Vintage Eyes -29

ජීවිතය කියන්නේ ජීවත් වෙන්නට ආශා හිතෙනා මොහොතවල් කෝටි ගණනක් විය යුතු යයි විහාර වරෙක කීවේ ය. එසේ නම් මේ රාත්‍රිය ද මට එවැන්නකි. අවපසට යන අඩ සඳක් කළුවර අහසේ එල්ලී ගෙන තිබිණ. තැන් තැන් වල තරු කිනිති කෝලිත්තම් පෑවේ ය. අපේ මිදුලේ ඇට්ටේරියා ගහ සුදු රෙද්දක් පෙරවූවා සේ මල් වලින් ගහන ව තිබි අතර සුළඟ එසුවඳින් සන්තෘප්ත වූයේ ය. 

මා කෝපි එකක් හදා ගෙන යන විට විහාර සිටියේ වැරැන්ඩාවේ පඩිය ඉස්මත්තේ සිට ඒ රාත්‍රී සිත්තම තුළ නිමග්නව ය.

“එහෙ වැඩ කරන අංකල් කිව්ව ආ දවසෙ ඉඳලම කෑමක් නෑලු. කන්නැතුව ඇල්කොහොල් වලින් බඩ පුරෝ ගත්තහම ශෝක් වෙයි. එතකොට තියන ප්‍රශ්නයක් විසඳ ගන්නත් හරි ලේසි වෙයිනෙ”

“අයියෝ…කන්නං කන්නං ඉතිං”

ඔහු කෝපි කෝප්පය  ගත්තේ නළල රැලි ගන්වමින් එසේ කියමිනි.

“අප්පුටත් ඕන්නැති දෙයක් නෑනෙ. ගෑනුන්ට කියන්න ඕන ඒවත් තියනව එපා ඒවත් තියනව කියල මිනිහ තාම ඉගෙන ගෙන නෑ”

සිනහ නැගෙන්නට ආවත් මා එවැන්නක් පෙන්වන්නට නොයා තරහ මූණ ම පෙන්වා ගෙන සිටියෙමි. විහාර අඳුර දෙස බලා ගෙන කෝපි තොල ගෑවේ ය.

“ඒ මනුස්සයත් දමල ගහල යන්න ගියාම තේරෙයි. මොන එහෙකට ඔච්චර බොනවද…බිව්ව කියල මොනාද වෙනස් කරන්න පුළුවන්…”

“බීල ඉන්න අතරෙ දන්නෙම නැතුව මැරෙනවනං…ඒක කොච්චර සැනසීමක් වෙයිද…”

මම වහා ඔහු ගේ නිදහස් අත ගෙන අත්ලෙහි සුළැඟිල්ල ආශ්‍රිත පෙදෙස තදින් සැපුවෙමි. විහාර ‘ඌහ්…ඌයි..’ ගා කෑගැසුවද මා තදින් අල්ලා ගෙන සිටි නිසා අත ඇද ගත නො හැකි වූයේ ය. ඔහු ට රිදෙන්නට ඇති වී ද මට ඊට වඩා රිදෙමින් තිබිණ. එහෙම හෝ ඔහු ට නො රිදවූයේ වී නම් විහාර ගේ කතාව නිසා මට හැඬෙන්නට ද තිබිණ. අත දමා ගසා මා රවා බලත්දී ඔහු බැලුවේ සංසාරය දිගු කරවනා ස්නේහයකිනි. 

“ඔයා මාව ජීවිතේ පැත්තට අදිනව ශික්ෂා”

ඔහු නැති වුණොත් මගේ ජීවිතය මුළුමනින් හිස් වී යන බව කොහොම  පහදා කියන්නද? ඒ බව පසු ගිය කාලයේ දී මට ප්‍රත්‍යක්ෂ කර ගත හැකි විය. මොනවා තිබුණ ද එතකොට ජීවිතයේ මොනවා හෝ නැති බවට අඩුවක් දැනිණි. එය කිසිවකින් සන්තෘප්ත කළ නො හැකි වූ අඩුවකි. නීති පොතක ලියා ඔහු මගේ ම ය කියා කිසි දා හිමි කර ගත නො හැකි බව ඇත්ත ය. නමුත් පේන මානයක සිනහ වෙවී ඔහු ඉන්නවා නම් එපමණක් වුව මට සෑහෙනු ඇත. 

“කවුරු වෙනුවෙන් හරි ජීවත් වෙලා ඉන්න විහාර…දුව වෙනුවෙන් හරි…අමේලි වෙනුවෙන් හරි…ප්ලීස්…ඔයා ඉන්නයි ඕනෙ…ඉන්න විතරයි ඕනෙ..එහෙම නැති වුණොත්…”

මගේ ඇස් බොඳ වී යමින් තිබිණ. මගේ හඬ බිඳී යන්නට ද විය. පපුව ඇතුලේ අධි පීඩන කලාපයක තෙරපුම තදින් දැනිණ. මම වේගයෙන් ඇස් පිය සැලුවෙමි. නමුත් ගබ් සා නොවූ කඳුළක් පිට පැන්නේ ය. විහාර මගේ හිස් මුදුණේ අත තැබුවේ ය. මට ඒ අත ගෙන මගේ දෙතොල් තබා තදින් සිප ගන්නට ඕනා විය. මගේ කොපුලක තබා ඒ අත තදින් තෙරපා ගන්නට ඕනා විය. නමුත් ඒ කිසිත් කර ගන්නට බැරි බාධකයක් හිත අභියස බැඳී තිබිණ. දවාලේ ඒ ස්ත්‍රීත්වයේ බාධකය සිඳ බිඳ ගොස් මම ඔහු ගේ පතුලක් සිප ගතිමි. නමුත් මේ වෙලාවේ මට ඒ දිරිය වූයේ නැත.  

ගෙතුළට ඇස් පා කළ විහාර මා බලාපොරොත්තු නොවූ මොහොතක මහිස ලං කොට නළල් තලය සිප ගත්තේ ය. මගේ ඇස් පියවිණ. එතැන එහෙම ම ලෝකය නතර වෙනවා නම් කියන සිතිවිල්ල පමණක් ඉතිරි වී අනිත් සියල්ල මොහොතකට අමතක ව ගියේ ය. 

“දුරක් අරං ගිහිං ඔයාව අතර මගක අත් ඇරල දාන්න බෑ…”

මට ළඟින් නොව බෝ දුර මන්දාකිනියකින් ඒ පිරිමිකාර ස්වර සංධ්වනිත විය. 

“එහෙම නැතුව…”

වහා මගේ නෙතු දැල්විණ.

“එහෙම නැතුව ඔයාට ආදරේ නැතුව නෙවෙයි…”

ඒ ඇස් වල වූ කතාව එයයි. ඔහු ඒ කියන්නට ඔන්න මෙන්න ව සිටියේ ය.

“අක්කෙ”

කියා නංගී ආලින්දයේ සිට කතා කළේ ඒ වෙලාවේ ය. නමුත් විහාර ඇස් වලින් එය කීවේ ය. මගේ දෙතොල් අතරේ ඉසියුම් වූ සිනහ රේඛාවක් පා වෙන්නට ඇත. මා මහත් අපේක්ෂාවකින් බලා උන් මොහොත එය ලෙස දිව්‍යමය හඬක් මගේ කනට කොට කීවේ ය. ඇතැම් විට ආත්ම ගණනක් තිස්සේ මා බලාගෙන උන් මොහොත! මම ඒ මොහොත උදා කොට ගතිමි. මම ප්‍රේමයේ ඒ උච්චතම අවස්ථාව ස්පර්ශ කළෙමි. ප්‍රේමයේ පරමානන්දය අතික්‍රමණය කළෙමි. මගේ ඇස් වල ඒ වෙනුවෙන් ස්තූති පූර්වක බැල්මක් වන්නට ඇත.

“එන්න නංගි”

පිටුපස හැරී මා නංගී ඇමතූයේ මට හැකි උපරිම දයාවෙනි. ඇය අඩියක් දෙකක් තබමින් තව දුරටත් අප වෙත සමීප වූවා ය.

“අම්ම අහනව අල උයන්නද තෙල් දාන්නද කියල”

“බඩගින්නෙ ඉඳල ඉඳල තෙල් වැඩිය දෙන්න ඕන නෑ මෙයාට. අල කිරි හොදි හදමු නංගි. ඉන්න මං එන්නං උදව් කරන්න”

“නෑ නෑ අක්ක අයිය එක්ක කතා කරන්න. මං අම්මට උදව් කරනවනෙ”

ඔහු යළිත් අඳුර දෙස බලා ගෙන සිටියේ ය. බඳ වටා දෑත් යවමින් ඔහු ට තුරුලු වී ඒ උර මත මුහුණ තියා ගෙන ඇස් පියා හිඳීමේ දොළක් මවෙත ඇති නොවූවා නොවේ. නමුත් හිතෙනා හැම දේ ම කළ නො හැකි ය.

“කුස්සියට යංද…උයනකල්…”

විහාර මගේ අතට හිස් කෝප්පය දුන්නේ ය. නංගී වහ වහා ඔහු ට පුටුවක් තබා දුන්නා ය. අම්මා ගේ චිකන් කරිය සුවඳ දෙමින් ළිප මත ඉදෙමින් තිබිණ.

“පුතා එනව කියල දැනං හිටියනං මොනා හරි විශේෂ දෙයක් හදනවනෙ…”

අම්මා ට සැලකුම් පිළිබඳ සෑහීමක් නො තිබුණ සෙයකි.

“අනේ විශේෂයක් ඕන නෑ අම්මෙ. දැං ඉතිං නංගිත් ඉන්න නිසා ඕගොල්ලොන්ට පාළු නැතුව ඇති නේද…”

නංගී ලැජ්ජාශීලී සිනහවකින් බිම බැලුවා ය. මට ඇය වෙතින් පෙනුණේ අතිශය අහිංසක කමකි.

“අනේ ඔව් පුතා. මොනා වුණත් ආනන්ද වෙන්නැති මේ දරුවව මෙහෙට එවන්න ඇත්තෙ. වැරැද්දක් වෙලා තියනව තමයි. ඒත් ඉතිං වැරදි වෙච්ච පලියට ගෑනු ළමයි කුණු කූඩ වලට විසි කරන්නද…එන දේකට මූණ දෙනව පුතා”

“අම්ම ගැන ඇත්තටම හරි ආඩම්බරයි. අම්ම කෙනෙක් කියන්නෙ අම්මගෙ වගේ හදවතක් තියන කෙනෙක් වෙන්නයි ඕනෙ”

එහෙම කියත්දී විහාර ගේ ඇස් තිබුණේ මගේ ළඟ ය. ඒ ආදරය දරා ගන්නට තරම් මගේ හදවත ප්‍රමාණවත් ද යන හැඟීම ඇති වී නැති වී ගියේ ය.

“අක්කට තියෙන්නෙත් ඒ හිතම තමයි. වැරදිලා හරි ඇවිත් මං එයාලගෙ කකුල් දෙක ළඟ වැටුණෙ ඒ මනුස්සකං වලට පින් සිද්ද වෙන්න අයියෙ”

එහෙම කියත්දී නංගී ට හැඬිණ. 

“ඔය ඉතිං…අඬන්න හොඳද ඔයාට..”

කියමින් මම ඇගේ උරහිස වටා සුරත යවා ඇයව මා වෙත ලං කොට ගතිමි. මට නූරි සිහි විය. ඇයවත් රඋ කෑමට මෙහි කැඳවා ගත්තා නම් හොඳ යයි හදිසියේ ම මට සිතිණ.

“ඉතිං නංගිත් එක්ක ගිහිං එක්කං එන්න”

අම්මා කීවා ය. මම විහාර දෙස බැලුවෙමි. ඔහු අසුනෙන් නැගිට ගත්තේ ය. 

නූරි ආවේ රාත්‍රියේ අපේ ගෙදර නතර වීමේ සූදානමිනි. සැබවින් එය මගේ දිවියේ සුවිශේෂ මතක අතරේ සදානුස්මරණීය වන දවසකි. හැමදාමත් කන අම්මා ගේ බත් මාළු වල වෙනදා නොමැති රසක් මට දැනිණ. විහාර වුව හොඳින් කෑම කෑවේ ය. නූරි ඇය සාදා තිබූ වටලප්පමක් අතුරුපස ලෙස ගෙනැවිත් තිබිණ. අපි වටලප්පම් කමින් වැරැන්ඩාවේ දිග පඩි මත හිඳ ගතිමු. ඒ තරම් ලස්සනට ඉන් පෙර කිසි දාක අපේ මිදුලට හඳ පායා නැත.

පඩි මත හිඳ ගෙන අඩඳුරු ආලෝකයක විශ්වය සමග මුහු වෙමින් සිටි අප පස් දෙනා ම බිඳුණු මිනිසුන් වීම සුවිශේෂ ය. අපට අපේ ම වූ කතා තිබිණ. මගේ කතාව හැරෙන්නට අනෙත් සියල්ල ප්‍රසිද්ධියේ කතා කළ හැකි ඒවා ය. කවුරුත් දැන සිටි ඒවා ය. අම්මා බෙහෙවින් කම්පා වූයේ නූරි ගැන වීම විශේෂිත ය. ඇය නො කර සිටිය යුතු වූ විවාහයක් කර  ගැනීම ගැන අම්මා තවමත් තැවෙමින් සිටියා ය. අපේ ජීවිත වෙත පැමිණිය හැකි ඇතැම් ව්‍යසනයන් අපේ මැදිහත්වීම මත වළකා ගත හැකි ය යන්න ඇගේ අදහස විය. අපට බලපෑමක් කළ නො හැකි යමක් දරා ගත යුතු බව ඇත්තකි. නමුත් නූරි බිලි වූයේ ඒ වෙලාවේ ගැලපෙනවායි සම්මත විවාහයක් කර ගන්නට ඉක්මන් වූ නිසා යයි ඇය කම්පා වූවා ය. නමුත් නූරි කීවේ හරියන්න හෝ වරදින්න හෝ ඇයට තීරණයක් ගැනීමේ අවශ්‍යතාවය තිබූ බවයි. මේ විදිහට වැරදීම ගැන ඇය කම්පිත වූයේ ද නැත.

“එහෙම තමයි අම්මෙ. අපේ තාත්ත වුණත් හිතුවෙ මං බඳින්න ඕනෙ සමාජෙ උඩිං ඉන්නව කියල සම්මත පවුලකින් කියල. අපිට තියෙන දේවල් මදිද තව එහෙම පවුලක්ම හොයන්නෙ කියල ඒ කාලෙ මං හිතල තියනව. ඒත් දැං මං ඕක වෙනස් විදිහකට දකිනව. බල්ලෙක්ට ආදරේ කරන්න ඕනනං අපිට පුළුවන්නෙ ඔය පාරෙ ඉන්න බල්ලෙක්ගෙං පැටියෙක් අරං වුණත් හදන්න. ඒත් අපි ලොකු ගණං ගෙවල වංශක්කාර බල්ලො ගන්නව. ඇයි ඒ…ආදරේ කියන එකනං මූලික වෙන්නෙ…අපිට පුළුවන්නෙ අර සාමාන්‍ය බල්ලෙක්ට වුණත් ආදරේ කරන්න. ආදරේ කරන්න සල්ලි වලට ගන්න ලොකු බල්ලෙක්ම ඕන නෑනෙ. එතන තියෙන්නෙ ආදරේ ම නෙවෙයි කියන එක හිතා ගන්න පුළුවන්නෙ. අපිට හොඳ ලොකු ගෙයක් තියනවනං…හොඳ වාහනයක් තියනවනං…හොඳ සමාජ තත්වයක් තියනවනං…බල්ල වුණත් ඒ හැම තත්වෙකටම ගැලපෙන්න ඕන කියන එකක් අපේ ඔළු වල හැදිල තියෙනව. ආදරේ කියන දෙයින් හිත සනසගන්නව වෙනුවට මිනිස්සුන්ට ඕනෙ ඒ ආදරේ කරන්න තෝර ගන්න දේවල් වලිනුත් පොඩි කයිවාරුවක් ගහන්න. ඕක ආදරෙයි ජීවිතේ වෙනුවෙන් කයිවාරු ගැහීමයි කියන කොටස් දෙකට බෙදෙනව. හුඟක් අය බඳින්න ලස්සන කෙනෙක් හොයන්නෙ ඇයි…එතනත් තියෙන්නෙ මං බැන්දෙ මේ තරං ලස්සන කෙනෙක්ව කියල ලෝකෙට පෙන්නන්න තියන උවමනාව. සමහර වෙලාවට අපි කසාදයක් කර ගන්නෙ අපිට ඕනවට වඩා අපි වටේ ඉන්න අයට ඕන කමට. නූරිට වුණත් තියෙන්න ඇති මිනිස්සු ඇයි බඳින්නැත්තෙ කියල අහන ප්‍රශ්නෙන් ගැලවෙන්න ඕනකමක්. අපිට ඕනෙ මොකද්ද කියල තේරුං අරං ඒ වෙනුවෙන් පෙනී හිටින්න ඇත්තටම අපිට හයියක් නැත්තෙ අපි සමාජෙට බය නිසා. සමාජෙ ඉස්සරහ කයිවාරුකාරයො වෙන්න අපි කැමති නිසා..හැබැයි එක දරා ගන්න බැරි මොහොතක් එනව…අන්න ඒ වෙලාවෙදි ඕන කෙනෙක් ඕන දෙයක් හිතපුදෙං කියල අපි අපි වෙනුවෙන් ම නැගිටිනව. ඩිවෝස් එක දෙන්න නූරිට තිබුණ හයිය ඒ තමන් වෙනුවෙන් පෙනී හිටීම කියලයි මං හිතන්නෙ..”

විහාර දීර්ඝ වූ දේශනයක් කළේ ය. අප සියලු දෙනා ඒ තුළ දැහැන් ගත ව අපව ම සොයමින් සිටියා වන්නට ඇත. විහාර ද ඔහු වටා වූ කවචය බිඳ ගෙන අමේලි වෙත දික්කසාදයක යෝජනාව ගෙන එන්නට හිත හදා ගෙන සිටියේ ය. නමුත් ඔහු යළිත් සිටි තැනට ම වැටෙන්නට ද සාධාරණ හේතුවක් තිබෙනු ඇත. කිසිවෙකු විනිශ්චය කරන්නට නොයා ආදරය පමණක් කිරීම කෙතරම් සුව පහසු ද? 

බොහෝ රෑ බෝ වන තුරු ම අපි කතා කරමින් සිටියෙමු. නූරි ගෙදර නො යන නිසා කිසිදු හදිසියක් වූයේ නැත. විහාර ට ගෙදර යාම ගැන අදහසක්වත් තිබුණේ නැති තරම ය. ටිකක් රෑ බෝ වන විට නංගී තේ හැදුවා ය. තේ පාණයෙනුත් පස්සේ ඔහු යන්නට නැගිට ගත්තේ ආත්ම ගණනකට බිඳලිය නො හැකි බැඳීමක් මා තුළ ඔහු කෙරේ ඇතිව තිබියදී විය යුතු ය.

“අනේ පරිස්සමෙන් යන්න පුතා. කතා කර කර හිටිය මිසක් රෑ වෙනව කියල අපි කාටවත් ගාණක් තිබුණෙ නෑනෙ”

වෙලාව ගැන අම්මා තරමක් කලබල වී සිටියා ය. අමුතු බරක් මගේ හද මත පැටවී ඇති සැටියක් මට ද දැනිණ. රාත්‍රිය බෙහෙවින් පිනි බර වූයේ ය. විහාර සමග මම ද නූරි ගේ අතින් අල්වා ගෙන රිය වෙත ගියෙමි. අම්මා සමග නංගී පඩිය මත නතර වූහ.

“ගෙදර ගිහිං කෝල් එකක් දෙන්න හොඳේ” 

නොයා ඉන්නයි කිව නො හැකි කමට මට කියන්නට තිබුණේ එපමණකි. විහාර ඇස් වලින් ‘හා’ කීවේ ය. වෙන් වී යන්න බැරි හැඟීමක් අප දෙදෙනා අතරේ සීතලට මිදෙමින් තිබිණ. ඔහු රිය පණ ගැන්වූයේ ඒ මිදුණු අයිස් තලා කුඩු පට්ටම් කරමිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles