රෑට ජිම් ගියොත් මොකද වෙන්නෙ ?

කොච්චර කාර්යබහුල ජීවන රටාවක් ගත කලත් අපි හැමෝම කැමතියි නීරෝගීව වගේම හැඩට ඉන්න. අන්න ඒ නිසයි ඉඩක් ලැබෙන හැමවෙලාවකම පෝෂ්‍යදායී ආහාර ගන්න වගේම ව්‍යායාම කරන්නත් අපි පෙළබෙන්නෙ.

නමුත් ව්‍යායාම කරන්න තීරණය කරන බොහෝ දෙනෙක්ට තියෙන ගැටළුවක් තමයි ඒ සඳහා කාලය වෙන්කර ගැනීමේ අපහසුව. 

මෙන්න මේ නිසයි රාත්‍රී කාලයේ ව්‍යායාම කරන්න බොහෝ දෙනෙක් උනන්දුවක් දක්වන්නෙ. ඒත් සමඟම පැනනගින තවත් ගැටළුවක් තමයි රාත්‍රී කාලයේ ව්‍යායාම කරන්න හොඳද කියන කාරණය.

ඔන්න අද අපි ඔබත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නෙ ඒ ගැනයි.

රාත්‍රී කාලයේ ව්‍යායාම වල යෙදීමේ වාසි වගේම අවාසි කීපයකුත් හඳුන ගන්න අපිට පුළුවන්. අපි බලමු ඒ මොනවද කියල.

වාසි

ඔබ උදෑසන අවදි වීමට මැළිකමක් දක්වන කෙනෙක් හෝ උදෑසනින්ම රැකියාවට යන්න පිටත්වෙන කෙනෙක් වෙන්න පුළුවන්.

ඒ හේතුව නිසා ව්‍යායාම කිරීම මඟහැර නොගෙන, රාත්‍රී කාලය ව්‍යායාම සඳහා යොදාගත හැකියි. 

ඔබේ දෛනික කැලරි පරිභෝජනය දවස අවසානයේ කොපමණ ප්‍රමාණයක්ද යන්න පිළිබඳව අවබෝධයක් තියෙනවා.

ඒ අනුව අනවශ්‍ය කැලරි දහනය කිරීම සඳහා සුදුසු ව්‍යායාම තෝරාගත හැකියි. 

දවස අවසානයේ ඇතිවෙන මානසික පීඩනය අඩු කරන්න ව්‍යායාම හරහා හැකියාව ලැබෙනවා. 

ඔබ නිදාගන්නා වේලාව සහ ව්‍යායාම වල නිරතවෙන කාල සීමාව අතර වෙනස පැය දෙකක් පමණ තබා ගැනීම හොඳ නින්දක් ලබා ගැනීමට ඔබට උපකාර කරනවා. 

ඔබ රාත්‍රියේ ව්‍යායාම මධ්‍යස්ථානයට යනවිට එහි වැඩි පිරිසක් නොසිටින නිසා අවශ්‍ය උපකරණ භාවිත කරන්න බලාගෙන ඉන්න ඕනෙත් නෑ.

ඒ වගේම නිදහස් වගේම නිශ්ශබ්ද පරිසරයක ව්‍යායාම කරන්නත් ඔබට පුළුවන්. 

අවාසි

දෛනික වැඩකටයුතු අවසානයේ ඔබට දැනෙන වෙහෙස නිසා ඵලදායී ලෙස ව්‍යායාම වල නිරත වෙන්න ඔබට නොහැකි වෙන්න පුළුවන්. 

ඒ වගේම, ඔබට රාත්‍රියේ වැඩ කිරීමට සිදුවුනොත් එහෙමත් නැත්නම් හදිසියේ යම් වැඩක නිරත වෙන්න සිදුවුනොත් එදිනට ව්‍යායාම කිරීමේ හැකියාවක් ලැබෙන්නෙත් නෑ .

නිදා ගැනීමට කිට්ටුව ව්‍යායාම වල නිරත වීමෙන් මාංශපේෂී වලට දැනෙන වෙහෙස සහ මහන්සිය නිසා නින්ද යාම ප්‍රමාද වෙන්නත් පුළුවන්.

රාත්‍රී ආහාරය ගෙන සුළු වේලාවක් ඇතුළත් ව්‍යායාම කලොත් අජීර්ණය වගේම මාශපේෂී වල කැක්කුම් ඇතිවීමේ අවධානමකුත් තිබෙනවා. 

ඔබට උදෑසන ව්‍යායාම මඟහැරුනොත් දවසේ වෙනත් වේලාවක ඒ වෙනුවට ව්‍යායාම වල යෙදෙන්න පුළුවන්.

නමුත් යම් හේතුවක් නිසා රාත්‍රී කාලයේ ව්‍යායාම මඟහැරුනොත් දිනයට අදාල ව්‍යායාම කිරීමට නැවත අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

ව්‍යායාම මධ්‍යස්ථානයේ පිරිස අඩුවීම නිසා ඔබට අලස ගතියක් පාළුවක් දැනෙන්නත්  පුළුවන්. 

දැන් ඔබට ගැටළුවක් ඇතිවේවි ව්‍යායාම කිරීමට තෝරාගන්නෙ උදෑසන කාලයද නැත්නම් රාත්‍රී කාලයද කියල.

හොඳයි. ඒ සඳහා අපි ඔබට ක්‍රමයක් යෝජනා කරන්නම්.

මුලින්ම එක් මාසයක් පුරාම උදෑසන කාලයේ ව්‍යායම වල යෙදෙන්න. ඔබ අවදි විය යුතු වේලාව, ඔබට ව්‍යායාම වල නිරත වෙන්න පුළුවන් කාල සීමාව වගේම මාසයක් අවසානයේ ලැබෙන ප්‍රතිඵල ගැනත් ඔබට වැටහීමක් ලැබේවී.

ඊලඟ මාසයේ රාත්‍රී කාලයේ ව්‍යායාම වල නිරත වෙන්න. නිදාගැනීමට පැය දෙකකට පෙර සහ රාත්‍රී ආහාර ගැනීමෙන් යම් සැලකිය යුතු කාලයකට පසු ව්‍යායාම වල නිරත වීම මෙහිදී අනිවාර්යයි.

ව්‍යායාම කිරීමේදී ඔබට වෙහෙසක් දැනෙනවාද ? නිදා ගැනීමට බාධා වෙනවාද ? ව්‍යායාම කිරීම මඟහැරෙනවාද ? කියල අවබෝධයක් ඉන්පසුව ඔබට ලබාගත හැකියි.

මේ දෙකෙන් ඔබට වඩා ප්‍රතිඵලදායක ක්‍රමය තෝරගන්න දැන් ඔබට පුළුවන්.

එහෙනම් නිවැරදි අවබෝධයකින් ව්‍යායාම කරන්න අපේ අද ලිපිය ඔබට ඔබට වැදගත් වේයැයි අපි සිතනවා. 

සටහන – දුලානි නවෝද්‍යා  

Related Articles

Don't Miss


Latest Articles