මා හිස පිරිමැද 32

වජිරපාණී වික්‍රමබාහු වූ කලී, බලය සිය එක ම ජීවිත ආධ්‍යාශය බවට පත් කර ගත් ගැහැනියකි. සිය පියා ගේ වියෝවෙහි දී, ඇය ඔහු අත තිබූ යෂ්ටිය සියතට ගන්නට දෙවරක් නො සිතුවේ ඒ බල ලෝභීත්වය නිසාවෙනි. එසේ අතට ගත් බලයෙන් කුමක් කර ගත්තා දැයි අතීතයට හැරී බලන්නට ඇයට හිතුණේ වී නම්, සැබවින් හිස් හිතිවිල්ලක් පමණක් ඉතිරි වනු නියත ය. දියණිවරුන් දෙදෙනෙකු සහිත පවුලක් වෙනුවෙන් ඒ දේශපාලන බලට ඕනෑ වූයේ ම නැත. තාත්තා මුල සිට ම රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු ලෙස සේවය කළේ ය. අපට තෘප්තිමත් ජීවිතයක් ගත කරන්නට ඒ හොඳට ම ප්‍රමාණවත් ය. ධනය හා බලය වැඩි වන විට මිනිසුන්ට සැනසීම අහිමි වන බව පොදුවේ අනිත් දේශපාලකයන් සේ ම අම්මා ද තේරුම් ගත්තේ නැත. සාමාන්‍ය පවුලක් ලෙස හිටියා නම් අප අතරේ මීට වඩා බැඳීමක් හා සාමයක් රැඳෙන්නට තිබූ බව දැනුත් අම්මා පිළිගන්නවා දැයි නො දනිමි. සාමාන්‍ය අම්මා කෙනෙකු ලෙස ඇයට අපත් සමගින් ඉන්නට බැරි එක ගැන ළමා වියේ පටන් මට වූයේ තැවුලකි. ඔසරිය හැඳ අඩි උස පාවහන් දමා සුඛොපභොගී රථයක නැගී රිය පෙරහැරකින් පාර්ලිමේන්තු  යන අම්මා කෙනෙකු නොව මා පැතුවේ අප ලං කර ගෙන ජීවිතය කියා දෙන, අපත් සමග එක් වී සිනහ වෙන, අක්කා හා මාත් තාත්තාත් වෙනුවෙන් කැප වෙන ආදරණීය අම්මා කෙනෙකි. අපේ පුංචි පවුලට ලොකු දේශපාලන බලයක් හෝ මහ විසල් ධනයක් ඕනෑ ම නැත. නමුත් අම්මා මේ කුඩා පවුලට වඩා ඈතින් තිබූ විනල් වූ යමක් පසු පස දිව ගියා ය. මිරිඟුව ලුහුබැඳ යන මුව දෙනක සේ දිව ගියා ය. තාත්තා ඩිමෙන්ශියා රෝගියෙකු වී සිටියදීත්, අක්කා ඇයට බලහත්කාරයෙන් කර දුන් විවාහයෙන් වෙන් වී සිටියදීත්, මගේ ප්‍රේමය අතුරුදන් ව තිබියදීත් අම්මා හති වැටී නැත්තේ ය. ඇය තවමත් දුවමින් සිටී. දුවන්නේ මක් නිසා ද කවුරුන් වෙනුවෙන් ද කියා හෝ ඇය දන්නේ නැත. 

“අම්මත් එක්ක කොහෙවත් යන්න මං එන්නෙ නෑ. දැන් මට අම්ම විශ්වාස නෑ. ඔය විදිහට ඔයා මට වුණත් මොනා කරන්න බැරිද…ඔයා තමන්ගෙ දරුවන්ගෙ හිත් වල විශ්වාසය කියන දේ ඇති කරන්න බැරි වුණ අම්ම කෙනෙක්”

මම ආවේගශීලයෙන් තොර ව කීවෙමි. අම්මා කම්මුලේ අත ගසාගෙන මදෙස බලා සිටියේ මඳ කම්පිත බවකිනි.

“මොනාද තිසූ ඔයා කියන්නෙ…මං ඔයාගෙ අම්ම මිසක් හතුරෙක් නෙවෙයි”

මුව මඳක් විවර කොට හුස්මක් ගන්නා ගමන් මම සිනහවක් නගා ගතිමි. එය ඇය වෙනුවෙන් සමච්චලයට නැගූ සිනහවක් සේ අම්මා සිතුවා දැයි නො දනිමි.

“අම්ම හිතා මතා හතුරෙක් වෙලා නැතුව ඇති. හැබැයි අම්ම කරපු දේවල් නිසා අපිට එහෙම හිතන්න වෙලා තියෙනව. විදුර මේ ගෙදරට ඇවිත් ජෙනුයින් පිරිමියෙක් වගේ මාව බඳින්න කැමතියි කිව්වට පස්සෙ එයාව කිඩ්නැප් කළා. ඒක හතුරුකමක් නෙවෙයිද අම්මෙ…එකම පිරිමියෙක් විතරක් හිටපු එයාගෙ මුළු පවුලම අනාත කළා. මගෙ මුළු ජීවිතේම නැති කළා. ඒව හතුරුකං නෙවෙයි කියල කියන්න පුළුවන්ද අම්මෙ…” 

“මේ තිසුරි. ඔයාගෙ සීමාව ඉක්මවා යන්න එපා. මොන ම ගු ලක්ද මේ ඒ මිනිහ නැති වෙච්ච එකට මගෙ ඇඟට ගොඩ වෙන්නෙ. හැබැයි මං කියන්නෙ හොඳවැඩේ ඔහොම වුණ එක. ඕකා උඩ පැන්න වැඩියි. ආව මෙතන ලැජ්ජනැතුව අපේ ගෙදරට ගෑනු ඉල්ලගෙන…දෙනව මං ඕකට ගෑනු. කපල ගඟේ මූදෙ දැම්මත් දෙන්නෑ. කොට්ටෝරුව කොට කොට ගිහිං කෙහෙල් ගහට කොටපු දාට තමයි හොට පටලෝගන්නෙ කියන්නෙ නිකං නෙවෙයිනෙ”

මා ඇදෙස බලා උන්නේ තැති ගෙන ය. ඇයත් එක්ක මොන තරම් රණ්ඩු දබර වූවත් අම්මා විදුර ට නපුරක් කරන්නට නැතය කියා විශ්වාස කරන්නට මගේ යටි හිත කැමති වූයේ ය. මේ මොහොත ඒ විශ්වාසය දෙදරවී ය. විදුරව පැහැර ගත්තේ වෙන කිසිවෙකු නොව අම්මා ම ය කියා මේ මොහොතේ මගේ හිතේ පැත්තක් කෑ ගසා කියන්නට විය.

“මෙච්චර දවස් මං මේ ඉවස ඉවස බලං හිටියෙ අද නැත්තං හෙට ඔය නාඩගම ඉවර වෙයි කියල. ඒක එහෙම වෙන්නෙ නැත්තං මංම නතර කරන්නං. යන්නෑ මීට පස්සෙ ඔය ගුබ්බෑයං අස්සෙ රිංගන්න. ලෑස්ති වෙනව මේ ඩිනර් අවුට් එකට යන්න..ඒකට හොඳ බිස්නස් ෆැමිලි එකක් එනව. ඒ පවුලෙ බාල පිරිමි ළමය ඔසී වල යුනි එකක ඉගෙනගෙන ඇවිත් තියෙන්නෙ. කතා බහ කරල ඒ ළමයව අඳුරගන්නව. ඊට පස්සෙ වෙඩින් එකට ලෑස්ති වෙනව. කෙහෙල්මල් විදුරයෙක් ගැන කියෝ කියෝ ඉන්නැතුව”

මගේ කේශාන්තයේ සිට පාදාන්තය තෙක් ම රත් වී ගෙන ආවේ ය. මා කොපමණ කෝපයක් දරා ගෙන හිඳිනවා දැයි වටහා ගත් අක්කා මගේ අතක් පිරිමදින්නට වූවා ය. 

“ඔයා එහෙමද හිතං ඉන්නෙ අම්මෙ..විදුරගෙ ජීවිතේ ඉවර කරල නිකංම අත පිහිද ගන්නද…ඒව කොහෙද මේ තිසුරි එක්ක”

උන්මාදයෙන් වාගේ මම තරමක් හඬ නගා සිනහ වන්නට වූයෙමි.

“ඔව් එහෙමයි. වළෙං නැගිටල ආවත් ඔය විදුරයට තමුන්ව දෙන්නෑ නෑමයි”

“ඇත්තද…ඔයා හිතන්නෙ එහෙම කරල ගැලවිල ඉන්න පුළුවන් කියලද…”

මම වේගයෙන් කාමරය දෙසට ආවෙමි. “නංගි” කියා අක්කා කෑගසන හඬ ඇසිණ. වෙඩි කෑ ඊරියක සේ කිපී විත් අල්මාරි ලාච්චුවෙන් ‘පොසිටිව්’ කියා ලියූ තුණ්ඩු කැබැල්ල අතට ගතිමි. මේ රහස ටික කලක් අම්මා ගෙන් හංගා ගෙන ඉන්නට අක්කා එක්ක කතා කර ගෙන තිබුණාට තව දුරටත් එහෙම කරන්නට බැරි ආවේගයකය මා සිටියේ.

“හිතන්නෙ ලේසියෙන් ගැලවෙන්නද…එහෙමනං හිතං ඉන්න එපා. මේ”

අම්මා තුණ්ඩුව දෙස හොඳින් බලා සිටියා ය. 

“මගෙ බඩේ විදුරගෙ දරුවෙක් ඉන්නව. ගැලවෙන්න පුළුවන් කියල හිතන්නෙපා. මෙයා ලොකු වෙනකොට මං හැම දේම කියල දෙනව. එයාගෙ තාත්තට මොකද වුණේ කවුද ඒව කළේ කියල එයා දැනගනී. එහෙම කරපු එකාලට මොනාද කරන්න ඕන කියල එයාම තීරණය කරයි”

මා කතා කළේ වියරුවෙනි. අක්කා මා සන්සුන් කරනු වස් හැඬුවා ය. අම්මා ගල් ගිල්ලා සේ බලා සිටින්නට වූවා ය.

“මට මනමාලයෙක් හොයල නේ…හා යං යං…මං උන්දගෙන් අහන්නංකො ළමයෙක් බඩේ ඉ්දිම බාර ගන්න කැමතිද කියල. විදුර වරදත්තගෙ ළමයෙක් කිව්වහම කැමති වෙයි කොහොමත්”

කිසිදු දියණියකට සිය මවට ඒ විදිහට දොස් පවරන්නට පුළුවන් කමක් නැත. ඒ තත්වයට මා පත් කළේ අම්මා ම ය. මම වෙව්ලමින් සිටියෙමි. අක්කා මා බදා හැඬුවා ය. අම්මා තවත් එක වචනයක් හෝ කතා කළේ නැත. ටික වෙලාවක් පාණාණිභූත ව සිටි ඕ පසුව හෙමිහිට පල්ලම් බැස ගියා ය.මම අක්කා ගේ ඇඟේ එල්ලී හඬන්නට පටන් ගතිමි.

“අනේ දෙයියනේ මොනාද මේ වෙන්නෙ…දැන් ඉතින් ඉස්සරහට මොනා වෙයිද…”

“මොනා වෙන්නද අක්කෙ…මොනා වෙන්නද…මට හිතුණොත් දරුව හම්බ වෙනකල් ගිහිං නතර වෙනව විදුරලගෙ ගෙදර. එක අතකට දැන් ලේසියි. රහස් නෑනෙ. දැං එයා ඔක්කොම දන්නවනෙ”

ජීවිතය හරි පුදුම ය. දෛවය ඇස් පියාගෙන ඉන්නේ නැතිවා විය යුතු ය. එදා සන්ධ්‍යාවේ අම්මා හදිසියේ ම අසනීප වූවා ය. මුලින් ම ඇති වූයේ ගොතයකි. ඇගේ කට පැත්තකට ඇද වන්නට වූයේ ය. අක්කා කලබල වී අම්මා ව පෞද්ගලික රෝහලක් වෙත ගෙන යන්නට යුහුසුළු වූවා ය. තාත්තා ද කම්පනයට පත් ව සිටියේ ය. මම ඔහු සැනසුවෙමි.

“බය වෙන්න එපා තාත්තෙ. අම්මට සනීප වෙලා ඉක්මනට එයි”

“මොන මොන රණ්ඩු තිබුණත් මගෙ ගෑනිනෙ පුතේ. එයා සිංහ ධේනුවක් වගේ ගෑනි. එයා අසනීප වෙනව දකින්න මට බෑ”

අම්මා එක්ක රණ්ඩු වුණ අවස්ථා ගණනාවක් මගේ හිතේ ද ඇඳෙමින් මැකෙන්නට විය. මා හැමදාමත් ඇයට එරෙහි ව රණ්ඩු වූයේ මත ගැටුම් මත ය. තාත්තා වුව එසේ නොවේයි කිව නො හැක. නමුත් අම්මාට නරකක් නපුරක් වන්නට අපි සිහිනයෙනුදු නො පැතීමු. එසේ හෝ ඇය එක්ක රණ්ඩු නොවී ඉන්නට තිබුණා නම් හොඳ යයි දැන් සිතේ. 

අම්මා මිය යාවි ද යන බිය මගේ හිත් පත්ලෙන් මතු වී ඉහළ ආවේ වතුරෙන් මතු වෙන රබර් බෝලයක් සේ ය. ඒ සිතිවිල්ල පවා මගේ ඇස් විටෙන් විට තෙමන්නට සමත් විය. කොයි තරම් අයහපතෙහි යෙදුණා වී ද ඈ අපේ අම්මා ය. ඇය අහිමි වෙනවා දකින්නට තබා එහෙම වෙනවා යි සිතන්නට හෝ මට උවමනා නැත. මගේ හදවත බරපතල ගැස්මක දුක් විඳිනා ලදී.

අම්මා ගේ රුධිර පීඩනය ඉතා උග්‍ර ලෙස ඉහළ නැංවී තිබුණෙන් ඇය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට තිබිණ. අපේ මුළු ලෝකය ම දෙදරා ගියා වන් අනපේක්ෂිත තත්වයකි එය. 

“ස්ට්‍රෝක් එකක් කියලයි ඩොක්ටර්ස්ල කියන්නෙ”

අක්කා අපත් සමග සිටීම මේ වෙලාවේ මට මහත් ශක්තියක් වූයේ ය. හිතේ වූ පීඩනය පළවා හළ හැකි වූයේ ද ඇය හමුවේ ය.

“අනේ මං නිසාද අක්කෙ අම්මට එහෙම වුණේ…”

“ළමයො. මොනාද ඔයා මේ හිතන්නෙ…”

මාතෘ ස්නේහයකින් ඕ තරවටුවක් කළා ය.

“බබාට හොඳත් නෑ ඔයා ඔහොම හිත අවුල් කරගන්න එක. අම්මලට කොහොමත් එයාල කරපු දේවලට ගෙවන්න සිද්ද වෙයි. අපි හිතුවට පුළුවංකාරයො කොච්චර පව් කළත් පළ දෙන්නෑ කියල…කරල තියන පිං ටික ඉවර වුණාම ඒක පටං ගන්නව නංගි. බය වෙන්න එපා. අම්මට සනීප වෙයි”

මගේ ගැහැනු හදවත ඒ තරම් ව්‍යසනයන් පෙළකට එක පිට එක කොහොම මුහුණ දුන්නා ද කියා ආපසු හැරී බලත්දී සිතා ගැනීමටවත් නො හැකි ය. මට ඒ ගෙවන්නට සිදු වූයේත් පෙර අත්භවයක හෝ මගේ අතින් සිදු වූ පාපයක විපාක වන්නට ඇත. 

කෙසේ වෙතත් දෙදිනකට පසු අම්මාව දැඩි සත්කාර ඒකකයෙන් ඉවත් කොට කුටියකට දැමිණි. මගේ හිතට සැනසිල්ලක් දැනුණේ ඉනික්බිති ය. මා ඇය බැලීමට ගිය ද අම්මා මට වැඩිපුර මූණ දුන්නේ නැත. ඇයට අතිශය විවේකය අවශ්‍ය වූයෙන් මම ද පරණ තුවාල පාරන්නට නො ගියෙමි.

විදුර ගේ මව් අලුත් බලාපොරොත්තුවකින් හිස ඔසවමින් සිටියා ය. මුල දී බත් කටක් කෑම ද ප්‍රතික්ෂේප කළ ඕ ටික ටික කෑම ගත්තා ය. මා ආසා වේවියි සිතූ කෑම හදා දීම ගැන උනන්දු වූවා ය. මගේ කුසයෙහි දරුවෙකු වැඩෙනවා ය යන සිතිවිල්ල මෝරා වැඩෙත්දී අපේ අම්මා ගැන ද වෛරයෙන් නො සිතන්නට මම උත්සාහ කළෙමි. 

අම්මා ව රෝහලෙන් ගෙදර ගෙන එන්නට දින දෙකකට පෙර මා විදුර ගේ ගෙදර ගොස් සිටි වෙලාවක නාඳුනන ස්ථාවර දුරකතන අංකයකින් මගේ දුරකතනය හැඬවෙන්නට ගති. විදුර ගැන ආරංචියක් වන්නට වුව බැරි නැතය යන සිතිවිල්ලෙන් යුතුව මම ඇමතුම හා සම්බන්ධ වීමි.

“තිසූ”

දෙවියනි විදුර!

දෙවියනි ඔබ අහක බැලුවා යයි මම සිතුවෙමි. නමුත් ඔබ ඔහු ගැන බලාගෙන තිබේ!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles