ඒ 1987 අවුරුද්ද.
උතුරේ ටිකෙන් ටික ඇඳිරි නීතිය ඉවර වෙලා, වැහිලා තිබ්බ දුම්රියපොළවල් ආයෙත් අරින්න පටන් අරන් තිබුණා. මාතර පැත්තේ අවුරුදු 35ක් වගේ වෙච්ච අනුර මහත්තයාට ආණ්ඩුවේ විගණන නිලධාරියෙක් විදියට යාපනේට යන්න වැඩක් සෙට් වුණා. එයා මීට කලින් කවදාවත් මෙච්චර උතුරට ඇවිත් තිබුණේ නෑ. වියළි හුළඟ, තල් ගස්, කටට හුරු නැති බාසාවකින් පිරිච්ච වෙනම ලෝකයක් අස්සෙ තමන් හිරවුනා වගේ එයාට දැනුණා. වැඩ ටික ඉවර වෙලා එයා ගෙදර යන්න ලෑස්ති වුණා ඉක්මනට ඒ නුපුරුදු ලෝකෙන් ගැලවෙන්න තිබ්බ හදිස්සියට වගේ.
ඒ ඉරිදා හවස ස්ටේශන් එකෙන් දකුණට යන කෝච්චිය පිටත් වෙද්දිත් ඒකේ එහෙමකට කියලා සෙනඟ ගොඩක් හිටියේ නෑ. අනුර මහත්තයා දෙවෙනි පන්තියේ ජනේලෙ ළඟ සීට් එකක් තෝරගෙන වාඩි වුණා. දූවිලි මිශ්‍ර හුළඟ එයාගේ මූණේ වැදෙනකොට පුදුම නිදහසක් දැනුණා. අන්තිමේ ගෙදර යන්න පුළුවන් උනා කියලා හිතලා වගේ. අනික ගම් පළාත්වල මිනිස්සු කොහොමත් බයෙන් ඇත්තෙ මේ ගමන තමන් මෙහෙම ආවට. ආව දවසෙ ආව විත්තිය දන්වන්න කෝල් එකක් දුන්නට ඉතින් සල්ලි ගෙව ගෙව දිනපතා කතා කරන්න කියලය කියලත් අනුර මහත්තයා කල්පනා කරා.
වවුනියාවෙන් තමයි මේ කතාවෙ “එයා” කෝච්චියට නැග්ගෙ. වැඩිම වුණොත් වයස අවුරුදු විසි හතක් වෙන්නැති.ලා නිල් පාට මල් වැටිච්ච සාරියක් ඇඳලා කොණ්ඩෙ අවුල් කරගෙන උන්න එයාගෙ ඇඟේ ආභරණෙකට කියලා තිබ්බෙ පුංචි එල්ලෙන කූඩු කරාබු දෙකක් විතරයි. ඒත් එයාගෙ තිබ්බ ලස්සනම අංගෙ එයාගෙ දකුණු කම්මුලේ කණ ලඟට වෙනකම් තිබිච්ච කලු පාට විසාල උපන් ලපේ. එයා කෝච්චි පෙට්ටිය වටේට බැලුවා හරියට වාඩිවෙන්න තැනක් හොයන්න වගේ. ඉන්පස්සෙ හිමීට හරියට හුලඟෙ පාවෙලා එනවා වගේ ඇවිදන් ඇවිත් අනුර මහත්තයා ඉස්සරහ තිබිච්ච හිස් සිට් එකෙ න් හීන් සැරේ වාඩි උනා.
ලොකුම ලොකු කල්පනාවක් අස්සෙ හිරවෙලා උන්නා අනුර මහත්තය තප්පර ගාණකට ගැස්සුනේ තමන්ගෙ ඉස්සරහ හිස් සීට් එකට කවුරුවත් ආව හන්දා නෙවෙයි. ඒ ආව කෙනා හන්දා. එයාගෙ දුඹුරු පාට ඇස් අස්සෙ, අවුල් වෙච්ච කැරලි ගැහිච්ච කෙස් වලින් වැහිච්ච බෝපත් කොළේ මූණ අස්සේ තිබ්බ තේරුම් ගන්න බැරි, ඒත් හොඳට හුරු පුරුදු හැඟීම හන්දා.
නාදුනනවා උනාට එයාගෙ හිනාවෙ තිබ්බ අනුර මහත්තය හොඳට හුරු පුරුදු බවක්. කරේ එල්ලගෙන උන්න බෑග් එක උකුලෙන් තියන් ඒක ඇතුලෙන් ගත්තෙ රිදී පාට කෑම පෙට්ටියක්. හීන් සැරේ “ටකස්” ගාලා රිදී පාට පියන ඇරපු එයා පෙට්ටියෙ පිරිලා තිබිච්ච කඩල පෙන්නලා පෙට්ටිය අනුර මහත්තයා දිහාවට දික්කරා.
“කනවද?” කියා එයා ඇහුලෙ දෙතොල් මෑත් කරලා වචන වලින් නෙවෙයි ඇස් දෙකෙන්. දුඹුරු පාට, බෝල ඇස් දෙකෙන්. අනුර මහත්තයා පොඩ්ඩක් ගැස්සුණත් එයා මොකුත් කිව්වේ නෑ.සිංහලෙන් ඇහුවත්, ඒ හඬේ දෙමළ උච්චාරණයක් තිබුණා කියල එයාට හැබැයි තේරුණා.
අත දික් වුනේ ඉබේම වගේ. “බොහොම ස්තුතියි” කියල කියන ගමන් අනුර ඒ රිදී පාට කෑම පෙට්ටියෙන් කඩල අහුරක් අතට ගත්තා.
ඉන්පස්සෙ ගෙවිච්ච කාලෙ අස්සෙ දෙන්නා අතර කිසි කතාබහක් නොඇහුනාට මොකෝ එකම කෑම පෙට්ටියෙන් බෙදාගත්ත කඩල රස හදවත් දෙකක් අතර රසම රස බන්ධනයක් හැදිලා තිබ්බා.
ආයෙම කතාව පටන් ගත්තෙ එයාමයි.
“ඔයා දකුණෙද?” කියල එයා ඇහුවෙ කිරිපාට හිනාවක් එක්ක.
අනුර පුදුම වෙලා එයා දිහා බැලුවා. “ඔව්. කොහොමෙයි දන්නේ?”
“දකුණෙ මිනිස්සුන්ට වෙනම සුවඳක් තියෙනවා,” එයා හෙමින් හිනා වෙලා කිව්වා.
ඒ කතාවට අනුර කරෙත් හිනා වෙලා ආයෙ කතාකරන එක. “ඔයා කොහෙද?”
“මගෙ ගෙවල් වව්නියාවෙ.”
“එතකොට දැන් මේ කොහෙද යන්නේ?”
“ගමනක්.” කියලා එයා හිනා උනේ හරි කිචි බිචි තාලෙට.
ඒ කතා බහ සෑහෙන දුර ඇදුණා. දෙන්නා කතා කළා. හැමදෙයක් ගැනම වගේ කතා කළා. වෙලාව ගෙවිලා ගියා දැනුණේ නෑ. අනුර මහත්තයා වව්නියාවෙ රාණිට දකුණ ගැන කිව්වා. වව්නියාවෙ රාණි මාතර අනුර මහත්තයට වව්නියාව ගැන කිව්වා. දෙමළ මිනිස්සු පරිප්පු උයන හැටි කිව්වා. රාණි එයාගෙ බෑග් එකෙන් ගත්ත පොඩි ස්කෙච් පොතක් අනුරට පෙන්නුවා. එකේ කෝච්චි, කෝවිල්, ගස් වල රූප තිබුණා.
කෝච්චිය කුචු කුචු ගගා යද්දි අනුරයි රාණි කුටු කුටු ගගා දේවල් කියෙව්වා.
“ඇයි මං ඔයාට මේ හැමදේම කියන්නේ කියලා මං දන්නේ නෑ,” එයා ආපහු සැරයක් කිව්වේ ඇස් දෙකෙන් යාන්තමට අනුර දිහා බලාගෙන. “මට නිකන් ඔයාව හරි පුරුදුයි වගේ” කියලා එයා කිව්වේ දෙමල උච්චාරණයක් එක්ක උනාට පුරුදු සිංහල වචනවලට වඩා හයියට ඇවිත් අනුරගෙ හිත අස්සෙ හැප්පුනා.
“එහෙම දැනෙන්නේ ඔයැයිට විතරක් නෙවෙයි.”
අනුරගෙ ඒ වචන වලට එයා හිනා වුණා. කෝච්චිය අනුරාධපුරේ කිට්ටුවට එද්දි එයා අනුර මහත්තයා දිහාවට හැරුණා. හරියට මම දැන් යනවා කියන්න වගේ.
“අපි ආයෙත් හමුවෙමු.” ඒ වචන ආවේ ලොකු වේදනාවක් එක්ක. කිව්ව හිත වගේම ඒ වචන ඇහුව හිතත් ඒ වචන දරාගත්තෙ එක සමාන වේදනාවකින්.
අනුර මහත්තයා ඇහිබැම ඉස්සුවා. “මේ කෝච්චියෙ මේ සීට් එකේම ඊලඟ පෝයට හම්බෙමු” කියලා රාණීට එයා පොරොන්දු උනා.
ආයෙ වචනවලින් උත්තර නොදී රාණි බැහැලා ගියේ එක තප්පර ගාණක් මහ දුකකින් වගේ අනුර මහත්තයා දිහා බලන් ඉඳලා. එතන ඉඳන් ආයෙ මාතරට යනකම් ඇස් දෙක පියාගත්ත අනුර මහත්තයගෙ ඇස් අස්සෙ ඇඳිලා තිබ්බේ රාණීගෙ රූපෙ.
ඊළඟ පුර පෝයට රාණි ඉස්ටේසමට ආවා. එයා එකම කෝච්චියේ, එකම සීට් එකේ වාඩි වෙලා හිටියා. ඒත් අනුර මහත්තයා ආවෙ නෑ. ඊට පස්සේ මාසෙත් ආවා. ඊට පස්සේ මාසෙත් ආවා. පුර පෝය තුනක්, හතරක්, පහක් ගියා. ඉස්ටේසමේ වැඩ කරන අය එයාට හුරු වුණා.
“හැම පෝයටම ඔයා කවුරු බලන්නද මේ ඉස්ටේසමට එන්නෙ රාණී?” කියල එයාලා අහද්දි “මං බලන් ඉන්නේ එනවා කියලා ගිය කෙනෙක් එනකල්,” කියලා එයා උත්තර දුන්නා. ඒත් අනුර මහත්තයා ආවෙ නෑ,
හැබැයි අවුරුද්දකට විතර පස්සෙ එක දවසක, හරියටම ඒ දෙන්න හම්බුවෙච්ච දවසෙම අනුර මහත්තයා ආයෙ වතාවක් කෝච්චියෙන් වව්නියාවට ආවා. අනුර මහත්තයට උවමනා උනා රාණිව හොයාගන්න. ඒත් වව්නියාවෙ රාණිලා කී දෙනෙක් ඉන්නවද කියලා හිතිච්ච හන්දම රාණිව හොයාගන්න එක ලේසි නැති විත්තිය අනුර මහත්තයා දැනන් උන්නා. අනුර මහත්තයා ඉස්ටේසමට වෙලා උන්නේ රාණිව කොයි මොහොතක හරි ස්ටේසමේදි දකින්න ලැබේවි කියලා.
ආරිය සිංහල ඇඳුම ඇඳලා ඉන්න මනුස්සයෙක්ව මේ වගේ කාලෙක වව්නියාව පැත්තෙ ඉස්ටේසමක දකින්න ලැබෙන එක පුදුම හන්දම තමා ඉස්ටේසමේ මහත්තයා මේ දැකලා හුරු නැති මනුස්සයාට කිට්ටු කලේ.
“මහත්තයා කවුරු හරි එනකම්ද බලන් ඉන්නෙ?” කියලා ඒ මනුස්සයා අහද්දි අනුර මහත්තයා ඒත් කල්පනා කරා “මං මේ මනුස්සයගෙන් රාණි ගැන ඇහුවට මොකෝ මේ මනුස්සයා රාණිව දන්නවා ඇතිද?” කියලා. ඒත් කොයිකටත් කියලා තමයි අනුර මහත්තයා ඒක ඇහුවෙ.
“ඔය කියන්නෙ අර කම්මුලේ ඉඳලා කණ හරියට වෙනකම් කලු උපන් ලපයක් තියෙන ළමයද?” කියලා ඒ මනුස්සයා අහද්දි අනුර මහත්තයා හැබෑවටම පුදුම උනා. තමන්ගෙ රාණිව මේ මිනිස්සු එච්චර හොඳට දන්නෙ කෝමද? කියලා හිත කියද්දි ඔව් කියන්න ඔලුව හෙල්ලුනේ ඉබේටම වගේ.
“ඔව් රාණි, ඔහේ දන්නවයි එයා ඉන්න තැනක් එහෙම?” කියලා අහද්දි ඒ මනුස්සය තප්පර ගාණක් තමන් දිහා බලන් කල්පනා කරේ ඇයි කියලා අනුර මහත්තයගෙ හිත කිව්වා.
“ඒ නෝනව නොදන්න කෙනෙක් මේ ඉස්ටේසමේ නෑ මහත්තයා”
“ඇයි එහෙම කිව්වේ?”
“ඒ නෝනා අවුරුද්දක් තිස්සෙ හැම මාසෙ පෝයකටම මේ ඉස්ටේසමට ඇවිල්ලා කවුදෝ එනකම් මග බලාගෙන හිටියා” කියලා ඒ මනුස්සයා කියද්දි රාණි ඇවිත් බලන් උන්නේ තමන් එනකම් විත්තිය තේරිලා අනුරගෙ හිත මහ අමුතුම විදියකට රිදෙන්න ගත්තා.
ඒත් අනුර මහත්තයා ඉස්ටේසමේ මනුස්සයගෙන් ඇහුවෙ වෙන ප්‍රශ්නයක්.
“හිටියා කිව්වේ?”
“ඒ නෝනා මැරුණා මහත්තයො මීට මාස හතරකට විතර උඩදි” කියලා ඒ මනුස්සයා කිව්වා වචන අනුර මහත්තයට ඇහුනෙ හීනෙකින් වගේ.
“මැරුණා?”
“ඔව්”
“ඒ කොහොමද?”
“ඒ නෝනා ඉස්ටේසමට ඇවිල්ලා හැමදාම කෝච්චි පාරට බෙල්ල දාලා එබි එබී බලනවා කවුරුහරි එනකම් වගේ. අපි ඒත් කීප සැරයක් කිව්වා ඒක ටිකක් පරිස්සම් මදි කියලා. ඇහුවෙ නෑ.
දවසක් එහෙම ඉද්දි ඒ නෝනා කෝච්චි පාරට වැටුණා. මේ ඉස්ටේසමේ නවත්තන්නෙ නැතුව යන තැපැල් කෝච්චිය…” කියලා ඒ මනුස්සය කිව්ව ඉතුරු වචන අනුර මහත්තයට ඇහුනෙ නෑ. ඉන් ටික වෙලාවකට පස්සෙ අනුර මහත්තයා උන්නේ කොළඹ යන බස් එකක නැගලා. කෝච්චියෙ යන්න, ආපහු කවදාවත් කෝච්චියෙ යන්න අදහසක් අනුර මහත්තයට තිබ්බෙ නෑ.
මාතර ගෙදර තමන් එනකම් බලාගෙන ඉන්න ගෑණියෙක්, ළමයි දෙන්නෙක් ඉන්න විත්තිය රාණිට නොකිව්ව එක, ඉස්ට කරන්න බැරි පොරොන්දුවක් දුන්න එක කොච්චර නරකද කියන එක කල්පනා වෙන හැම වාරෙකම අනුර මහත්තයගෙ සිංහල හිත රිදිලා දෙකඩ වුණා.
ආයෙ පාස්සන්න බැරි විදියට.