දෑත දරා – 02

0
1214

පසුදින මනුජ නවාතැනින් පිටව ගියේ  යම් තෝන්තුවක් සමඟය. නිර්දාගේ මතක රැය පුරාම ඔහුට වද දුන්නේය. නිර්දා පිළිබඳව අමතක කිරීම අපහසු වන්නේ දියණිය ඇයගේම අනුරුවක් බව දිනෙන් දින වැටහෙද්දීය. දියණියගේ අංග චලනයන් තුල පවා ඇත්තේ නිර්දාගේ මතකය.

එහෙත්, තමා සහ නිර්දා ට එක්ව ගමනක් නොමැති බව මනුජ යළි යළි තමාට ඒත්තු ගන්වා ගත්තේය. අතීතය සිහිනයක් බව වටහා ගත යුතුය. දෑත් බැඳුණු හැම තැනකම සිත් බැඳී තියෙන්නේ නැත. තමා එය වටහා ගන්නට නොහැකි  අයෙකු නොවන බව යමනුජ දනී . එහෙත් නිර්දා ….,

මනුජ වහා තම අවධානය රාජකාරි කටයුතු  වෙත යොමු කලේය.

අදාල පුහුණු කිරීමේ කටයුතු වල අර්ධයක් නිමවීමෙන්  පසු මනුජ තම කැබිනය තුලට වී සාරතී නැන්දාට  ඇමතුමක් ගත්තේය. වෙනදා රාජකාරියට පැමිණි පසු අන් කිසිවක් සිතීම ඔහුට අවශ්‍ය නොවුව නොවුව ද දැන් දියණියගේ වගකීම තුළ එලෙසින් හැසිරෙන්නට නොහැකි බව මනුජයට දැනෙන්නේය. සාරතී නැන්දා  පැවසූයේ  දියණිය උදෑසන ආහාරය ගත් බවත්, සෙල්ලම් කරමින් සිටින බවත්ය.

මනුජ එම  ඇමතුමට   පසුව  පියාට ඇමතුමක් ගත්තේය. අම්මාගේ සුව දුක් පිළිබඳව විමසුවේය. 

“අද හවස තමයි ආයේ ඩොක්ටර් චැනල් එක තියෙන්නේ.. දැන් නම් අම්මට අපහසුවක් නැහැ. කිව්ව විදියටම බෙඩ් රෙස්ට් …  ඇඳටම වෙලා ඉන්නවා… අම්ම හිත කලබලෙන් ඉන්නේ දරුවා ගැන… එන්න ඒ ප්‍රශ්නේ විසඳිලා බව අම්මාට ඇඟෙව්වා නම් වෙන ප්‍රශ්න නැහැ…”

“දරුවා ගැන හිත කළබල කරගන්න දෙයක් නෑ තාත්තේ. එහා ඉන්නේ මගේ ළැඟනේ …. අනිත් එක සාරතී නැන්දා  දරුවාව හොඳට බලාගන්නවා…. සාරතී නැන්දාට එහෙමට ලොකුවට  වෙන පවුල් බර ප්‍රශ්න කතන්දර  නෑ …  එයා දරුවාව සලකන්නේ තමන්ගේම කෙනෙක් ගානට…. මගේ මෙහෙ යාලුවෝ කිහිප දෙනෙක්ගෙම බබාලා බලලා තියෙන කෙනෙක් ඒ…”

” ඔව්  වෙන්නැති …. උඹටයි මටයි ඕක තේරුනාට අම්මට තේරුම් කරන්න ලේසි නෑ … ඒක නොදන්නවා නෙවෙයිනේ….කෝකටත් සති අන්තෙ හරි අල්ලලා දරුවාවත් අරගෙන ඇවිල්ල යන්න බලන්න…. සතියකට දෙපාරකට වතාවක් හරි දරුවාව දැක්කම ඔය තෝන්තු ගතිය ඇරේවි …”

“මං සිකුරාද රෑට එන්නම් කියලා හිතුවේ තාත්තේ …”

“කිරි සප්පයෙක් අරගෙන රෑ වරුවල ගමන් එන්න ඕන නෑ සෙනසුරාදා උදේ එන්න ..”

“හරි මම ඒක බලන්නම් තාත්තේ…  ඔය උයන්න එන  නැන්දා නැන්දට කියලා කරන්න තියෙන හැමදේම කරගන්න.. ඔක්කොම බලාගන්න කියලා තියෙන්නේ මම …”

“ඒ මනුස්සය තියෙන හැමදේම කරල බලල තමයි යන්නේ.  අඩුම තරමේ වේලෙන්න දාන රෙදි කෑල්ලක්වත්  වැලේවත් තියලා යන්නේ නෑ ඒවත් නවල කරලා යන්නේ…”

“එහෙම කරන්න දෙන්න තාත්තේ. තාත්තත් මහන්සි වෙන්නේ නැතුව ටිකක් සැහැල්ලුවෙන් ඉන්න.. අමම් බබාව බලාගන්නවා… ඒක හිතලා හිත කලබල කරගන්න එපා…”

මනුජ ඇමතුම විසන්ධි කළේය. අම්මා සුවපත් තත්ත්වයෙන් සිටීම හිතට ගෙන එන්නේ සහනයකි. නමුත් දියණියව අම්මාට සහ තාත්තාට බාර දෙන්නට නොහැකි බව ඔහුට දැනීම සිතට බරක් ගෙන එන්නේය. එලෙසින් භාර දෙනවා නම් දියණිය බලා ගැනීම සඳහා තවත් කාන්තාවක ද නැවත නිවසේ රැඳවිය  යුතු වන්නේය.  නමුත් අම්මා සහ තාත්තා සිටින විට දියණිය අන් අන් අයකු සමග සිටීම කිසිලෙසකින්වත්  ප්‍රිය නොකරන බව ඔහු පෙර අත්දැකීම් මතින්ම  හොඳින්ම දන්නේය.

එවිට යළි දියණිය සමගින් වෙහෙසෙන්නට සිදුවන්නේ අම්මාටය.  මේ එය අම්මාගේ හදිසි හෘදයාබාධ තත්ත්වයට ගෙන එන්නේ යහපත් තත්ත්වයක් නොවන බව වෛද්‍යවරයා පැහැදිලිව පැවසූ බව මනුජට මතකය.

” මේ වයසේ පොඩි දරුවෙක් එක්ක ඔට්ටු වෙනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි.. අනික හිතට මානසික කරදරයක් තියෙන වෙලාවක එහෙම දරුවෙකුත් බලා ගන්නවා කියන වගකීම ටිකක් බරයි….එනිසා මචං , මෙවෙලේ   අම්මව ටිකක් රිලීස් කරලා තියන එක තමයි හොඳම වැඩේ. දරුවා උඹට රැක බලාගන්න පුලුවන් නම්, උඹ  ඉන්න තැනක තියාගෙන අවධානේ දීහං…. ඒකෙන් අම්මට ටිකෙන් ටික හිත හදාගන්න පුලුවන් වෙයි…”

වෛද්‍ය මිතුරාගේ ඒකමතික යෝජනාව සහ තීරනය වූයේ එයය.

මනුජ ජංගම දුරකථනයක් පසෙකින් තැබුවේය . ඉන් පසුව යළිඑය අතට ගත්තේය.  ගැලරියේ වූ  දියණියගේ සහ තමාගේ ඡායාරූප කිහිපයක් දෙස බලා උන්නේය. තමා ඇය සමීපයේ සිටින හැම මොහොතකම දියණියට අවැසි තමා හා කියවමින් දොඩමළු වෙමින්  තමා අස්සේම ඉන්නට බව සිහිපත් වී හීන් සිනහවක් වැටුනේය.

ඊළඟ තත්පරයේම තව තමාට එය දැනෙන්නේ යම් ආකාරයක පීඩාවක් ලෙසින් බව ඔහු කල්පනා කලේය.  එය කිසිවෙකුට පැහැදිලි  කිරීමද පහසු නැත.

“මට ඒක කියන්න තේරෙන්නේ නෑ බං. ඒත් කෙල්ල හැමතිස්සෙම කියවද්දි, මගේ අස්සෙම දැවටෙද්දි , මට මාර නර්වස් ෆිලින් එකක් තියෙන්නේ..”

අවසානයේ ඔහු වෛද්‍ය මිතුරා ට එලෙසින් පැවසූ බව සිහි විය.

“උඹ මහා යකාගේ තාත්තෙක්නෙ බං..අම්මත් නැති එකේ ඒ කෙල්ල තාත්තගේ අස්සේ  දැවටෙන්නේ නැතුව ආයෙ වෙන කවුරු අස්සේ දැවටෙන්නද කියලා හිතපන්….  ඔච්චර ඔහොම ආත්මාර්ථකාමී කතන්දර කියන්නවත් එපා බං…”

” මං කිව්වෙ මට දැනෙන දේ? උඹ එක එක කතා ගෙස්  කරන්නේ නැතුව, ජජ් කරන්නේ නැතුව  මං කියන  එක අහගෙන හිටපං…”

” ජජ්  කළා නෙවෙයි යකෝ ..”

“ඇයි බං උඹට තේරෙන්නේ නැත්තේ ? නිර්දා ආයෙ එන්නේ නැහැ. ඒක පැහැදිලියි. එහෙව් එකේ උඹ නෙවෙයිද කෙල්ලගේ ජීවිතේ ඉස්සරහට තියෙන වගකීම ඔක්කොම දරන්න ඕන..”

” මේක වගකීම් දරන්න බැරිකම ගැන ප්‍රශ්නයක් නෙවෙයි බං … . කෙල්ල අම්මයි තාත්තයි එක්ක හිටියත් මං  එයාට කෙරෙන්න ඕන හැමදේම හොයලා බලලා කරා…. උඹ ඒක නොදන්නවා නෙවෙයිනේ…”

“අනේ යකෝ උඹ නම් මහා පුදුම මිනිහෙක්…”

ආච්චිලා සීයලගේ ආදරේ වෙනයි. අම්මා තාත්තලගේ ආදරේ වෙනයි…මට පුදුම කෙල්ල මෙච්චර කල් අම්මා කියලා කෙනෙක් ගැන අහන්නේ නැතුව ඉන්න එක…. හැබැයි පුතා මෙන්න මේක මතක තියා තියාගනින් … කෙල්ල මොන්ටිසෝරි යන්න පටන් ගත්ත ගමන්ම උඹට ඔය ප්‍රශ්නෙට දෙන්න උත්තර දැම්ම හදාගෙන ඉන්න වෙනවා…”

“මට තේරෙන්නේ නෑ බං ….. අම්මා සනීප උනත් කෙල්ලව අම්ම ලඟ තියෙන එක අම්මට එච්චර සේෆ් නැහැ..”

” අනිවාර්යෙන් අනිවාර්යෙන්….  ඒ මිනිස්සු උඹලාව හදලා හදලා,  නැහිලා නැහිලා අන්තිමේ උඹලගේ ළමයි මත්තෙත් ඇහෙන්න ඕනේ නැහැ…. කොහොමටත් අම්මට ඒ තාත්තට සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්න ඕ ඕන ……. 

නිර්දව කසාද බැන්දේ  උඹේ  උවමනාවට…  දරුවා හැදුවෙත් තොපි දෙන්නගේ උවමනාවට…..  එහෙව් එකේ උඹලා අම්මයි තාත්තයි මොන එකකටද කියහන්කෝ ඒ මත්තේ නැහෙන්නේ ?…”

“සමහර විට ඒක තමයි මම මගේ ජීවිතේ ගන්න ඇති ගත්ත වැරදිම තීරණේ…….”

“තොපි දෙන්න යාලු වෙලා ඉන්න කාලෙ කොයි වෙලෙත්  මරාගන්න එකමයි කරේ. … අනන්ත  කිව්වා. නිර්දව කසාද බඳිනවා නම් ආයෙ පාරක් ඒ ගැන හිතලා බලන්න කියලා…..  මොකද තොපි දෙන්නට එක පාරක යන්න පුළුවන් ගතියක් නෙවෙයි තිබුණේ…..”

“එහෙම මගුලක් නෑ බං …. ඒකිට  ඕනේ වුනේ  මං හැමතිස්සෙම ඒකි  අස්සෙ  දැවටී දැවටී ඉන්න …. මං කරන්න එහෙම රස්සාවක්ද විශ්ව ..”

“ඒක තමයි ඉතින් මම කියන්නේ. ඔහොම රස්සාවල් දරාගන්න පුළුවන් ගැන ඉන්නවා. බැරි ගෑනුත් ඉන්නවා. උඹ කල් මරලා මරලා තෝරගත්තේ උඹේ රස්සාවයි , උඹේ ඔය චරියාවයි  දෙකම දරාගන්න බැරි ගෑනියෙක් …”

“දැන් ඔය කතාවෙන් වැඩක් නෑ.. සාරතී  දැනට දරුවාව බලනවා…ඒත් දරුවා කොයි වෙලත් මාව හොයනවා..මට තියෙන ලොකුම ප්‍රශ්නේ ඒක……”

” ඒක එහෙම වෙන්න ඕනේ…. උඹ සතුටුවෙන් ඒක එහෙම වෙච්ච එක ගැන….. අවුරුදු හතරක් තිස්සේ උඹ දරුවගෙන් කොච්චර ඈත් වෙලාද හිටිය කියලා කල්පනා කරපන්….. එහෙව්  එකේ දරුවා  උඹව ප්‍රතික්ෂේප නොකර, අප්පච්චී කිය කියා  උඹ වටේ දැවටෙන එකම ලොකු දෙයක් නෙවෙයිද කියලා හිතහං …උඹ නිකමට හිතහං කෙල්ල උඹව නිග්ලෙක්ට් කරා නම් එහෙම උඹ කොහොමද මේ ප්‍රශ්න විසඳගන්නේ…. බැරි වෙලාවත් ඔබත් එක්ක ඉන්න බෑ කොළඹ යන්න ඕනේ …ආච්චියි  සීයයි එක්ක  විතරයි ඉන්න ඕනි කිව්වනම් එහෙම…”

මනුජ  දින දෙකකට පෙර මිතුරකු සමග වූ කතාබහ යළි සිහි කළේය.  ඔවුන් සියල්ලම පවසන ආකාරයට වරද  තමාගේය . තමා විසි සිදු කරන ලද තෝරා ගැනීම් වලය.

සැබැවින්ම තමාට නිර්දා අත්හැර නොහැකි තරමේ වූ ලෝභ කමක් ඇය කෙරෙහි තිබුණා නොවේදැයි මනුජ කල්පනා කළේය. ආදරය ලෝභකමෙන් සංසිඳුවා ගන්නට හැකි වුවද එක්ව ජීවත් වද්දී ආදරයත් ලෝභකමත් හැරෙන්නට තවත් තමාට නොවැටහෙන යම් දෙයක් තිබිය යුතු වන්නට ඇතැයි මනුජ සිතුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here