සතුටු මන්තර 23

ට්‍රයිඩැක්ස් මිටියාවතට වැහි වැටේ. ඉස්සරහා තාප්පය නිසා මුළු මිටියාවත ම පෙනෙන්නේ නැත. සයුරංගනා වැරැන්ඩා කනුවකට හේත්තු වී පිටත බලා සිටියා ය. තාප්පයට මත්තෙන් වැස්ස පෙනෙන්නේ තනි සුදු අවකාශයක් ව ය. මේ තද වැහි දිය වැදී හැපී දැන් ට්‍රයිඩැක්ස් මල් වල නටු බිමට නැවී තිබෙනවා විය යුතු ය. කොයි තරම් අනෝරා වැස්සකට වී ද ඒ මල් වල බටර් පැහැය සේදී යන්නේ නැත. අලුත් ඉරත් එක්ක නියත වශයෙන් ම ඒවා අහස දෙස බලන්නට හිස කඳ කෙළින් කරන්නේ ය.

වැහි දිය වදින්නේ ඇතුළාන්තයේ පේශි, පටක, ස්නායු මත්තට සෙයින් තුනී රිදුමක් සයුරංගනා ගේ සන්තානයෙහි වේ. වහිනා වැහි දිය පොදක් ගානේ වැඩි වෙන ඒ සංකා හැඟීම ඇය පපුවේ ම ගුලි කොට ගත්තා ය.

වැඩසටහන නිමා වී ඇය ගෙදර එන විට නැන්දම්මාත් නෑනාත් එහි විත් සිටියහ. 

“රංගනා හිතන්න ඇත්තෙ අපි ඊරිසියා කරයි කියල වෙන්නැති නේද…ඒකනෙ ඔහොම දේකට යනව කියන එක අපිට හැංගුවෙ”

ලස්සනට සාරියක් හැඳ, ලස්සනට හැඩගැන්වීම් කොට, රිය පදවා ගෙන ගෙදර පැමිණි සයුරංගනා දුටු ගමන් ශක්‍යා ඈ තුළ පැසවමින් තිබි විෂ එළියට දැම්මා ය.

“ඇයි අක්කෙ…මං අම්මට කිව්වනෙ”

“කිව්ව කිව්ව. ඊයෙ රෑ. මෙයා ඔක්කෝම ලක ලෑස්ති කරගෙන අන්තිම මොහොතෙ අපිට කිව්ව. අපේ ඇස්වහ වදී කියල වෙන්නැති කලින් කිව්වෙ නැත්තෙ”

“අනේ එහෙමනං නෙවෙයි අම්මෙ. වැඩේ හරියනකල් කියල තේරුමක් නෑනෙ. මංවත් ශුවර් කළේ නෑ ඕක එන්න කියනකල්ම”

“අනේ නිකං බොරුව දාන්න එපා ළමයො. සේරම අපෙං වහගෙන කරල මෙතන…දැං මුකුත් නොදන්න කිරි සප්පය වගෙයි කතාව. අනේ අපේ අර අහිංසකය අකාලෙ මැරිල ගිය පාඩුව අපිට විතරයි”

“අම්ම මහ පුදුම කතාවක්නෙ කියන්නෙ. ගිම්හාන්ට එහෙම වුණේ මං මුකුත් කරල නෙවෙයිනෙ. අනික එයා නැති පාඩුවයි පාළුවයි තනිකමයි ඔක්කොම අනිත් කාටත් වැඩිය මටයි මගෙ කෙල්ලටයි දැනෙනව. එයාවත් හිතුවෙ නෑ මෙහෙම අපිව ජීවිතේ මැද්දෙ අසරණ කරල මෙච්චර ඉක්මනට යන්න වෙයි කියල. ඉතිං මොකද්ද අම්මෙ කරන්නෙ…අපි දෙන්නත් වළට පැන්නනං හරි කියලද අම්මල කියන්නෙ…මං මේ දඟලන්නෙ ජීවත් වෙන්න මාර්ගයක් හදාගන්න. මගෙ දරුවගෙ මුළු අනාගතේම මගෙ අත් දෙක උඩ තියෙන්නෙ. ඒක කොහොම වගකීමක්ද කියල මං අම්මට අමුතුවෙන් කියල දෙන්න ඕනෙද…ඒ ළමය ලොකු මහත් වෙලා එයාව කාට හරි බාර දෙනකල් මං නේද හැම දේම කරගන්න ඕනෙ…ඕගොල්ලො ඇයි මට මෙහෙම කියන්නෙ…මං මොන වරදක් කළාටද…”

සයුරංගනා කියවා ගෙන ගියේ ආවේගයෙනි. උගුර රිදි රිදී තිබුණත් ඇය කඳුළක්වත් හෙළුවේ නැත. ඇගේ මුහුණේ ද අසරණකමක් වෙනුවට තද බවක් විය. 

“ඔහෙප්…පලයං…දැන්නෙ මෙයාගෙ කට ඇරිල තියෙන්නෙ”

තිලකා සමච්චලයට අත්පුඩියක් ද ගසා කීවා ය. සයුරංගනා ඉවත බලා ගත්තා ය. ජයරත්න මැද්දට පැන්නේ මේ කතාව තවත් දුර දිග යා යුතු නැතැයි තීරණය කිරීමෙනි.

“තිලකා…මෙතන ඇවිත් දුම්මල වරම අතට අරං වගේ දඟලන්න එපා.  ඒ ළමය දැන් මොනාහරි කිව්වනං ඒව සහතික ඇත්ත. ගහන්න ගහන්න වඳින එකත් මෝඩය වඳින්න වඳින්න ගහන එකත් මෝඩය කියනවනෙ. තමුන්ගෙ ගෞරවේ නැති කර ගන්නෙ තමුන්මයි. අනිත් එක…මමයි දුවට කිව්වෙ…හරියනකල් ඕව කාටවත්ම කියන්න එපයි කියල”

“ඔ..හෝ…”

“දුව…අප්පච්චිට දැං මේ අපි නෙවෙයි දුවල…අලුතෙන් පහල වෙච්ච දුවලත් ඉන්නවනෙ”

“මොකද්ද ශක්‍යා ඒ කතාව…අලුතෙන් පහළ වුනෙ නෑ. මේ ළමය මට දුවෙක් වුණේ මගෙ පුතා ගිම්හාන්ව බැඳපු දවසෙයි. කරුණාකරල දැන් ඔය කතාව නැවැත්තුවොත් හොඳයි. ඒ ළමය අපිට ලැජ්ජාවක් වෙන දෙයක් කළා නෙවෙයිනෙ…අපිට ආඩම්බරයක් වෙන දෙයක් කළේ. ඒ ගැන සතුටු වෙන්න බැරිනං…කරුණාකරල කටවල් වහගෙන හිටියොත් හොඳයි”

ජයරත්න තදින් කතා කළ නිසා අම්මාත් දුවත් කටවල් වසා ගත්හ. ඉක්මනින් සාරිය ඉවත් කොට මේක් අප් සෝදා හැර සයුරංගනා මුළුතැන්ගෙට ගියා ය. එසඳි එන්නට පෙර දිවා ආහාරය සූදානම් කරනා එක පහසු ය. නැන්දම්මාගේත් නෑනාගේත් වචන වලට ඒ වෙලාවේ කෙළින් ම ප්‍රතිචාර දැක්වීමෙන් පසු  ඇගේ හිතේ කිසිත්  ශේෂ වූයේ නැත. නෙළුම් පතක් මතට වන් දිය බින්දු සේ ඒ සියල් චෝදනා පිටතට රූරා ගියේ ය. එතකොට ඒ ගැන කිසිදු හැඟීමක් හිතේ ඉතිරි වන්නේ නැත. වෙන මොනවා නැතත් හිතේ සාමය පැවතෙන්නට හැරිය යුතු ය. ඇය තෝරාගෙන තිබෙන්නේ හිතේ සාමය අත්‍යවශ්‍ය වන වෘත්තියකි. තිලකාත් ශක්‍යාත් ආපසු ගියේ දිවා ආහාර ගැනීමෙන් ද අනතුරුව ය. ඔවුන් ත්‍රීරෝද රියක් නවතා ගන්නට කතා වන විට සයුරංගනා ඔවුන් ව මෝටර් රථයෙන් ගෙන ගොස් දමා ආවා ය. නැන්දම්මා හා නෑනා කී කතා ගැන කෝප වඩමින් හිටියා නම් ඇයට ඒ ආත්ම තෘප්තිය උදා කර ගන්නට හැකි වන්නේ නැත.

යශෝදර නුගේගොඩ දී සයුරංගනා ට රිය භාර දී ගිය එක ගැන, හැඩ රුව නො දන්නා කීරි ගැසීමක් තවමත් ඇගේ හද කකියවයි. හැන්දෑවට බස් වල එන එක පහසු නැත. යතුරු පැදියේ නම් වාහන තදබදය අතරේ වුව ඉක්මනින් පැමිණිය හැක. ඇයට වැඩි සුවපහසුවක් උදා කොට දී ඔහු දුෂ්කර මාර්ගයක් තෝරා ගත්තේ ය.

“අපාචි කෝ…”

නින්දෙන් පිබිදී ඇවිත් එසඳි අම්මා ගේ ඇඟේ දැවටුණා ය. සයුරංගනා දැරිය වඩාගත්තා ය. 

“යශෝදර අංකල් තාම ආවෙ නෑ මැණික. දැන් එයි”

එසඳි අම්මා ගේ උරයේ හිස තියා ගත්තා ය. වැහිබර ගතිය නිසා ඇයට වැඩිපුර නින්ද ගියේ ය. නින්දෙන් පිබිදෙත්දී ම යශෝදර ව සිහි වී තිබේ. 

ගේට්ටුව ළඟ ත්‍රීරෝද රියක් නැවතිණ. ගේට්ටුව ඇරගෙන වැස්ස අතරින් යශෝදර දිව ආවේ ය. සයුරංගනා සුසුමකින් පපුව පුරවා ගෙන, එසඳි වඩා ගත් වන පෙරමගට වූවා ය.

“අනේ ඔයාට බස් එකේ එන්න වුණා නේද…”

යශෝදර සයුරංගනා ගේ ඇස් මගහැරියේ ය.

“මෙන්න මේ මැණික් කැටේ බලං ඉන්න නිසා මං කැබ් එකක් දාගෙන ආවෙ”

“මේ දැං නැගිට්ටෙ. මෙතන්ට ආපු ගමං ඇහුවෙ ඔයාව”

එසඳි යශෝදර අතට පැන ගත්තා ය.

“පව්…ඔයා තෙමිල”

ඇය සිඟිති අත් වලින් යශෝදර ගේ හිස කේ මත රැඳි දිය බින්දු පිසදැමුවා ය. සයුරංගනා බලා සිටියේ වචන කරන්නට කිසි සේත් ඇය නො දන්නා හැඟීමකිනි. ඒ හැඟීම හරි බර ය. එසේ ම සැහැල්ලු ය. හදවතට බෙහෙවින් සමීප ය. නමුදු දුර ය.

“මං ටවල් එකක් ගේන්නං”

“එපා සයූ”

යන්නට අඩියක් පෙරට තැබූ ඇය එහෙම ම නතර වූවා ය. ඇය නැගූ ප්‍රශ්නාර්ථී බැල්ම,  ඇස් වලට කතා කරන්නට ඉඩ නො දෙනු වස් නැගූ එකකි.

“මේ චුට්ටනෙ තෙමුනෙ. දැං කොහොමත් ගිහිං නානවනෙ”

“තේ එකක්…”

“ඕනෙ”

සයුරංගනා සිනහවට ඉඩ දුන්නේ යශෝදර ට පිටුපෑමෙන් පස්සේ ය. එසඳි ද ජයරත්න ද සැඳෑ නින්දේ පසු වූ නිසා ඇය තේ හදන්නට ඉක්මන් නොවුණා ය. යශෝදර මේ වැස්සේ, ඇය නිසා ම මග පමා වෙනවා ය යන සිතිවිල්ල තව දුරටත් තේ පමා කරවී ය. වැස්සත් කෝපි සුවඳත් කෝපි දුමත් හරි හරියට පෑහිණි. උනු කිරි කෝපි උගුරු දෙක තුනක් බීමෙන් පස්සේ යශෝදර සයුරංගනා දෙස මඳහසකින් බැලුවේ ය.

“තව දවස් දෙක තුනක් යනකොට ඔෆිස් එකේ ඉඳලම ඔයාට කා එකේ එන්න පුළුවන්. පාරවල් මතක තියාගන්න විතරයි තියෙන්නෙ”

“බෑ බෑ”

සයුරංගනා හිතුවක්කාර වූවා ය.

“එතකොට ඔයා මං නිසා බස් එකේ එන්න ඕන හවසට. ඒකනං ආයෙ වෙන්න බෑ”

ඒ වෙලාවේ සයුරංගනා වෙතින් යශෝදර දුටුවේ එසඳිව ය. සයුරංගනා පොඩි කාලේ එසඳි වාගේ ම හුරතල් හා හුරුබුහුටි දැරියක වන්නට ඇත. 

“ගොඩක් වෙලාවට හවසට වහිනව. ඔයාට තෙමෙන්න වෙනව…තෙමි තෙමි බස් හෝල්ට් වල ඉන්න වෙනව. සෙනග පිරිච්ච බස් වල එල්ලිලා එන්න වෙනව…බෑබෑ. එහෙම ඕන්නෑ”

සයුරංගනා ගේ ඇස් පියන් බෝනික්කියක ගේ වාගේ දිගටි ය. කතා කරත්දී ඒවා තාලයට සැලේ. ඒ සිද්ධි හිතින් මවා ගෙන කතා කළ නිසා මුහුණේ ඉරියව් වල ශෝකයක් තැවරී තිබිණ. යශෝදර ඇස් පිය නො සලා ඇදෙස බලා සිටියේ ය.

” මං එන වෙලාවට බස් වල එන්න අමාරු නෑ. ඕන්නං කැබ් එකක් දාගන්නත් පුළුවන්නෙ. ඔයා කා එක ගෙනියනවනං විතරක් ඒකෙ යං”

“හරි හරි බලමුකො. හෙට නෑනෙ”

සයුරංගනා වැඩසටහන ඉදිරිපත් කරන්නට නියමිත සතියට දින තුනකි. ඒ සඳුදා, බදාදා හා සිකුරාදා ය. සති අන්තය ද සති මැද දින දෙකක් ද විවේකය තිබීම ඇයට පහසුවකි. පෞද්ගලික ජීවිතයේ එදිනෙදා කටයුතු වලට බාධාවක් නොවී වෘත්තීය කටයුතු කර ගත හැකි වේ. ඊළඟ වැඩසටහනට සූදානම් වීමට කාලය තිබේ. වැඩසටහනේ ඇඳුම් සඳහා ප්‍රකට නිමි ඇඳුම් සාප්පු ජාලයක් විසින් අනුග්‍රාහකත්වය සපයන නිසා විටින් විට සයුරංගනා එහි ගොස් ගැලපෙන ඇඳුම් තෝරා ගත යුතු ව තිබේ.

දිය නා ගෙන ඇඳට වැටුණ යශෝදර කාමරයේ ජනේලයෙන් පෙනෙනා වැස්ස දෙස බලා සිටියේ ය. තේරුම් ගත නො හැකි බරක්, අධි පීඩන කලාපයක් සේ පපුවේ හිර වීගෙන තිබේ. එය තේරුම් ගන්නට උත්සාහ නොකර ඉන්නා තරමට හොඳ ය.

“ආ මිස්ට යශෝදර…ප්‍රශ්න නේ…”

කියා ගෙන කාමරයට ආ පාරමී ඇඳට පැන්නා ය.

“ගණං ගන්නෙපා මෙයා. ප්‍රශ්න වලට උත්තර තියෙන්නෙත් ඔයා ළඟම තමයි”

“දොඩෝනවද ඕයි…මට ඇති ප්‍රශ්නයක් නෑ”

“නෑ කිව්වට පොඩ්ඩක් ඩාම් වෙනව ඩූම් වෙනව වගේ කියල මං දන්නව. කෙල්ල අඩිය තිබ්බෙ ඇස් දාස් ගාණක් බලං ඉන්න තැනකටනෙ. ලස්සන නළුවො වගේ කොල්ලො ඒ තැන්වල සූ ගාල ඈ. නෑ ඉතිං ඔයත් මොඩ්ල් කෙනෙක් වගේ හැන්ඩ්සම් කොල්ලෙක් තමයි”

“මොනාද මේ කියවන්නෙ..යනව යන්න මට පාඩුවෙ ඉන්න දීල”

“නෑ මං කියන්නෙ…දැම්ම හැරෙව්වෙ නැති වුණාට අවුලක් නෑ. හැබැයි සිග්නල් දාල තියන එක ඇඟට ගුණයි හරිද…මොකද තමුසෙ කොයි පැත්තටද හරවන්න යන්නෙ කියල අයිඩියා එකක් එයාට තියෙන්නෙපැයි”

යශෝදර ඇඳෙන් නැගිටින්නට ගියේ පාරමීව කාමරයෙන් එළියට දමන්නට ය. නමුත් ඊට පෙර ඕ පිටතට දිව ගියා ය.

“අපි කිව්ව දේවල් හරි කියල දවසක තේරෙයි”

ඒ යන ගමන් ඕ කෑ ගැසුවා ය. යශෝදර කාමරයේ දොර වසා දැමුවේ ය. ඔහු ගේ දෙතොල් අතරේ සිනහ පොදක් සරැලි නගමින් තිබිණ.

💜️මගේ අලුත් ම නවකතාව කුසුම් නිම්නය කියවන්න Shinie’s Writings  යූ ටියුබ් නාලිකාවට එන්න!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles