මෝහිනී

Location: ස්වර්ගයේ කොහේ හරි තැනක පිහිටලා තියෙන විෂ්ණු දෙවියන්ගේ මාලිගාව අසල.

මෝහිනී දිව්‍ය අංගනාව, දිව්‍යමය සිත් වශී කරන්නිය, උන්නෙ එයාගෙ වලාකුළු වලින් හදපු කුටිය අස්සේ පුදුමාකාර තරහකින් එහෙ මෙහෙ ඇවිද ඇවිද. එයා ඇඳන් උන්න රත්තරන් පාට සාරිය දිළිසෙනවා. ඒ විතරක් නෙවෙයි අත් හතර තිබ්බෙත් එකපාර හතර අතේ එහෙට මෙහෙට කැරකි කැරකි. එකකින් කොණ්ඩය කරකවනවා, එකකින් herbal tea ටිකක් බොනවා, එකකින් දිව්‍ය ලෝකෙ විතරක් තියෙන social media එකක් ස්ක්‍රෝල් කරනවා, අනිත් අතින් HR (Heavenly Records) එකට පැමිණිල්ලක් ලියනවා.

“Unbelievable. Just un-be-lievable,” කියලා තරහෙන් කිව්ව පාර එක අතක තිබ්බ herbal tea ටිකක් අත ගැස්සිලා වලාකුලක් උඩට වැටිලා වලාකුලත් ටිකක් විතර පෙඟුණා.

“පහල පොළොවෙ ඉන්න උන් දැන් වලාකුළක් කොල පාට වෙලා කියලා ඒකටත් කවියක් ලියාවි” කියලා මිනිස්සුන්ටත් බණින ගමන් මෝහිනී දිව්‍ය අංගනාව ආයෙ වතාවක් අතේ තිබ්බ tablet එක scroll කරා.

අද ට්‍රෙන්ඩින්: #මෝහිනී ගහලා – සුදු සාරියක් හැඳි මෝහීනී යක්ෂණියට තවත් මිනිසෙක් වශී වෙයි. ගම්මුන් දොස් පවරයි.

 දේවතා මූණක් දාගෙන ඉන්න මෝහිනී ඇත්තටම යකින්නක්ද?

කියලා tablet එකේ දාගෙන උන්න screen එකෙන් පේන්න තිබිච්ච කතන්දරේ දකින දකින වාරයක් පාසා angel මෝහිනී උන්නෙ මල පන්නගෙන.

“මුන්ට පිස්සුද? යකෝ මට මේ වෙන වැඩ නෑ කියලද හිතන් ඉන්නෙ පිරිමින්ව වසී කරගන්න යන්නෙ රෑට රෑට?

අර පරට්ටි. ඕකිට මං කිව්වා නම වෙනස් කරගන්න කියලා. මගේ නමම කවුද ඕකිට දැක්කෙ? ආ අරන් වරෙන් ඕකිගෙ උප්පැන්නෙ? මට හොඳටම sure ඕකිට තියෙන්නෙ වෙන නමක්. ඕකි ඔය වගේ නම දාගෙන ඉන්න මට කෝචෝක් එකට. 

අර දන්නවනෙ මිනිස්සු මට ආදරෙයි කියලා.මට රිද්දන්න මගෙ නමම දාගෙන තැන් තැන්වල ගිහින් වනචර වැඩ කර කර, පිරිමින්ට line දදා ඉන්නෙ මගෙන් පළිගන්න” කියල තරහෙන් කියව කියව වලාකුල උඩ ඇවිද ඇවිද කරන්න දෙයක් නැති තැනම තමයි දේව සභාවට ගියේ මොකද්ද මේකට කරන්න පුලුවන් කියලා දැනගන්න.

“මගේ නම මට වෙනස් කරගන්න ඕන” කියලා angel මෝහිනී දේව සභාවට කඩං පැන්න ගමන් අනෙක් දෙයියො ටික උඩ විසික්කුනා. දේව සභාව කියලත් මේ කලට වේලාවට වැඩ කරන උදවිය නෙවිනෙ. හරියට ලංකාවෙ පාර්ලිමේන්තුව වගේ තමයි. මිනිස්සු වැස්ස ඉල්ලලා කන්නලව් කරලා මාස ගාණකට පස්සෙ තමා වැස්ස දෙන්නෙ, කවුරුහරි ගෑනියෙක් ඇවිල්ලා “අනෙ මගෙ මිනිහට හොර ගෑනියෙක් ඉන්නවා, උන් දෙන්නව වෙන් කරල දීපන්” කියල ඉල්ලුවට පස්සෙ හොර ජෝඩුව වෙන් කරද්දි ඇත්ත ගෑනි වෙන එකෙක් සෙට් කරන්. ඉතින් එහෙම තැනක මේ insider, outsider කියලා එකක් නෑ, angel මෝහිනි උනත් දැනගෙන උන්නා තමන් ඔය කඩං බිඳං ආව පළියට ඕකුන් තමන්ගෙ නම වෙනස් කරලා දෙන්නෙ නෑ කියලා.

“මෙහෙමයි මිස් මෝහිනී, එහෙම අපිට ලේසියෙන් දිව්‍යාංගනාවකගෙ නමක් වෙනස් කරන්න බෑ. ඔයා දන්නවනෙ මිනිස්සු ඔයාලට වන්දනාමාන කරනවා. එහෙම එකේ නමක් වෙනස් කරාට පස්සෙ අපි තැන් කීයක, මිනිස්සු කී දෙනෙක්ව නම් update කරන්න ඕනද මෙහෙම change එකක් උනා කියලා” දේව සභාවෙ ඔය උප්පැන්න මරණ සීන් එකෙ වැඩ බලන කාලයක් තිස්සෙ ඒ position එකේම ඉන්න පරණ දෙයියා කිව්වා.

“එහෙනම් අර මල යස්සනීට කියන්න ඒකිගෙ නම වෙනස් කරන්න කියලා. මට පාරෙ බැහැලා යන්න විදියක් නෑ දෙවිවරුයි උන්ගෙ ගෑනුයි මගෙන් ඇවිල්ලා අහනවා මමද අර ළමේක් වඩාගෙන පිරිමි පිස්සු වට්ටන්නේ? ළමයා කාගෙද? මොන දෙයියද තාත්තා කියලා.

මොන විකාරයක්ද මේ?”

“මිස් මෝහිනී මේකනේ සීන් එක. අපිට ඇත්තටම පුලුවන්කමක් නෑ එහෙම වෙන කෙනෙක්ගෙ නමක් වෙනස් කරන්න. අනික දන්නවනෙ අපිට ඒ ජාතිය එක්ක එහෙම ලොකු connection එකක් නෑනෙ. ඒ හන්දා මේ…”කියාගෙන පරණ දෙයියා ආවට මොකෝ angel මෝහිනී උන්නේ ඒව තේරුම්ගන්න සිහියක නෙවෙයි.

“මේ මං මේ අන්තිම වතාවට කියන්නේ, මේ ප්‍රශ්නෙ හොඳ විදියකට වෙනස් උනේ නැත්තම් හැමෝම දැනගනී මේ මෝහිනී කියන්නෙ කවුද කියලා.

අනික මේ මට මේ පොළොවට ගොඩ බැහැලා මනුස්ස පිරිමි පිස්සු වට්ටන්න උවමනාවක් නෑ මේ උඩ ඕන තරම මට පිස්සු වැටිලා ඉන්න දෙයියො ඉද්දි” කියාගෙන මෝහිනී දේව සභාවෙන් එලියට ගියේ කුණාටුවක් වගේ.

Location: මධ්‍යම රාත්‍රිය, ශ්‍රී ලංකාවේ කොහේ හරි තැනක.

ඒක සොහොන් පිට්ටනියක් ළඟ තිබ්බ පොඩි කැළයක්. මිනිස්සු මහ රෑට ඔතනින් එහාට මෙහාට යන්නෙ පණ බයෙන්. මිනිස්සු ඉස්සර නම් ඔතනින් පණ බයේ යන්න තිබිච්ච එකම හේතුව සොහොන් පිට්ටනිය උනාට මොකෝ දැන් නම් මිනිස්සු හොල්මන් වලට වඩා බයයි ඔය පිට්ටනිය ළඟ ඉන්නවය කියන ගෑනියෙක්ට.

නිකන් ගෑනියෙකුත් නෙවි යස්ස ගෑනියෙක්.

මෝහිනී, යස්ස ගෑනිගෙ නම. ඕන් ඔය ගෑනිගෙ නම හන්දා තමා අර උඩ කිව්ව angel මෝහිනී යකෙක් ගානට මේ දවස්වල පරල වෙලා ඉන්නෙ. ඒ වෙලාවෙත් මෝහිනී උන්නේ හඳ එලිය වැටිලා සුදුමැලි පාටට. සාරියත් සුදු පාට හන්දා මෝහිනීව කොහොමත් පෙනුනෙ සුදුමැලි පාටට.

හොල්මන් බබෙක්වත් තුරුළු කරගෙන.

“අයියෝ මල්ලි, පොඩ්ඩක් මෙයාව අල්ලගෙන ඉන්නවද? මගේ මේ සාරිය කැඩෙන්න යනවා හදාගන්න…” කියලා තමන්ව pass කරන් යන පිරිමින්ට ඉස්සර ඉඳලම කියන එක තමා ගෑනිගෙ job එක. සමහර පිරිමින් නම් ළමයා වඩාගන්න විතරමයි ආවෙ කියලා හොඳටම sure උනත් මෝහිනී උන්ව අතෑරියෙ නෑ.

වැඩේ දුන්නට පස්සෙ නිදහසට කාරණාව විදියට මෝහිනී කිව්වේ “කවුද දන්නෙ ඉතින් ඌ ආවෙ සද්භාවෙන් කියලා? කාලා බලලා කියන්නයැ පිරිමින් ව” කියලා.

සමහරු නම් ආවේ තමන් එක්ක scene එකට හන්දා උන් ගැන නම් මෝහිනී පොඩ්ඩක්වත් දුක් උනේ නෑ. ඒ අස්සෙ අනේ තමන් උන්නද කියලා නොදැක්ක වගේ පිරිමිත් එතනින් ගියා. තව සමහරු නම් තප්පරයක් දෙකක් නතර වෙලා ඉඳලා “you are not my type” කියලා යන්න ගියා. 

ළමයා වඩා ගන්න කිව්වම සාරි අන්දන්න ආව පිරිමින්ට නම් ගෑනි ශොට් එක දුන්නෙ එතනදිමයි.

“බුදු අම්මෝ” කියලා කෑ ගහන් යන උන්ව හොයාගන්න මිනිස්සු අන්තිමේ ලෙඩේට නම දුන්නෙ “මෝහිනී ගහලා” කියලා.

“මෝහිනී ගහලා නෙවෙයි මෝහිනීට ගහන්න ආවෙ ඔය යක්කු” කියලා මෝහිනී පස්සෙ තමන්ගෙ විමානෙට ගිහින් අනික් යක්කු යක්ශනියො එක්ක කියෙව්වත් එක්ක. 

හැබැයි ඉතින් ඒ හැම කතාවකටම පස්සෙ ගෑනි මහ හයියෙන් හුස්මක් අරන් හැමදාම එකම වාක්‍ය කියනවා.

“හැමදාම රෑට එකම නාට්‍යය, අනේ අක්කේ මේ දරුවට කන්න බොන්න දෙන්න ඕන හන්දා මිසක්කා මම මේ රස්සාව කරනවා ඇරෙන්න දරුවා උන්නෙ නැත්තම් මම අම්මපා මැරිලා” කියල තමා එකම විදියට කතාව අහවර කරන්නෙ.

මේ ඔක්කොම අස්සෙ පල්ලෙහා ඉන්න මෝහිනීත් දැනන් උන්නා උඩ ඉන්න මෝහිනීත් අවුලෙන් ඉන්නෙ කියලා තමන් මේ පල්ලෙහට වෙලා කරන දේවල් ගැන.

“ඒකි පරලා උනා කියල මං කොහොමද අක්කෙ මගෙ නම වෙනස් කරන්නෙ? මිනිස්සු හැමෝම මාව දන්නෙ මේ නමෙන් නෙ. අනික ඉතින් නම් දෙක එකක් උනා කියල ඒකි මං කරන ඒව කරන්නෙ නැත්තම් මොකද්ද ඒකිට ඔච්චර තියෙන ප්‍රශ්නෙ? දිවිය විමානෙන් බැහැලා එන්න කියන්නකො අප්සරාවිට මං කියල දෙන්න ජිවිතේ කොච්චර නම් අමාරුද කියලා?

යකෝ මේ ඔක්කොම සුර සැප හම්බුවෙලත් දෙයියන්ටත් පාඩුවෙ ඉන්න බැරි හැටි. අපේ බඩ ගෝස්තරේට කෙලවන්න තමා හදන්නෙ” කියලා යට මෝහිනී උඩ මෝහිනීට බැන බැන ඉද්දි තමා උඩ මෝහිනී හිතුවේ “මං ඕකිව හම්බෙලා දෙකක් කියලම එන්නම්කො” කියලා.

Location: උඩයි යටයි අතරමැද කොහේ හරි තැනක

“මං එනකම් බලන් උන්නෙ මහ ලොකු අප්සරාව” කියලා උඩ තට්ටුවෙ ඉඳලා දිව්‍ය සලු පිළි හෙම ඇඳ පැළඳගෙන රත්තරන් පාටට දිළිසි දිළිසි angel මෝහිනී පල්ලෙහට බහිද්දි යක්ස මෝහිනී කිව්වෙ නිකන් කිණ්ඩි හිනාවක් දාගෙන “යක්කු උනත් අපි වෙලාවට වැඩ” කියන්න වගේ.

“මං එන්නෙ වෙලාවට, මට ඔය අනිත් අය වගේ කලින් ගිහිල්ල අරුන් මුන් එනකම් මග රැක රැක ඉඳලා පුරුද්දක් නෑ” කියලා double meaning එන විදියට කිව්වට මොකෝ ඕන තරම් පිරිමින්ගෙ බොරු චාටු වලට අහුවෙලා පුරුදු වෙච්ච ගෑනි වෙච්ච යක්ස මෝහිනී නෙවෙයි ඒවයින් කලබල උනේ.

“මොකටද මට එන්න කිව්වෙ?”

“එන්න කිව්වෙද? එන්න කිව්වේ මගේ නම පාවිච්චි කරලා කරන තුට්ටු දෙකේ වැඩ නතර කරන්න කියන්න” කියලා angel මෝහිනී කිව්වේ කොරියන් කෙල්ලො කතාකරන විදියට. කොහොමත් වැඩ නැති වෙලාවට k dramas බලන හන්දා කෙල්ල කතාකරන්නෙත් ඒ වගේ ටිකක්.

“ඔයාගෙ නම? අනේ මේ මේ මං ඔය අනුන්ගෙ නම් පාවිච්චි කරලා වැඩ කරන්නෙ නෑ. මං කරන වැඩක් කරන්නෙ මගෙ නම පාවිච්චි කරලා. ඒ නිසා මං හිතන්නේ you are mistaken. පොඩ්ඩක් හොයලා බලන්න මනුස්සයෙක්ට චෝදනා කරන්න කලින්”

“මනුස්සයෙක්ට?” කියලා angel මෝහිනී ආයෙ යක්ශ මෝහිනී ගෙ උඩ ඉඳන් යටට වෙනකම්ම බැලුවෙ නිකන්ම නෝන්ඩි තාලෙට.

“ඔව් ඇයි ඇයි ඇයි? මනුස්සයෙක් තමයි ඇයි? මේ අනේ ප්ලීස්. ඔයා ට්‍රෙන්ඩින් වෙන්න කලින් ඉඳන් මම මෝහිනී.දැන් නිකන් මෙතන මේ ඇවිල්ලා දේව talk දාන්න එන්න එපා”

අපායයි ස්වර්ගෙයි දෙකම තිබ්බෙ එකපාරට කලබල වෙලා. ගෑනු දෙන්නෙක් කෙහෙවලු පටලවගන්නවට වඩා හපන් දිව්‍යාංගනාවකුයි යක්සනියකුයි පැටලෙන එක. මෝහිනීලා දෙදෙනාම එකම දේ කිය කිය කෑ ගහනවා.

“ඉන්න පුළුවන් එකම එක මෝහිනී කෙනෙක් විතරයි. ඒ මම. ඒ මම. ඒ මම!” කියලා දෙන්නම මහ හයියෙන් දෙන්නට කියාගන්නවා.

ආන් ඔය සද්දෙට තමා මෝහිනිගේ දරුවා අඬන්න පටන් ගන්නෙ.

මෝහිනීලා දෙන්න තමන්ගෙ අත්වලින් අල්ලගෙන උන්න අනෙක් මෝහිනීගෙ කොණ්ඩෙ අතෑරලා දානවා.

“ළමයා අඬනවා නේද?” කියලා angel මෝහිනී කියද්දි අනෙක් මෝහිනී “මං ටක්ගාලා බලලා එන්නම්” කියලා යනවා. කවදාවත් දිව්‍ය ලෝකෙන් පහලට ඇවිත් යක්ස විමාන පැත්තට අඩියක්වත් තිබ්බෙ නැති angel මෝහිනී ජීවිතේ පලවෙනි වතාවට යක්ශ විමානෙකට අඩිය තියනවා. උඩ ඉන්න දෙයියන්ගෙ ගෙවල් දොරවල් වලට වඩා කොච්චර වෙනස්ද කියලා හිතුනත් මෝහිනීගේ හිත දිව්වෙ ඒ හැමදේටම වඩා අර අඬන දරුවගෙ සද්දෙට.

Angel මෝහිනී විමානෙට බෙල්ල දාද්දි යක්ශ මෝහිනී උන්නේ දරුව නලව නලව.

 “මේ… මේ බබා ඇත්තටම ඔයාගේද?”

“මගේ නෙවෙයි, ඒත් මගේ තමයි”

“ඒ කිව්වේ?”

“මගෙ බඩෙන් නෙවෙයි එලියට ආවෙ. මාත් පාරක් අයිනෙ දාලා ගිහින් ඉද්දි ගෙදර අරන් ආවෙ. එතැන් පටන් මං තමා බලාගන්නෙ”

“ඉතින් ඔය ඔයා තැන් තැන්වල ඉඳලා අල්ලගන්න පිරිමි මේ දරුවව බලාගන්න උදව් වෙන්නෙ නැද්ද?”

ඒකට නම් යක්ශ මෝහිනී කරේ හිනාවෙච්ච එක.

“මොන මිනිහද කැමති අනුන්ගෙ දරුවෙක් එක්ක ගෑනියෙක්ව බාරගන්න” කිව්වයින් පස්සේ මෝහිනීලා දෙන්න අතරෙ තිබ්බෙ පොඩි silence එකක්. ඒ silence එක බිඳලා දැම්මෙත් ආපහු සැරයක් යක්ශ මෝහිනී.

“එහෙත් එහෙමද?”

“කොහෙද? මොනවද? කවුද?”

“එහේ පිරිමි, ඒ කිව්වෙ මේ දෙයියො? ඒ ගොල්ලො මනුස්සයින්ටයි යක්කුන්ටයි වඩා හොඳ ද?” කියා යක්ස මෝහිනී අහද්දි angel මෝහිනී කරේ සද්ද නැතුව ඉඳලා ආපහු සැරයක් හැරියා තමන්ගෙ ලෝකෙට යන්න කකුල උස්සපු එක.

ඒත් එහෙම යන්න කලින් හැරිලා යක්ශ මෝහිනීට කියන්න දෙයක් angel මෝහිනිට තිබ්බා.

“අපි අපේ නම් වෙනස් කරගත්තට වැඩක් නෑ.අපෙ නම් මොක උනත් උන්ට අපිව පේන්නෙ ගෑනු විදියට විතරයි.

යකෙක්ද දෙයියෙක්ද මනුස්සයෙක්ද කියලා වෙනසක් නෑ.

පිරිමි හැම තැනම එකයි”

More Stories

Don't Miss


Latest Articles