කෙට්ටු කෙල්ල

“මේ ෆොටෝ එක හරියට අරන් නෑ සමීර.අනේ ආයේ ගන්නවද?”

මල්ෂා සමීරගෙන් ඇහුවේ ආදරෙන්.විනෝද චාරිකාව අතරමැද ලස්සනම තැනක හැමෝම ඡායාරූප ගන්නේ පුදුමාකාර ආසාවකින්.ඒත් සමීර අරන් දෙන එකම එක ෆොටෝ එකක්වත් පිළිවෙලකට නැති වීම නිසා මල්ෂාට දැනුණේ දුකක්.

“මං හරියට අරන් නෑ නෙවෙයි.තමුසෙ කැතයි.ඒකයි අවුල..”

සමීර පුලුවන් තරම් නපුරු හඬින් එහෙම කිව්වේ මල්ෂාව අසරණ කරමින්.ඒත් සමීර ගන්න ඒ ඡායාරූප එක්කෝ ඇයගේ දෑස් පිය වුණු වෙලාවක්.නැත්නම් මල්ෂා අහක බලාගෙන.එහෙමත් නැත්නම් සමීරගේ කෝණයට හිරු එළිය බාධා කරලා.ඒත් සමීර ඒ එකක්වත්ම පිළි ගන්න ලෑස්ති නෑ.

“වෝට ෆෝල් එක ගාව ඉරට්ටක් හිටෝලා වගේ.ඇඟ මෙලෝ හැඩක් නෑ.ඉතින් ෆොටෝ ලස්සනයිද?”

සමීර එහෙම අපහාස කරනකොට මල්ෂා එතැනින් යන්න ගියේ වේදනාවෙන්.තවත් මිතුරියක් ඇගේ ඡායාරූප කිහිපයක්ම අරන් දුන්නා.ඒ හැම එකක්ම ලස්සන වීම නිසා මල්ෂාගේ හිතේ වේදනාව යම් තරමකින් පහව ගියා

ඒත් ඒ හැමදාටම නෙවෙයි.මල්ෂා කැත බව අහලම ඇයට සමීරව එපා වෙන්න පටන් අරන් බොහෝ දවසක්.කෙට්ටු ගෑනු ළමයෙක් වීම නිසා ඇය හිතවත් මිතුරියන්ගේ ආදරණීය ඉරිසියාවට ලක් වෙන තැන් බොහොම වැඩී.ඒත් ඇයට කවදාවත් සමීරගෙන් හොඳක් අහන්න ලැබුණේ නෑ.

“පොඩිකාලේ මන්දපෝෂණේ තිබ්බද මල්ෂා ඔයාට?”

සමීර එහෙම අහනකොට මල්ෂා මොකුත්ම නොකියා හිනා වෙන්නේ ඇය සමීරට ආදරේ නිසා.

“පිට ලෑල්ල වගේ ඉන්න ඔයා වෙඩින් ෆොටෝස්වල පුදුම කැතට ඉඳී..”

සමීර එහෙම කිව්වෙ විවාහ උත්සවයට සූදානම් වෙන්න මල්ෂා ඔහු සමඟ කතා කරනකොට.

“ඔයාට පිස්සුද සමීර.අනිත් කෙල්ලො අර ඩයට් ප්ලෑන් මේ ඩයට් ප්ලෑන් කර කර කෙට්ටු වෙන්න ට්‍රයි එක.මගෙ ඇඟට එයාලා ඉරිසියාවයි..ඔයාට තමා මෙහෙම කියන්න හිතෙන්නෙ.”

මල්ෂා එහෙම කිව්වේ ඉවසන්නම අමාරු තැනට ආව නිසා.ඒත් පහත් විහිළුවක් කරලා උස් හඬින් හිනා වෙන්න සමීර වග බලා ගත්‍තා.

“ගෑනියෙක් ඕන සෙක්ස් කරන්න විතරද සමීර.ඒ ගෑනි හොඳ මහතට ඉන්න ඕන ඔයාගෙ ආසාවල් ඉෂ්ට වෙන්නද”

මල්ෂා කේන්තියෙන් ඇහුවේ ඒ කතාව උහුලා ගන්න අපහසු වුණු හින්දා.ඒත් සමීර කරේ මල්ෂාව උපහාසයට අරගෙන මහ හයියෙන් හිනා වෙන එක
විතරයි.මල්ෂාගේ කෙට්ටු අතපය මොනතරම් කැත ද කියලා වගේම නොවැඩුණු පියයුරු සහිත ඇයට යට ඇඳුම් අනවශ්‍ය බව සමීර කියනකොට මල්ෂාට තමන් ගැන ආත්මානුකම්පාවක් දැනුණා.

“ඔයා මට ආදරේ කරන්න පටන් ගන්නකොට මගෙ කෙට්ටුව ප්‍රශ්නයක් වුණේ නෑනෙ.”

මල්ෂා එහෙම අහනකොට කිතුලට ගිය මිනිහට වගේ සමීරට අපූරු උත්තර තිබුණා.ඔහු ඇත්තටම ඒ කාලේ ඇයව ලස්සනට දුටුව බව නොකියා ඉන්න සමීර ප්‍රවේසම් වුණා.

“ඒ ඇයි දන්නවද? මං හිතුවා ඔයා මහත් වෙයි කියලා.”

තමන්ගේ සිරුරට නොනවත්වාම අපහාස කරන කෙනෙක් එක්ක ජීවිතේ ඉදිරියට යන එක තමන් තමන්ට කරන අසාධාරණයක් කියලා මල්ෂා හිතන්න පටන් ගත්තේ සමීරගේ අපහාස කෙළවරක් නැති නිසාමයි.මානසික නිදහසක් සැනසීමක් නැති තැනක ආදරයක් නොපවතින බව මල්ෂාට ටික ටික තේරුම් යන්න පටන් ගත්තා.

“සමීර,කැත කෙට්ටු ගෑනු ළමයෙක්ට ආදරේ කරලා ඔයාගෙ කාලෙ නාස්ති කරගන්න එපා.අපි මේ සම්බන්ධෙ නවත්තවලා දාමු.”

මල්ෂා හිත හදාගෙන එහෙම කිව්වේ තවදුරටත් අපහාස විඳින්න තමන්ට ශක්තියක් නැති බව තේරුම් ගත්තු නිසා.අනිත් කාරණාව ඇගේ ලස්සන හැමෝම කියද්දී සමීර එහෙම කියන්නේ ඇයව පහත් කරන්න හේතුවක් හොයාගෙන බව මල්ෂාට තේරෙන්න පටන් ගත්තා.

“මං මෝඩකමක් කර ගත්තා මිසක් ඔයා වගේ කැත කෙල්ලක් කවුරුත් කසාද බඳින් නෑ..”

සමීර එහෙම කියද්දී මල්ෂා නිහඬ හිනාවකින් ඒ කතාව දරා ගත්තා.සමීර ඒ නිසා තවත් කෝපයට පත් වුණා.

“ඔයාට නම් ආයේ කවුරුත් කැමති වෙන් නෑ.කෝටු මහගෙ.”

වසර කිහිපයක ආදර කතාවෙන් සමීර සමුගත්තෙත් එහෙම අපහාස කරන ගමන්.

විවාහයට සූදානම් වෙමින් ඉඳලා සමීර එක්ක සම්බන්ධය නවත්තපු නිසා මල්ෂා රැකියා ස්ථානයෙන් ඉවත් වුණා.සමීර එක්ක එකම තැනක රස්සාව කරන්න අපහසු නිසා ඒ තීරණය ගත්තු ඇය වෙන රැකියාවක් හොයා ගත්තා.ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයට ආදරේ කරන්න හිතමින් කෙළවරක් නැතුව සබඳතා අලුත් කරමින් සමීරගේ ජීවිතේ ගෙවිලා ගියා.

“අර මල්ෂා කොච්චර හොඳ ගෑනු ළමයෙක්ද? මැණිකකට පයින් ගැහුවෙ උඹ..”

සමහර රැවටිලිකාර ප්‍රේමයන්ගෙන් සමීර හති වැටෙනකොට මිතුරන් ඔහුට කිව්වෙ කලකිරීමෙන්.

“ඇත්තටම මල්ෂා කොහෙ ඇතිද?”

සමීරට එහෙම හිතෙන්න පටන් ගත්තේ කෙලවරක් නැති අපහාස කළේ ඇත්තටම තේරුමක් නැතුව වග හිතනකොට.

“අනේ මේ බලන්නකො ලස්සන..”

දවසක් කාර්යාලයේ ගෑනු ළමයි වටවෙලා බලන දේ ගැන හෝදිසියෙන් සමීරත් එතැනට ගියේ ඒ තරම් වර්ණනා කරන්නේ මොකක්ද කියලා හිතන ගමන්.සමීර පරිගණක තිරයට නැඹුරු වෙනකොට හැමෝම මුහුණට මුහුණ බලා ගනිමින් ඔහුට ඉඩ දුන්නේ සමීර දිහා අනුකම්පාවෙන් බලන ගමන්.

එහි හිටියේ මල්ෂා.ඒ ඇගේ විවාහයේ ඡායාරූප එකතුවක්.කෝටු මහගේ මොනතරම් ලස්සනද කියලා හිතෙනකොට ඡායාරූප එකින් එක බොඳ වෙලා පෙනෙන බව සමීරට හිතෙන්න පටන් ගත්තා.

More Stories

Don't Miss


Latest Articles