ආදර සැලසුම් – 48

0
2084

ආදිත්‍ය නිවසට පැමිණියේය.අඳුරෙහි ගිලී තිබූ නිවසෙහි එක විදුලි පහනක් පමණක් දල්වා ආදිත්‍ය සෝෆාවෙහි ඇලවී දෑස් පියා ගත්තේය.ජීවිතය යනු බොහෝ අනපේක්ෂිත අවස්ථාවන් ගෙන් පිරි එකකි. බලාපොරොත්තු වන දෑ සිදු නොවන,  බලාපොරොත්තු නොවන දෑ සිදු වන හමුවීම් සහ වෙන්වීම් වලින් සපිරුණු ජීවිතය මහා පුදුමාකාර යැයි ආදිත්‍යය දෑස් පියා ගෙන කල්පනා කළේය. ඒ අතරතුර මතකය දිව ගියේ ගෙවී අවසන් වූ සවස් කාලය වෙතටය.

” ඔයාව හම්බ උන පළවෙනි දවසෙම ඔයා ගැන මොකක්දෝ දෙයක් මගේ හිතේ තිබුණා ආදිත්‍යය . ඒත් ඔයාව ආයේ හම්බවෙයි කියලා මම හිතුවේ නැහැ. ඔයාව හම්බ උනා හැම දවසකම මං ඔයාගේ මූණෙන් ලොකු දුකක් දැක්කා. ඔයා කොච්චර හොඳ ගතිගුණ තියෙන මනුස්සයෙක්ද කියලත් මං තේරුම් ගත්තා. ආදරයක්ද මොකක්ද කියලා දන්නේ නැහැ ,ඒත් ඔයා ගැන දෙයක් මගේ හිතේ තිබුණා.ඒක ඔයා ඔයාගේ ජීවිතේ හැමදේම මට කියද්දි වත් වෙනස් වුණේ නැහැ.ඔයාට සමහරවිට හිතෙන්න පුළුවන් කසාද බැඳපු මනුස්සයෙක්ගෙ කරේ එල්ලෙන්න හදන මං නරක කෙල්ලෙක් කියලා.ඒත් ඒක එහෙම නෑ ආදිත්‍යය. හැමදේකින්ම නිදහස් වෙලා ඔයා එනකං මට බලන් ඉන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ෂෙහාරා හින්දා ඔයාගේ ජීවිතේ ඔයාට නැති වෙලා ගිය හැමදේම ආපහු ගෙනල්ල දෙන්නත් මට පුළුවන් කියලා මට විශ්වාසයි. මගේ අම්මා , මගේ තාත්තට ජීවිතේ හොයලා දුන්නා වගේ මටත් ඔයාට ජීවිතේ හොයලා දෙන්න පුළුවන් “

මෞර්යා කීවේ ස්ථිර හඬිනි. ආදිත්‍ය මෙවැන්නක් මෞර්යා ගෙන් බලාපොරොත්තු වූයේම නැත. සමාජ සම්මතයට අනුව මුලින්ම  ආදරය ප්‍රකාශ කරන්නේ පිරිමි පාර්ශ්වය වුවත් මෞර්යා තමා ඉදිරියේ ඉස්සර වූවාය. තමා බිඳුනු විවාහයක පැටලී ජීවිතය ගෙවන අයෙක් වුවද මෞර්යා ඒ පිළිබඳව තැකීමක් කලේ නැත. ඇයට අවැසි තමාට නැති වූ ජීවිතය නැවත තමාට ලබා දීමටය. 

ආදිත්‍ය බොහෝ වේලාවක් කල්පනා කළේය. සිතුවිලි බොහෝමයක් සිතට ආව ගියද ඒ එකදු සිතුවිල්ලක් වත් ගලපා ගන්නට ආදිත්‍ය හට හැකි වූයේ නැත. විවාහයෙන් පරාද වූ අයෙකු හට තම එකම දියණිය විවාහ කර දෙන්නට මෞර්යා ගේ දෙමව්පියන් කිසි ලෙසකින්වත් කැමති නොවනු ඇත.අනෙක් අතට අභිමන් මෞර්යා හට ආදරය ප්‍රකාශ කර තිබියදී තමාට මෙවැන්නකට හිත හදා ගැනීමද කළ නොහැක. අභිමන් යනු තමා ගන්නා තීරණ පිළිබඳව කිසිසේත්ම අහිතක් නොසිතන සහෝදරයකු වුවද ආදරය යන විෂයෙහි දි ඔහු ගේ සිත රිදීමට ඉඩ ඇත.

මෞර්යා නිවසට පැමිණියේ වෙනදා නොවූ තරමේ සැහැල්ලුවකිනි. සිතට එකඟව සිතේ තිබූ දෙය ආදිත්‍යයට ප්‍රකාශ කිරීමට හැකි වීම පිළිබඳව මෞර්යා උන්නේ සැනසීමෙනි. ආදිත්‍ය කිසි ලෙසකින්වත් තමා පිළිබඳව අහිතක් නොසිතන බව විශ්වාස නිසා ඔහුට පැවසූ කිසිදු කාරණාවක් පිළිබඳව හෝ පසුතැවීමක් මෞර්යාට තිබුණේ නැත. 

” ගෙදර ගිහින් කෝල් එකක් දෙන්න ” 

නිවසට ආසන්නයේ දී මෞර්යාව කුලී රථයට නංවන විට ආදිත්‍යය කිවූ ආකාරය මෞර්යාට සිහි වූයේ නිල්මිණි සකස් කර දුන් කෝපි කෝප්පය රැගෙන තරප්පු පේළිය නගින විටදීය. මෞර්යා කාමරයට පැමිණි දොර වසා ගෙන අත් බෑගයේ තිබූ දුරකථනය අතට ගෙන මොහොතක් කල්පනා කළාය. පසෙක සිට ආදිත්‍ය හට සවියක් වීම විනා කිසිසේත්ම ඔහුගේ ජීවිතයට බාධාවක් විය යුතු නැතැයි මෞර්යා සිතුවාය. මේ මොහොතේ ඔහු පැටලී සිටින වංචනික විවාහයෙන් නිදහස් වීමට ඔහුට කාලය ලබා දිය යුතුය. එසේ නොවුනහොත් ෂෙහාරා තමාවද වැරදි කාරයකු කොට ආදිත්‍යය හටද චෝදනා කිරීමට බොහෝ සෙයින් ඉඩ කඩ තිබේ.

තවත් විනාඩි පහක් පමණ කල්පනා කරමින් සිට මෞර්යා ආදිත්‍ය ගේ අංකය ඇමතුවාය.මෞර්යා කොයි මොහොතේ හෝ තමාව අමතා වී යයි බලාපොරොත්තුවෙන් සිටි නිසා ආදිත්‍ය උන්නේ දුරකථනය අතේ තබා ගෙනය.

” ගෙදර ගියාද මෞර්යා ? ” 

ආදිත්‍ය ඇසුවේ දුරකථනයට පිළිතුරු දුන් මොහොතේමය.

” ඔව්. දැන් විනාඩි පහක් දහයක් විතර “

ආදිත්‍ය නිහඬව උන්නේ නුහුරු සිතුවිලි බොහෝමයක් දැනෙමින් තිබුණු නිසාය. මෞර්යා ගේ තත්ත්වයද ඊට දෙවැනි වූයේ නැත. තමා ආදරය ප්‍රකාශ කළේ විවාහකයෙකු හටය. සමාජයට අනුව එය අති විශාල වරදකි.එහෙත් ආදිත්‍ය ගේ විවාහය බිඳ වැටී ඇත්තේ තමාගේ වරදින් නොවේ. තමාව මුණගැසෙන විටද ආදිත්‍ය හට තිබී ඇත්තේ බිඳුණු විවාහයක් නිසා කිසිදු වැරැද්දක් තමා පිට පටවා ගත යුතු නැත.

” ඔයා හිතනවද මෞර්යා ඔයා මේ තීරණය කරලා තියෙන්නේ හරි දෙයක් කියලා ? ” 

ආදිත්‍ය ඇසුවේ දෙගිඩියාවෙනි. මෞර්යා යනු තරුණයකු ප්‍රාර්ථනා කරන අන්දමේ සිතක් ඇති තරුණියකි.එහෙත් මෙතන ඇති ගැටළුව එය නොවේ. මෞර්යා තමාට වඩා වයසින් ඉතා ලාබාල වීමත් තමා තවමත් විවාහකයෙකු වීමත්ය. ඊටත් වඩා තමාගේම සහෝදරයා ඇගේ ආදරය බලාපොරොත්තු වීමය.

” මොකක්ද තියෙන වැරැද්ද ? ” 

ආදිත්‍ය ඇසූ ප්‍රශ්නයට පිළිතුරු නොදී මෞර්යා  අනෙක් අතට ඇසුවාය.

” ඔයා කවද හරි පසුතැවෙයි මෞර්යා ” 

” ඒ ඔයාට හිතෙන හැටිනේ. මං ඔයාට කිව්වා ආදිත්‍ය මාව කොහෙත්ම ප්‍රශ්නයක් කර ගන්න එපා කියලා. මුලින්ම ඔයා හිතන්න ඕනේ ඔයා ඔය පැටලිලා ඉන්න ප්‍රශ්න වලින් ගැලවෙන්නේ කොහොමද කියලා ” 

” ඒවා කොහෙන් කොහොම පටන් අරගෙන ඉවර කරන්නද කියලා මං වත් දන්නෙ නෑ මෞර්යා ” 

ආදිත්‍ය කීවේ ශෝකයෙනි. දික්කසාදය ලබා දීමට ෂෙහාරාට කිසිදු අදහසක් නැත. ඇය තවමත් උත්සාහ කරමින් හිඳින්නේ මේ විවාහය හොඳින් හෝ නරකින් රැක ගනිමින් එහි රැඳී සිටීමටය. එවැනි තත්ත්වයක් යටතේ කාලයක් බලා හිඳීන්න යැයි මෞර්යාට කිව නොහැක.

” වෙන දේවල් වලට වෙන්න දෙන්න ආදිත්‍ය.ඒවා ගැන හිතලා ඕනවට වඩා දුක් වෙන්න එපා. ඒකෙන් වෙන්නේ ඔයාට විඳින්න තියෙන මේ මොහොත නැති වෙන එක”

මෞර්යා කියන්නේ ඇත්තය.ඇය ජීවිතය දකින්නේ වෙනස්ම ආකාරයකටය. ඇයගේ ඒ සිතුවිලි වලින් පවා කෙනෙකුගේ සිත සැනසිය හැක. ඇය තමා වෙනුවෙන් කිරීමට උත්සාහ කරන්නේද එයය.

” මගේ තාත්තා හුඟක් වැටිලා හිටපු කාලෙක තමයි එයාට අම්මව හම්බ වෙලා තියෙන්නේ ආදිත්‍යය . තාත්තව අද මේ ඉන්න තැනට ගෙන්න අම්මා ගොඩක් මහන්සි වෙලා තියෙනවා. කඩා ගෙන වැටිලා තිබ්බ තාත්තගෙ ජීවිතේ අඩියෙන් අඩිය ගොඩ දාලා තියෙන්නේ අම්මා. ඉතින් ඒ දෙන්න ගේ දුව වෙච්ච මට බැරිද ඔයා ගේ ජීවිතේ ලස්සන කරන්න ? ඔයා ඇත්තටම හිතනවද මට ඒක කරන්න බැරි වෙයි කියලා ? ” 

” ඔයා මහ පුදුම කෙල්ලෙක් මෞර්යා. මේ වගේ තීරණයක් ගන්න කෙල්ලෙකුට මාර හයියක් තියෙන්න ඕනේ. ඒත් එහෙමයි කියලා මට බෑ ඔයාගේ ජීවිතේ අලුත් ප්‍රශ්න වල පටලවන්න “

ආදිත්‍ය කීවේ අසරණවය. ෂෙහාරා යම් ඉඟියකින් හෝ මෞර්යා පිළිබඳව දැන ගත හොත් සිදු වන්නේ තවත් ප්‍රශ්න වැලක ආරම්භයය. එවිට ඇය මෞර්යා ගෙන් පන්න පන්නා පළිගැනීම ආරම්භ කරනු ඇත. අනෙක් අතට ෂෙහාරා හිඳින්නේ තමාගේ වරදක් සොයා ගැනීමට නොහැකිවය. මෙවන්නක් දැන ගතහොත් ෂෙහාරා හට ඉතා පහසුවෙන්ම තමාට චෝදනාවක් එල්ල කිරීමට හැකි වනු ඇත.

” අභිමන් ඔයා ගැන බලාපොරොත්තුවෙන් ඉන්න වෙලාවක මං කොහොමද මෞර්යා  මෙහෙම දෙයකට හිත හදා ගන්නේ ? අනිත් එක ෂෙහාරා. ෂෙහාරා කියන්නෙ හිතන තරම් ලේසි පහසු ගෑනියෙක් නෙමෙයි ” 

” ඔයා මාව වැරදියට තේරුම් අරගෙන ආදිත්‍යය . මං මේ ඔයාට කියන්නේ ඔයාට පුළුවන් තරං කල් අරගෙන මේ ප්‍රශ්න විසඳ ගෙන එන්න කියලා මිසක් මේ කලබලේ කසාද බඳිමු කියලා නෙමෙයි. මට ඕනේ ඔයා නිදහස් මනුස්සයෙක් වෙනව දකින්න.මං ඔයාව දැක්ක පළවෙනි දවසෙ ඉඳන්ම ඔයාගේ මූණේ තිබ්බ දුක නැති වෙනවා දකින්න.මට ඕනේ ඔයා ඇත්තටම සතුටින් හිනා වෙනවා දකින්න. අවුරුදු තිස්පහක් ඔයාට ජීවිතේ තිබ්බ නැති සතුටක් තියෙනවා දකින්න. මට ඕනේ ඒ හැම සතුටක්ම ඔයාට දෙන්න ” 

මෞර්යා කීවේ හදවතිනි. ආදිත්‍ය අසා උන්නේය. තමාට වුවමනා වූයේද මේ පැටලිලි සහගත ජීවිතයෙන් මිදෙන්නටය. පියාපතක සැහැල්ලුවෙන් ජීවිතය විඳින්නටය. මෞර්යාට උවමනාවී ඇත්තේ ද එවන් ජීවිතයක් තමාට උදා කර දීමටය.

” ඔයා මට ඒක කරන්න ඉඩ දෙනවද ආදිත්‍යය? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here