ආදරේ නිසා ඇටසැකිල්ලක් වෙච්ච ප්‍රේමවන්තිය

එකපාර ඔයා දන්න කෙනෙක් අතුරුදහන් වෙලා ඊට අවුරුදු 25කට පස්සෙ ආයෙ හම්බුණොත්?

ටිකක් පුදුම හිතෙනවා නේද?

ඊටත් වඩා හුඟාක් ලස්සන කෙල්ලෙක් අතුරුදහන් වෙලා අවුරුදු 25කට පස්සෙ ඇට සැකිල්ලක් විදියට හම්බවෙද්දි ඒ පුදුමෙ තවත් වැඩිවෙනවා නේද?

අන්න ඒ වගේ පුදුම හිතෙන කතාවක් තමයි අද අපි මේ ආටිකල් එකෙන් කතාකරන්න යන්නෙ.

මේක ප්‍රංශයේ ජීවත් වුණු බ්ලැන්ච් මොනියර්ගේ ඇත්ත කතාව. අතුරුදහන් වෙලා අවුරුදු විසි පහකට පස්සෙ ඇට සැකිල්ලක් විදියට දකින්න ලැබිච්ච ආදරණීය කෙල්ලෙක්ගෙ ඇත්ත කතාව.

සල්ලි තියෙන පවුලක ඉපදුණේ වාසනාවකටද?

බ්ලැන්ච් මොනියර් ඉපදුණේ 1849 දී ප්‍රංශයේ පොයිටියර්ස් කියන නගරයේ. එයාගේ පවුල ඒ පලාතෙ ධනවත් සහ ගෞරවනීය පවුලක්. එයාගෙ තාත්තා, චාල්ස්, වංශවත් පවුලකින් පැවත ආව කෙනෙක්. එයාගෙ අම්මා, ලුවීස්, ප්‍රසිද්ධ වෙලා උන්නේ හරිම ලස්සන හැබැයි ටිකක් විතර නීතියට වැඩ කරන කෙනෙක් විදියට.

බ්ලැන්ච් කියන්නෙ හරිම ලස්සන, දක්ෂ, වගේම පියානෝ වාදනයට ගොඩක් කැමති සාමාන්‍ය කෙල්ලෙක්. පවුලේ හැමෝම බලාගෙන උන්නේ බ්ලැන්ච් පවුලෙ තත්ත්වෙ තව උඩට අරගෙන එන විදියෙ පවුලකින් කසාදයක් කරගනීවි කියලා. මොකෝ ඒ වෙද්දිත් එයාගෙ වැඩිමහල් සහෝදරයා, මාර්සෙල්, ඒ වෙනකොටත් සමාජයේ පිළිගත් සාර්ථක නීතිඥයෙක් වෙලා හිටියා. එලියෙන් බලන ඕන කෙනෙක්ට තේරුනේ බ්ලැන්ච්, සුරංගනා ජීවිතයක් ගෙවනවා වගේ.

ඒත් පවුලෙ අය මොනවා හිතන් උන්නත් බ්ලැන්ච්ට නම් තිබ්බෙ වෙන විදියෙ ප්ලෑන්ස්.බ්ලැන්ච් ඒ වෙද්දිත් උන්නෙ ආදරේ කරන ගමන්. ඒ ලෝයර් කෙනෙක්ට. හැබැයි මේ ලෝයර් කියන කෙනාව තමන්ගෙ පවුලෙ තත්ත්වෙට කිසිම විදියකින් ගැලපෙන්නෙ නැති බව බ්ලැන්ච් දැනන් උන්නා. ඊටත් වඩා තිබ්බ ලොකුම ප්‍රශ්නෙ ආගම.ඒ මේ ලෝයර් ප්‍රොතෙස්තන්ත භක්තිකයෙක් වුණ එය. මේ හේතු ඔක්කොම හන්දා බ්ලැන්ච් ගෙ අම්මා උන ලුවීස් මේ සම්බන්ධෙට පොඩ්ඩක්වත් කැමති උනේ නෑ.

“මේ කසාදෙ වෙන්නෙ මගෙ මරණෙ උඩින් වගේ” typical අම්මා language එකක් ලුවීසුත් බ්ලැන්ච් වෙනුවෙන් පාවිච්චි කරා මේ සම්බන්ධෙ නතර කරන්න.

අතුරුදන් වුනේ මේ කාලෙ

1870 ගණන්වල මැද භාගයේ දවසක,  බ්ලැන්ච් හදිස්සියේම අතුරුදහන් වෙනවා. මිනිස්සුන්ට මේක මාර ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසාම එයාලා බ්ලැන්ච්ගෙ ගෙදර අයගෙන් ඇහුවා “කෝ බ්ලැන්ච්” කියලා. මේකට මොනියර් පවුල කිව්වේ එයා “වෙන තැනකට ගියා” කියලා විතරයි. ටික කාලෙකින්, මිනිස්සු ප්‍රශ්න අහන එක නැවැත්තුවා. බ්ලැන්ච් ආදරය කරපු පෙම්වතා අවුරුදු කීපයකට පස්සේ මැරුණා, ඒත් එක්කම බ්ලැන්ච් ගැන කටකතාත් නැතිවෙලා ගියා.

ඉන්පස්සෙ අවුරුදු විසි පහක් තුරාවට කිසිම කෙනෙක් බ්ලැන්ච්ව දැක්කෙ නෑ. එයා ගැන කිසිම ආරංචියක් දැනගත්තෙත් නෑ.

හැබැයි අවුරුදු විසි පහකට පස්සෙ මේ හැමදේම වෙනස් වෙන්නෙ අමුතුම ලියුමක් එක්ක.

හැමදේම වෙනස් කරපු ලියුම

1901 මැයි 23 වෙනිදා, පැරිස් නීතිපතිවරයාට නිර්නාමික ලිපියක් ලැබෙනවා. ඒකෙ ලියවිලා තියෙන්නෙ මහ අමුතුම කතාවක්

“මැඩම් මොනියර්ගේ ගෙදර ඇතුළේ කාන්තාවක් හිර කරලා ඉන්නවා. අවුරුදු 25ක් තිස්සේ, එයා හරිහමං කෑමක් බීමක් නැතුව, ජරා ජීර්ණ වෙලා ඉන්නවා’

මේ ලියුම කියවපු පොලිසිය වහාම මොනියර්ගේ ගෙදරට යනවා. මුලදී, බ්ලැන්ච්ගේ වයසක අම්මා වන ලුවීස් එයාලට ඇතුළට එන්න ඉඩ දෙන්නේ නැහැ. හැබැයි පොලිසිය බලෙන්ම උඩ තට්ටුවට යනවා.

අගුළු දාලා තිබුණු දොරක් කඩාගෙන එයාලා ඇතුළට යනවා.

දකින්න ලැබෙන්නෙ කවදාවත් දකින්න ලැබෙයි කියලා බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි.

මුලින්ම දැනුණේ පුදුමාකාර ගඳක්. ඒක  කුණු වෙච්ච ගඳක්. කාමරේ පොඩි, අඳුරු කාමරයක්. ඒ කාමරේ තියලා තිබ්බ අපිරිසිදු පිදුරු මෙට්ටයක් උඩ, මනුස්සයෙක් වගේ පේන රූපයක් තිබ්බා. ඒක මනුස්සයෙක් කිව්වට ඇත්තටම මනුස්ස ඇට සැකිල්ලක්.

එයා උන්නේ නිරුවතින් කිව්වොත් හරි. ඇඟ වැහෙන්න අපිරිසිදු රෙද්දක් දාලා තිබ්බා. කොණ්ඩෙ දිගට වැවිලා, හොඳටම අවුල් වෙලා ගැට ගැහිලා. ඇඟේ තිබුනෙ ඇටකටු විතරයි. බර නිකන් කිලෝ විසිපහක් විතර වෙන්නැති.

පොලිසිය පුදුම වෙන්නේ ඒ කවුද කියලා දැනගත්තම.

ඒ වෙන කවුරුවත් නෙවෙයි ඒ උන්නේ මීට අවුරුදු විසි පහකට විතර කලින් අතුරුදහන් වෙච්ච ලස්සනම ලස්සන බ්ලැන්ච්.මේ වෙද්දි එයාගෙ වයස අවුරුදු පණහක් වගේ. බ්ලැන්ච් උන්නේ සම්පූර්ණ වෙනස් වෙලා. තමන්ගෙ කුණු ජරාව අස්සෙ හිරවෙලා, අපිරිසිදු වෙලා.

ප්‍රංශෙම හෙල්ලෙන ඇත්තක්

මේ පුවත ප්‍රංශය පුරා වේගයෙන් පැතිරෙනවා. පත්තරවල බ්ලැන්ච්ගෙ තත්ත්වය ගැන බිහිසුණු විස්තර පළ වෙනවා. මිනිස්සු පුදුම වෙනවා.

 “ගෞරවනීය, ධනවත් පවුලක් කොහොමද මේ වගේ කෲර දෙයක් කරන්නේ?” කියලා මිනිස්සු කතාවෙනවා.

එයාගේ අම්මා ලුවීස් සහ එයාගෙ සහෝදරයා මාර්සෙල් මේ සිදුවීමට විරුද්ධව අත්අඩංගුවට ගන්නවා. හැබැයි ලුවීස් උන්නෙ කිසිම වේදනාවකින්, තරහකින් නෙවෙයි. කේන්තියෙන් පිරුණු මිනිස්සු ගේ පිටත රැස් වෙලා ඉන්නකොට,ලුවිස් කියනවා

“මිනිස්සු මේ කලබල කරන්නෙ කිසිම තේරුමක් නැතුව, බොරුවට.” කියලා.

හැබැයි මේ සිද්දියෙන් සති දෙකකට පස්සෙ වයසට ගිය ලුවීස් මිය යනවා.ඒ තමන්ගෙ හිතේ තිබිච්ච නපුරුකමත් එක්කම. 

මේ සිදුවීම ගැන කතාකරන ගොඩක් මිනිස්සු කියන කතාව වුණේ, ලුවීස් බ්ලැන්ච්ව හිර කළේ එයා තමන්ගෙ දුප්පත් පෙම්වතාව අත්හරින්න අකමැති වුණ නිසා කියලා. එයාගෙ අම්මාට හැමදේටම වඩා ලොකුවුනේ පවුලේ ගෞරවය ආරක්ෂා කරන්න කියලා. ඒ නිසාම එයා එයාගෙ දුව තමන් කසාද බඳින කෙනා ගැන අදහස වෙනස් කරනකම්ම කාමරය ඇතුළේ හිරකරලා තිබ්බා කියලා.

හැබැයි මිනිස්සු කිව්ව මේ හැම කතාවට වඩා දෙයක් එතන තිබුණා.

හිර කරන්න කලින්, බ්ලැන්ච් මානසික රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න පටන් අරන් තිබුණා. එයා කෑම කන්න අකමැති වුණා, ගොඩක් ආගමට නැඹුරු වුණා, සහ තනිවෙන්න කැමති වුණා. සමහර අසල්වැසියන් ජනෙල්වලින් ඇඳුම් නැතුව ඉන්න බ්ලැන්ච්ව දැකලා තිබුණා.

මුලදි බ්ලැන්ච්ව බලාගන්න නර්ස් කෙනෙක් ගෙනාවත් ඒ නර්ස් මැරුණට පස්සෙ බ්ලැන්ච්ව බලාගන්න එක පැවරුනේ එයා ගැන එච්චර සැලකිල්ලකින් නොහිතුව නර්ස්ලට. මොකද ලුවීස්ට ඕන උනේ නෑ මහ සල්ලියක් වියදම් කරලා බ්ලැන්ච්ව බලාගන්න නර්ස්ලව දාන්න.අන්තිමේ උන්නේ බ්ලැන්ච්ව අර අඳුරු කාමරයක් අස්සෙ හිරවෙච්ච එක. 

නඩු විභාගය

1901 දී, මාර්සෙල් මොනියර් එයාගේ සහෝදරියට වධ දීමට හවුල් වුණා කියලා චෝදනා මත නඩු විභාගයකට යනවා. සේවකයෝ ඒකට සාක්කි දෙනවා. එයාලා කියනවා තමන් අවුරුදු ගාණක් බ්ලැන්ච් ඔහොම හිරවෙලා ඉන්නවාත්, සමහර වෙලාවට කාමරෙන් එලියෙ ඉන්නවත් දැක්ක කියලා. හැබැයි එයාව හොයාගන්න කලින් ගෙවිච්ච අන්තිම කාලෙ නම් හිතාගන්න බැරි විදියට දරාගන්න අමාරුවෙච්ච, භයානක එකක් කියලත් එයාලා කිව්වා. 

මාර්සෙල් නඩුවෙදි කියනවා තමන් උදව් කරන්න උත්සාහ කළත්, අම්මා තමන්ට ඒකට ඉඩ දුන්නේ නැහැ කියලා. මුලදී, එයාට මාස 15ක සිර දඬුවමක් නියම කරත්  පස්සේ අභියාචනයකින් මාර්සෙල් නිදහස් වෙනවා.  හැබැයි නීතිය කොහොම කරත්  සමාජය නම් එයාට කවදාවත් සමාවක් දුන්නේ නැහැ.

බ්ලැන්ච්ව බේරගත්තට පස්සේ, එයාව මානසික රෝහලකට මාරු කරනවා. එතැනදී, එයාව නාවලා, කෑම දීලා සහ එයාට නිසි ප්‍රතිකාර ලබා දෙනවා. හැබැයි එයාගෙ මානසික තත්ත්වය නම් ඇත්තටම සනීප වුණේ නැහැ.

බ්ලැන්ච් 1913 දී මැරෙනකම්ම ජීවත් වුනේ ඒ ඉස්පිරිතාලේ.

එයාව “පොයිටියර්ස්හි හුදෙකලා වූ කාන්තාව” විදියට ප්‍රසිද්ධ වෙන්නෙ ඉන්පස්සේ. එයාගෙ කතාව ප්‍රංශය විතරක් නෙවෙයි මුළු ලෝකයම කම්පනයට පත් කරපු කතාවක් වුණා.

ධනය, අලංකාරය, සහ වරප්‍රසාද එක්ක ඉපදුණත් අන්තිමේ ජීවිතේ වැඩිහරියක් එයාට ගෙවන්න උනේ හිරකාරියෙක් විදියට. ඒ තමන්ගෙම පවුල අය විසින් හදපු හිර කූඩුවක් අස්සේ. 

Related Articles

Don't Miss


Latest Articles