සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට හුරු වෙමු

සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පවත්වාගෙන යන්න නම් ඔබ අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමයි සමබර ආහාර වේලක් සහ පෝෂ්‍යදායී ආහාර ලබාගන්න එක. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට හුරු වීම මගින් ඔබට ඔබේ උසට සරිලන බර පවත්වා ගෙන යන්නත්, ලෙඩ රෝග වලින් තොර ජීවිතයක් ගත කරන්නත් හැකියාව ලැබෙනවා. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට හුරු වෙන්නෙ කොහොමද ? ඒ ගැන උනන්දුවෙන ඔබටයි මේ ලිපිය 

සෙමෙන් ආරම්භ කරන්න 

ඔබට ඕනෑම දෙයකට හුරු වීම එකවර කරන්න බැහැ. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට හුරු වීමත් ඒ වගේ. ඔබේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය කොහොමද කියන ඔබ මුලින්ම වෛද්‍යවරයෙකු ලවා හෝ පෝෂණවේදියකු ලවා තහවුරු කරගන්නට ඕනේ. ඉන්පසුව ඔබට ගැළපෙන ආහාර මොනවද කියලා ඔබ තීරණය කළ යුතුයි. ඒ අනුව ඔබට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට හුරු වීම ක්‍රම ක්‍රමයෙන් සිදු කරන්නට පුළුවන්

සැලසුම් කරන්න 

ඔබ කලබලයෙන් ආහාර සකස් කරන විට ඔබට කොහෙත්ම සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සූදානම් කර ගන්නට බැහැ. ඒ නිසා ඔබ කරන්නට ඕනේ ඔබේ හැම ආහාර වේලක්ම සැලසුම් කර ගැනීමයි. එවිට ඔබට පෙර සූදානමක් ඇතිව ඔබේ ආහාර වේල සකස් කර ගන්නට හැකියාව ලැබෙනවා

ස්නැක්ස්

බොහෝ දෙනෙක් ප්‍රධාන ආහාර වේල් වලට අමතරව ලබා ගන්නා snacks සඳහා රස කැවිලි, බිස්කට් ,කේක් වර්ග හෝ වෙනත් කෙටි කෑම වර්ග ලබා ගැනීමට හුරු වී සිටිනවා. නමුත් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට හුරු වෙන්න සිතන ඔබට මෙය එතරම් හොඳ පුරුද්දක් නම් නෙමෙයි. ඔබේ අමතර ආහාර වේල් , ස්නැක්ස් සඳහා පලතුරු , ධාන්‍ය බාර් වර්ග හෝ පෝෂ්‍යදායී කුකීස් වර්ග පරිභෝජනය කිරීම උත්සාහ කරන්න ඔබට පුළුවන්. 

වැඩිපුර වතුර 

ඉතා හොඳින් වතුර පානය කිරීම ඔබේ සෞඛ්‍යයට සෑම අතින්ම හොඳ ප්‍රතිඵල ලබා දෙනවා. විශේෂයෙන් ම වරින් වර කුසගිනි ඇති වීම වැළැක්වීම, ඔබ ලබාගන්නා ආහාර ශරීරයට හොඳින් අවශෝෂණය කර ගැනීම, ආහාර ජීරණ ක්‍රියාවලිය නිසි පරිදි සිදු කිරීමට උපකාරී වීම ආදී ප්‍රයෝජන රැසක් වතුර පානය කිරීම මගින් සිදු වෙනවා. 

වැඩිපුර ප්‍රෝටීන් 

ඔබේ කුසගින්න පාලනය කිරීමට සහ තෘප්තිමත් බව වැඩි කිරීමට protein වලට හැකියාව තියෙනවා. ඒ නිසා ඔබේ ආහාර වේලට වැඩිපුර ප්‍රෝටීන් එකතු කර ගැනීම හැම අතින්ම ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා කිරි ආශ්‍රිත නිෂ්පාදන , ඇට වර්ග , බිත්තර, රටකජු බටර් , මස් සහ මාලු වර්ග ඔබේ ආහාර වේලට වැඩිපුර එකතු කරගන්න ඔබට පුළුවන්. 

සම්පූර්ණ ධාන්‍ය පාන් 

ඔබ බොහෝ විට උදෑසන සහ රාත්‍රී ආහාර වේලවල් සඳහා සැන්විච් වර්ග අනුභව කරන කෙනෙක් නම් මේ සඳහා කොහෙත්ම සුදු පාන් භාවිතා කරන්න එපා. මෙය ඔබේ සෞඛ්‍යයට ඉතාම අහිතකර තත්වයන් ඇති කරන නිසා සම්පූර්ණ ධාන්‍ය වලින් නිපදවන ලද පාන්  , දුඹුරු පාන් හෝ සෞඛ්‍ය සම්පන්න පාන් වර්ග පමණක් පරිභෝජනය කරන්න 

සලාද 

ඔබට ඔබේ රාත්‍රී ආහාර වේල සඳහා සලාද වර්ග උත්සහ කරන්න පුළුවන්. ඒ සඳහා නැවුම් එළවළු , මස් වර්ග හෝ බිත්තර මාරුවෙන් මාරුවට භාවිතා කරන්න ඔබට හැකියාව තියෙනවා. එහෙම නැත්නම් ලැගුම් පලතුරු වලින් සකස් කරන ලද සලාදයක් වුණත් රාත්‍රී ආහාර වේලකට සුදුසු යි 

උදෑසන ආහාරය සඳහා බිත්තර

බිත්තර කියන්නෙ ඇදහිය නොහැකි තරම් සෞඛ්‍ය සම්පන්න ප්‍රෝටීන් වලින් පරිපූර්ණ ආහාරයක්. උදෑසන ආහාරය සඳහා බිත්තර යොදා ගන්නවා නම් ඔබට ඉතා ඉක්මනින් නැවත කුසගිනි ගැනීම ප්‍රමාද කරවනවා. උසස් තත්වයේ ප්‍රෝටීන් සහ තවත් බොහෝ අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වලින් සමන්විත බිත්තර ඔබට විවිධ ආකාරයෙන් ආහාරයට ගන්න පුළුවන් වගේම ඉක්මනින් සකස් කර ගන්න පුලුවන් නිසා උදෑසනට බිත්තර ආහාරයට ගැනීම හුරුවීම වඩාත් සුදුසුයි

අලුත් ආහාර වට්ටෝරු

බත් ආහාරයට ගැනීමට හුරු වී සිටින අපට ,සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට හුරු වීම සිතන තරම් පහසු නැහැ. ඒ නිසා ඔබේ ආහාර වේල තුළ විවිධත්වයක් සහ වෙනසක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඒ නිසා විවිධ සලාද වර්ග, සුප් වර්ග , පෝෂ්‍යදායී රොටි වර්ග ආදී අලුත් ආහාර වට්ටෝරු නිතරම උත්සාහ කරන්න.

පළතුරු යුෂ

පලතුරු , තන්තු , ප්‍රතිඔක්සිකාරක, විටමින් සහ ජලයෙන් පරිපූර්ණයි.  පලතුරු වැඩිපුර පරිභෝජනය කිරීම දෙවන වර්ගයේ දියවැඩියාව , හෘද රෝග , පිළිකා වැනි සමහර සෞඛ්‍ය තත්වයන් ඇතිවීමේ අවදානම අඩු කරනවා. පලතුරු වල තන්තු සහ විවිධ ශාක සංයෝග අඩංගු වන නිසා ඒවායේ ස්වාභාවික සීනි සාමාන්‍යයෙන් ඉතා සෙමෙන් ජීරණය වන අතර ඒවා රුධිරයේ සීනි මට්ටම ඉහළ යාමට හේතුවක් වන්නේ නැහැ. ඒ නිසා පලතුරු අනුභව කිරීම සහ පලතුරු යුෂ පානය කිරීම සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට හුරු වන ඔබට කරන්නට පුළුවන්. වෙළඳපළේ තිබෙන පලතුරු යුෂ වල අධික ලෙස සීනි අඩංගු වන නිසා නිවසේදීම සකස් කරගන්නා පළතුරු යුෂ පරිභෝජනය කිරීමටත් ඔබ වග බලා ගත යුතුයි. 

මෙවැනි ක්‍රම අනුගමනය කිරීම මගින් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට හුරු වන්න ඔබට පුළුවන්.

Related Articles

Don't Miss


Latest Articles