දත් කැක්කුමට නිවසේදීම කළ හැකි පහසු පිළියම්

ලොකු කුඩා වෙනසක් නැතුව අපි හැමෝටම ජීවිතේ එක් කාලෙකදි හරි මුහුණ දෙන්න වෙන ටිකක් අපහසු සිදුවීමක් තමයි දත් කැක්කුම් කියල කියන්නෙ. 

ආහාර ගැනීමේ අපහසුතාවයේ ඉඳලම නින්දට බාධා කරන හිසරදයක් දක්වාම වර්ධනය වෙන දත් කැක්කුම් වල වේදනාව නිසා ඔබත් හොඳටම පීඩාවට පත් වෙන්න ඇති. 

අපිට පෙනෙන්න වේදනාව දැනෙන දතේ වෙනසක් නොතිබ්බත් බොහෝවිට දත් වලට සිදුවෙලා තියෙන හානි ගැන කලින් ඉඟි දත් කැක්කුම ඇතිවීමෙන් අපිට දැනුම් දීම සිදුකරනවා. 

අන්න ඒ නිසයි සුදුසුකම්ලත් දන්ත වෛද්‍යවරයෙක්ව මුණ ගැහිල ඒ පිළිබඳ විමසීම අනිවාර්ය බව අපි ඔබට මතක් කරන්නෙ. 

නමුත් හදිස්සියෙ ඇතිවෙන දත් කැක්කුම් වලට එක්වරම වෛද්‍යවරයෙක් සොයා යන්න ඔබට අපහසු වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබේ වෛද්‍යවරයා මුණ ගැහෙන්න ටික දිනක් පමා කරන්න සිදුවෙන්න පුළුවන්. 

අන්න ඒ වගේ අවස්ථාවල නිවසේදීම බොහොම පහසුවෙන් කරන්න පුළුවන් ප්‍රතිකාර කීපයක් ගැන ඔබව දැනුවත් කරන්නයි අපි අද සූදානම් වෙන්නෙ. 

ලුණු වතුර

මඳ රස්නෙ උණුවතුර වීදුරුවක් අරන් එයට ලුණු මේස හැඳි ½ ත් 1 ත් අතර ප්‍රමාණයක් මිශ්‍රකර දිනකට තෙවරක් පමණ කට සේදීමෙන් දත් වල වේදනාව අඩු කරගන්න ඔබට පුළුවන්. 

ඔබේ දත් අතර රැඳිල තියන ආහාර කැබලි සහ වෙනත් ද්‍රව්‍ය ලිහිල් කරල ඒවා දත් අතරින් ඉවත් කරන්නත්, විශබීජ ඉවත් කරල මුඛයේ ඇති තුවාල ඉක්මනින් සුව කරන්නත් ලුණු වලට හැකියාව තියෙනවා. 

හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් 

මුඛයේ ඇතිවන දැවීම් සහ වේදනාව අඩු කරන්න වගේම අහිතකර බැක්ටීරියා විනාශ කර විදුරුමස් වල ලේ ගැලීම් වළක්වන්නත් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් උපකාරී වෙනවා. 

3% හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ද්‍රාවණය සහ වතුර 1 : 1 අනුපාතයෙන් මිශ්‍රකර හොඳින් කට සෝදා පිරිසිදු කරගන්න ඔබට පුළුවන්. 

හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සහ වතුර මිශ්‍රණය ගිලීමෙන් වැළකෙන්න ඔබ ප්‍රවේශම් විය යුතුමයි.

අයිස් කැට

Three ice cubes on white background. Clipping pats.

මුඛයේ සහ විදුරුමස් වල ඇතිවෙන ඉදිමුම් සහ ලේ ගැලීම් වලට සහයක් ලබා දෙන්න අයිස් කැට වලට පුළුවන්. 

ඔබ කරන්න ඕනෙ අයිස් කැට කීපයක් රෙදි කැබැල්ලක ඔතා සාදාගත් මල්ලකින් විනාඩි 20 ක් පමණ රිඳුම් දෙන ප්‍රදේශය හොඳින් තැවීමයි. 

එමඟින් රිදුම් දෙන ප්‍රදේශය ආශ්‍රිත රුධිර නාළිකා යථා තත්වයට පත්කර වේදනාව අඩු කිරීමට උපකාරී වෙනවා. 

සුදුළූනු

අවුරුදු ගණනාවක් ඈත අතීතයේ ඉඳලම සුදුළූනු වල ඇති ඖෂධීය ගුණ ගැන ලොව සෑම තැනකම ඉහළ පිළිගැනීමක් තියෙනව. 

අහිතකර බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාව වගේම වේදනා නාශක ගුණයත් ඒ අතරින් කැපී පෙනෙනවා. 

සුදුළූනු බික් කීපයක් හොඳින් තලාගෙන 

එය රිදුම් දෙන ප්‍රදේශයේ ආලේප කරන්න ඔබට පුළුවන්. කැමති නම් ලුණු කුඩු ටිකක් එකතු කරල මිශ්‍රණය සාදා ගැනීමත් කළ හැකියි.

මීට අමතරව ඔබ නිදහසේ සිටින වෙලාවට ඉතා සෙමින් අමු සුදුළූනු  බික් කීපයක් හපා ආහාරයට ගන්නත් ඔබට පුළුවන්. 

පේර කොළ

පේර කොළ කීපයක් හොඳින් පොඩිකර උණු වතුර වීදුරුවකට දමා පානය කිරීම හෝ පේර කොළ කීපයක් හපන්න ඔබට පුළුවන් නම් එයිනුත් ඔබේ දත්වල වේදනාවන් සඳහා හොඳ සහනයක් ලබා ගන්න පුළුවන්. 

තුවාල සුව කිරීමට සහ දැවීම් අඩු කිරීමේ සුවිශේෂ ගුණ පේර කොළ වලට තිබීම මීට හේතුව විදිහට හඳුනගන්න පුළුවන්.

දත්වල වේදනාව සමඟම ඔබට 

උණ ගතියක් දැනෙනව නම්, 

ගිලීමේ හෝ හුස්ම ගැනීමේ අපහසුවක් දැනෙනව නම්,

මේ සාමාන්‍ය වේදනාව සහ ඉදිමුම දිනකට හෝ දින දෙකකට වඩා පවතිනව නම්, 

හැපීමේදී වේදනාවක් දැනෙනව නම්,

විදුරුමස ඉඳිමී ලේ හෝ සැරව ගලනව නම්,

ඔබ ගර්භණී තත්වයේ හෝ විවිධ ආහාර වලට ආසාත්මිකතා ඇති කෙනෙක් නම්,

වේදනාව ඇත්තෙ කුඩා දරුවෙක්ට නම්,

මේ නිවසේදී තාවකාලිකව කරන ප්‍රතිකාර සිදුකිරීමට පමා නොවී හැකි ඉක්මනින් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හමුවීම අනිවාර්යයි කියලත් අපි ඔබට ආදරෙන් මතක් කරන්න කැමතියි.

ඉතිං එදිනෙදා ජීවිතය පහසුවෙන් ගත කරන්න වැඩි වියදමක් නැතුව උදව් වෙන මේ වගේ සරල ක්‍රම ගැන ලිපියක් එක්ක නැවත ඔබ හමුවෙන බලාපොරොත්තුවෙන් අද අපි ඔබෙන් සමුගන්නවා.

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles