රියැලිටි

පාරමී දවස් කිහිපයක් ම කාමරෙන් එලියට බැස්සේ නැති තරමයි. නාගන්න කාමරෙන් එලියට ආවේ දවස් දෙකකට පස්සේ. කාමරේ හිටියත් කලේ ඇඳට වෙලා ගුලි වෙලා හිටපු එක. අම්මා බලෙන්ම කවපු බත් කටක් ඇරෙන්න තනියෙන් හිතලා වතුර උහුරක්වත් බොන්න පාරමීට ඕනෑකමක් තිබුණේ නැහැ. 

ඉරිදා රෑ මුලු ලංකාවේ ඇස් යොමු වෙලා තිබුණේ දැවැන්ත ගායන තරඟාවලියක අවසාන මහා තරඟේ දිහාවට. පාරමී අවසාන තරඟකරුවන් පස් දෙනා අතරින්, අන්තිම දෙන්නටම සුදුසුකම් ලබලා හිටියේ. පාරමී වගේම අනෙක් තරඟකාරිය වුණ අයේශ්මාත් හොඳින්ම ගායනා ඉදිරිපත් කල නිසා ජයග්‍රහණය ගැන අනාවැකි කියන්න ඉඩක් තිබුනේත් නැහැ.  තමන්ගේ ගායනය ගැන බලාපොරොත්තු සෑහෙන්නම තිබුන නිසයි, තමන් වෙනුවෙන් සෑහෙන්න තරමක එස් එම් එස් ලැබේවි කියන විශ්වාසය නිසයි පාරමී හිටියෙත් ජයග්‍රහණය ගැන බලාපොරොත්තු තියාගෙන.

ඒත්, එකපාරටම ජයග්‍රාහිකාව දිදියට අයේශ්මාගේ නම කියවෙනකොට පාරමී මොහොතකට නිසොල්මන් වුණා. ඒ මොහොතේම් අයේශ්මා තමන් දිහාවට හැරිලා තමන්ව වැලඳගන්න උත්සාහ කරනවාත් පාරමී දැක්කා. එවෙලේ ප්‍රේක්ෂකාගාරයේ තිබුන මහා ඝෝෂාවයි, නිවේදකයා ගේ උස් හඬයි, තමන් දෙදෙනාව මැදි කරගෙන වැටෙන ඊයම් කොම කැබලියි අතරේ පාරමී මොහොතක අතරමං වුණා.   පියවි සිහියට එළඹුණේ තව විනාඩි ගානකින්.

“මම තරඟයේ  දෙවෙනියා….”

පාරමී දෑස් පියාගෙන ඒ බව අවධාරනය කර ගත්තා.  ඊට පස්සේ තමයි අයේශ්මාගේ ජයග්‍රහණය වෙනුවෙන් සුභ පතලා සාමාන්‍ය වුනේ. 

එදා අවසාන මහා තරඟය අවසාන කරලා ගෙදර ආව පාරමිට මුහුණු පොතේ තැනින්තැන ඇලවුණ ලියමන් දකින්න ලැබුනේ අහම්බෙන්. ඒ හැම එකේම තිබුණේ පාරමීගේ කුහකකම ගැන. පාරමී අතිශය කුහක කෙනෙක් බව.  අයේශ්මාගේ ජයග්‍රහණය වගේම තමන්ගේ පරාජයත් මේ වෙලාව වෙනකොට සිදුවෙලා අවසන් බව තේරුම් අරගෙන හිටපු පාරමීව උස්සලා පොලවේ ගහන්න මේ ලියමන් වලට පුලුවන් කම තිබුණා.

පාරමී ජංගම දුරකතනය විසන්ධි කරලා දාලා, කාමරේ අස්සට ගුලි වුනේ ඒ විදියට. දවස් හතරකට පස්සේ අයේශ්මයි, තරඟය ඇතුලේ උන්න අනෙක් තරඟකාරියොයි, තරඟකරුවනුයි පාරමී හොයාගෙන එනකොට පාරමී හිටියේ අඳුරු ගුහාවක හිර වෙලා වගේ. 

සමිත් පාරමී ළඟින්ම වාඩි වුණා. 

” කුහකකම කියන්නේ මොකක්ද කියලාවට්බ් දන්නේ නැති මිනිස්සු ලියන එව්වට හිත රිද්දගන්න පිස්සුද පාරෝ…”

සමිත් ඇහුවේ එච්චරයි.

” මේ තරඟේට අපි හැමෝම ආවේ දින්න බලාගෙන… අපේ දිනුම අනෙක් කෙනාට පරිත්‍යාග කරලා සතුටු වෙන තරමට මානසිකත්වයක් අපි කාටවත්ම නෑ… ඉතින් අච්චර ස්ටේජ් එකක් උඩ,ඒ සද්දේ මැද, ඔයා නෙවෙයි මෙඩ්ල් එක දිනුවේ කියලා ඇහෙනකොට ඒක දරාගන්න එක ලේසි නෑ…”

පාරමී ඔලුව උස්සගෙන කතා අහගෙන හිටියා. අම්මා හදාගෙන ආව දොඩම් යුශ වීදුරු කට්ටිය බොනකොට පාරමීත් බිව්වා. 

“ඔය ලියන උන්ට ඕනි දෙයක් ලියන්න පුලුවන් .. ඒක උන්ගේ අයිතිය.. ඇයි අපි ඒවා අදාල කරගන්නේ…?”

තව කෙනෙක් කිව්වා.

“මේකෙන් ඔයා මෙච්චර වැටිලා කියල දන්නවානම්, මං පහුවෙනිදම මෙහෙ එනවා පාරෝ…සත්තයි…”

අයේශ්මා පාරමී ළඟ බිමින් ඉඳගෙන දෑතම අල්ලගෙන කියනකොට පාරමී හිනා වුනා.  

“ඔයාට අමාරුම වගේ නම් හිතට අපි කවුන්සලර් කෙනෙක් මුණ ගැහෙමු… ඒත්, දැන් ඉස්සරහට මීට වඩා දේවල් වලට අපට මූණ දෙන්න වෙනවා කියලත් මතක තියාගමූ….”

සම්ත් ආයෙම එහෙම කිව්වා. පාරමී පොදුවේ ඔලුව වැනුවා. 

ඔද්දල් වෙලා තිබුන හිතට, සුවයක් දැනෙන බව දැන් පාරමීට දැනෙනවා. ඒ නිසාම පාරමී ලොකු හුස්මකින් හිතේ තිබුණබර බිමට දැම්මා. 

බාහිර සමාජේ තමන්ව තුවාල කරන්න උත්සාහ කරත්, ඒවාගෙන් ගැලවිලා ඉන්න හය්ය  තියාගන්න ඕනි තමන් ළඟම බව පාරමී ආයෙ ආයෙම තමන්ටම අනිවාර්යයෙන් අවධාරණය කරගත්තා.

| අපේක්ෂා ගුණරත්න | 

More Stories

Don't Miss


Latest Articles