බොයිලේරුවක් අස්සේ තිබිලා පුංචි ඇලිස්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුර සොයාගන්නවා. ඒ එතැන අලුත්වැඩියා කටයුත්තකට ආව විදුලි ඉංජිනේරුවරයෙක් විසින්.

ඊට පස්සේ ඇලිස්ව මරණ පරීක්ෂණ ට අරගෙන යනවා. එතැනදී පරීක්ශක වරුන් හොයාගන්නේ මේ පොඩි කෙල්ල ඉතාම අමානුෂික විදියට ලිංගික බලහත්කාරකමකට ගොදුරු වෙලා කියලා. ඒ බොයිලේරු අතරේ තිබුණු අතිශය උණුසුම් පරිසරය නිසා ශරීරයත්  වෙනස් වෙමින් තමයි තිබිලා තියෙන්නේ. ඒ නිසා පරීක්ශකවරුන්ට සාක්ශි එක් කර ගැනීම පවා අභියෝගයක් වුනා කියලා කියැවෙනවා.

සාක්ශි එකින් එක එකතු කල හැටි 

ඇසින් දුටු සාක්ශි එකක්වත් තිබුණේ නැති නිසා ඇලිස්ගෙර් මිනීමැරුම සඳහා සාක්ශි එකතු කිරීම ඉතාම වැදගත් වෙලා තියෙනවා. බොයිලේරු අවට පරිසයේ තිබුණ ඉතාම කුඩා කොණ්ඩ ගස් කැබලි පවා සාක්ශි විදියට එකතුකරලා තියෙනවා.  ඒ අතරේ බිම වැටිලා වියලිලා තිබුණ ආලේපන වර්ගයක සාම්පලත් සාක්ශි වලට එකතු වෙලා තියෙනවා. ඒත් ඒ සාම්පලය ගැන කිසිම අදහසක් පරීක්ශකවරුන්ට තිබිලා නැහැ. මෙතනදී තමා කීත් කෙලර් මේ සිද්දියට එකතු වෙන්නේ. ඔහු හොයාගන්නවා මේ ආලේපනය යම් රුධිර සාම්පලයක ඉතිරියක් බව. ඊටත් පස්සේ කෙලර් මේ සාම්පලය තවත් රසායනික ප්‍රතික්‍රියාවකට යොමු කරනවා. එතැනදී ඒ සාම්පලයේ ශුක්‍රාණු සඳහාත් ධනාත්මක ලකුණු පෙන්වනවා. එතැනදී තීරණය වෙනවා ඒ ආලේපන ඉතිරිය රුධිර සහ ශුක්‍රාණු මිශ්‍රණයක අවශේෂ කියලා.

ඊටත් පස්සේ මේ සාම්පලය අලුතින්ම හදපු ඩී එන් ඒ පරීක්ෂණාගාරටකට යැවෙනවා.  ඒ අතරේ ඒ ආසන්න දවස් වල බොයිලේරු කාමරේට අව ගිය හැත්තෑවකට ආසන්න මිනිසුන්ගේ සාම්පල පරික්ශා කිරීමටත් පරීක්ෂණ කණ්ඩායම්  කටයුතු කරනවා.පරීක්ෂණ අවසානේදි සැකකරුවන් හතර දෙනෙක් ලැයිස්තු ගත කෙරෙනවා. 

සැකකාරයෝ හතරක්

පලවෙනියා රෙජී වෝනර්, ඒ ගොඩනැගිල්ලේ සහකාර සුපිරින්ටන්ඩන්වරයෙක්. පොලිස් නිළධාරින් සොයාගන්නවා වෝර්නර් සහ ග්‍රේස් ; ඇලිස්ගේ මව අතර අනියම් ඇසුරක් තිබුණ බවත්.

දෙවෙනි සැකකාරයා වෙන්නේ ෆ්‍රෙඩ් ලයිනස්. ඔහු ගොඩනැගිල්ලේ මුරකාරයෙක්.

තුන්වෙනි සැකකාරයා තමා බාලම කෙනා. ජොනි ටර්සෙරා, අවුරුදු දහනවයයි. ගොඩනැගිල්ලේ අර්ධකාලීන මුරකරුවෙක්. ඒ වගේම ඔහු තමයි ඇලිස් අතුරුදන් වුණ ඉරිදා උදේ රාජකාරිය වාර්තා කරන්න නියමිත වෙලා ඉඳලා තියෙන්නේත්.

හතරවැනි සැකකාරයා වෙන්නේ ග්‍රේස්ගේ පෙම්වතා. වේන් සොරෙන්සන්.

ඊට පස්සේ මේ හතරදෙනාම වැඩිදුර ප්‍රශ්න කිරිම් වලට යොමු කෙරෙනවා. ඉරිදා උදේ නවයත් එකොළහත් අතර කාලයේ ඔවුන් සිටියේ කොහේද කියලා විමසීම් කෙරෙනවා.

රෙජී වෝර්නර් කියනවා, කලින් දවසේ රෑ බාර් එකක ඇතිවුන රණ්ඩුවක් නිසා නහය තුවාල වෙලා, තමන් ඉරිදා උදේ වරුවම ගෙදරට වෙලා රූපවාහිනී නරඹපු බව.

ෆ්‍රෙඩ් ලයිනස් කියනවා සෙනසුරාදා රාත්‍රී  සහ ඉරිදා උදෑසන ඔහු නගරයෙන් පිට හෝටලයක උන්න බව.

ජොනී කියනවා, ඔහු ඉරිදා උදේ 8.30ට සේවයට වාර්තා කලත් අසනීප තත්වයක් නිසා පැයකට පස්සේ ආයෙම ගෙදර ගිය බව.

වේන් අවධාරණය කරනවා ඔහු ඉරිදා උදේ වරුවම ග්‍රේස් සමඟම උන්න බව.

තවදුරටත් පරීක්ෂණ 

එතැනින් බලාපොරොත්තු වුණ පිළිතුරු නොලැබුන නිසා පරීක්ශවරුන් මේ සැකකරුවන්ගෙන් තවත් රුධිර,හිස්කබලේ, ලිංගික ප්‍රදේශයේ සහ ඛේට සාම්පල ලබා ගන්නවා. ඊට පස්සේ ඒ සාම්පල ඩී එන් ඒ පරීක්ෂණාගාරයට යැවෙනවා. කීත් කෙලර් ආයෙම වැඩ පටන් ගන්නවා. කලින් තිබුණ සාම්පල එක්ක මේ සාම්පල ඉතාම ගැඹුරු පරීක්ෂණ යටතේ පරීක්ශා කරනවා. 

ඒ අතරේ කෙරුණ තවත් පරීක්ෂණයකින් ඇලිස්ගේ රුධිරය O වර්ගයට අයත් බවත්, බොයිලේරු ලඟ බිම තිබුණ රුධිරයත් O වර්ගයේම බවත් හොයාගන්නවා. ඒ නිසාම හොයාගන්නවා සාම්පලයේ තිබුණ ශුකාණු අනෙක් පිරිමි කෙනාගේ බව.  ඒ අතරේ ඇලිස්ගේ ඇඳුම් වලත් මේ ශුකාණු සාම්පල තියෙනවාද කියන බවත් පරික්ශා කෙරෙනවා. ඒ ලබා ගත්ත සාම්පල එක්ක කලින් ගත්ත සාම්පල් ආයේ ආයෙම පරීක්ෂා කෙරෙනවා. අනූව දශකයේ මුල් කාලේ වෙනකොට කැනඩාවේ ඩී එන් ඒ පදනම් කරගෙන කෙරෙන පලවෙනි විශාලතම පරීක්ෂණය බවට මේ සිදුවීම පත්වෙනවා.

තුන්වෙනි සැකකරු වරදකරු වීම් 

කිත් කෙලර්ගේ පරීක්ෂණ වාර්තා වල රුධිර සාම්පල ගැලපීම් වලින්  පලවෙනි, දෙවෙනි  සහ හතරවෙනි සැකකරුවන් නිදහස් වෙනවා. රුධිර ඝන ගැලපෙන්නේ තුන්වැනි සැකකරු වුණ ජොනිගේ.

සැකයට භාජනය වුන කාලයේ ඉඳන්ම පරීක්ෂණ කණ්ඩායම් ජොනි පස්සෙන් උන්න නිසා,ජොනීගේ අධික මත් ද්‍රව්‍ය නැඹුරුව ගැනත් දැනගෙනයි ඉන්නේ. ඊට පස්සේ පරීක්ෂණ කණ්ඩායම කතාව වෙනස් කරනවා. ඔවුන් තරයේම කියනවා ජොනී බොයිලේරු කාමරේට යනවා දුටු අය ඉන්න බව.එතැනදී ජොනි කියන්නේ දුම් පානය සඳහා විනාඩි කිහිපයක් සඳහා පමණක් කාමරයට ගිය බව. ඊටත් පස්සේ ඔහු කතාව ආයෙම වෙනස් කරනවා. දුම්වැටියක් පානයට ගිය වෙලාවේ ඔහු මියගිහින් උන්න ඇලිස්ව දැක්ක බවපිළිගන්නවා. කරදරයක් පටලවගන්න ඕනේ නැති නිසා නිහඬව හිටපු බවත් කියනවා.

ජොනි වෙනුවෙන් පෙනී උන්න නීතීඥවරයා කියන්නේ මුරකාරයෙක් වීම නිසා ජොනීගේ හිසකෙස් බොයිලේරු කාමරයේ තියෙන එක අතිශය සාමාන්‍ය බව. ඒත් එක්කම කීත් කෙලර් පරීක්ෂණ තවත් සිදුකරනවා.ඔහු උපකල්පනය කරනවා අධිකරණයේදී තර්ක කරන්න පුලුවන් කාරණා ගැන. ශුකාණු සාම්පල මුලදී බිම තිබිලා ඒ මතට රුධිරය වැටෙන්න පුලුවන් කියන තර්කය නීතීඥවරු ගේන බව කීත් දන්නවා.

කීත් ආයෙම මේ අයගේ ශුකාණු සාම්පල වලින්  ගත්ත ඩී එන් ඒ නිස්සාරණය කරලා ඒවාදිග අනුව කොටස් වලට කපලා දත්ත ගන්නවා. ඒ අතරට පොළවේ තිබුණ සාම්පලයේ තිබුණ ඩී එන් ඒ වලත්  දත්ත සඳහන් කරගන්නවා. එතැනදීත් පැහැදිලි වෙනවා තුන්වෙනි සැකකාරයා වුණ ජොනීගේ ඩී එන් ඒ සාම්පල ඒ පරීක්ෂණය යටතේත් පොළවේ වැටිලා තිබණ ඩී එන් ඒ වලට සමාන වෙනවා.

ඊට පස්සේ නඩු පවරන සිදුවීම සැලසුම් කෙරෙනවා. ඉරිදා උදේ ඇලිස් සෙල්ලම් කරන්න කෙනෙක් හොයමින් ඉන්න අතරෙ ජොනි මුණ ගැහෙන්න ඇති කියලා හිතනවා.  ඉන් පස්සේ ඇයවත් එක්කගෙන බොයිලේරු කාමරයට යන්න ඇති. එතනදී යම් සිදුවූමක් වෙන්ණ ඇති.කොහොම වුනත් ජොනීගේ අම්මා අවධාරණය කරනවා, ජොනී ඉරිදා උදේ නවය වෙනකොට ගෙදර ආව බව. 

නඩුව නැවත අධිකරණයේ විභාග කෙරෙනවා.ඩී එන් ඒ සාම්පල වාර්තා ආයෙම පැහැදිලි කෙරෙනවා.  හැම සාක්ශියකින්ම වැරදිකරු වෙන්නේ ජොනි. අන්තිමේදී නිහඬ ඩීඑන්ඒ කතා කරනවා. අවසානයේදී කවුරුත් හඬවමින්,  තීරණය කෙරෙනවා පුංචි ඇලිස්ගේ මරණයට වරදකරු ජොනී බව.  ඔහු පුංචි ඇලිස්ව  දූෂණය කරලා මරලා දාපු බව. අන්තිමේදී, ඔහුව ජීවිතාන්තය තෙක් සිර දඬුවමකට ලක් කෙරෙනවා.

අඳුරු කුහරේක හිරවුන අම්මා

මේ අතරේ ග්‍රේස් ඉන්නේ මහා මානසික වියවුලක. තමන් ගේ නොසැලකිල්ල නිසා ඇලිස්ගේ මරණය සිදු වුනාය කියන හැඟීම නිසා ග්‍රේස් නොසෑහෙන්න විඳවනවා. ඇය ඉන්නේ අඳුරු කුහරයක. විශාදය තත්වයක් එක්ක. ඇය ට හරි වේලාවට කිසිම උදව්වක් ලබන්න තරම් වාසනාවන්ත වෙන්නෙ නැහැ. ඇලිස්ගේ මරණයට අවුරුදු හයකින් පස්සේ ග්‍රේස් සියදිවි නසාගන්නවා.

එහෙමයි; නිහඬ සාක්ශි කතා කරන්නේ

| අපේක්ෂා ගුණරත්න | 

Related Articles

Don't Miss


Latest Articles