සීත මාරුතේ 13

මම බිම බලා ගෙන ඉතාමත් හෙමිහිට කිම කිරමය දිව ගෑවෙමි. එහි වූයේ දිව්‍ය භෝජනයක රසයකි. මීට පෙර ඒ තරම් රස හිම කිරමයක් මා කිසි දා ක රස විඳ නැත!

මා හිටියේ බිම බලා ගෙන ම ය. නමුත් මුණිවර ගේ ඇස් කාන්දම් සේ මා වෙත ඇලී ඇති බවක් මට දැනේ. ඒ ආඩම්බරකාර ඇස් හිතා මතාම ද පුරුද්දට ද මන්දා මා ගණන් නො ගන්නා බව ඒ මොහොතේ මට අමතක වී තිබුණේ ය. නැතහොත් මම උවමනාවෙන් ම අමතක කොට සිටියෙමි.

ක්‍රිකට් තරගයෙන් පසු උදා වන්නේ පූල් එකට පැන දිය කෙළිනා අවස්ථාව බව දන්නා නිසාවෙන් ඉන් පසු අපේ, ගෑනු ළමයින් ගේ දෙපා පිට්ටනියෙන් පිටතට හෙමිහිට ඇදිණ. ක්‍රීඩා පිටියට පැමිණිය යුත්තේ ප්‍රධාන පාරේ ටික දුරක් පයින් ඇවිද ඒමෙනි. පළතුරු වර්ග විකුණන වෙළෙන්දන් දෙදෙනෙකු වට කර ගෙන, ක්‍රිකට් තරගය නරඹනු වස් නිවෙස් වෙත නො ගොස් පාසලේ නතර වූ සිසුහු ඒවා මිල දී ගනිති. අච්චාරු කන දොළක් මා තුළ ද පහළ විය. නමුත් මා සිටියේ ඒ ආශාව ගැන වුව කතා කර ගත නො හැකි තරම් හිතිවිලි ලෝකයක කිමිදී ගෙන ය. 

“බලපල්ලකො එක පාරටම එක්කෙනෙක්…නිකං හත් දවසක් එක දිගට සිල් අරගෙන වගේ වුණානෙ”

කෙල්ලක කීවා ය. ඒ කාගේ හඬ දැයි නිශ්චිත කර ගන්නට මට ඕනෑ වුණේ නැත. පිටියෙන් පිට වෙමින් සිටියදී මම එක් කෙටි බැල්මක් මුණිවර දෙසට හෙළුවෙමි. ඒ කෙටි බැල්ම තුළ මට දැනුණා වූ දෙයකි. ඒ ඔහු දිගු බැල්මකින් මා ග්‍රහණය කර ගෙන ඇති බවකි. එය නිකං ම හිතළුවක් වන්නට පුළුවන. ඒ වුණත් එය එසේයි සිතන්නට මම වඩා කැමති වූයෙමි. මේ මායාමය මොහොත මගේ ය. මා රිසි ලෙස, මට ඕනෑ ලෙස මේ මොහොත නිර්මාණය කර ගන්නටත් මේ මොහොත තුළ ජීවත් වන්නටත් මම කැමැත්තෙමි.

“මෙයා අපිට බොයන්න නේ දැම්මෙ….ෆාම් එකේදි කොල්ල මූණ බලන්නෙ නෑ ය…හරි ගණං ය කිය කිය”

“අනේ ද කියන්නෙ…කාව රවටන්නද දෙයියෝ…”

“අපේ ඇස් වහ කට වහ වදී කියලද දන්නෑනෙ”

“සුශන්ත් සිං වගේ ඔය හිනා වෙවී හිටියෙ”

“මුණිවර සිං රාජ්පුත්…”

කෙල්ලෝ එක එක කතා කියමින් හඬ නගා සිනහ වූහ. ඒ විහිළු තුළ සැබවින් මා මිහිරෙහි හෙළනා රසවත් බවක් විය. 

ආදි සිසු නඩය අප පසුපස එන බව පැහැදිළිව ම දැනිණ. ඔවුන් ගේ සිනා කතා හඬ උස් ව නැඟුණේ ය. වෙනදා ට මේ ඉසව්වේ පිළිරැව් දෙන්නේ නව යෞවනයන් ගේ ගැටවර හඬවල් ය. අද එය වෙනස් ය. වැඩිහිටි, පරිනත හා තුරුණු පිරිමි කෙළි කවට කම් වල ඊට වඩා බරක් වන්නේ ය. පිරිමි කමක් වන්නේ ය. ආකර්ෂණීය බවක් වන්නේ ය. පිටුපස කුඩා ගේට්ටුවෙන් අපි පාසල් බිමට අවතීර්ණ වූයෙමු. මා නිකමට හෝ පිටුපස හැරී බැලුවේ නැත. නමුත් මම ඔහු දකිමින් සිටියෙමි. ඔහු ගේ සැහැල්ලු දඟකාර පිරිමි පෞරුෂය විඳිමින් සිටියෙමි. 

“සිගරට් බොනව අරුං”

කසුනි කීවේ ඉව කරමිනි. මට ද ඒ හිසරදය ඇති කරවනා සැර දුම් ගඳ දැනිණ. නමුත් මා වහා කීවේ වෙනකකි.

“එයානං ඔය ජරාව බොන්නෑ”

කෙල්ලෝ තත්පර කිහිපයක් ගත වෙන තෙක් උනුන් ගේ මුහුණු දෙස මාරුවෙන් මාරුවට බැලූහ. සිනහව පුපුරා ගියේ අනතුරුව ය.

“කොහොමද ඒක…”

“එයා…”

නැවත ද සිනහවකි.

“මොනා වෙලාද මේගොල්ලන්ට”

“කටහඬත් වෙනස් වෙලා නේ…සෝ රොමෑන්ටික්”

“අයිස් ක්‍රීම් කාපු නිසා”

උප විදුහල්පති නිල නිවාසය පේන මානය තෙක් පැමිණි ඒ ගමන, සුන්දර ම සිහිනයක අතරමං ව සිටි නිමේශයක් සේ සදහට ම මගේ මතකයේ නවාතැන් ගනු ඇත. පිටුපස හැරී මුණිවර දෙස බලන්නට උපන් සිතිවිල්ල මම තදින් පාලනය කර ගතිමි. 

දිය කෙළියෙන් පස්සේ ඔවුහු  දිවා භෝජනය ගනු ඇත. ඉන් පසු බාස්කට් බෝල් තරගය බලන්නට යන බලාපොරොත්තුවක මා සිටිය ද අම්මා කල් ඇතිව ම “ඕන නෑ ” යි කීවා ය.

“ගියාම මොකෝ අනේ වෙන්නෙ…කොලේජ් එක ඇතුළෙ එකක්නෙ”

නංගී ඉදිරිපත් වූයේ මා වෙනුවෙන් වන්නට ඇත.

“ඔන්නොහෙ ඕන්නෑ අනේ. මහන්සිත්නෙ. ටිකක් රෙස්ට් කරමු”

මම ඉක්මනට මැදින් පැන්නෙමි. මට රැවූ නංගී කාමරයට ගොස් මට බැන්නා ය.

“කරනවකො රෙස්ට් එහෙනං..පව් කියල චාන්ස් එකක් අරං දෙන්න හැදුවෙ. අන්තිමට එයා හොඳ දුව…මේ අපි තමයි නරක. අපිට කොල්ලො බලන්න යන්නනෙ මේ”

මුණිවර ට නො පෙනෙනා තැනෙක හිඳ ඔහු ට නො දැනී ඔහු එක්ක තනි වෙන්නට සිතට ඕනෑ වී තිබූ බව මම නංගී ට වුව නො කීවෙමි.

පාසල් වත්තෙන් ප්‍රීති ඝෝෂා හා පිරිමි හඬවල් ඇසිණි. මම ඒවා අතරේ මුණිවර ගේ හඬ හොයා ගැනීමේ සියුම් වෙහෙසක් දැරුවෙමි. ඇස් දෙකට නො පෙනුණත් අත පොවන මානයක ඔහු රැඳී සිටිනවා ය යන සිතිවිල්ල ම මගේ දෙතොල් මත ඉතා සිහින් වූ සිනා මලක් පුබුදන්නට සමත් වී තිබිණි.

 හැන්දෑවේ හයට වාර්ෂික හමුව පැවැත්වෙන්නේ විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ ය. එයට සහභාගී වන්නට අප්පච්චී ද නික්ම ගියේ ය. මුණිවර දැකීමේ නො ඉවසිලිමත් ආශාවක් ඒ වෙලාවේ මා තුළ නලියමින් තිබිණ. 

ඒ හරියට නත්තල් දා රාත්‍රිය මෙනි. අප නත්තල සැමරූයේ නැත ද නත්තල් රාත්‍රිය යනු ඕනෑ ම ආගමිකයෙකුට උත්සව හැඟීමක් දනවනා දිනයකි. මේ රාත්‍රිය ද උත්සව ශ්‍රීයක් දැරුවේ ය. ගුරුතලාව හාත්පස විදුලි පහන් වලින් ආලෝකවත් ව තිබිණ. මිහිදුම නිසා ඇතැම් විට දුර දුර ඉන්නා මිනිස් රූ පැහැදිලි ව පෙනුණේ නැත. නමුත් කිසිවෙකු ඉන්නා බව පෙනුණේ ය. කටහඬවල් ඇසුණේ ය. මම ත් නංගී ත් මිදුලේ මල් ගාල ළඟ බංකුවේ හිඳ ඈත බලා සිටියෙමු. 

“අපරාදෙ අප්පච්චි එක්ක අපිටත් යන්නයි තිබුණෙ”

මල්ලී අප වෙත විත් කීවේ ය. ඊට කෙබඳු පිළිතුරක් දෙන්න දැයි මට අදහසක් වූයේ නැත.

“සීනියර් වයිස් ප්‍රසිඩන්ට් අප්පච්චිට කිව්වලු ෆැමිලි එකත් එක්කම එන්න කියලත්”

මගේ හදවත් පේෂි වල පෙරළීමක් ක්ෂණික ව දැනිණ. මම නංගී ගේ මූණ බැලුවෙමි. ඇය සමච්චලයට කට ඇද කළා ය. මල්ලී ඉදිරියේ ඇය කට කැඩුණ කතාවක් කියාවියි බියක් මගේ මුහුණේ වන්නට ඇත.

“ඔය පැනල තියෙන්නෙ බළලා මල්ලෙන්”

“මොන බළලෙක්ද…මං අහගෙන අප්පච්චි අම්මා එක්ක කියනව. අපරාදෙ…අප්පච්චි කැමති වුණේ නෑනෙ ඒකට”

“ඇයි දැන් අපරාදෙ…තමුන් එතනට ගිහිං විස්කි එකක් බොන්නද..අනේ මේ යනව යන්න. පොඩි එකා පොඩි විදිහට ඉන්නෙ නැතුව…හිතං ඉන්නෙ දැන් එයා හරි ඉලන්දාරිය කියල”

“කෙල්ලො හින්ද තමයි ඔක්කොම කරදර. ගෑනු ජාතිය ජරා ජාතිය ගලේ ගහලා…”

මල්ලී ට එය කියා නිම කරන්නට ලැබුණේ නැත. නංගී ඔහු ගේ පිට හරහා දඩං ගා පහරක් ගැසුවා ය.

“ඇද්ද පිරිමි ජාතියට…”

“අම්මෙ මේ හැලි වැඳිරි මට ගැහුවා”

කේළම කියන්නට මල්ලී ගෙතුලට ගියේ ය. කසුනි හා හංසිකා අප දෙසට එමින් සිටියේ ඒ වෙලාවේ ය.

“මේ දෙන්නට අද ක්වාටර්ස් වලට වෙලා ඉන්නත් බෑ. මෙහෙ දුවං එනව මේ වෙලාවෙත්. අද ගුරුතලාව පිරිමි විමානයක් වෙලානෙ. ඒකයි ඔය…”

“එහෙනං අපි යං කසූ…ඕන්නෑනෙ නිවුස් එක දෙන්න”

හංසිකා කසුනි ගේ අතකින් අල්ලා ගෙන බොරුවට ආපසු හැරුණා ය. මම ඇගේ කර වටා අතක් දමා ගතිමි.

“එහෙම කරන්න එපා සුදූ…නිවුස් එකක්නං ඉතිං දීලම යන්න නේ”

“මේ”

ඇය මට පෙන්වූයේ ජංගම දුරකතනය ය. මුණිවර අභිෂේක් බණ්ඩාර ගේ ෆේස් බුක් ගිනුමට මීට මඳ වෙලාවකට පෙර බැර කරනා ලද ඡායාරූප කිහිපයක් එහි වූයේ ය. මුණිවර මගේ ෆේස් බුක් මිතුරු සමූහය අතරේ ඇත්තේ නැත. මා ඔහු ට හෝ ඔහු මට මිතුරු ඇරයුම් එවා ද නැත. යම් කිසි දිනෙක ඔහු ගේ ගිනුමට ගොස් විමසා බැලීමට මට සිත් වී ද නැත.

“අපේ සර් කෙනෙක් දාපු කමෙන්ට් එකක් නිසයි මට මේක පෙන්නන්න ඇත්තෙ. නැත්තං මිස්ට හැන්ඩ්සම් මගෙ ලිස්ට් එකේ නෑ”

මම කසුනි අතින් දුරකතනය ගෙන වඩාත් හොඳින් බැලුවෙමි. එහි වූයේ සුදු අත් දිග කමිසයට රිදී පැහැති ටයි එකක් දමා, අළු පැහැති කෝට් එක අතකින් ගෙන උරහිසෙහි දමා ගෙන ඉන්නා මුණිවර ගේ කඩවසම් සේයා රුවකි. ඒ සමග ම ටයි එක ද, කමිස අත ද වෙන වෙන ම ඡායා රූප ගත කොට  තිබුණේ ය. ඒ සමීප රූප වල මට දැකිය හැකි වූයේ මා තිළිණ කළ ටයි පින් එක හා කෆ්ලින්ක්ස් යුගලයි.

“අනේ”

මට කියැවී තිබුණේ මාත් නො දැනුවත් ව ය.

“කැප්ශන් එක…ඒජීඑම් නයිට්…විත් යූ විතවුට් යූ…වැඩේ දුර දිග යනව වගේ ආ”

බංකුව මත හිර වී ඉඳ ගෙන තර්ක කරන්නට කාරණා බොහොමයක් අපට තිබිණ. ඒ කැප්ශන් එකේ අරුත කුමක් විය හැකි ද? ඔහු එහෙම ලියමින් අදහස් කළේ කවුරුන් ගැන ද?මා තිළිණ කළ කෆ්ලින්ක්ස් ම ඔහු මෙහි පැළඳ එන්නට හේතුව කුමක් ද? ඒවායේ ඡායාරූප දැමුවේ කවුරුන් ගේ ඇස ගැටීමේ අරමුණෙන් ද? 

ඒ එක පැනයකට හෝ නිශ්චිත පිළිතුරු නොවුණ ද සීතල මිහිරියාවක් මා දවටා වෙළා ගෙන තිබුණේ ය. කසුනි ලා නික්ම ගිය පසු ඇඳට වැටී සිටියා ට අප්පච්චි රෑ බෝ වී ගෙදර එන තුරුත් මට නින්ද ගියේ නැත. අම්මා අප ට කෝපි හැදුවා ය.

“ලස්සනට වැඩේ ඕගනයිස් කරල තිබුණා. මං දැන්නෙ දන්නෙ අපේ ලොකු ළමයගෙ බොස් ඕබීඒ එකේ සීනියර් වයිස් ප්‍රසිඩන්ට් කියල. ඒ ළමය ළඟට ඇවිත් ම කතා කළා. අනේ සර් මන්දාකිණී සර්ගෙ දුව කියල මං දැන ගත්තෙ මේ ඊයෙ පෙරේද කියල කිව්ව”

අප්පච්චි මුණිවර ගේ වරුණාව කියන්නට වූයේ ය. නංගී ඇසක් වසා මට ඉඟි මැරුවා ය.

“මාත් දැන ගත්තෙ ඊයෙ පෙරේදා එයා මෙහෙ ඕබීඒ එකේ කියල. මිස්ට මුණිවර කොලේජ් එක ඇතුළට එන වෙලාවෙ දැකල මෙහෙ මොනාද කරන්නෙ කියල ඇහුව. එතකොට තමා මං කිව්වෙ අප්පච්චි ගැන”

“හරි දක්ෂ ඉලන්දාරියෙක්. මට කිව්ව දවසක එන්න කියල ෆාම් එක බලන්න. තව අවුරුදු දෙක තුනකට මිනිහ තමයි ඔබීඒ එකේ සීනියර් වයිස් ප්‍රසිඩන්ට්”

නංගී මගේ කකුල පෑගුවා ය. ඌයි ගෑවේ යි බියෙන් මම ඉවසා ගෙන සිටියෙමි. 

කෝපි බීමෙන් සීතල මඳක් පහ ව ගියා ට නිදි මත තවත් ඈතට ගිය සෙයකි. මම යහනේ ඒ මේ අත පෙරළෙමින් සිටියෙමි. ඈතින් ද මෑතින් ද ගී ගයනා හඬවල් ඇසේ. මේ රාත්‍රිය මධු විත පිරෙනා එකකි. තැන් තැන් වල ගිනි මැල ගසා ගෙන පාන්දර යාමය වන තුරු ඔවුන් සින්දු කියනා බව කීවේ කසුනි ලා ය.  

විවිධ හඬවල් අතරේ මම මුණිවර ගේ හඬ වෙන් කර ගැනීමේ උත්සාහයක් ගතිමි.

“ඒජීඑම් එකයි ඩිනර් පාටි එකයි ඉවර වුණාට අද රෑ ජාමයක් වෙනකල් ඕකුං නිදියන්නෙ නෑ. කට්ටිය හෙට මෙහෙං පිටත් වෙනකොටත් දවල් වෙයි මගෙ හිතේ”

අප්පච්චි එසේ කිවූවා මට මතක ය. මම ජංගම දුරකතනය ගෙන ෆේස් බුක් එකේ මුණිවර ගේ ප්‍රොෆයිලය සොයා ගතිමි. ඔහු මුහුණු පොත යාවත්කාලීන කොට තිබුණේ මාස ගණනාවකිනි. අතීතයට ගොස් මම යළි වර්තමානයට ආවෙමි. නමුත් ඒ අතරේ ඔහු ගේ පෙම්වතියක හෝ පෞද්ගලික ජීවිතය ගැන ඉඟියක් හොයා ගන්නට මට හැකි වූයේ නැත. 

මේ ඡායාරූපයෙහි ඔහු අතිශය කඩවසම් ය. ගෑනු ළමයින් ගණනාවක් ඒ ගැන කමෙන්ට් කොට තිබිණි. මම ඒ සියලු කමෙන්ට්ස් කියවීමි. මේ මොහොතේ සීතල ආදර අංශුවක් බවට පත් ව සිටි මම ඒ සියලු ගැහැනු ළමයින්ට ඊර්ෂ්‍යා කරනා පොදු සැතිර බවට පත් ව සිටියෙමි.

“මොකද…”

නංගී සමච්චල් ස්වරයකින් විමසුවා ය. 

“මුකුත් නෑ”

මම ඉක්මන් කොට දුරකතනය පසෙක තැබීමි.

“ගිටාර් එකක් ගගහ කොල්ල සින්දු කියන තැනට ගිහින් සීතලේ වෙව්ල වෙව්ල බිම වාඩි වෙලා…ගිනි මැලේ එළියට මූණෙ පැත්තක් තැඹිලි පාට වෙච්ච කොල්ලගෙ මූණ දිහා බලා ගෙන ඉන්න ඇත්තං කියල හිතුණ නේද…”

“මඤ්ඤංද ආ…නිදියනව හොඳට පෙරෝගෙන”

මම ද පොරෝනාව තුළ ට ගුලි වීමි. ශීත කබායක් ඇඟ ලා ගත්, ගිටාරයක් වයමින් සින්දු කියනා කොල්ලෙකු ගේ මී විතට මත් වූ දෑසක් නින්ද පුරා මගේ සිහින වල රඟ දුන්නේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles

සුහදිනී -26

"ට්වින් ෆ්ලේම් ගැන මොකද හිතන්නේ" කතා කරන්නට වඩාත්ම පහසු වන්නේ හොඳින්ම දන්නා දේවල් සම්බන්ධයෙන් ය.සකී මේ සම්බන්ධයෙන් දන්නා දෙයක්...

(අ)හිමි සිහින – 186

මේ කතාව සත්‍ය කතාවක් බව නොකියා ලියා තැබුවානම් එය පිළි ගන්නටත් බැරි තරම් මහා ව්‍යාකූල සිද්ධීන් හා පුද්ගල චරිතවලින් පිරුණු එකක් බව...

ප්‍රේමයේ අභිමන් -19

කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ග්‍රාමයක් වී ද එහි දුර ඈක ගමක වන ගති ලක්ෂණ මැනවින් වූයේ ය. ඇල ගලා ගියේ සසංක ගේ...

අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ

"නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?" රේන්ද අල්ලාපු මහ බර ඔසරියකුත් ඇඟ වටේ ඔතාගෙන, සුදු පාටම හින්නික්කිතර...

පුතු ලබාගැනීම වෙනුවෙන් ගුවන් යානයක් පැහැරගත් ශ්‍රීලාංකික පියා..

පුතු සෙනේ මස්‌ නහර හම සිඳඇට සොයා ගොස්‌ ඇට තුළට වැදඇට මිදුලු මත රඳා සිට දුක්‌ දෙයි නිබන්දා" සිංහබාහු...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content