ඇබ්බැහිය

“අනේ මම ජොබ් එකෙන් අයින් වෙනව මාලි”

මැනේජ්මන්ට් රූම් එකේ ඉඳල කසුනි වර්කින්ග් ඩෙස්ක් එකට ආවෙම එහෙම කියාගෙන. අඬන ස්වරයකින් නොකිව්වට කසුනිගෙ ඇස් දෙකේ තිබිච්ච වේදනාව මාලි නොදැන ඉඳියෙ නෑ.

කසුනි දක්ශ ලමේක්. ඇත්තටම හොඳට වැඩ කරන ලමේක්. මොන ප්‍රශ්නෙ ආවත් වැඩ ටික හරියට ඉවර කරන කසුනිව මුලු ඔෆිස් එකේ හැමෝම රෝල් මොඩ්ල් එකක් කරගෙන ඉන්න බව අමුතුවෙන් කියන්න ඕන උනේ නෑ ඉතින්.

ඒ උනාට වැඩ නිසාම හිත රිදවගන්නත්, ඔෆිස් එක අපායක් කරගන්නත් කසුනිට හේතුවක් උනෙත් ඔන්න ඔය හොඳට වැඩ කරනව කියන කතාවම තමයි.

මොන වැඩේ දුන්නත් කලට වෙලාවට ඉවර කරන, ඒකත් තිතට වැඩේ ඉවර කරන හන්දම වෙන කවුරුහරි උනත් වැරදියට කරල දාන වැඩක් කසුනිටම භාර දෙන්න කවුරුවත් දෙපාරක් හිතුවෙ නෑ. ඒ හැම වැඩක්ම “අනේ මට කරගන්න අමාරුයි” කියල කිව්වත් භාරගන්න වෙන බව දන්න නිසාම කසුනි හිටියෙ මාරම ප්‍රෙශර් එකක්.

ඔය අද වෙච්ච සිද්දියත් එහෙම එකක්.

ඔෆිස් එකේ තව වැඩ කර කර හිටපු ලමේක් අයින් වෙලා රට යනවා. කසුනිගෙ පරණ ක්ලයන්ට්ගෙ අකවුන්ට් එකක් නිසා දැන් ඒ වැඩෙත් කසුනිට එන බවක් තමයි පේන්නෙ.

“ඇයි මොකද කිව්වේ?”

“අනේ මම කිව්ව බං මට කරගන්න අමාරුයි කියල. මම දැන් අර ඊ මැක් අකවුන්ට් එකත් බලනවා. මම අනික ආවෙ ප්ලෑනර් කෙනෙක් විදියට උනාට දැන් මම මගේ අකවුන්ට්ස් වල ඔක්කොම වැඩ ටික බලනවනෙ බං. මට නින්ද යන්නෙත් නෑ බං. ඊයෙ සුධාරත් බැන්න මට වැඩ තමයි ඔක්කොටම වඩා මට ලොකු කියල.

මට තේරෙන්නෙ නෑ බං මොකද්ද කරන්න ඕන කියල”

කසුනි ඉන්නෙ පීඩනයක බව මාලි නොදැන හිටියෙ නෑ.

මොන තරම් හොඳට වැඩ කරන එකෙන් උනත් කෙනෙක් ඔයාව ඕනවට වඩා ප්‍රෙශර් කරද්දි එක වැඩක්වත් හරියට කරගන්න අමාරු බව මාලි නොදැන හිටිය නෙවෙයි.

“දැන් රහල් යන නිසා ඒකෙ වැඩත් බලන්න කියනවද?”

“ඔව්. ක්ලයන්ට් රික්වෙස්ට් කරනවලු මාව දෙන්න කියල. මම කලින් වැඩ කර අකවුන්ට් එකක් නිසා. ඒ උනාට ඒ අකවුන්ට් එක ගන්න නම් මම කිව්ව මට දැනට තියෙන වර්ක් ලෝඩ් එකෙන් මොනවහරි අයින් කරන්න කියල.

දැන් ශිමාලි ගියාට පස්සෙ එයාගෙ වැඩ ආවෙත් මට. තාම එතනට රිප්ලේස්මන්ට් එකක ගත්තෙ නැනෙ

මම කිව්වට බොස් කියනව ටික දවසක් බලන්න. අලුත් කෙනෙක් ගන්නකම් කියල. ඔයාම දන්නවනෙ අනේ ඕක කවදාවත් වෙන්නෙ නෑ කියල”

මූන නරක් කරගෙන එහෙම කිව්ව කසුනි ආයෙ ලැප්ටොප් එක දිහාවට හැරුනා. ඒ ඉතින් ඔලුව ඇතුලෙ මොන විදියෙ ප්‍රශ්න තිබුනත් තමන් වැඩ දාහක් කරල එක වැඩක් මිස් උනොතින් ඒක තමන්ට ප්‍රශ්නයක් වන බව දන්න හන්දා.

“ඔයා හැමදාම ඔය ප්‍රශ්නෙ ඔලුවෙ ඇතුලෙ හිරකරගෙන ඉන්න එකෙන් හොඳක් වෙයි කියලනම් හිතන්න එපා”

මාලි එහෙම කිව්වේ ඇත්තටම කසුනිට දැන් වැඩ වලින් තොර ලෝකයක් නෑ බව දන්න හන්දා. තමන් ගෙදර ගිහින් නිදාගන්නෙත් හෙට දවසෙ කරන්න තියෙන වැඩ කන්දරාව ගැන හිත හිත බව කියන කසුනි ගොඩක් දවසට උදේට ඔෆිස් එකට එන්නෙම තද ඔලුවෙ කැක්කුමකුත් අරගෙන.

අනික කොහොමත් හැමදෙයක් ගැනම ඕනවට වඩා හිතන හන්දා වගේම ඉක්මනටයි පිලිවෙලටයි වැඩ කරන්න තියෙන පුරුද්ද නිසා කසුනි හැමදාම තමන්ව දෙවනි තැනට දාලා වැඩවලට තමයි පලවෙනි තැන දුන්නෙ.

ඒ නිසාම ටිකෙන් ටික තමන්ගෙ පර්සනල් ලයිෆ් එක වගේම, හිතේ සතුට, මානසික නිදහස තමන්ගෙන් ටිකෙන් ටික ඈත් වීගෙන යන බව කසුනි තේරුම් ගත්තෙ නෑ. එක්කො තේරුම් අරගෙන උනත් තේරුනේ නෑ වගේ හිටිය වැඩ වලට තියෙන ආදරේ හන්දා.

“ඉස්සර මං ආව කාලෙ මාව ට්‍රේන් කරේ ශානිකා කියල ගර්ල් කෙනෙක්”

මාලි කතාව පටන් ගත්තෙ දවල්ට කන්න ගියයින් පස්සෙ. කසුනි දවල්ට කන ගමනුත් කරන්නෙ එයාගෙ අකවුන්ට්ස් වල වැඩ මොනවද කියල ෆෝන් එකෙන් බලන එක. ඉතින් තමන් අනල කටට දාගන්නෙ මොනවද කියලත් කසුනි දැනගෙන හිටියෙ නෑ.

“ඇහුණද?” මාලි ආයෙම එහෙම කිව්වෙ මේ කතාව කසුනි අහන්නම ඕන එකක් හන්ද.

“ඔව්, මොකද්ද කිව්වෙ?”

ෆෝන් එක පැත්තක තිබ්බ කසුනිත් කතාවට ආව.

“ඉස්සර මං ආව කාලෙ මාව ට්‍රේන් කරේ ශානිකා කියල ගර්ල් කෙනෙක්, එතකොට එයා තමයි මගෙ මැනේජර් හිටියෙ. ඇත්තටම හොඳට වැඩ කල ලමේක්. ඔයා වගේම. ඒ උනාට ඔයාට වගේම එයාටත් සෑහෙන වැඩ තිබුනා.

ඒ ලමය ඉස්සර රෑ වෙනකම් ඔෆිස් එකෙ ඉඳල වැඩ කරනව. අපි ගියාටත් පස්සෙ රෑ වෙලා යනෙ. අන්තිමේ එයා වෙන ඔෆිස් එකකට ගියා. ඒ යද්දි කිව්ව දෙයක් මට මතක් උනේ.

ඔයා කසුනි වැඩ වලට ආදරෙයි.ඔයා හැන්ඩ්ල් කරන බ්‍රෑන්ඩ් වලට ආදරෙයි. ඒ නිසාම කවුරු මොන දේ කිව්වත් ඒ දේ තමන්ට කරන්න අමාරුයි, ලොකු ප්‍රෙශර් එකක් කියල දන්නව උනත් ඔයා වර්කොහොලික් සහ බ්‍රෑන්ඩ් ලෝයල්ටි එක නිසා ඒ වැඩේ අරගන්නව. වැඩ අනල පුරුද්දක් නැති හන්ද වැඩේ හොඳටම කරන්න පුදුම විදියට මහන්සිත් වෙනව.

ඔයාට ඒකෙන් ලැබෙන මානසික සතුට හරියට විඳින්න කලින් කට්ටිය ඔයාගෙ වැඩ හොඳ නිසා තව වැඩ ලොට් එකක් දෙනවා. මොකද ඔයා වැඩ වලට ඇබ්බැහි වෙලා ඉන්න බව කට්ටිය දන්නවනෙ.

ඔයා වැඩ කරන්න කැමති උනාට කමක් නෑ.  වැඩ වලට ඇබ්බැහි වෙන්න එපා.

ඉස්සෙල්ල ඔයා ඔයාට ආදරේ කරන්න. ඔයා ඔයා ගැන හිතන්න. මොන වැඩේ කරන්නත් ඔයා හොඳින් ඉන්න ඕනනෙ. ඒ නිසා වර්කොහොලික් උනාට කමක් නෑ, බ්‍රෑන්ඩ් ලෝයල්ටි උනාට කමක් නෑ. ඒත් ඒ කිසිම දේකට ඔයාව යටත් කරගන්න දෙන්න එපා.

හැමදේටම වඩා ඔයා ප්‍රයොරිටි එක දෙන්න ඕන ඔයාට. එහෙම කරන්න හිතපු දවසට ඇත්තටම ඔයාට පුලුවන් වෙයි මැනේජ්මන්ට් එක උනත් ඔයා ඉන්න සිටුවේශන් එක තේරුම්ගන්න පුලුවන් තැනකට අරගෙන එන්න”

මාලි එහෙම කිව්වම කසුනි හිනා වෙලා එයාගෙ බත් එකේ තිබ්බ බොංචි ටිකක් මාලිගෙ පිඟානෙන් තිබ්බා.

“ඔයා කිව්ව එක හරි. මම බොස්ට ගිහින් කියනව. ඊ මැක් එකේ කැම්පේන් එක රන් කරන්න ඕන නම් වෙලාවට අනිත් බ්‍රෑන්ඩ්ස්වල වැඩ ටිකක් වෙන අයට දෙන්න එහෙම නැත්තම් කැම්පේන් එක වෙන කෙනෙක්ට දෙන්න කියල”

මාලි හිනා උනාව කසුනි එයාගෙ අත මාලිගෙ අත උඩින් අරගෙන තිබ්බා.

“තැන්ක්‍යු”

ඒ වචනෙ ඇතුලෙ කතා දාහක් හැංගිල තිබ්බා.

More Stories

Don't Miss


Latest Articles