නිරාශා රෝහලෙන් පිට වුණේ රෑ දහයාමාරට විතර. වැඩමුරය අවසන් වෙන්න නියමිත වෙලා තිබුණේ රෑ දහයට වුනත් වෘත්තීය හෙදියකට හදිසි වැඩ රාජකාරී යෙදෙන්න පුළුවන් වීම කියන කාරණාව මත නිරාශා බලාපොරොත්තු වුන වෙලාවට වැඩ නිමා කරගන්න ඇයට බැරි වුණා. නිරාශා කඩිමුඩියේ බස් නැවතුම්පොළට දුවගෙන ආවේ අන්තිම බස් රථය රෑ දහයයි හතළිහට යන නිසා. ප්‍රධාන පාරෙන් තරමක් ඇතුලට වෙන්න පිහිටලා තිබුණ නිවසක ජීවත් වෙන නිසා නිරාශාට ගෙදර යන්න තිබුණෙ හරිම සීමිත බස් ප්‍රමාණයක්. එයින් එකක් මග ඇරුනොත් නිරාශාට රෑට ගෙදර යන්න වාහනයක් හොයාගන්න එක පුදුමාකාර අපහසු දෙයක් වුණා.
නිරාශාගේ වෙලාවේ හොඳකමට රෑ දහයයි හතළිහේ බස් එක අල්ලගන්න නිරාශාට පුළුවන් වුණා. බස් රථයේ පිටුපස දොර ආසන්නයේම තියෙන හිස් අසුනට නිරාශා බර වුණේ අන්තිම බස් රථයේ ඒ තරම් සෙනඟක් නොහිටපු නිසයි , බසයෙන් ඉක්මනින් බැහැගන්න පහසු නිසයි.
ගණ අන්ධකාරයෙන් වැහිලා තියෙන පාර දිහා බලාගෙන යන නිරාශාට එක බස් නැවතුමකදී තමන්ගේ සීයා තරම් වයසක මනුස්සයෙක් බස් රථයට නඟින්න උත්සාහ කරන විදිය දැකගන්න පුළුවන් වුණා. ඔහු හිටියේ ගමන් මලු කීපයක්ම අත් දෙකෙන් උස්ස ගෙන බස් රථයට නඟින්න උත්සාහ කරන ගමන්.ක්ෂණිකව ආපු සිතුවිල්ලක් මත ආසනයෙන් නැගිට්ට නිරාශා බස් රථයේ පා පුවරුවේ පඩි දෙකක් විතර බැහැලා ඒ වයෝවෘද්ධ පුද්ගලයාගේ අතේ තියෙන ගමන් මළුවලින් දෙක තුනක් අරගෙන ඔහුට බසයට නඟින්න උදව් කරා.
බස් රථයට නැග්ග ඒ මනුස්සයා වාඩි වුනේත් නිරාශා ළඟින්මයි. වාඩි වුන ගමන්ම කට පුරා හිනා වෙලා නිරාශාට ස්තුති කරන්නත් ඔහු අමතක කළේ නැහැ.
” පුතා මොකක්ද කරන රස්සාව ? ”
මහලු පුද්ගලයා ඇහුවේ තවත් ටික දුරක් ගියාට පස්සේ.
” මං නර්ස් කෙනෙක් සීයේ ”
නිරාශා එහෙම කිව්වහම ඔහු යන්තමින් හිනා වුණා.
” ඔයා වගේ කරුණාවන්ත කෙනෙක්ට ගැලපෙන රස්සාවක් ඒක ”
නිරාශා කොහොමටත් කරුණාවන්තයි කියලා හුඟාක් රෝගීන් කියලා තියෙන නිසා මහලු පුද්ගලයා එහෙම කිව්වමත් නිරාශා බොහොම නිහතමානීව ඒක පිළිගත්තා.වෘත්තීය ඇතුළෙ මොන තරම් කාර්යබහුල වුණත් ,වෙහෙසකර වුණත් රෝගියෙක් කියන්නේ කරුණාව අත්‍යවශ්‍ය කෙනෙක් නිසා හැම වෙලාවේම ඉවසීමෙන් රෝගීන් එක්ක ගනුදෙනු කරන්නයි නිරාශා පුරුදු වෙලා හිටියේ.විශේෂයෙන්ම වයසින් වැඩි අයත් එක්ක.
” පුතා වැඩ ඉවර වුණේ දැන්ද ? ”
” ඔව්. අද ටිකක් පරක්කු උනා.වෙලාවට අන්තිම බස් එක හරි අල්ල ගන්න පුළුවන් උනේ “
නිරාශා පිළිතුරු දුන්නට පස්සේ වයෝවෘද්ධ පුද්ගලයා ආයෙමත් නිහඬවම ඉදිරිය බලා ගත්තා.
” සීයා කොහෙන්ද බහින්නේ ? ”
නිරාශා එහෙම ඇහුවේ වයෝවෘද්ධ පුද්ගලයා මුදල් හරි ප්‍රමාණයටම කොන්දොස්තර අතට දීලා හිටපු නිසා.
” කැන්දලියද්ද පාර ගාවින් මං බහින්නේ ”
” ඉතින් මම යන්නෙත් ඒ පාරටමනේ. මං මීට කලින් සීයව දැකලා නෑනේ”
” මං උදේ පාන්දරින් ගෙදරින් ගියාට පස්සේ එන්නේ හැමදාම මේ වෙලාවට තමයි පුතේ “
” එහෙනම් ඒක වෙන්න ඇති. හැබැයි ඉතින් මමත් තාම මේ බෝඩිමට ඇවිල්ලා මාස දෙකක් විතර ”
” මං ටවුන් එකේ රෙදි මාකට් එකේ රෙදි විකුණන්නෙ දැන් අවුරුදු පහ හයක ඉඳලා ”
වයෝවෘද්ධ පුද්ගලයා කාත් කවුරුත් නැති කෙනෙක් කියලා නිරාශාට හිතුණේ එතකොට.ඇයට ඔහු ගැන දැනුනේ අනුකම්පාවක්. විවේක ගන්න ඕන මේ වගේ කාලයක සෑහෙන දුරක් බස් එකේ ගිහින් වෙළඳාම් කරලා මහ රෑ වෙලා ගෙදර යන ඔහු ගැන අනුකම්පාව පරදවලා දුකකුත් නිරාශාට දැණුනා.
” මගේ පොඩි පුතා දොස්තර කෙනෙක්. එයා නං ටිකක් දුෂ්කර පළාතක. ලොකු පුතත් දොස්තර කෙනෙක්. එයා පිටරට ගිහින් දැන් අවුරුදු හයකට කිට්ටුයි ”
වයෝවෘද්ධ පුද්ගලයා ආයෙමත් කිව්වේ සඟවා ගත්ත දුකකින්.ඒ තරම් උගත් දරුවන් ඉද්දි සැප සම්පත් සහිතව ඉන්න පුළුවන් මේ වගේ ජීවිතයක් ගත කරන්නේ ඇයි කියලා නිරාශාට අහන්න හිතුණා.
” මගේ නෝනා නැති වෙනකොට පොඩි පුතාට අවුරුදු දොළහ ලැබුව විතරයි. ඊට පස්සේ ඒ දෙන්නට උගන්වන්න මම නොකරපු දෙයක් නැහැ. ඉගෙන ගෙන ලොකු ලොකු තැන් වලට ගියාට පස්සේ ඒගොල්ලන්ට මං ඉන්න පිළිවෙල අල්ලන්නෙ නැතුව ගියා. ඒගොල්ලන් කසාද බැඳපු නෝනලා කැමැති වුණේත් නෑ මං ඒගොල්ලොත් එක්ක ඉන්නවට. දෙගොල්ලම මට පල නොකියා පලා බෙදපු නිසා මං ඒ ගෙවල් වලින් එළියට බැස්සා.තාමත් මගේ අත පය හයියයි පුතේ රස්සාවක් කරගෙන ජීවත් වෙන්න ”
නිරාශා ගේ දෑස් කඳුළින් පිරුණා.ඒ තරම් උගත්කමක් තිබිලත් තමන්ගේ පියා ගෙදරින් එළියට බැහැලා යනකම් ඒ දරුවන්ට බලා ගෙන ඉන්න පුළුවන් වුනේ කොහොමද කියලා නිරාශා හිතුවා. නිරාශා කොළඹ ඇවිල්ලා ඉගෙනගෙන කොළඹම නැවතිලා රස්සාවක් කරලා මහන්සි වෙලා සල්ලි හම්බ කරන්නේ ගමේ ඉන්න අම්මා වයි තාත්තවයි බලා ගන්න. අම්මයි තාත්තයි තමන්ට උගන්වන්න මොනතරම් මහන්සියක් දරුවද කියලා දන්න නිසාම කවදාවත් නිරාශා ඒ දෙන්නාට අඩු පාඩුවක් කලේ නැහැ. මොනතරම් ඉහළට ඉගෙනගෙන මොන තනතුරු තානාන්තර දැරුවත් දෙමව්පියන්ට නොසලකා හරින්න දරුවෙකුට පුළුවන්ද ?
” සීයා ගෙදර ඉන්නේ කවදද ? ”
නිරාශා එහෙම ඇහුවේ නිවාඩු පාඩුවේ ඉන්න දවසක කෑම ටිකක් උයලා මේ අසරණ මනුස්සයාට ගිහින් දෙනවා කියලා හිතා ගෙන.
” මං ගෙදර ඉන්නවා කියලා දවසක් නෑ පුතේ. මං හැමදාම යනවා රෙදි විකුනන්න. එක දවසක් හරි නොයා හිටියොත් පාඩුයි. මං ඉන්න කාමරේ කුලිය ගෙවන්නේ කන්නෙ බොන්නෙ හැමදේම කරගන්නේ මේකෙන් නේ. ඒ ඔක්කොම කර ගන්න අස්සේ හදිස්සියේ ලෙඩක් දුකක් හැදුනොත් එහෙම සේරම ඉවරයි ”
එතනින් එහාට නිරාශා කතා කළේ නැහැ. ජනේලයෙන් ඈත බලාගෙන පහුවෙලා යන පාර දිහා බලාගෙන නිරාශා කල්පනා කළා. බහින්න නියමිත බස් නැවතුම ළං වෙනකොට වයෝවෘද්ධ පුද්ගලයා වගේම නිරාශාත් අසුනින් නැගිට්ටා. නිරාශ ගමන් මලු කීපයක්ම අතට ගන්න කොට ඉතිරි වෙච්ච මළු දෙක අතට අරගත්ත වයෝවෘද්ධ පුද්ගලයා බස් රථයෙන් බැස්සා. නිරාශා ඔහු පසු පසින්ම ඇවිත් ඔහු නැවතිලා ඉන්න කුලී කාමරය ළඟටම ගමන් මළු ටික ගෙනල්ලා දුන්නා.
” ඔයාට පින් සිද්ධ වෙනවා පුතේ.අද මට හුඟක් මහන්සි දවසක්.මේ වගේ උදව්වක් ඇත්තටම මට ඕන වෙලා හිටියේ ”
වයෝවෘද්ධ පුද්ගලයා නිරාශාගේ අත් දෙකෙන් අල්ලගෙන පින් දුන්නා.නිරාශා ඔහුට වැඳලා හෙමින් හෙමින් ඇය නැවතිලා ඉන්න බෝඩිම දිහාවට ආවා.
” සමහර විට ඔබ කරන පුංචි උදව්වක් කෙනෙකුට විශාල ලෙස හැඟෙන්න පුළුවන්.සමහරවිට ඒ කෙනාට ඒ උදව්ව කරන්න ඒ මොහොතේ ඉන්නෙත් ඔබ විතරක්ම වෙන්න පුළුවන්.
ඒ නිසා පුළුවන් හැම වෙලාවකම හැම කෙනෙකුටම කරුණාවන්ත වෙන්න උත්සාහ කරන්න ”