මා හිස පිරිමැද 25

ප්‍රශ්නයක් කෙතරම් බරපතල විය හැකි ද කියා එහි පූර්වජ අවස්ථා වලදී සාමාන්‍ය වශයෙන් දැන සිටිය ද එය ඒ තරම් ම බරපතලයි කියා අප හරියට ම අවබෝධ කර ගන්නේ ඊට සජීවී ව මූණ දෙත්දී ය. දේශපාලකයන් ගේ වෛරයට පාත්‍ර වූ, පක්ෂග්‍රාහී බවකින් තොර මාධ්‍යවේදියෙකුට එකී දේශපාලකයෙකු ගේ දියණියක පෙම් බැඳීම යනු කෙතරම් ව්‍යසනයක් ද යන ප්‍රශ්නය එහි සැබෑ ස්වරූපයෙන් මා ඉදිරියට පැමිණියේ ද අප ගැන අම්මා දැන ගැනීමෙන් පස්සේ ය. මාත් එක්ක පෙම් සබඳතාවක පැටලී හිඳින්නේ කවුදැයි අම්මා විමසයි. මා විදුර ගේ නම කීවොත් මේ ගෙදර ම පුපුරා හළ හැකි කෝපයකින් අම්මා ගිනි ගනු ඇත. කිසිසේත් ඇය මට විදුර ගේ පතිණිය වන්නට ඉඩ දෙන්නේ නැත. අපි ඒ බව මුල සිට ම දැන සිටියෙමු. ඒ නිසා දැන් ඒ ගැන කළබල විය යුතු නැති බව මගේ සිත කියයි. ඉතා සියුම් ලෙස කල්පනා කොට ගත යුතු හොඳ ම තීරණය ගත යුතුව තිබේ. 

“දැන් ඉතින් මොකද කරන්නෙ..”

අක්කා මගේ කාමරයට විත් යහන මතින් හිඳ ගත්තා ය. ඒ වෙත්දීත් මා සිටියේ ඇඳ කොනක බිත්තිය මුල්ලට වී ගුලි ගැහී හිඳ ගෙන ය.

“කරන්න තියෙන්නෙ එකම දෙයයි. ඒ මං ගෙදරින් ගිහින් අපි දෙන්න බැඳල කොහෙට හරි වෙලා ටික දවසක් හැංගිල ඉන්න එක. කොහොමටත් කවදාකවත් වජිරපාණි වික්‍රබාහු ඇමතිතුමී අපිට එකතු වෙලා එක ජීවිතයක් පටං ගන්න කියල ආශිර්වාද කරන්නෑනෙ. එයා මගෙ අම්ම වුණා කියල මට විදුරව අත්ඇරගෙන මගෙ ජීවිතේ නිකාං වැඩකට නැති වැරහැල්ලක් කරගන්නත් ඕන නෑ අක්කෙ. ඒක නිසා පුළුවං වෙන පළවෙනි වතාවෙම මං මේ ගෙදරින් යනව. පුළුවන් වුණොත් මගෙ පැත්තෙන් සයින් කරන්න ඔයා එන්න. ඒ නැතත් පාරෙ යන මනුස්සයො දෙන්නෙක්ට හරි අඬගහගෙන ඒකනං කරගන්න පුළුවන්. දෙයියංගෙ නාමෙට ටික දවසක් ඔයා තාත්තව බලාගන්න අක්කෙ. පුළුවන් වෙච්ච ගමන් මං තාත්තව මගෙ ළඟට ගන්නව”

මම තීරණාත්මක ව කියවා ගෙන ගියෙමි. මගේ හුස්ම වේගවත් වන්නට ඇත. අක්ෂි කණීනිකා සාමාන්‍ය අවස්ථාවකට වඩා පුළුල් වී තියෙන්නට ද ඇත. අක්කා ඉවසිලිවන්ත බවකින් මදෙස බලාගෙන සිටියා ය.

“අනේ දෙයියනේ අපේ පොඩි කෙල්ලමද මේ…කූඹියෙක් කෑවත් කොටියෙක් කාල වගේ බලන්න බලන්න කියල අපි ට වද දීපු…චූටි දේකටත් මරහඬ දීල අඬපු පොඩි කෙල්ලද මේ…”

“එහෙම බොළඳ කෙල්ලෙක් වෙලා හිටියොත් මට සදහටම විදුර නැති කර ගන්න වෙයි අක්කෙ. ඊටත් වඩා බය විදුරට මාව නෙවෙයි එයාවමත් නැති කරල දාන්න තරං අපේ අම්මලගෙ ජරා ගති උඩට එයිද කියලයි. එහෙම වුණොත්නං…දැං මං ඉන්නෙ විදුර වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන් හයිය හිතක් එක්ක අක්කෙ”

“හරි. ඔයා හොඳට හිතල ඔයා කැමති තීරණයක් ගන්න. ඒක මොකක් වුණත් අක්ක ඔයත් එක්ක ඉන්නව. මට දිනා ගන්න බැරි වුණ ජීවිතේයි ජීවිතේ සතුටයි මගෙ නංගි දිනා ගන්න ඕනෙ. ඒ වෙනුවෙන් කරන්න පුළුවන් ඕනම දෙයක් දෙපාරක් නොහිත මං කරනව නංගි”

අපි උනුන් වැළඳ ගතිමු. ඇස් වල ගිනිගහන කඳුළක් වූවත් මා එය හෙළුවේ නැත. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමට පෙර හැකි පරිද්දෙන් අත්‍යවශ්‍ය දේ ගෙට කරගන්නා අනපේක්ෂිත මිනිසුන් ගේ කඩිමුඩියෙන් යුතුව මම ඉදිරියේ දී එන්නට නියමිත තත්වයන්ට මානසික වශයෙන් ද භෞතික වශයෙන් ද සූදානම් වන්නට වීමි. මුලින් ම කළේ ඇඳුම් ටිකක් ද රන් අබරණ ටිකක් ද බෑග් එකක අසුරා රහසිගත ව තැබීම ය. හදිසි තත්වයක දී වහාම ගෙදරින් පිට වී යාම මගේ අරමුණ විය. 

“ඔයා පුළුවන් තරං පරිස්සමට ඉන්න. අම්ම ඔයාව මගෙ බෝයි ෆ්‍රෙන්ඩ් විදිහට නමින් අඳුරන්නෙ නෑනෙ. රූපෙන් අඳුරන්නෙත් නෑ. හැබැයි හොටේල් එකෙන් ඔයාගෙ ඩීටේල්ස් හොයාගන්න බැරි කමකුත් නෑ. මං හිතන්නෑ එයා එහෙම කරයි කියල. මොකද එයාට ඒක මදිපුංචි කමක්. මං නොකිව්වොත් එයාට ඒක හොයාගන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. අපි බලන් ඉමු මොකද වෙන්නෙ කියල”

මම විදුර ව දැනුවත් කොට තැබීමි. හදිසි අවස්ථාවක දී පලා යාම සඳහා අවශ්‍ය දේවල් සූදානම් කර ගන්නා ලෙස ද ඔහු ට කල් තියා දැනුම් දුන්නෙමි.

ගෙතුළ දී මම හැකි තාක් සන්සුන් බව රැක්කෙමි. ඕනෑ ම කුණාටුවක් හමා ගොස් පරිසරය තිබුණා වාගේ ම සන්සුන් වන්නේ ය. නමුත් අප කළඹන්නට කළඹන්නට කළල් දියක් වුව පෑදෙන්නේ නොවේ. අම්මා ද ඉක්මනින් ම සාමාන්‍ය අතට හැරෙනු ඇතැයි මම බලාපොරොත්තු වීමි. ඉන් දෙදිනකට පස්සේ මා පිටතට යන්නට සූදානම් වෙත්දී ආරක්ෂක අංශය මට ඊට ඉඩ දුන්නේ නැත.

“සොරි මිස්. අපිට මැඩම් කියල තියෙන්නෙ මිස්ට කිසිම හේතුවකට එළියට යන්න දෙන්න එපා කියලයි. මිස් මැඩම්ට කෝල් එකක් අරං පර්මිශන් ගන්නකො. එතකොට අපි යන්න දෙන්නං”

ආරක්ෂක නිලධාරීහු ගෞරව සම්ප්‍රයුක්ත ලෙස දැනුම් දුන්හ. කාරණාව මා හිතුවාටත් වඩා බරපතල බව පෙනෙන්නට තිබිණ.

“නෑ කමක් නෑ”

කියා මඳහසක් ඔවුන්ට දී මම යළි කාමරයට වැදුණෙමි. මගේ ඉවසීම පුපුරා ගියේ අම්මා ගෙදර පැමිණි ඉක්බිතිව ය.

“මොකද්ද දැං ඔයා මේ කරන්න හදන්නෙ…මං පොඩි ළමයෙක් නෙවෙයි අම්මෙ වැඩිහිටියෙක්.  අම්ම වුණත් ඔයාට මාව මෙහෙම හිර කරං ඉන්න බෑ. ඒක නිසා අර සෙකියුරිටි එකට ඉන්ෆෝම් කරන්න මං එළියට යන ඒවට බලපෑම් කරන්න එන්න එපා කියල”

කොයි තරම් ආවේගයක් ඇතුළත වී ද මා කතා කළේ එය පිටතට නො පෙන්වමිනි. මගේ ආවේගය මේ වෙලාවේ මට ම අවාසියක් කර ගන්නට ඕනෑ වූයේ නැත.

“එහෙම ඔයාට ඕන විදිහට නටාගන්න කාටහරි ඔයාව බන්දල දුන්නට පස්සෙ. ඔයා කෙනෙක් තෝරගෙන ඉන්නවනං එයා කවුද මොනා කරන කෙනෙක්ද කියල මට කියන්න. එතකොට අපිට පුළුවන්නෙ කතාබහ කරල මේව පිළිවෙළක් කර ගන්න”

අම්මා ද කෝපයක් පෙන්වූයේ නැත. නමුත් ඇය හිතේ මොනවා තියාගෙන ඉන්නවා ද කියා අනුමාන කරන්නට හෝ නුපුළුවන. හෙරිටන්ස්  හෝටලයේ කාමරයකින් මා හිස පිටතට දමනවා දැක දැකත් නො දැක්කා සේ ගිය ඇගේ හිතේ මේ වෙලාවේත් මොනවා තිබෙනවා දැයි කවුරු නම් දනිත්ද?

“අම්ම අපිට කසාද බන්දන්න හොයන පිරිමියෙක්ට තියෙන්න ඕන කියල හිතන කොලිෆිකේශන්ස් මෙශර් කරන මෙශර්මන්ට්ස් ගැන මං දන්නව. එයාට ඒ කොලිෆිකේශන්ස් නැතුවැති. හැබැයි එයාට මාව ජීවිත කාලෙම සතුටෙන් තියන්න පුළුවන් අම්ම. ඔයා අක්කට හර්ෂ අයියව බඳින්න නොදී අර කුඩු බිස්නස් කරන අපතයෙක්ට බැන්දුව. මොකද්ද වුණේ…ඔයාගෙ ලොකු දුව සතුටෙන්ද…නෑ. අන්තිමට මොකද්ද වුණේ…අක්ක දික්කසාද නඩු දැම්ම. අම්මට ඕනෙ මටත් ඒ වගේ සල්ලිකාරයෙක්ව හොයල ලෝකෙට පේන්න හද්දා මගුලක් කාල මගෙ ජීවිතෙත් අපායකට ඇදල දාන්න වෙන්නැති. දෙයියංගෙ නාමෙට අම්මෙ…එකකින්වත් පාඩමක් ඉගෙන ගන්නකො. ප්ලීස්…මං පොඩි ළමයෙක් නෙවෙයි. මං ඉගෙනගත්ත ළමයෙක්. මට ඕන මොනාද කියල තීරණේ කරන්න මට පුළුවන්. පරම්පරා ගාණකට සල්ලි හම්බ කරල නැති වුණාට අපි දෙන්නට පුළුවන් අපේ රස්සාවල් කරල ලස්සනට ජීවත් වෙන්න. මේක මහා දිග ජීවිතයක් නෙවේනෙ අම්මෙ. මේ ඉන්නව මේ මිනිස්සු මැරෙනව මහ ලොකු කාලයක් ජීවත් නොවීම. අපිට මොනා වෙන්න තියනවද කියල අපි දන්නවද…ටික දවසක් හරි සතුටෙන් ජීවත් වෙන්නයි ඕනෙ අම්මෙ. බලයවත් සල්ලිවත් පොදි ගැහුවයි කියල වෙනසක් නෑ. අපි කාටත් එකම මහ පොළොවක වැළලෙන්නයි වෙන්නෙ. ඒක නිසා ප්ලීස්…මට මගෙ  පාඩුවෙ මගෙ ජීවිතේ තීරණේ කරන්න දෙන්න”

අම්මා ගේ මුවග සමච්චල් සිනහවක් ඇඳිණ. දෙවියනි ඇගේ හිතේ මොනවා තිබෙනවා ඇත්ද? දැනටමත් ඇය විදුර වරදත්ත හා මා අතරේ වන පෙම් සබඳකම ගැන දැන ගෙන මෙහෙම හැසිරෙනවා ද?

“ඔයාගෙ හිතේ තියෙන දේවල් වෙන්නෑ තිසුරි. අපි මෙච්චර මහන්සි වෙලා දේවල් කළේ ඇයි…ම්…මැරෙනව කියල නොදැන නෙවේ. හැබැයි මැරෙන්න කලින් හොඳ සැප ජීවිතයක් ජීවත් වෙන්න ඕනෙ. මං දුවල හැදුවෙ කන්න අඳින්න නැති හිඟන්නන්ට දීල දුක් විඳිනව බලං ඉන්න නෙවේ”

“හෂාන්ල කෝටිපතියො වුණත් අක්ක දුක් වින්දා අම්ම”

“ඕව ගැන වැඩිපුර කතා කරල වැඩක් නෑ. කතා කරමු ඔයා එයාව අපිට අඳුන්නල දුන්නට පස්සෙ. එහෙම නැත්තං මං තෝරන කෙනෙක්ව බඳින්න ලෑස්ති වෙලා ඉන්න”

ඒ අම්මා ගේ අවසාන තීරණය බවත් එය වෙනස් කරන්නට මා වචන කෝටි ගණනක් වියදම් කළත් පලක් නොවන බවත් මම දැන සිටියෙමි. මා වෙනුවෙන් සටන් කරන්නට බැරි තරමට තාත්තා කුඩා ළමයෙකු වෙමින් සිටියේ ය. මතකය ටික ටික ඔහු අතැර යමින් තිබිණ. සමහර වෙලාවට හඬන්නට තරම් දුකක් මට දැනිණ. පපුව පැලී යන්නට තරම් වේදනාවක් මා වෙලා ගති. ඒ අසරණ හැඟීම වචන කරන්නට තරම් මගේ භාෂාව පොහොසත් නැත. නමුත් ඉඳහිට තනිව හැඬුවා මිස කිසිවෙකුට පෙනෙන්නට මා හඬන්නට ගියේ නැත. කඳුළු වලට වටිනාකමක් දෙන්නට තරම් සංවේදී බවක් අම්මා සතු වූයේ ද නැත. 

“මේ ගෙදරින් එළියට පැනගන්න පුළුවන් වෙන පළවෙනි තත්පරේ මං එහෙම කරනව”

මා විදුරට කීවේ මගේ සන්තාපය සන්තානයේ ම සඟවාගෙන ය. නමුත් මගේ වචන අතරේ වන සුසුම් වල උණුහුම පවා, තානයේ ශෝකය පවා ඔහු හඳුනයි.

“හැමදාම එයාට මෙහෙම මුර කරන්න බෑනෙ. මං කලබල නොකර ඉන්නෙ තවත් වර්ස් වෙයි කියලයි. මගෙන් ෆෝන් එකත් ගත්තොත් එහෙම…මට ඔයා එක්ක කතා කරන්නවත් වෙන්නෑ”

“ඔයා මං ගැන කියන්නැත්තෙ ඇයි කියල එයා බලයි”

“එයා එහෙම සැකයක් එක්ක තමයි ඉන්නෙ. සමහර විට ඔයා කවුද කියල එයා ශුවර් එකටම දන්නව වෙන්නත් පුළුවන්. අනේ ඔයා පරිස්සමෙන් ඉන්න විදුර. මෙහෙම හිටියට මට හරි බයයි. වෙලාවකට මාව වෙව්ලනව. ගිනිකන්දක් වුණත් පුපුරන්න කලින් හරි නිශ්ශබ්දයිනෙ. ඔයා පරිස්සමෙන් ඉන්න. දන්නව නේද ඔයා මගෙ පණ. ඔයා පරිස්සමට හිටියොත් විතරයි මගෙ පණත් රැකෙන්නෙ”

“මැණික…අඬන්න ඕනනං අඬල ඔයා හිතේ තියන වේදනාව දිය කරල දාන්න. මට දැනෙනව ඔයා හිර කරගෙන ඉන්න රිදුම කොච්චරද කියල”

නමුත් ඔහු ගේ පපුවට තුරුලු වී මිස ඒ කඳුළු නිදහස් කළ නො හැකි සෙයක් මට දැනිණ.

“එක පාරක්වත් ඔයාව දකින්න ඇත්තං. එක පාරක් ඔයාගෙ අතිං අල්ලන් ඉන්න ඇත්තං…මේකනං ඉරණම…මං කොහොම හරි මේ ඉරණම වෙනස් කරනව විදුර…මුළු අහසම කුඩු පට්ටං කරල හරි ඉරණම වෙනස් කරගෙන මං ඔයා ළඟට එනව. එහෙම බැරි වුණොත් මගෙ ඉරණම මං ම ලියාගෙන මගෙ අතින්ම මගෙ ජීවිතේ කෙළවර කරනව. අපේ අම්ම තාම දන්නෑ එයාගෙ පොඩි දුව කවුද කියල”

“තිසූ මේ අහන්න. ඔයා කළබල නොවී ඉන්න ඕනෙ. ඒකයි මං කියන්නෙ ඇති තරං අඬන්න කියල. මට ඔයා ගැන බයයි මැණිකෙ. පොරොන්දු වෙන්න කලබල කරගන්නැතුව ඉන්නව කියල”

“මන්දන්නෑ විදුර…මන්දන්නෑ. මං එහෙම ඉන්න තමයි මේ වෙනකල් ට්‍රයි කරන්නෙ. ඒත්…මොනා වෙයිද කියල මං දන්නෑ. එයා හදන්නෙ මගෙ කටින් ම ඔයාගෙ නම කියෝගෙන පළිගන්නද දන්නෑ. එහෙම කරන්න වෙන්නෙ මාව ම ර ල තමයි”

“තිසූ…අපි මේකට ෆේස් කරමුද…ම්…එක අතකට කවදක හරි ඒක කරන්න වෙනව. අපි පැනල ගියත් කරන්න ඕන දෙයක් ඒගොල්ලො කරනව”

“බෑ බෑ. ඔයාගෙ නම කියන්න බෑ”

එක ම දෙයක් ගැන දුරට දිගට එකාකාරව සිතත්දී හිතක් උන්මත්තක විය හැකි ය. මේ ව්‍යසනය කෙසේ කෙළවර වේවිද කියා විවිධ කෝණයන් ගෙන් හිතලා ම මගේ මනසේ උන්මන්තක බවක් මට ම දැනෙන්නට ගත්තේ ය. අකල් මරණයක දුක ළයෙහි හොවා කඳුළක් නො සලා උන් පාදපරිචාරිකාවක සේ විටෙක මගේ මනස වියවුල් ව යන්නට විය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles