කළ යුත්තේ ආයතනයෙන් ඉල්ලා අස්වීම නොවන වග මෞර්යාට පැවසුවද කළ යුතු දෙයක් පිළිබඳව ඇත්තටම ආදිත්‍ය හටද අදහසක් තිබුණේ නැත. අඳුර වෙලා ගනිමින් තිබුණු වැව දෙස බලා ගෙන ආදිත්‍ය කල්පනා කළේ ඒ පිළිබඳව වූ අතර ඔහු සහ මෞර්යා අතර පැවතියේ විනාඩි කිහිපයක නිශ්ශබ්දතාවයකි
” හායි ආදිත්‍යය ”
ආදිත්‍යය තිගැස්සී හැරී බැලුවේ පිටු පසින් ඇසුණු සුපුරුදු කටහඬට ය. ඒ සමගම ඔහු අසුනින් නැගී සිටියේ ඒ මොහොතේ එතැන පෙනී සිටියේ ෂෙහාරා නිසාය. ඡායාරූපයකින් වත් ෂෙහාරාව දැක නොතිබූ නිසා මෞර්යා උන්නේ ආදිත්‍ය සමග කතා කරන්නට පැමිණි ආගන්තුක තැනැත්තිය කවුරුන් දැයි සිතා ගත නොහැකිවය.
” ඔයාව මේ වගේ තැනක හම්බ වෙයි කියලා මම නම් හිතුවෙම නැහැ ”
ෂෙහාරා බලෙන් මෙන් ආදිත්‍යව වැළඳ ගෙන සිනාසෙමින් කීවාය. අනතුරුව ඇය බැලුවේ ආදිත්‍යය සමඟ අසුන් ගෙන සිටි පෙනුමෙන් ලාභාල රූමත් මෞර්යා දෙසය.
” කවුද මේ? ගර්ල් ෆ්‍රෙන්ඩ් ද ? ”
ෂෙහාරා ඇසුවේ මවා ගත් මිත්‍රශීලී බවකින් මෞර්යා දෙස විමසිල්ලෙන් බලන අතරේය.
” ඔව්. මේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ”
ආදිත්‍ය පිළිතුරු දුන් අතර ඒ සමගම මෞර්යා ද අසුනෙන් නැගී සිට ෂෙහාරාට අතට අත දුන්නාය.
” මෞර්යා මේ ෂෙහාරා ”
ආදිත්‍ය ෂෙහාරාව මෞර්යාට හඳුන්වා දුන් අතර කෙටි ගවුමකින් සැරසී සිටි විශාල කරාබු යුවළක් පැළඳ සිටි ෂෙහාරා සහ ආදිත්‍යය අහසට පොළොව මෙන් යැයි මෞර්යා සිතුවේ ෂෙහාරා පිළිබඳව දන්නා ඇගේ ගතිගුණ පිළිබඳවද සිහිපත් කරනා අතරය.
” ඔයා මටත් වඩා යන්ග් ගර්ල් කෙනෙක්ව නේ හොයා ගෙන තියෙන්නේ ආදිත්‍යය ”
ෂෙහාරා කීවේ සමච්චල් සහගත සිනහවක් යන්තමින් මුවගට නගා ගන්නා අතරේය.මෞර්යා සිනහවක් පා නැවතත් අසුන් ගත් අතර ආදිත්‍යය උන්නේ මේ කතා බහ කොතනින් හෝ නතර කරන අදහසිනි. ෂෙහාරා මෙවැනි බාල හැසිරීම් පෙන්වීම පුදුමයට කාරණාවක් නොවේ. අඩුම තරමින් දික්කසාදයෙන් පසුව හෝ ෂෙහාරා තම ජීවන රටාව සහ හැසිරීම් වෙනස් කර ගනු ඇතැයි බලාපොරොත්තු වුවද තවමත් එසේ වෙනසක් සිදු වී නැත.
” anyways. Congratulations ආදිත්‍යය ”
ෂෙහාරා ආදිත්‍යය හට සුබ පැතුවේ ආදිත්‍යය නිහඬව උන් නිසාය.
” Thanks ෂෙහාරා ”
” මම මිනෝලි එක්ක coffee එකක් බොන්න ආවේ. අහම්බෙන් තමයි ඔයා මෙතන ඉන්නවා දැකලා කතා කරේ. මං යන්නම් ආදිත්‍යය ”
ෂෙහාරා යන්නට හැරී නැවතත් ආදිත්‍යය දෙස බලා සිනහවක් පෑවාය. අනතුරුව ඇය තම මිතුරිය සිටින ඉසව්ව කරා ගියේ දැවෙන හදවතිනි. බැලූ බැල්මට ආදිත්‍ය ගේ පෙම්වතිය තමාටද වඩා බොහෝ ලාභාලය.රූමත්ය.ඊටත් වඩා ඇය කෙරෙන් දිස්වන්නේ උගත් සහ වැදගත් පෙනුමකි. එය තමාට ළංවීමට පවා සිතිය නොහැකි පෞරුෂයකි. එහෙත් ෂෙහාරාට ඇති වූ ගැටලුව එය නොවේ.දික්කසාදයෙන් පසුව මේ තරම් ඉක්මනින් ආදිත්‍යය මෙවැන්නකට යොමු වූයේ කෙසේද යන්නයි.
” දැන් ඉතින් ගිහින් වටේම ගිනි තියයි ”
ආදිත්‍යය පලතුරු යුෂ වීදුරුවෙන් එක හුස්මට උගුරු කිහිපයක් පානය කළේය.
” ඔයාට තිබුණනේ ආදිත්‍යය එයාට මම යාළුවෙක් කියලා කියන්න ”
මෞර්යා කීවේ පසුතැවීමෙනි.සමහරවිට මෙය තවත් ගැටලු කිහිපයක ආරම්භය විය හැකිය. ඇති වී තිබෙන තත්ත්වය හමුවේ ෂෙහාරා ද තවත් ගැටලුවක් ඇති කිරීමට ඉඩ කඩ බොහෝ ඇත.
” මොකටද මෞර්යා බොරු කියන්නේ ? අනිත් එක මම එයාට බයේද ? මම දැන් වත් මගේ ජීවිතේ හදා ගන්න ඕනෙ නැද්ද ? ”
ආදිත්‍යය කියන්නේ ඇත්තය. ෂෙහාරා සහ ආදිත්‍යය අතර විවාහ බන්ධනයක් තිබුණද එහිදීද ෂෙහාරා විසින් සිදු කළේ වංචාවකි. ඒ නිසා ඒ බන්ධනයෙන් නිදහස් වූ කල ජීවිතය හදා ගැනීමට ආදිත්‍ය හට සැබැවින්ම අයිතියක් ඇත.
අශිකා නිවසට වී බලා උන්නේ ආදිත්‍යය පැමිණෙන තුරුය. අඳුර වැටී ගෙන එන විට සිත තුළ ඇති නොසන්සුන් බව සහ නොඉවසිල්ලද තව දුරටත් ඉවසා ගනිමින් අශිකා සාලයේ එහා මෙහා ඇවිදිමින් සිටියාය. දරුවන් නිවසට පැමිණීමට ප්‍රමාද වන විට වරින් වර දුරකථන ඇමතුම් ලබා දෙමින් කරදර කිරීමේ පුරුද්දක් අශිකා සතුව තිබුණේ නැත. එහෙත් මේ ගෙවෙන්නේ තව දුරටත් බලා සිටිය නොහැකි මොහොතකි.
අශිකා ජංගම දුරකථනය අතට ගෙන ආදිත්‍ය ගේ අංකයට දුරකථන ඇමතුමක් ගන්නට පෙර නැවත වරක් කල්පනා කළාය.මෙය කලබලයෙන් හැසිරිය යුතු අවස්ථාවක් නොවේ. එහෙත් ඇති වී ඇත්තේ තමා මවක වශයෙන් වහා පිළියම් යෙදිය යුතු අන්දමේ ගැටලුවකි. තමාද මෙම ගැටළුවෙහි කොටස්කාරියක වුවද මෙය තවත් දුර දිග යාමට යමක් කළ යුතු බව සිතමින් අශිකා ආදිත්‍ය ගේ අංකයට ඇමතුමක් ලබා ගෙන බලා උන්නාය.
” හෙලෝ අම්මා ”
” කොහෙද ආදිත්‍යය ඉන්නේ ? ”
ආදිත්‍ය තත්පර කිහිපයකට නිහඬ වූයේ පුදුමයෙනි.ඒ තම මව අත්‍යවශ්‍යම අවස්ථාවක හැරුණු කොට මෙසේ දුරකථන ඇමතුම් දෙන්නේ නැති නිසාය.
” මං පොඩ්ඩක් එළියට ආවම මොන හරි කන්න. අද වැඩත් එක්ක මට හරියට කන්න වෙලාවක් තිබ්බේ නැහැ ”
” ඉතින් ගෙදර කෑම තියෙනවනේ.ඇයි එළියෙන් කන්නේ ? ඉක්මනට ගෙදර එන්න ”
” ඇයි අම්මා මොකක් හරි අවුලක්ද ? ”
ආදිත්‍ය එසේ ඇසුවේ වෙනදා අශිකා තුළ තිබෙන අසීමිත කාරුණික බව මේ මොහොතෙහි ඇය තුළ මද වශයෙන් දකින්නට ලැබුණු නිසාය.
” මල්ලිත් අසනීපෙන් ඉන්න එකේ ඔයා ඉක්මනට ගෙදර ආවොත් හොඳයි පුතා ”
“හරි අම්මා මම එන්නම් ”
දුරකථන ඇමතුම අවසන් කර ආදිත්‍යය කල්පනා බරව බලා උන්නේය. අශිකා තුළින් දක්නට ලැබුණු අමුත්ත කුමක් නිසා දැයි ඔහු නැවත නැවතත් කල්පනා කළේය.
” ඇයි ආදිත්‍යය ? මොකක් හරි අවුලක්ද ? ”
” අම්ම හරි අමුතුවට කතා කළේ මෞර්යා ”
ආදිත්‍ය දෙගිඩියාවෙන් පැවසූ අතර මෞර්යා යමක් අනුමාන කළාය. එහෙත් එය වචන වලට පෙරළීමට ඇය ඉක්මන් නොවූවාය.
” ෂෙහාරා සමහරවිට අම්මට කෝල් කරලා අපි ගැන කියලද දන්නේ නැහැ ”
ආදිත්‍ය කීවේ මෞර්යා සිතූ දෙයමය. ෂෙහාරා පිටව ගොස් ගත වූයේ විනාඩි පහළවකටත් වඩා අඩු කාලයකි. ඒ අතරතුරදී ඇය අෂිකාට දුරකථන ඇමතුමක් දුන්නා යැයි සිතන්නට නොහැක.එහෙත් ෂෙහාරා ගේ ගතිගුණ අනුව ඇය එවැන්නක් කිරීම සඳහා දෙවරක් සිතන්නේදද නැත.
” මං ඕකම හිතුවා ආදිත්‍යය ”
” අම්ම නං කිව්වේ අභිමන් අසනීපෙන් හින්දා ගෙදර එන්න කියලා ”
සමහර විට හේතුව එය විය හැකිය. ආදිත්‍ය යනු පවුලේ වැඩිමහල් පුත්‍රයාය.දේවක ද නිවසේ නොසිටින මොහොතක හදිසි අවස්ථාවක දී ආදිත්‍ය නිවසේ සිටිය යුතු යැයි අශිකා සිතනවා විය හැකිය.
” සමහර විට එහෙම වෙන්න ඇති ආදිත්‍යය. අපි දෙන්නම ඉන්නේ මේ ප්‍රශ්න ගැන හිත හිත නිසා අපිට අම්මා කියපු දේ අමුතුවට පේනවා ඇති. අද ඔයා ඉක්මනට ගෙදර යන්න. අපිට ඕන වෙලාවක කතා කරන්න පුළුවන්නේ. මිස්ටර් අභිමන් අසනීපෙන් නිසා අශිකා මැඩම් බය ඇති හදිසියක් වුණොත් මුකුත් කර ගන්න බැරි වෙයි කියලා ”
නිවසට යාමට ආදිත්‍යය ඉක්මන් වූයේ නැත. ගැටලුවක දී සාමාන්‍යයෙන් අශිකා කලබලයට පත් වන්නියක් නොවේ. එහෙත් පවතින තත්ත්වය හමුවේ එසේ වීමට ද බොහෝ ඉඩ කඩ ඇත.
” අපේ අම්මා සාමාන්‍යයෙන් සැරෙන් කතා කරන කෙනෙක් නෙමෙයි මෞර්යා.ඒත් එයා කතා කරපු විදිය මොකක්ම හරි අමුත්තක් තිබුණා. මට හිතෙන්නේ නෑ එයා එහෙම කතා කරේ අභිමන් අසනීපෙන් ඉන්න හින්දා කියලා.මට හිතෙන්නෙම ගෙදර වෙන මොකක් හරි ප්‍රශ්නයක්ද කොහෙද. මට තේරෙන්නේ නෑ මෞර්යා. එකක් ඉවර වෙන්න එකක් ”
“මේ හැමදේම මම නිසා නේද ආදිත්‍යය “
මෞර්යා මේසය මත තිබූ ආදිත්‍ය ගේ අත මතින් අත තබා ඇසුවේ ශෝකයෙනි. ආදිත්‍ය ගේ ජීවිතයට යහපතක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටියද සිදු වෙමින් පවතින්නේ බලාපොරොත්තු නොවූ දේවල්ය.
” ඔයා හිතනවද මෞර්යා ඔයා මං ළඟ නැත්නම් මට මේ දේවල් වලට මෙහෙම වත් මූණ දෙන්න පුළුවන් කියලා ? ”