සම්බන්ධතාවයක් දුෂ්කර සහ සංකීර්ණ වන්නේ ඇයි ?

ඕනෑම සම්බන්ධතාවයකදී එකිනෙකා වෙනුවෙන් කාලය වෙන් කිරීම සහ කැපකිරීම් සිදු කිරීම අතිශයින්ම වැදගත් දෙයක්. අනෙකා වෙනුවෙන් වග වීම සහ වගකීමත් එහි කොටසක්. නමුත් ඔබට ඔබේ සහකරුව මග හැරෙනවා නම් හෝ ඔබ අතින් විවිධ ආකාරයේ අඩුපාඩු නිතර සිදුවනවා නම් එය සබඳතාවය ශක්තිමත් සබඳතාවයක් වන්නේ නැහැ. දෙදෙනෙකු අතර පවතින සම්බන්ධතාවයක් දුෂ්කර සහ සංකීර්ණ වීමට තවත් බොහෝ හේතු බලපානවා. ඒ ගැනයි මේ ලිපියෙන් අපි කතා කරන්නට සූදානම් වන්නේ.

සබඳතාවයක් දුෂ්කර සහ සංකීර්ණ වන්නේ ඇයි ? 

සන්නිවේදන බිඳ වැටීම්

විවෘත සහ අවංක සන්නිවේදනය සෑම සෞඛ්‍ය සම්පන්න සබඳතාවයකම පදනම ලෙස සැලකෙනවා. දෙදෙනෙකු අතර හොඳ සන්නිවේදනයක් නොමැති විට එකිනෙකාගේ අදහස් , අවශ්‍යතාවයන් , සිතුවිලි සහ හැඟීම් පිළිබඳව අනෙකාට තේරුම් ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.සන්නිවේදනයේ දුර්වලතා සහ සන්නිවේදනයේ බිඳ වැටීම් බොහෝ වේලාවට සම්බන්ධතාවයක ගැටලුකාරී තත්ත්වයන් වලට මූලික හේතුවක් වනවා. ශක්තිමත් සන්නිවේදනයක් සඳහා දෙදෙනාගේම කැපවීම ,  දැනුවත් භාවය සහ උත්සාහය අවශ්‍ය වන අතර ගැටලුවක් උත්සන්න වීමට පෙර ඒවා ප්‍රකාශ කිරීම සහ නිසි සන්නිවේදනය කිරීමක් මගින් ඒවා පාලනය කර ගැනීම යුවළක් අතර පැවතිය යුතුම දෙයක්.

යථාර්ථවාදී නොවන අපේක්ෂාවන් 

සම්බන්ධතාවයකදී කෙනෙක් අනෙකාගෙන් දේවල් අපේක්ෂා කිරීම අතිශයින්ම සාමාන්‍ය දෙයක්. මෙහිදී වැදගත් වන්නේ ඔබ අනෙකාගෙන් අපේක්ෂා කරන දෙය කොයිතරම් දුරට යථාර්ථවාදී දෙයක් ද යන්නයි. විශේෂයෙන්ම අඹුසැමි යුවළක් අතර බොහෝ දුරට ගැටලු ඇතිවීම , දුෂ්කර වීම සහ සම්බන්ධතා සංකීර්ණ වීම සිදු වන්නේ එකිනෙකාගේ අපේක්ෂාවන් පිළිබඳව අවබෝධ කර නොගැනීම සහ ඒවා නිසි ලෙස බෙදා නොගැනීම නිසායි. ගෘහස්ථ වගකීම් , මූල්‍යමය කටයුතු , දරුවන්ගේ වගකීම් සහ එකිනෙකා අතර සමීපභාවය යන කාරණා පිළිබඳව ඔබ ඔබේ සහකරුගෙන් අපේක්ෂා කරන දේවල් පිළිබඳව ඔහු සමග අවංකව සාකච්ඡා කරන්න. මෙවැනි අපේක්ෂාවන් ඔබ ඔහු සමග බෙදා නොගැනීම නිසා කාලයත් සමග එවැනි යතාර්ථවාදී නොවෙන අපේක්ෂාවන් අමනාපයන් බවට පරිවර්තනය වීමේ හැකියාව පවතිනවා.

සමීපභාවය නැති වීම 

සමීපභාවය යනු ලිංගිකත්වයට වඩා වැඩි යමකි. එයට එකිනෙකාගේ අත්දැකීම් බෙදා ගැනීම , ආදරය ප්‍රකාශ කිරීම , එකිනෙකාව අගය කිරීම , එකිනෙකාට උපකාර කිරීම, විශ්වාසය සහ අනෙකාව රැක බලා ගැනීම වැනි බොහෝ කාරණා ඇතුළත් වනවා. ඔබ ජීවත් වන කාර්යබහුල ජීවිතය , ඔබේ දෛනික ජීවන රටාව සහ රැකියාව ආශ්‍රිත මානසික ආතති තත්ත්වයන් නිසා ඔබට සමහර විට ඉහත කී කාරණා ඔබේ සහකරු වෙත දැක්වීමට මග හැරෙන්නට පුළුවන්. නමුත් මේ දිගින් දිගටම සිදු වීමේදී දුර්වල වන්නේ ඔබ සහ ඔබේ සහකරු අතර ඇති සම්බන්ධතාවයමයි.

බාහිර ආතතිකාරක 

රැකියාව , දෙපාර්ශවයේ පවුලේ ගැටලු, සෞඛ්‍ය ගැටලු , දරුවන්ගේ කටයුතු සහ මූල්‍යමය ගැටලු පුද්ගලයන්ව පීඩාවට පත් කරමින් සම්බන්ධතා වලට යම්තාක් දුරට ආතති තත්ත්වයන් ගෙන දෙනවා. මෙම ගැටලු වලට ඔබ ඔබේ සම්පූර්ණ කාලයම යෙදවීම මගින් ඔබ ඔබේ සහකරු වෙනුවෙන් ආයෝජනය කළ යුතු කාලය ඔබට අහිමි වනවා. ඒ වගේම ඔබ දෙදෙනා අතර සමීප සම්බන්ධතාවය දුර්වල වීම , එකිනෙකා නුරුස්සන ස්වභාවයක් ඇතිවීම සහ වෙනත් ගැටලුකාරී තත්ත්වයන් ඇති වීම සිදුවනවා. එම නිසා බාහිර ආතති කාරක වලට ඔබ දෙදෙනාගේ සම්බන්ධතාවය පළුදු කිරීමට ඉඩ නොතබා හොඳ සන්නිවේදනයක් සහිතව එවැනි ගැටලු වලට මුහුණ දීම සිදු කරන්න.

 දුර්වල ගැටුම් නිරාකරණය 

සෞඛ්‍ය සම්පන්න සම්බන්ධයකදී එකිනෙකාට එකඟ නොවීම සහ ගැටුම් ඇතිවීම නොවැළැක්විය හැකි කාරණාවක්.නමුත් වඩාත් වැදගත් වන්නේ යුවළක් වශයෙන් ඔබ දෙදෙනා කෙතරම් ඵලදායි ලෙස ගැටලු වලට මුහුණ දෙනවාද සහ ඒවා නිරාකරණය කර ගන්නවාද යන්නයි. සන්නිවේදනය , අනෙකාට අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ ලබාදීම , කාලය ගැනීම සහ සමාව දීම නොමැතිව ඔබ දෙදෙනා සතුව පවතින්නේ දුර්වල ගැටුම් නිරාකරණයක් නම් ඔබ දෙදෙනා අතර ඇති සම්බන්ධතාවය වඩාත් සංකීර්ණ සහ දුෂ්කර එකක් බවට පත්වන්නට පුළුවන්.

විශ්වාසය නොමැතිකම

සියලුම අර්ථවත් සම්බන්ධතාවල ප්‍රධානතම පදනම විශ්වාසයයි.රැවටීම , බොරු කීම සහ නිදහසට කාරණා කීම වැනි කාරණාවන් ඔබේ සබඳතාවයේ පවතින විශ්වාසයේ බොහෝ දුරට පළුදු කරනවා. සම්බන්ධතාවයක් තුළ විශ්වාසය සහ ආරක්ෂිත බව පලුදු වූ විට එය නැවත නැවත ගොඩනගා ගැනීම කිසිසේත්ම පහසු වන්නේ නැහැ. අනෙකාව නිතර සැක කිරීම , අනෙකාට නිතර චෝදනා කිරීම සහ අනෙකාව නිතර වැරදිකරු බවට පත් කිරීමට උත්සාහ කිරීම විශ්වාසය නොමැතිකම නිසා සිදුවන අතර මෙවැනි කාරණා නිසා ඔබ සහ ඔබේ සහකරු අතර ඇති සම්බන්ධතාවය ඉතා දුර්වල එකක් වන්නට හැකියාව තියෙනවා.

දෛනික ජීවිතය සහ රැකියාව සමතුලිත කර නොගැනීම 

බොහෝ පවුල් තුළ ගැටලුකාරී තත්ත්වයන් ඇතිවීමට මෙය විශේෂ හේතුවක් ලෙස දක්වන්නට පුළුවන්. ඔබ රැකියාව තුළදී මොනතරම් ඉහළ තනතුරක් දැරුවත් ඔබ නිවසේදී ඔබේ ආදරණීයන්ට ආදරණීය සාමාජිකයෙක් පමණයි.ඔබ රැකියාවේ ඇති ගැටලු , වගකීම් සහ මානසික පීඩාවන් නිවසට රැගෙන එනවා නම් එයින් ඔබේ පවුලේ සාමාජිකයෙනුත් පීඩාවට පත් වන්නට ඇති හැකියාව වැඩියි.ඔබ නිවසේදිත් ඔබේ රැකියාවට අදාල කටයුතුවල නිරත වනවා නම් ඔබ ඔබේ පවුලේ සාමාජිකයන්ට කාලයක් සහ වටිනාකමක් ලබා නොදෙන බවට ඔවුන්ට හැඟීමක් ඇති විය හැකියි. මෙමඟින් ඔබ සහ ඔබේ පවුලේ අය අතර , විශේෂයෙන්ම ඔබේ සහකරු අතර ඇති සම්බන්ධතාවය පළුදුවීමේ හැකියාව පවතිනවා.

සර්ව සම්පූර්ණ හෝ පරිපූර්ණ සහකරුවන් මෙලොව නොමැති අතර ඔබ දෙදෙනා අතර ඇති දුර්වලතා සහ එකිනෙකාගේ හැඟීම් තේරුම් ගෙන ඔබේ සබඳතාවය සෞඛ්‍ය සම්පන්න ලෙස පවත්වාගෙන යාම ඔබ දෙදෙනාටම ඇති වගකීමක්. සම්බන්ධතා බොහෝවිට දුෂ්කර සහ සංකීර්ණ ඒවා වන්නේ ඉහත කී කාරණා පිළිබඳව ඔබ එතරම් අවධානයක් යොමු නොකරන විටයි. ඔබේ සම්බන්ධතාවය ශක්තිමත් සහ සෞඛ්‍ය සම්පන්න එකක් බවට පත්කර ගැනීමට ඉහත කී කාරණා පිළිබඳව සැලකිලිමත් වන්නට ඔබට පුළුවන්.

Related Articles

Don't Miss


Latest Articles