මං අනුපමා. අනුපමා පද්මජා ගුණවීර.
නුගේගොඩ,ගෙවල්වල උස යකඩ ගේට්ටු තිබ්බ, හුළඟෙ cinnamon tea සුවඳත් එක්ක සල්ලි සුවඳත් මුසුවෙලා තිබ්බ පාරක ගේකට, මම තනියම පදිංචියට ආවා. මම ආවේ බෑග් දෙකක් විතරක් අරගෙන. එකක අලුතින්ම නවලා තිබ්බ සුදු සාරි ටිකක්, අනිත් එකේ පොත් ටිකක්, photo frame එකක්, එක්ක තව ඔය පොඩි පොඩි අඩුම කුඩුම ටිකක් තිබ්බෙ. මම ආවේ හරියට හොරෙන් වගේ:
මේ ගෙදර අයිති වුණේ සේනානායක කියලා පවුලකය. කාලයක් ලන්ඩන්වල පදිංචි වෙලා හිටපු පරණ පරම්පරාවක ලොකු සල්ලි තිබ්බ පවුලක්. මහ අමුතු ගෙයක්. ඒ ගේ පිරිලා තිබ්බෙ සද්ද බද්ද වලින් නෙවෙයි, වීදුරු, ලී බඩු එක්ක එක්කහු වෙච්ච අමුතු silence මාව එව්ව ඒජන්සියෙන් මට පැහැදිලිවම උපදෙස් දීලා තිබ්බේ මම ගෙදර වැඩ කරන කෙනෙක්වත්, බලාගන්න කෙනෙක්වත් නෙවෙයි කියලා. මට තිබුණේ ගෙදර ඇතුළේ ඉන්න එක විතරයි. මාළුන්ට කෑම දෙන්න, හැම උදේම ජනෙල් අරින්න, ඕකිඩ් මල්වලට වතුර දාන්න, ඒ වගේම ගෙදර කවදාවත් පාළු පෙනුමක් ගන්න දෙන්න එපා කියන advice එක තමා මට එයාලා දුන්නේ.
මුලදී මම මේ නීතිරීති හරියටම පිළිපැද්දා. ස්ටාෆ් රූම් එකේ නිදාගත්තා, හෙමින් ගේ ඇතුලෙ ඇවිද්දා, මමම ගෙනාපු පුංචි මැටි හට්ටියක මගේ කෑම හදාගත්තා. හැබැයි ටිකෙන් ටික, මේ ගෙදර මට මොකක් හරි අමුතු දේකට invite කරනවා වගේ මට දැනෙන්න ගත්තා. ගෙදර සාලේ තිබ්බ ග්‍රෑන්ඩ් පියානෝ එක මම කවදාවත් අල්ලලා තිබ්බේ නැහැ, වටකුරු පඩිපෙළකින් ඇවිදන් ගියාම වහලේ සන්රූෆ් එකක් තිබ්බා. සාලෙ විසාල පොත් රාක්ක තිබ්බා වහලෙ ඉඳන් බිමටම. මුලින් හෙමින්, පරිස්සමෙන් අඩිය තිය තිය අනුන්ගෙ ගෙයක් අස්සට පැන්න හොරෙක් යනවා වගේ ඇවිද්ද මම ටික ටික මේක නිකන් මගේ ගේ කියලා හිතාගෙන නිදහසේ තමයි ඇවිද්දෙ. අන්තිමට, මම උඩ තට්ටුවේ තිබ්බ කාමරයකට රිංගුවා.
මොකෝ එහෙම කරන්න කියලා ඒ ගෙදර මට නිතරම invite කර හන්දා.
එක දවසක්, අල්ලපු ගෙදර ඉන්න මනුස්සයෙක් අත වනලා හිනාවෙලා ඇහුවා,
“ඔයා මිස්ට සේනානායකලගෙ දුවද?”කියලා මම හිනා වුණා.
සේනානායකලට දුවෙක් ඉන්නවද කියල හිතුනා මිසක්කා ඒ මනුස්සය හිතන දේ වැරදියි කියලා ඒක හරිගස්සන්න මට උවමනා උනේ නෑ. මං ඒක හරිගැස්සුවෙ නැති හන්දම ඒ අහල පහල මිනිස්සු මම සේනානායක දෝණියැන්ද කියල හිතලා සලකන්න ගත්තා. මම කියන කෙනාව එයාලට මාර ලොකු ප්‍රශ්නයක් වෙච්ච බව මට තේරුණා. ඒ උනාට මං නම් ඒකෙන් පුදුම ආතල් එකක් ගත්තෙ. සුදු සාරියක් ඇඳපු අවතාරයක් වගේ මම නිතරම එයාලට පේන්න එහෙට මෙහෙට ඇවිදන් ගියා. එද්දි අරන් ආව ආච්චිගේ ලේස් හැට්ට ඇන්දා, ඔළුව ටිකක් උස්සලා හරිම අභිමානවත් විදිහට ඇවිද්දා. හැම සතියකම dining table එක උඩ තියන්න ඕකිඩ් මලක් කඩන් ආව. සල්ලි තියෙන මිනිස්සු කරන විදිහටම තමයි මම හැමදේම කරේ. මම දොර ඇරියෙත් මගේ ගේ වගේ. ඒ හැමදේම එක්ක මිනිස්සු හිතන්න ගත්තා: මම පිටරට ඉඳන් ආපු කෙනෙක්, කලාකාරියක්, ගෙදර උරුමක්කාරියක්, සේනානයක පවුලෙ දුවෙක් කියලා.
මම කිසිම දෙයක් තහවුරු කළේ නැහැ.මොකටද මම එහෙම කරන්නෙ? මං හදපු කතාවක් නෙවෙයිනෙ.
Silence එකේ මම එයාලගේ කුතුහලය පෝෂණය කළා. ටිකෙන් ටික, මමත් ඒක ඇත්තක් කියලා විශ්වාස කරන්න පටන් ගත්තා. මේක තමයි මං වෙනුවෙන් ඉරණම හදලා තිබ්බ ජීවිතේ කියලා මමම විශ්වාස කරන්න පටන් ගත්තා.
මොකද, මම මෙහෙම ගෙයක් බලාගන්න ආවට අපිත් මේ අතපල්ලෙන් වැටිච්ච එවුන් නෙවි. මං හැදුණේ දකුණේ තිබ්බ පරණ වළව්වක. වහලේ උළු කඩා වැටිලා, යටත් විජිත කාලේ පින්තූර එල්ලලා තිබ්බ පාට ගිය බිත්ති තිබ්බ පරණ ගරා වැටිච්ච වලව්වක. මගේ ආච්චි මට ආචාර විධි, etiquette, piano play කරන එක ඉගැන්නුවා. හැබැයි අපිටසල්ලි තිබ්බේ නැහැ. උරුමයක් තිබ්බේ නැහැ. තිබ්බේ බොල් වෙච්ච, කබල් ගාන්න ඇහැක් වෙච්ච පුස් බැඳිච්ච නම්බුවකුයි, හිල් වෙච්ච වහලෙන් වතුර බේරෙන එකයි විතරයි.
තවීන්ද්‍ර ආවෙ ඔන්න ඔය කාලෙ.
එයා චිත්‍ර ශිල්පියෙක්, කියලා එයා කියන්න කලින් නියපොතු අස්සෙ තිබිච්ච තින්ත කුට්ටි දැක්කම මටත් ඒකම මිනිහා ගැන හිතුවා. අපි meet වුණේ කොළඹ කොටුවේ පුංචි ගැලරියකදී. මිනිත්තු කිහිපයක් ඇතුළත එයා මාව වශී කර ගත්තා කිව්වනම් හරි. එයා කිව්වා, මම හීනයකින් ආපු කෙනෙක් වගේ කියලා. මම එයාට විශ්වාස කරන්න ඉඩ දුන්නා, මම සේනානායක කෙනෙක් කියලා. ගෙදර තනියම ඉන්නේ, අම්මා තාත්තා europe tour එකක් ගිහින් එනකල් බලාගෙන ඉන්නවා කියලා. මම බොරු කිව්වේ, කිසිම අපහසුවක් නැතුව. ලැජ්ජාවක් නැතුව.
එයා නිතරම ආවා. Verandah එකට වෙලා පොත් කියවද්දී. දංකොටුව porceylane කෝප්පවල තේ බොද්දී, සුදු සාරිය ඇඳගෙන අහස පේන වීදුරු වහලය යට හිටගෙන ඉද්දී එයා මගේ පින්තූර ඇන්දා. වීදුරුව හරහා වැටෙන ඉර අව්ව මගේ ඇඟට වැටුණේ ආශිර්වාදයක් වගේ. එයා මේ චිත්‍ර පෙළට නමක් දුන්නා:
“ශ්‍රියා කාන්තා” කියලා.
මේ පින්තූරවලින් එකක් ඔන්ලයින් හරිම ප්‍රසිද්ධ වුණේ ඒ කාලෙදි. මිනිස්සු ඒකේ තිබ්බ අලංකාරයට, silent දුකට, මගේ බොරුවෙන් ගොඩ නගපු ලෝකයේ සුන්දරත්වයට වශී වුණා. මන්දිරයක හිර වුණ කෙල්ලෙක්. දුකින් ඉන්න කුමාරිකාවක්. මේ රූප සටහන්, කාලෙකට ඉස්සර මැකිලා ගියපු, මමවත් ඇත්තක්ද කියලා නිදන්න ආදරයක් ගැන ෆැන්ටසි පෝෂණය කළා. කලා විචාරකයෝ කිව්වා ඒක “පංති භේදය හන්දා මිය යෑමකට ලක්වෙච්ච ප්‍රේමයක නටඹුන් අස්සෙ හිරවෙච්ච ආදරණීය ආත්මයක් ගැන කියවෙන්න චිත්‍රයක්” කියලා.
වැඩි කල් යන්න කලින් ආරාධනා එන්න ගත්තා. Photo Gallery වලට, Photographers ලාට මාව හමුවෙන්න ඕන වුණා. Facebook එකේ මං ගැන ලියවුනා. පින්තූර share වුණා. තනිකම ගැන, උරුමය ගැන, කවි සහ පෝසිලේන් ගැන මිනිස්සු කතා කළා. අලුත්ම treand එකක් vibe එකක් create කරන්න මට පුලුවන් උනාට. ඒත් මම ඇත්ත කිව්වේ නැහැ. හැබැයි ඒ හැම බොරුවක්ම මිනිස්සු මාර ලස්සනට වැළඳගත්තා.
ගෙදර මගේ stage එක වුණා. මගේ set එක වුණා. ඡායාරූප ගන්න කලින් තිර රෙදි හැදුවා, කිසිම හේතුවක් නැතුව ඉටිපන්දම් පත්තු කළා, ගෘහ භාණ්ඩ ආයෙත් වෙනස් වෙනස් විදි වලට හැදුවා දුක්බර පෙනුමක් එන්න. මම දැන් බොරු කියනවා විතරක් නෙවෙයි. මම ලොකු බොරුවක් අස්සෙ අලුත්ම අනුපමා පද්මජා සේනානායක කෙනෙක්ව නිර්මාණය කරමින් හිටියා – හරියට කලා කෘතියක් වගේ.
ඒ අතරෙ තමයි කෝල් එක ආවෙ.
ඒජන්සියෙන් මට කිව්වා සේනානායක මහත්තුරු දවස් දහයකින් ආපහු එනවා කියලා. එයාලා ගෙදර විකුණනවාලු. සතිය අවසන් වෙන්න කලින් මට බඩු ටික අරගෙන යන්න ඕනලු. මට දැනුනෙ හුස්ම ගන්න බෑ වගේ. කණ්ණාඩියෙන් පෙනුණු මගේ රූපය දැන් මම වගේ නෙවෙයි. මම වෙන කෙනෙක් වෙලා තිබුණා. අනුපමා පද්මජා ගුණවීර කෙනෙක් වෙනුවට එතන උන්නෙ අනුපමා පද්මජා සේනානායක කෙනෙක්.
ඒ ගෙදර ඇතුළේ විතරක් හිටපු කෙනෙක්.
ඒ හවසම, තවීන්ද්‍ර ගෙදරට කඩං බිඳං ආවා. එයා මට කිව්වා සිංගප්පූරුවේ ගැලරියකින් අපි දෙන්නටම එන්න ආරාධනා කළා කියලා. මුළු චිත්‍ර පෙළම ප්‍රදර්ශනය කරන්න ඕනලු. මාව ජාත්‍යන්තරයට හඳුන්වා දෙනවලු. මගේ මූණ බිත්තිවල අඳිනවලු. එයා මගේ අත ඉඹලා කිව්වා, “අපි දිනුවා.”
මම හිනා වුණේ නැහැ. මගේ ඇඟිලි වෙව්ලුවා. එයා ඇහුවා, මොකද්ද අවුල කියලා.
අන්න එවෙලෙ තමයි මම එයාට හැමදේම කිව්වෙ වළව්ව ගැන. ගෙදර බලාගන්න ආපු රස්සාව ගැන. ඒජන්සිය ගැන. හැම ඇත්තක්ම.
එයා මුකුත් කිව්වෙ නෑ. එයා මා දිහා බැලුවේ, හරියට ආගන්තුකයෙක් වගේ. සාලෙ එහෙට මෙහෙට වට කීපයක් ඇවිද්ද එයා එක තැනක එහෙම්ම හිටගත්තා. ඊට පස්සේ, මොහොතකට පස්සේ, එයා හිනා වුණා.
අමුතු විදියට.
“අපි නවතින්නේ නැහැ.”
“ඔයා තවදුරටත් අනූපමා පද්මජා ගුණවරී නෙවෙයි. ඔයා තමයි මේ ගෙදර ශ්‍රියා කාන්තාව. ඔයා තමයි ඒ චිත්‍රය. ඔයා තමයි ඒ මිථ්‍යාව. ලෝකෙට ඕන මිථ්‍යාව.” මට අඬන්න හිතුණා. නැත්නම් දුවන්න. නැත්නම් දෙකම. හැබැයි මම දෙකම කළේ නැහැ. ඒ වෙනුවට, මම ඔළුව වැනුවා.
අපි එකට බඩු ටික පැක් කළා. යන්න නෙවෙයි, ඊළඟ පියවර සැලසුම් කරන්න. සේනානායක මහත්තුරු ආපහු ආවා. මිනිස්සු එයාලගෙන් ඇහුවලු “දුව කොහෙද?” කියලා මාව දකින්න නොලැබුණාම. ඒජන්සියෙන් මට දිගට හරහට කෝල් කරා.
“අපිට දුවෙක් නෑ, අපිට ඉන්නෙ පුතෙක් අපි මේ එයාව බලලා එන ගමන්” කියා සේනානායකලා කිව්වම පුදුම වෙච්ච, සැක හිතිච්ච වටපිටේ අය පොලිසියට කියලා තිබ්බා.
“සේනානායකලා කොහොමත් අමුතුයි. වැඩි කතා නෑ”
“වැඩි නෙවෙයි කොහොමත් අපි එක්ක කතාවක් නෑ. උසට තාප්ප දාන් ඉන්නෙ හරියට මොනා හරි ලොකු රහසක් හංගන්න වගේ”
“අර ගර්ල් නම් හරි sweet” කියලා මිනිස්සු කට උත්තර දීලා තිබ්බා.
මාස ගාණකට පස්සේ, බර්ලින්වල, ගැලරියක, මගේ පින්තූරයක් මටත් වඩා ලොකුවට එල්ලිලා තිබුණා. මගේ සුදු සාරිය, මගේ බැල්ම, මගේ නිශ්ශබ්දතාවය ඒ පින්තූරෙ ලස්සනට පේන්න තිබ්බ. චිත්‍රයට යටින්, ලෑල්ලක මෙහෙම ලියලා තිබුණා: “අනුපමා පද්මජා සේනානායක aka ශ්‍රියා කාන්තාව.”කියලා
මිනිස්සු ජර්මන් භාෂාවෙන්, ප්‍රංශ භාෂාවෙන්, ඉංග්‍රීසි භාෂාවෙන් රහසින් මං ගැන කතා කරා.
හරියට ඇත්තක් වෙන්න වටින තරම් ලස්සන බොරුවක් විදිහට.
ළඟ තිබුණු පුංචි කැෆේ එකක, මමයි තවීන්ද්‍රයි තේ බිව්වා, දෙන්නා දෙපැත්තේ ඉඳගෙන. මගේ කොණ්ඩේ දැන් තවත් දිගයි. මගේ හිනාව තවත් තියුණුයි.
අපි මුකුත්ම කිව්වේ නැහැ.
කියන්න ඕන වුණේ නැහැ.
අපි දැනටමත් ඊළඟ පින්තූරය ගන්න plan කරන ගමන් හිටියෙ.
මොකද්ද ඒ පින්තූරය?
ආහ් ඒක කියන්න වෙන්නේ ඉදිරියේදී විතරයි.
මගේ ජීවිතේ ඊළඟ පරිච්ඡේදය මොකක්ද කියලා මම තාමත් දන්නේ නැහැ. හැබැයි මම දන්නවා, මේ කතාව තව දුරටත් කියවෙයි, වෙනස් විදිහකට, අලුත් විදිහකට කියවෙයි.
මොකද මේක දැන් මගෙ කතාවක් විතරක් නෙවෙයි. අපි හැමෝගෙම කතාව හන්දා.