මා හිස පිරිමැද 31

ප්‍රභාතය උදා වී තිබුණේ ය. සුදු වූ ජනේල වීදුරු අතරින් ළපටි හිරු රැස් කැදලි කාමරයට කාන්දු වෙමින් තිබිණ. උදෑසන හයයි තිහත් පහු වෙමින් ඇති බව බිත්ති ඔරලෝසුව සනිටුහන් කරයි. එහෙම දිගු නින්දක් ලැබූයේ විදුර අතුරුදන් වූවාට ම පස්සේ ය. ඉන් අනතුරුව එළඹි පළමු සුබාරංචිය ලැබුණේ පෙර දා ය. ඒ මුදු මොළොක් කිරි සුවඳ සිහිනය මා සුවෙන් නිදි ගන්වන්නට ඇත. 

මම යහනෙන් බහින්නට ගියෙමි. අතුණුබහන් කලතාගෙන ඔක්කාරයක් ඉහළ නැගී ආවේ කිසි සේත් මා බලාපොරොත්තු නොවූ ලෙසට ය. එහෙම ම මම නාන කාමරයට දිව ගියෙමි. වමනය බැහැර වූයේ පපුව රිදවා ගෙන ය. මම මගේ ම අතකින් උගුරත් පපුවත් අතරේ පිරිමැද ගතිමි. ඇස් වලින් කඳුළක් ගිලිහිණි. විදුර පිට පිරිමදින්නා බඳු මායාමය ස්පර්ශයක් මට දැනුණේ ය.

“නංගි…ඇයි…”

අක්කා නාන කාමරයට දිව ආවා ය. සෝදා ගත් මුහුණේ තෙත පිටින්, මගේ දෙතොල් පෙති ලිහී සිනහවක් පිපිණි. මා සිනහ වන්නේ කෙසේ ද? මේ විදිහට සිනහ වන්නේ කෙසේ ද? 

“වොමිට් වුණා”

මඳහස් මල අතරින් ම මුමුණමින් මම කාමරය දෙසට ආවෙමි. අක්කා ද මා සමගින් ම ආවා ය. 

“ඔයා මහන්සි වෙනව වැඩී නංගි. ඔරොත්තු දෙන්නැති තරං දැන් ඔයාට ටයර්ඩ්. ටිකක් රෙස්ට් කරන්න පැටියො. ඔයා වෙනුවෙන් මං විදුරගෙ ගෙදර ගිහිං එන්නංකො දවසකට දෙකකට සැරයක්”

යහන මත හිඳ ගනිමින් පිටේ එල්ලන මගේ කුඩා ලෙදර් බෑගය මම  උකුලට ගතිමි.

“එහෙම වෙහෙසක් නෙවේ අක්කෙ”

මගේ ඇස් දිළිසෙන්නට ඇත. වෛද්‍යවරයා ලබා දුන් තුණ්ඩුව මම අක්කා ගේ ඇස් ඉදිරියේ රැඳවීමි.

පොසිටිව්!

ඒ ඇස් ලොකු වී නළලේ රැල්ලක් ද නැංවිණි. අක්කා සිය දෑසින් මා අවශෝෂණය කරගන්නට සෙයින් බැලුවා ය.

“විදුරගෙ බබා ඇවිත් අක්කෙ. මට දැන් එයා වෙනුවෙන් ෆයිට් කරන්න තව හේතුවක් තියනව. තව හයියක් තියනව. මට දැන් තනි නෑ”

අක්කා මා වැළඳ ගත්තේ අසුරු සැනෙනි. එය ඉතා දැඩි වූ ග්‍රහණයකි. උණුහුම් වූ ග්‍රහණයකි. මා සිතුවේ ඇය මේ ආරංචිය අසා කලබල වනු ඇත කියා ය. පෙර දා රාත්‍රියේ ම ඒ බව නො කියා සිටියේ ද එබැවිනි. අපේ හිත් වලට තියෙන කරදර ඇති ය. අක්කා ද දික්කසාද නඩුවත් එක්ක හැප්පෙමින් මේ දින වකවානු ගත කළේ හිතේ කරදරයෙනි. ඒ හිත මත තවත් බරක් පටවන්නට පෙර මා සිතිය යුතුව තිබිණි. නමුත් මා බලාපොරොත්තු නොවූ සතුටකට ඒ ආරංචිය ඇය කැඳවාගෙන ගොස් තිබේ.

“අනේ ශෝක් නංගි…බබෙක්…දෙයියනේ…හීනයක් වගේ”

අක්කා ගේ ඇස් වල කඳුළක තෙත විය. ඒ අතරින් ඇය සිනහ වෙත්දී තෙත් වූ ඇස් පියන් දේදුනු රටා ඇඳී ය.

“ඒ කියන්නෙ ඔයා මට බණින්නැද්ද…”

“බණින්න වෙන්නෙ එයා අපිට කරදරයක්නංනෙ…ඒත් කොච්චර ශෝක්ද දෙයියනේ…බලාපොරොත්තුවක් කියල දෙයක් නැතුව කර වෙලා ගිය අපේ ජීවිත වලට එයා එන එක මොන තරං සතුටක් ද…අනේ…බබෙක් කියන්නෙ මොන තරං වස්තුවක්ද…හශාන්ගෙන් මට බබෙක්වත් ලැබුණනං මං ඕන දුකක් දරා ගෙන එයා එක්ක ඉන්න තිබුණා. එහෙම හීනයක්වත් දකින්න නැතුව හිටිය මට…ඔයාගෙ බණ්ඩිය ඇතුළෙ පැට්ටෙක් ඉන්නව කියන එක…අපි එයාව හොඳට බලා ගමු…ලස්සනට හදමු. කොල්ලෙක් වුණොත්ද හොඳ කෙල්ලෙක් වුණොත්ද…කවුරු වුණත් කමක් නෑ අප්ප. එයානං අපිට සතුටු ලෝකයක් වෙයි”

ඇය පුදුමාකාර සතුටකින් කියවා ගෙන ගියේ මගේ කුස පිරිමදිමිනි. බබෙක් ගැන ආරංචිය දැන ගත් මොහොතේ පටන් ම ඔහු ට ආදරය කරන්නට අත්තම්මෙක් ද නැන්දලා තුන් දෙනෙක් ද ලොකු අම්මා කෙනෙක් ද ඉදිරිපත් වී සිටිති. එක අතකට මේ අප සියලු දෙනා ගේ ම ජීවිත දරුණු නියං සායකට හසුව ඇති සමයෙකි. කල්ප කාලයකින් වැසි පොදක් නො ලැබ වියළී ඉරි තලා ගිය පොළොවක් සේ අපි කඨෝර ජීවන පරිච්ඡේදයක් තරණය කරමින් සිටියෙමු. මේ සුදු ඇත් පැටවා ගැන ආරංචිය වූ කලී එහෙව් නිරුදක පොළොවක් මත්තේ ඇද හැලෙන්නා වූ ප්‍රථම සිරිපොදය වාගේ එකකි. එය සරුසාර වස්සානයක් ගැන ඉඟි බිඟි පළකර සිටී.  

“හැබැයි අම්මටනං දැනගන්න තියන්නැතුව ඉමු”

අක්කා එසේ කීවේ රහසින් වාගේ ය. කිසිවෙකුට ඇසේදැයි සැක හැර දැන ගන්නට කාමරයේ දොර දෙස ද බලමිනි.

“දැනගත්තොත් දුම්මල වරම අතට අරං කෑගහයි. මේ රත්තරං පැටියත් බය වෙයි. ඊට වඩා මොන මොන දුෂ්ටකං කරන්න හදයිද දන්නෑනෙ. එයාට මුකුත් කරන්න බැරි වෙනකල් මෙයාට නිදහසේ හැදෙන්න අරිමු. හැබැයි ඊට පස්සෙ තමයි වජිරපාණී වික්‍රමබාහු යස පාඩමක් ඉගෙන ගන්නෙ. මොන සෙල්ලං දැම්මත් එයා කොහොමද දරුවෙක් එක්ක එයාගෙ දුවව ලොකු බිස්නස්කාරයෙක්ගෙ කරේ එල්ලන්නෙ…ඊටත් හපං තාත්ත නැති දරුවෙක් එක්ක දුවෙක් ගෙදර ඉන්නවය…දික්කසාද වෙච්ච දුවෙක් ගෙදර ඉන්නවය කියන එක එයාට මොන තරං ලැජ්ජාවක් වෙයිද…ඇත්තමයි අපේ අම්මට පිස්සු හැදෙයිද දන්නෙත් නෑ”

“එයා තේරුං ගන්න ඕනෙ එයාගෙ නරක බලපෑම් නිසා තමයි හුඟක් දේවල් නරක් වුණේ කියල. ඔයාට හර්ෂ අයියව බඳින්න නොදී එයාට ඕන දේම කළා. වැඩක් වුණාද…විදුර එක්ක කොහොමත් එයා හිටියෙ කේන්තියෙන්නෙ. මං එයත් එක්ක තියන අෆෙයා එක ගැන දැන ගත්තහම අම්ම හරි සියුම් විදිහට පලි ගත්ත. තාත්තට ඩිමෙන්ශියාව..ඔයා ඩ්වෝස්ඩ්…එහෙම තියෙද්දි එයා මගෙ ජීවිතෙත් විනාස කරන්න හදනව. ඇයි අම්මට තේරෙන්නැත්තෙ බලයට වඩා දෙයක් සතුට ඇතුළෙ තියෙනවයි කියල…”

“අපි බලමු. කොහොමත් අපි මේ පැටියටනං යක්ෂ බැල්මවල් වැටෙන්න නොදී බලාගමු”

එය අප අපට ම වූ පොරොන්දුවකි. 

විදුර ගේ සටහන් පොත මා අතට පත් වන්නේ මේ කාලයේ දී ය. අත පත් මොහොතේ හැල්මේ මා එය කියවා ගෙන ගියේ වක්කඩ කැඩුවා වාගේ කඳුළු දෝරෙ ගලා යත්දී ය. ඔහු මට ආදරය කළ බව මම දැන සිටියෙමි. නමුත් ඔහු මට ඒ තරම් ම ආදරය කළ බව මා දැන ගත්තේ ප්‍රථම වතාවට ඒ සටහන් කියවූවාට පස්සේ ය. එයින් පසුවත් බොහෝ වාර ගණනක්, ජීවිතයේ යම් යම් සන්ධිස්ථාන වල දී මම ඒ සටහන් කියැවීමි. එහැම වතාවක ම මගේ ඇස් තෙත් කරන්නට ඒ මතක සමත් වී ය.

“මං දන්නෑ ඇයි විදුර මේක මට දුන්නෙ කියල. සමහර විට…එයාට මෙහෙම වෙයි කියල එයා බලාපොරොත්තුවෙන් හිටියද දන්නෑ. කවදහරි එයාට මොනාහරි වුණොත් ඔයාට මේක දෙන්න කියල තමයි මට කිව්වෙ. මේක ඔයාට දෙන්න මේ සුදුසු වෙලාවද නැද්ද කියලත් මට හිතා ගන්න බෑ. විදුර ආවොත් මට බණීද දන්නෙත් නෑ දැන්ම ඇයි මේක ඔයාට දුන්නෙ කියල. ඒ බැන්නත් කමක් නෑ එයා ඉක්මනට එන්නයි ඕනෙ. එයාගෙ ආදරේ කොච්චරද කියල දැනගන්න මේක තියෙන්න ඕන මං ළඟ නෙවෙයි ඔයා ළඟ කියල මට හිතෙනව”

පොත මා අතට පත් කරමින් ෂයිනි කීවා ය. මා ඒ මොහොතේ කෙතරම් හැඟුම්බර ව සිටියේ ද යත් ඇයට ස්තූති කරන්නට හෝ මට සිහි වූයේ නැත.

“යම් දිනෙක මගේ ජීවිතය දේශපාලකයන් ගේ මැරයන් අතින් නිමාවට පත් වන්නට හෝ මා සදාකාලික දේශපාලනික සිරකරුවෙකු වන්නට හෝ ඉඩ තිබෙන බව මම දන්නෙමි. මා තිසුරි ගේ මව මුණගැසෙන්නට යාමට තීරණය කළේ ඒ දිනය ඉක්මන් වේවිද යන පැනය මගේ හදවත විසින් ම විමසා සිටිත්දී ය. නමුත් ප්‍රේමය සියල්ලට වඩා ඉහළින් පවත්නා බව දැන් මම ප්‍රත්‍යක්ෂ වශයෙන් දන්නෙමි. තිසුරි කෙරේ බැඳි ප්‍රේමය නිසාවෙන් මරු කටට වුව යන්නට තරම් මා එඩිතර ය. ඇතැම් විට එය අනුවණ තීරණයක් සේ යම් කිසි දිනෙක තිසුරි වුව සිතන්නට බැරි නැත. එසේ නොකළත් සිදු වන්නේ මට ඇය අහිමි වෙන එක ය. ඇය අහිමි වී මගේ දිවිය පමණක් ඉතිරි වී කුමට ද? දැන් මගේ ජීවිතයත් මරණයත් දෙක ම ඇය ය.”

ඒ සටහන් පොතෙහි තිබී මා වඩාත් කීරි ගැස්වූ තැන් කිහිපයක් මම නැවත නැවත ද කියවීමි. රටට අප්‍රමාණව ආදරය කරන පිරිමියෙකු, මවට අසීමිත ව ආදරය කරන පිරිමියෙකු, සිය පෙම්වතියට හෝ බිරිඳට සියල්ල අභිබවා ආදරය කරන බව මා අසා තිබේ. විදුර ගේ ප්‍රේමය එබඳු ය. මට ඔහු සදාකාලික වීරයෙකු සේ ම සදාකාලික පෙම්වතෙකු ද වී තිබේ.

දින සති ගෙවී ගියේ විදුර ගැන ආරංචියකට ඉඩක් නො තබා ය. මම පොලීසි ගානේ ගිහින් පැමිණිල්ල යළි යළි මතුපිටට ගන්නට පෙළඹවීමි. නමුත් පොලීසියෙන් යමක් බලාපොරොත්තු විය නො හැකි බව ද මට අවබෝධ වෙමින් තිබිණ. ඔහු ගැන විමසන අතරේ ම පුංචි විදුර ගැන ද මා සැලකිලිමත් විය යුතු ව තිබිණ. මා හා විදුර වෙනුවෙන් බබාගේ නැන්දලාත් ලොකු අම්මාත් ඒ වගකීම කරට ගෙන සිටියහ. නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත මා යොමු කළේ ද මගේත් ඔහු ගේත් සොයුරියන් එක් වී ය. ප්‍රථම ස්කෑන් පරීක්ෂණය ලා නිල් පාට සිහිනයක් බඳු එකකි. යහන මත්තෙහි වන තිරය මත බිළිඳු කළලයේ පැහැදිලි නැති රූපරාමුවක් වෛද්‍යවරයා විසින් පෙන්වා සිටින ලදී. කළලය බබෙකු ලෙස හැඳින ගන්නට මා අපොහොසත් වී ද පපුව පිරී ගිය මාතෘ ස්නේහය මට මොනවට හැඳිනගත හැකි විය.

“පුතෙක්ටද ආස දුවෙක්ටද…”

වෛද්‍යවරයා සිනහ වෙවී ඇසුවේ ය.

“පුතෙක්ට”

මම මිමිණුවෙමි.

“තාත්ත වගේ පුතෙක්ටද..”

ඔහු තරමක් හඬ නගා සිනහ විය. මගේ ඇස් මත, විදුර වෙනුවෙන් හද නිධානයේ ගොනු වූ හැම ආදර අංශුවක් ම ඒකරාශී වී දිස්න දෙන්නට ඇත. මම වියළී ගිය යටි තොල සපා ගෙන සිනහ වූයෙමි.

දරුවෙකු වෙනුවෙන් වඩාත් ම සූදානම් වූයේ අක්කා ය. ඇය ගෙයින් පිටතට යන බොහෝ අවස්ථා වල යළි පැමිණියේ ළදරු ඇඳුම් හෝ සෙල්ලම් බඩු හෝ වෙනත් ආයිත්තම් කිහිපයක් සමග ය.

“අම්ම දැක්කොත් අහයි කාටද කියල”

රහසිගත සිනහවකින් මම කොඳුළෙමි.

“මට කියනව. මගෙ බබා එන්න ළඟයි කියනව”

අක්කා උස් හඬින් සිනහ වූවා ය.

“බබාට නම් ටිකක් හොයල තියාගන්න ඕන”

“තාම ඕන නෑ අක්කෙ. තාම මගෙ බණ්ඩියෙ බබෙක් ඉන්නවද කියලවත් පේන්නෑ. අනික…විදුර ලස්සන නමක් දායි”

බලාපොරොත්තු සහගත දවස් අතරේ එක හවසක අම්මා මතු මහලට ආවා ය. ඇය නිකංම එහෙම නො එන බව අපි අත්දැකීමෙන් දැන සිටියෙමු. 

“අපිට හෙට ගමනක් යන්න තියනව”

ලා සිනහවකින් අම්මා කීවා ය. මම අක්කා දෙස බැලුවෙමි. ඇයත් එවෙලේ ම මදෙස බැලුවා ය. අම්මා කියන්නට යන්නේ කුමක් ගැන දැයි සිතා ගත නො හැකි වූයේ ඇගේ මුවග වන සිනහව කපටියි කියා මට දැනුණ නිසා ය.

“ගමනක්…”

අක්කා ඇස් කුඩා කොට බලමින් ප්‍රශ්න කළා ය.

“කොහෙද…”

“කොහෙද කියල දැනගන්න පුළුවන්. යංකො”

“අනේ අම්මෙ මේ…මටනං ඔය විනෝද ගමං වලට සහභාගී වෙන්න විදිහක් නැති වෙයි. ඔයා දන්නවනෙ මං ඉන්නෙ හුස්ම ගන්න බැරි ප්‍රශ්නෙක හිරවෙලා කියල. විදුර ඉන්න තැනකින් ආයෙ ආව දවසක තමයි මගෙ ජීවිතේ ඉස්සරහට අඩියක් තියන්නෙ. එතකල් මට කරන්න තියෙන්නෙ එයා එනකල් බලං ඉන්න එක විතරයි”

“තිසුරි. මෝඩ ළමයෙක් වගේ හැසිරෙන්නෙපා. ඔයා නොදන්නව නෙවෙයිනෙ. මේ රටේ ජර්නලිස්ට්ල කී දෙනෙක් අතුරුදහන් වෙලා තියෙනවද…කී දෙනෙක් ම රල දාල තියෙනවද…ඒ ගිය ඈයො කවදාවත් ආයෙ ඇවිත් නෑ. ටිකක් අමාරු වුණත් මේ ඇත්ත තේරුං ගන්න තිසුරි. ඒ ඇත්තට මූණ දෙන්න”

“විදුරට මොනා හරි කරල තිබුණොත්…”

මා අසුනෙන් නැගී සිටියේ අම්මා වෙතට තර්ජනාංගුලිය දිගු කරමිනි. එය මුළු මහත් මා කළඹවාගෙන නැගී ආ ආවේගයකි. අක්කා මා අසුනෙහි හිඳවූයේ සන්සුන් වන්නැයි ඇස් වලින් ඉඟි කරමිනි. මගේ කුස තුළ වැඩෙනා විදුර ගේ ආදරය වෙනුවෙන් මම ඉවසා ගතිමි. අපේ දරුවා බියපත් වන ලෙස කලකෝලාහල කළ නො හැකි ය.

“හරි අම්ම කියන්නකො කොහෙ යන්නද අපිට කතා කරන්නෙ කියල”

අක්කා ඉවසිලිවන්ත ව දෙඩුවා ය. අම්මා මදෙස බලනු දැනී මම ඉවත බලා ගතිමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles