වජිරා, ඉඟුරු දමා හැදූ තේ එකක් ද ගෙන මිදුලට බැස්සේ, එළවලු පැළ වලට පොහොර දමනා විජිත ට ගෙන ගොස් දෙන්නටයි. වත්ත පිටිය ඉඩ ඇති තැන් වල එළවලුවක් අල බතලයක් හිටුවනා එක විජිත ගේ පුරුද්දකි. ගෙඩියක් කොළයක් කඩාගෙන, අලයක් ගලවාගෙන ඉඳහිට හෝ ගෙදරට ගෙනෙනා එක ඔහු ට සතුටකි.
‘ඔයා මෙතන්ටම ගෙනාවද… මං මේ එන්න කියල හිටියෙ තේ ටිකක් බීල යන්න’
‘මං මේ… ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්නත් එක්කමයි මිදුලට බැස්සෙ’
වජිරා එසේ කීවේත් ඇය කියනා දෙයක් අසා ඉන්නට කෙනෙක් අහළ පහළක වේ දැයි සැක හැර දැනගන්නට වට පිට බලමිනි. විජිත ගේ දෙතොල් අතරෙහි සිනහවක් පැතිර ගියේ ය.
‘මට හිතාගන්න පුළුවන් කියන්න යන දේ…’
ඒ අවබෝධය වූ කලී වසර තිස් ගණනක් තිස්සේ ජීවිතය සම සිතින් බෙදාහදා ගනිමින් ළඟ රැඳුණු අත්දැකීමෙන් ලැබුණකි. වජිරා වෙතින් දැකිය හැකි වූ හිත් බර, විජිත ගේ සැහැල්ලු සිනහවෙන් මඳක් තුනී වූවා විය හැක.
‘ඔයාගෙ චූටි පුතණ්ඩියගෙ කෙරුවාව ගැනනෙ…’
‘බලන්නකො අනේ… මේකා යසස්විගෙ අම්ම ගැන පුදුම මහන්සියක්නෙ වුණේ. ඒ මනුස්සයට පොරවන්න බෙඩ් ශීට් එකක් දුන්නද කියලත් මගෙං ඇහුවනෙ’
විජිත සිය පපුව පිරිමැදගනිමින් තව දුරටත් සිනහ වූයේ ය. වජිරා ගේ මුව මත ද සිනහ රේඛාවක් ඇඳෙමින් තිබිණ.
‘ඉතිං දැං… මොකද්ද ඔයාට කියන්න ඕන… ම්…’
‘මේ දෙන්න අතරෙ මුකුත්…’
‘ඒක එහෙමම වුණා කියමුකො. ඔයා මොකද ඒ ගැන හිතන්නෙ…’
‘එහෙමනං ඉතිං මොනතරං දෙයක්ද…’
‘ඉතිං ඒකනෙ. ඒක නිසා අපි කලබල වෙන්න දෙයක් නෑ. බලාගෙන ඉමුකො. හැංගි හැංගි වෙස් මූණු බැන්දත් වජිරා… නටන්න වෙන්නෙ එළියෙනෙ’
‘ඉතිං අනේ එහෙනං අපිට කියන්න ඕනනෙ’
‘ඔයාටනෙ මේ කලබලේ තියෙන්නෙ. දැනුණත් දැනුන්නෑ වගේ ඉමූ… අපේ ඉලන්දාරියට අපිට කියන්න ඕනයි කියල හිතුණ වෙලාවට කියයිනෙ’
‘මං යසස්වි දුවගෙන් අහන්නද…’
‘එපා එපා අනේ. ඔයාටත් හොද්ද ඉදෙනකල් ඉන්න පුළුවන් බෙදනකල් ඉන්න බෑනෙ අප්ප. උන් දෙන්න හොඳ විදිහක් බලල කියයිනෙ එහෙම දෙයක් තියනවනං. සමහර විට තාම නැතුවත් ඇති. අපේ එකා ඔය කෙල්ල ගැන උනන්දු වෙලා කෙල්ලගෙ අම්ම ගැනත් සැලකිල්ලක් පෙන්නල… කැමතියි කියන්න තාම පාර කපනව වෙන්නත් පුළුවන්නෙ’
‘ඒකත්නං එහෙම තමයි. කොහොමත් ඉතිං ලැජ්ජාවයි ආඩම්බරෙයි දෙකම හරි හරියටනෙ. මට බය මේ නිලූකා ගැන. එහෙම දෙයක් වුණොත් පරල වෙයිද දන්නෑ ගෑනිගෙ බලාපොරොත්තුව කැඩෙන නිසා’
‘එහෙම කොහොමද… අපි කවුරුවත් කියල නෑනෙ බලාපොරොත්තු තියාගන්නයි කියල’
‘මේ… ඒක නෙවෙයි. අපිට මේක කෙළින් අහන්නැතුව වෙන දැනගන්න විදිහක් නැද්ද… ඔන්න ඔයා මොනාහරි දැනගත්තොත් සද්ද නැතුව ඉන්නැතුව මටත් කියන්න ඕනෙ හොඳද…’
කෝප්පයේ ඉතිරි වී තිබූ තේ ටික එහෙම ම කටට හලාගත් විජිත, හිස් කෝප්පය වජිරා අතට දුන්නේ හඬ නගා හිනැහෙමිනි.
‘ඔයත් ඉතිං කෝප්පයක් හෝදන්න තියනවනං…’
යසස්වි ඔවුන්ට දුවක සේ දැනෙන්නට ගත්තේ ඇය තුසිතයට විත් දිනක් දෙකක් ගෙවී යන්නට පටන් ගත් විට ය. අස්විද ඈ ගැන උනන්දු වන බවක් මුලින් ම ඉව වැටුණේ විජිතටයි. නමුත් දැන් දැන් වජිරා ට ද එහෙම සිතේ. විශේෂයෙන් ම පෙර දා සාවිත්‍රි ගෙදරට පැමිණි වෙලාවේ අස්විද ඇය කෙරේ දැක්වූ සැලකිලිමත් බව, තමන් ගේ ජීවිතයෙහි සිටිනා ගැහැනියගේ මව් පිය සහෝදරාදීන් කෙරේ පමණක් පිරිමියෙකුගෙන් විද්‍යමාන වන්නා වූ සැලකිල්ලකි. ඇතැම් විට තමන්ගේ ම මව් පියන් කෙරේ බාහිර වශයෙන් පෙනෙන්නා වූ සැලකිලිමත් වීමට වඩා විශේෂ වූවක් මේ අලුත් නෑසියන් කෙරේ පෙන්වනු දැකිය හැකි වේ. එය අලුතෙන් පුරුදු පුහුණු විය යුතු වගකීමක් හා යුතුකමක් වන නිසා, විශේෂයක් ලෙස පෙනෙනවා වන්නට ද පිළිවන.
අස්විද ට ඒ අලුත් ම අත්දැකීමක් වූයේ ය. විජිත හා වජිරා හැරුණ විට වෙනත් ඥාතියෙකු අරබයා එහෙම වදවීමක් ඔහු ගේ හිතට දැනී ම නැත. නමුත් යසස්වි වෙනුවෙන් ඇගේ මව ගැන සොයා බැලීමේ වගකීමක් තමන් සතු වන බව ට ඔහු ගේ පිරිමි ඉව විසින් ඔහු ට සිහිපත් කරවනා ලදී. එතැන්හිදී ඔහු ව මෙහෙයවූයේ අත්දැකීම් රහිත තනිකඩයෙකු නොවේ. වගකීම් සහගත සහකරුවෙකි. හංසයන්ට පිහිනන්නට පුහුණු කළ යුතු නැත!
හැන්දෑවේ යසස්වි තේ හදන්නට දිවගෙන එන විට වජිරා මුළුතැන්ගෙයි තේ පිළියෙළ කරමින් සිටියා ය. බලාපොරොත්තු බිඳී ගියා සේ යසස්වි උද්‍යෝගයේ තිරිංග තද කරගත්තා ය.
‘මං තේ හදන්න කියල ආවෙ’
ඇය හෙමිහිට මිමිණුවේ වජිරා නෙතගින් බැලූ බැවිනි.
‘ඔයා පාඩං වැඩ බලාගන්න. මං ඉන්නවනෙ මේව කරල දෙන්න’
අස්විද ගේ රිය දොර ඇරී වැහිණි. ඔහු දැන් මුළුතැන්ගෙට එන බව ඇය දනී.
‘චූටි පුතා ආව නේද… පුළුවන්නං මේ තේ එක ගෙනිහිං දෙන්නකො ඔයා’
යසස්වි ඉක්මන් කොට වීදුරුවකට ගුරුලේත්තුවෙන් වතුර පිරවූවා ය. ගෙට ගොඩ වූ ගමං සීතල වතුර වීදුරුවක් බොන එක අස්විද ගේ සිරිතක් බව දැන් ඇය දනී. එක අතකින් වතුර වීදුරුව ද අනිත් අතින් තේ මග් එක ද ගෙන අඩියට දෙකට ඉස්සරහාට යන යුවතිය දෙස, පිටුපස හැරී බලා වජිරා තනිව සිනහවක් පෑවා ය.
යසස්වි ගේ පියවර හඬ ඇසුණු ගමන් අස්විද ඇඳේ ඇලවූයේ ය.
‘ආ… මේ මොකද මේ… අද වතුර බොන්නැද්ද…’
‘ඔළුව පැලෙන්න වගේ රිදෙනව අනේ’
ඔහු බොරු කෙඳිරියක් නගනා ගමන් ඇගේ අතින් වතුර වීදුරව ගෙන බීවේ ය. යසස්වි තේ මග් එක මේසය මතින් තබා ඔහු ගේ නළලත පිටි අත්ල තබා බැලුවා ය.
‘උණක්නං දැනෙන්න නෑ’
අස්විද නැවත ද කෙඳිරි ගාමින් වැතිරගත්තේ ය. යසස්වි ඔහු ගේ සපත්තු දෙක ද මේස් දෙක ද ගලවා දමා ඒ රෝස පාට පතුල් සිය අතැඟිලි වලින් සිපගත්තා ය.
‘මං ආන්ටිට කියන්නං’
කියාගෙන ඈ යන්නට හැරෙත්දී ම ඔහු සිය අතක් දිගු කොට ඇගේ අතකින් අල්වා ළඟට ඇද්දේ ය. යසස්වි ඔහු ගේ සිරුර මත වැටෙන්නට ගොස් නො වැටී බේරුණේ අනූ නවයෙනි.
‘ස්…කවුරුත් එයි අනේ’
කියමින් ඇය නැගී සිටිනා විට ඔහු යහනෙන් පනිමින් ඇය සිපගෙනත් අවසාන ය.
‘මාව මෙහෙං යවන්න තමයි හදන්නෙ ඔය’
ඇගේ දෑස් හි තරවටුව ද ආදරය ද සමානුපාතිකව සම්මිශ්‍රණය වී තිබිණ. හිතුවක්කාරකමක් කළ නව යොවුන් කොලු ගැටයෙකු ගේ දඩබ්බර සිනහවකින් යුතුව තේ එක ගත් අස්විද, යසස්වි පසුපසින් ම කාමරයෙන් පිටතට ආවේ ය. ඉදිරියට එමින් සිටි වජිරා ගේ ඇස් වලින් මුවහ වෙන්නට ය යසස්වි ට ඕන වුණේ. ඇගේ වතට ලේ පුරා රතු වී තිබිණ.
‘ගෙට ගොඩවෙනකොට අතට පයට වතුර තේ ගෙනත් දෙන්න අය ඉන්න නිසා හොඳයි මෙයාට’
අස්විද වෙතට ඒ ඇනුම්පදය අම්මා ගෙනි. ඔහු නිහඬව සිටියා මිස ප්‍රතිචාර දක්වන්නට ගියේ නැත.
‘අපිත් ඉතිං ලෝයර්ස්ල වුණානං අපිටත් අතට පයට ගෙනත් දෙයි’
පසෙක සිට සනුක ඇනුම්පදයක් කීවේ ය. යසස්වි ඔහු ගේ කන මිරිකුවා ය.
‘ලෝයර් කෙනෙක් වුණාට විතරක් මදි. ඒකට එයාම වෙන්න ඕනෙ’
ඇය ඒ ටික කීවේ සනුක ට විතරක් ඇහෙන සේ රහස් ස්වරයකිනි.
‘ඒ වයසට ගියාමවත් එහෙනං මටත් කෙල්ලෙක් සෙට් වෙයිනෙ’
ඔවුහු දෙදෙන ම හඬ නගා හිනැහුණහ. අස්විද ඔවුන් දෙස බැලුවේ ප්‍රශ්නාර්ථයක් තැවරි බැල්මකිනි. හේතුව නො දනිතත් ඔවුන් සිනහ වෙන්නේ ඔහු ට බව හෙතෙම දත්තේ ය.
තුසිතය අලුත් ප්‍රණයකින් හුස්ම ගන්නා බවක් දැන් වජිරා ට දැනේ. ඇගේ හදවත මත පැටවී තිබූ බර ද හෑල්ලු වී ඇති සැටියෙකි.
‘බාප්ප අපිව පීසා හට් එක්ක යනවලු’
තේ බොන ගමන් සනුක අලුත් යෝජනාවක් කළේ ය. අස්විද බැලුවේ වටහා ගත නො හැකි ව ය. යසස්වී දෙතොල් පෙති තද කරගෙන සිනහ වෙමින් සිටියා ය.
‘මං… ඒ කවද්ද මං එහෙම දෙයක් කිව්වෙ…’
‘ඔයා කිව්වෙ නෑ. මේ මං කියන්නෙ. අපිට පීසා ඕනෙ’
‘උඹ මාව බ්ලැක් මේල් කරනවද… මං මොකටද පීසා දෙන්නෙ… මං දෙන්නෑ’
‘ආ නැත්තං ඉතිං…’
සනුකට එය කියා නිම කරන්නට ලැබුණේ නැත.
‘උඹට පීසා එකක් අරං දෙන්න බැරිකමක් නෑ ඉතිං’
‘අන්න එහෙම එන්න. එහෙනං රෑට යං නේද අපි ඔක්කොම… පොඩි අවුටින් එකකටත් එක්ක හොඳයිනෙ…’
අස්විද සනුක ට රැව්වේ ය. නමුත් ඔහු ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් වූයෙ නැත. සනුක ඒ රහස කියා දැමුවොත්!
අස්විද ගේ මෝටර් රථයෙහි සියල්ලන්ට යන්නට ඉඩ මදි බැවින් ත්‍රීරෝද රියක් ගෙන නිලූකලා ට ද පැමිණෙන ලෙස ආරාධනා කළත් ඇය හා නිලූපා පීසා වර්ජනය කළහ.
‘අරයව කාර් එකේ දාං යන්න අපි ත්‍රීවීල් වල යන්න…’
නිලූපා නො රිස්සුම පිට කළේ නිලූකා මතිනි. තුන් වේලට ම බත් ගිලිනවා මිස, බඩෙන් කොනකවත් ගෑවෙන්නේ නැති ඔය විච්චූරණ කෑම ගැන නිලූකා ගේ කොහොමත් උනන්දුවක් නැත. නංගී විරෝධය පෑ එකේ ඇයට සහයෝගයක් ලෙස ගෙදර නතරවෙන්නට අක්කා තීරණය කළා ය.
‘මටයි නංගිටයි පීසා එපා. නාසි ලාජ් එකකුයි චිකන් ඩෙවල් එකකුයි ගේන්න. දිල්නුකත් රෑ වෙනව කිව්ව. හැබැයි කෑම තියන්න කිව්ව. කොල්ලටත් මොනාහරි ගේන්න’
නිලූකා චේතිය ට කීවා ය. කේන්තියක් දැනුණත්, වියදමට වැඩිය ඇය නෑවිත් හිඳිනා එක හොඳ යයි නිදහස් සිතිවිල්ලක් ද ඔහු ගේ හිතේ ඇඳී මැකී ගියේ ය.
පිටුපස අසුනට එක්කෙනෙකු ගේ වැඩියක් තිබිණි.
‘අවුලක් නෑ හිරවෙලා යං’
කියමින් අස්විද චේතියවත් කෙසේ හෝ රියට ම පටවාගත්තේ ය.
ඒ හදිසි සංග්‍රහයට හේතුව කුමක්දැයි නිල වශයෙන් දැනුම් දීමක් නො විණි. ඒ වුණත් ඊට කුමක් හෝ රහස් හේතුවක් තිබිය යුතු බව නො දැනුණා ද නොවේ. ඇතැම් දේවල් දැනි දැනීත් නො දැනුණා සේ හිඳිනා එකෙහි මිහිරක් තිබේ.
‘ඊළඟ දවසෙ යන්න මං වෙන රෙස්ටොරන්ට් එකක් බලන්නං බාප්පෙ’
පීසා ඇණවුම ලැබෙනා තුරු සිටියදී සනුක සිහිපත් කළේ ය. අස්විද ඔහු දෙස රවා බැලුවත් කිසිත් පැවසුවේ නැත. යසස්වි සිනහව තද කරගෙන සිටියා ය. එතැන සිටියේ ආදරයේ හැඩ රුව දන්නා මිනිසුන් ය. රයන් ද එහි වූවා නම් හොඳ යයි යසස්වි ට මොහොතකට සිහි විය. එහෙම මිනිසුන් අතරේ දී වන්නේ සතුට පමණකි. තිබෙන්නේ සිනහව පමණකි.
‘ඇත්තටම ඇයි බාප්පෙ ඔයා මේ අපිට ට්‍රීට් එකක් දෙන්න හිතුවෙ…’
සනුක නැවත ද සභාව කැළඹුවේ ය. යසස්වී ට තව දුරටත් සිනහව සඟවා ගත නොහී ඇය මේසයෙහි මුහුණ ඔබාගත්තා ය.
‘මොකද්ද මල්ලි මුන් දෙන්නට වෙලා තියෙන්නෙ… තමුසෙ ගැන අපි නොදන්න දෙයක් මුං දෙන්න දැනගෙනද…’
‘ඒක දැනගන්න ඕන්නං තාත්ත හෙට අපිට ට්‍රීට් එකක් දෙන්න. ශුවර් එකට කියනව’
සීමා බිඳගෙන, යසස්වි ගේ සිනහව දෝරෙ ගලාගියේ ය. අස්විද නිකටෙහි අත ගසාගෙන ඇදෙස බලාසිටියේ ආදර දෑසකිනි.