කළූ

හැන්දෑ වෙද්දි මේ කතාව දිග ඇරෙන ගම “හ්ම්” සද්දයක්වත් එලියට එන්නෙ නැතිවෙන්න ගෙවල් අස්සට වෙලා දොරවල් වහගන්නවා. මේ හැන්දෑ වෙලාවෙන් පස්සේ ගමේ පිරිමි නෙවෙයි ගෙයින් එළියට ආය මුත්‍තරා බරක් ආවත් එළි බැස්සේ. 

කවුරුහරි පිරිමියෙක්ට මුත්තරා කරන්න එළියට යන්න උවමනාවක් ආවොත් උන්දැල ඒකටත් ගෙයින් එළි බැස්සෙ තව ගෑනු පරාණෙකුත් ඉස්සර කරගෙන. පිරිමියා මුත්තරා කරලා ඉවර වෙනකම් ගෑනි කරේ පන්දමක් දල්වන් වටේ පිටේ ඉඳලා කවුරුහරි එනවද කියන බලන් ඉන්න එක. හරියට හෙරක් වගේ. අනික් එක මේ ගමේ පිරිමි මුත්තරා කරන්න කියලා හැන්දෑවෙ ගෙයින් එලියට බැස්සට ගෙයින් ඈතට ගිහිල්ලා කෑලෑවට මුත්තරා කරෙත් නෑ. දොරකොඩම වගේ තමයි කලේ. ඒ හන්දා මේ ගමේ හැම පිරිමියෙක් ඉන්න ගෙයක් අද්දරින් යද්දි ඉවසගන්න බැරිවෙච්ච මුත්තරා ගඳක් දැනිච්ච එක කාලයක් යද්දි මිනිස්සුන්ට පුරුදු වුණා.

හැන්දෑ වෙද්දි ගමේ ගෑනු ගෙවල් අස්සට රිංගනවා. ගෙදර ඉන්න පිරිමි ඔක්කොමලා ගෙට වෙලාද කියල එකයි දෙකයි තුනයි කියලා ගැණලා බලනවා.ගාථා එහෙම කියනවා. හනික කාලා බීලා බුදියගන්න යනවා.

ආය මීක් සද්දයක් එන්නෙ නැතිවෙනවා ගම නිකන්  හැන්දෑවේ හත අට වෙද්දි.

මේ ගම මෙහෙම සද්ද නැති ගමක් වෙන්න ලොකුම ලොකු හේතුවක් තිබ්බා. ඒ තමයි කළූ. කළූ ගමට එන්නෙ රෑට. කළූ ඇත්තටම ආවෙ කොහෙ ඉඳලද, එයා එහෙම ආවෙ ඇයි, මේ ගමේ ඉන්න පිරිමින්ව රෑට ඇවිල්ලා හොරකං කරලා කළූ බලාපොරොත්තු උනේ මොකද්ද කියන කිසිම දේකට කිසිමාකාරෙක උත්තරයක් කවුරුවත් දැනගෙන උන්නේ නෑ. ගමේ මිනිස්සු දැනගෙන උන්නෙ එකම එක දෙයක් විතරයි. ඒ තමයි කළූ කාවහරි පිරිමියෙක්ව උස්සගෙන ගිය දවසට දවස් කීපෙකට පස්සෙ ආයෙ වතාවක් ඒ මනුස්සය මතුවෙන්නෙ ගං ඉවුර අද්දර ඉඳලා කියලා. හැබැයි ඒ ගිය විදියට නෙවෙයි. ගියේ මොන අන්දමේ සරීර පාටකින් උනත් කළූ ආය ගෙනත් දැම්මෙ කට්ට කළු මිනිස්සුන්ව. ඒ කළු පාට උන්ගෙ ඇඟට ආවෙ කළූ ගෑව මොනාහරි අඟුරු හරි මොනාහරි කියලා හිතුවට මොකෝ, කොච්චර හේදුවත්, ඇපිල්ලුවත් ඒ කළු පාට ඒ පිරිමින්ගෙ ඇඟෙන් යවන්න පුළුවන්කමක් කාටවත් හම්බුනේ නෑ.

ඒක හරියට අර හැමෝටම හොරෙන් මොන මොනවහරි වැරදි වැඩ කරපු මිනිස්සු, ඒ වැරදි වැඩ කරලා ගෙදෙට්ට ආවයින් පස්සේ “හෝදල ගෙට ගත්තම ඔක්කොම පව් සේදෙනවා පිරිමින්ගෙ” කියන කතාව තඩි බොරුවක් කියලා පෙන්නන්න වගෙ දෙයක්. කොච්චර කරත් හමේ පාට ගියේවත්, කාලෙ එක්ක පොඩ්ඩක්වත් අඩු උනේවත් නැති හන්දා මේ ගමේ අතරින් පතර ඒ වගේ කට්ට කළු ඈයො කීපදෙනෙක් හරියට ආලවක යස්සයා වගේ උන්නා. උන්ව දකින වාරයක් පාසා “මේ අර කළූ උස්සන් ගිය එකෙක්” කියලා තම තමන්ගෙ හිත් අස්සෙන් කියාගත්තට මිනිස්සු ඕව හයියෙන් කියන්න ගියේ නෑ මොකෝ කළූ ගැන හැමෝම දැනන් උන්න හන්දා. ගමේ ඉන්න කළු පිරිමි ගාණ එන්න එන්න වැඩිවෙද්දි මිනිස්සු ගෙයින් එළියට බහින ප්‍රමාණෙ අඩු වුණා. අන්තිමේ මෙච්චර දවසක් හොර පොල් කඩලා විකුණලා ගෙවල්වලට කන්න බොන්න දීපු මිනිස්සුන්ගෙ ගෑණුන්ට තමයි තමන්ගෙ ගෙවල්වල ඉන්න පිරිමියගෙයි ළල්මයිගෙයි නාකින්ගෙයි ඔක්කොම බඩ කටවල් පුරවන්න රෑ ජාමෙ ගෙයින් එළියට බහින්න උනේ.

දවල් වරුවල කරන කුඹුරු වැඩ, හේනෙ වැඩ, රෙදි අපුල්ලන වැඩ, උගන්නන වැඩ වගේ ජාති ගෑනුන්ගෙන් පිරිමින්ට මාරු වෙද්දි පිරිමි මෙච්චර කල් කරපු රෑ තිස්සෙ හක්මන් කරන්න වෙන මුර වැඩ, හොරකමේ යන ඒව එහෙම කරන්න උනේ ගෑනුන්ට. ඒ හන්දා මේ රටේ අනික් හැම පළාතක්ම “පුරුස මූලික ජන සමාජයක්” වෙද්දි මේන් මේ ගම විතරක් “ඉස්තිරියාව මුල් කරගත්ත ජන සමාජයක්” උනා.

ගෙදර දොරේ වැඩ කටයුතු වලට අමතරව රෑ තිස්සේ “අනේ කළූ ඇවිත් මාව එක්කරගෙන යාවි” කියන බයෙන් ගැහි ගැහි උන්න පිරිමින්ව නළවන්න ගෑනු රෑට නැළවිලි ගී කිව්වා.

“වැනියං කළු වැනීයං

නිදියන්නට වැනීයං

මේ මිනිහා මට දෙන්නට

කළූ අනේ වැනීයං” 

ඔන්න ඔය කවි අහ අහ මේ පිරිමි නිදාගත්තා.

ඒ උනාට මෙන්න මෙදා නම් උනේ වෙන දෙයක්.

සුරංග ඇහැරුණේ වස මුත්තරා බරක් ඇවිල්ලා. උදේ තමන්ගෙ කසාදෙ තිබිච්ච හන්දයි, උදේ වරුවෙ ඉඳන් තැඹිලි වතුරයි, තේයි, ක්‍රීම් සෝඩයි වගේ දාහක් ජාති බිව්ව හන්දයි ඒ බරට මුත්තරා බොක්ක පිපිරෙන්න වගේ යද්දි සුරංගට කොච්චර බොක්ක හිස් කරගන්න උවමනා උනත් ගෑනියෙක් නැතුව ගෙයින් එළියට යන්න හිතේ හයියක් තිබ්බේ නෑ. අනික කසාද බැන්ද ඉස්තිරියාව වෙච්ච මාධවී පිට ගමක එකියක් හන්දා තමන් ඒකිට “මාත් එක්ක මුත්තරා කරන්න එළියට යන්න එනවද?” කියලා අහන එක ලැජ්ජාවක් උනත් තනියෙන් එළියට ගිහින් කළු පාට මිනිහෙක් වෙලා එන්න සුරංග කැමති උනෙත් නෑ. ඒ හන්දම ලැජ්ජාව තියලා හොඳටම නිදියන් උන්න මාධවීව සුරංග ඇහැරෙව්වෙ අතට පොඩි තට්ටුවක් දාලා.

“මේ මාධවී පොඩ්ඩක් නැගිටිනවකො” කියා සුරංග කියද්දි මාධවී නැගිට්ටේ මෙච්චර මහන්සි වෙච්ච මේ මහ රෑ අහවල් රෙද්දකටද මේ යකා මේ තමන්ට අඬගහන්නෙ කියලා හිතාගන්න බැරුව.

“මොකටද?”

“මාත් එක්ක පොඩ්ඩක් එළියට යන්ද?”

“අර මොකටද?” කියලා මාධවී අහද්දිත් සුරංග උන්නෙ ඉවසගන්න බැරි මුත්තරා බර හන්දා, මුත්තරා ඩිංග දැන් දැන් එළියට පනී කියලා බයට වගේ මිනිහගෙ අංග ජාතෙ අතෙන් අල්ලගෙන.

“මට මුත්තරා බරයි ඕයි. ඉවසගන්න බෑ”

“ඉතින් තමුසෙ ගිහින් කරලා එනවා මං මොකටද මුත්තරා කරන්න යන්න?”

“තමුසෙත් එනවා ඉතින්”

“මං මොකටද ඕයි තමුසෙ මුත්තරා කරන්නේ තමුසෙගෙ එකෙන් මිසක් මගෙ මුත්තරා බොක්කෙන් නෙවෙයි නේද?” කියා මාධවී අහද්දි තමයි සුරංගට තේරුණේ මේ කතාව මෙහෙම කියලා හරියන්නෙ නැති විත්තිය.

“තමුසෙ එනවද මාත් එක්ක එළියට යන්න එහෙම නැත්තම් මං මෙතන මුත්තරා කරන්නද?” කියලා සුරංග සරම බුරුල් කරද්දි මාධවී එළියට යන්න එකඟ උනා.

ඒ වෙන කරන්න දෙයක් නැති හන්දා. ඒත් සුරංග ගෙයින් එළියට බැහැලා අඩියක් විතර ඉස්සරහට ගිහින් සරම උස්සද්දි කට වහගෙන ඉන්න බැරි හන්ද මාධවි කට ඇරියා.

“ලැජ්ජ නැද්ද ඕයි ගේ දොරකොඩ මුත්තරා කරන්නෙ. අනේ මේ පිරිමියෙක් නේද? ඉස්සරහට යනවකො අඩියක් දෙකක් ඉස්සරහට. යකඩො මං කසාද බැඳන් ඉන්නෙ මහ බයගුල්ලෙක්නෙ. නොදකින් විතරක්” කියලා මාධවී කියද්දි සුරංග තව අඩි කීපයක් ඉස්සරහට ගිහින් අන්නාසි වත්ත අද්දරට මුත්තරා කරේ මාධවී බලන් ඉන්නවද කියල බලන්න තප්පරෙන් තප්පරේ බෙල්ල හරෝන ගමන්.

ඕන් ඒ වෙලාවෙම තමයි මාධවීට ගේ අස්සේ සලං බලං ගාලා මක්කද බිමට වැටෙනවා ඇහුණෙ. ඒ සද්දෙ මොකද්ද බලන්න ඔලුව හරවපු මාධවී ගේ ඇතුළට යනවා දැක්ක සුරංග මහ හයියෙන් කැගහන්න හිතුවට “මාධවී මාව දාලා යන්න එපා” කියලා ඒ වචන එකක්වත් තමන්ගෙ කටෙන් පිට වුණේ නෑ.

වටේම අන්ධකාර වීගෙන එද්දි, තමන්ගෙ ඉස්සරහින් සර බර සද්දයක් එද්දි සුරංගට තේරුණා “my time has come” කියලා. 

සුරංග ඉස්සරහා බලන්න ඔලුව හැරෙව්වෙ ඇස් දෙක ලාවට අඩවන් කරගෙන. අඩවන් කරගෙන ඉන්න තමන්ගෙ ඇස් අස්සෙන් බයට කඳුලු වැක්කෙරෙන විත්තිය මිනිහට තේරුණා. ඉන්පස්සෙ ආය මිනිහා මුකුත් දැක්කෙ නෑ. සරම උස්සන් ඉද්දිම අන්නාසි ගාලෙ උඩින් තමන් පියාඹගෙන ගියා වගේ සුරංගට තේරුණා. කකුල් දෙකයි, අංගජාතෙයි හිරි වැටිලා වගේ මිනිහට තේරුණේ අන්නාසි ගාලෙ කටු උඩින් පියාඹන් යද්දි හිරීච්ච පාරට විත්තිය සුරංගට තේරුණා.

මුත්තරා කරන එක ඉවර කරන්න කළින් උස්සන් ආව හන්දා සුරංග පියාඹන් ගියෙත් මග දිගට මුත්තර කරගෙන. ඉන්පස්සෙ දවසෙ “සුරංග මුත්තරා කරන්න එළියට ගියා. මං ගේ ඇතුලෙන් ආව සද්දයක් බලන්න ගෙට ගිය තප්පර ගාණට මේ මනුස්සයා අන්තරස්දාන වෙලා” මාධවී කියද්දි සුරංගව කළූ උස්සන් ගියේ කොයිබටද කියලා දැනගන්න මිනිස්සුන්ට පුළුවන් උනේ ඒ අන්නාසි ගස් උඩින් වැක්කිරිලා තිබිච්ච මුත්තරා ගඳ හන්දා.

ඒත් ඒ මුත්තරා බිංදු ඔක්කොම ගං ඉවුර අද්දරින් ඉවර වෙලා තිබුණයින් ආය තව දවස් කීපෙකින් කළු පාට වෙච්ච සුරංගයව ගං ඉවුරෙන් හොයාගන්න කම් ඉවසන් ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැති විත්තිය ගමේ හැමෝම දැනන් උන්න.

බයටම ඇස් දෙක පියන් උන්න සුරංග ආයෙ ඇස් දෙක ඇරියෙ කකුලෙ යටිපතුලෙ වතුර ගෑවෙනවාත් එක්ක. තමන් ඉන්නෙ ගංගාවෙ වතුර උඩ හිටගෙන කියලා තේරෙද්දි “එහෙම වෙන්නෙ කොහොමද?” කියලා හිත මුලින් කිව්වට දෙවනියට සුරංගගෙ හිතට ආව පුරස්නෙ තමයි “කෝ කළූ?” කියන එක.

ආන් ඒ හිතිවිල්ල හිතේ ඉපදිච්ච පළවෙනි තප්පරේ ඉවර වෙද්දිම තමයි කළූ සුරංග ඉස්සරහින් පේන්න ආවෙ. මෙච්චර දවසක් තමන් ඇතුළු ගමේ උන් හැමෝම “කළූ කියන්නෙ මහ යස්සනියක්, දත් නෙරලා ඉස්සරහට, කටෙන් ලේ පෙරෙනවා, වැරහිලි ඇඳන් ඉන්නෙ” කියලා කිව්වට තමන් ඉස්සරහා උන්න කළූ කියන්නේ දිළිහෙන කළූ පාට හමක් තියෙන, එහෙම කිසි අඩුවක් පාඩුවක් නැති ගෑනියෙක් විත්තිය සුරංගට තප්පර ගාණකට හිතුනා.

ඒ එක්කම මිනිහට තව කාරණාවක් මතක් වුණා. ඇඟේ තෙල් චුට්ටක් අතුල්ලලා, කොණ්ඩේ මේ විදියට ගොතලා, මේ වගේ පාටවල ඇඳුම් ඇන්දුවනම් ආය නෑ කළණිත් මේ වගේ නේද කියලා.

කළූ සුදු දත් ඇන්ද පෙන්නලා හිනා උනේ ආන් එවෙලෙ. ඒවා උල් දත් නෙවෙයි. සාමාන්‍ය, එක පේළියට විහිදිලා තිබ්බ ලස්සන දත්.

“කළණිව මතක් උනාද?” කියලා කළූ අහද්දි සුරංගට එකපාර හිතුනෙ “මේ ගෑනි කොහොමද ඒක දැනගත්තෙ?” කියලා.

“මං කළණිව දැනගත්තෙ කොහොමද කියලාද බලන්නෙ?මේ ගමේ ඉන්න හැම කළු කෙල්ලෙක්වම මේ කළූ අඳුරනවා. මං නොදන්නවා වෙන්න බෑනෙ නේද මං වගේම වෙච්ච, මට වෙච්ච ඒවම වෙච්ච ගෑනු.

කළණිව අතෑරලා මාධවීව බැන්දෙ කළු පාට එකියක් කසාද බැන්දොත් ළමයි පවා කළූ වෙයි කියලා මව් දෙමව්පියො කිව්ව හන්දද එහෙම නැත්තම් කිරි සුදු පාට කිරිබත් කෑල්ල වගේ ඉන්න මාධවී දැකලා සෙවල පෙරෙන්න පටන් ගත්ත හන්දද?” කියලා කළූ අහද්දි සුරංගගෙ හිත අස්සෙ පරණ චිත්‍රයක් වගේ කළණිව අන්තිමට හම්බෙච්ච දවසෙ “this is over, we are done” කියලා කිව්වම ඒකි අඬ අඬ “අනේ මට එහෙම කරන්න එපා” කිව්ව එක ඇඳුණා. “තමුසෙ වගේ අඟුරු කෑල්ලක් මට එපා, මාධවී ලස්සනයි ඕයි, ඔච්චර සුදු වෙන්නෙ මැටි කනවද මන්දා” කියලා තමන් කිව්ව විදිය සුරංගට ආය මතක් උනා.

“කළණිද ඔහෙට කිව්වේ මාව මෙහෙම උස්සන් එන්න කියලා?”

“නෑ මං මට ඕන හන්දා උස්සන් ආවේ තමුසෙ කළණිට කරපු බලු වැඩේ හන්දා”

“මොකද්ද බලු වැඩේ? යකඩො ඕන පිරිමියෙක් කැමතියි තමන්ගෙ ගෑනි සුදු පාට කිරිබත් කැටේ වගේ ඉන්නවට? කිරිබත් කැටේ වගේ ඉන්න බැරිනම් අඩුම අලුවා කෑල්ලක් වගේ ඉන්නවට.

කොහොමද ඕයි අඟුරු කෑල්ලක් එක්ක පාරෙ බැහැලා යන්න හදන්නේ? කළණිට දැන් ඔය සෙට් වෙලා ඉන්නේ ඒකි වගේම අඟුරෙක්. මං ඒකිව අතෑරියා කියලා ඒකිට ප්‍රශ්නයක් වෙලා නෑනෙ”

“තමුසෙ කොහොමද දන්නෙ ප්‍රශ්නයක් වෙලා නෑ කියලා? තමුසෙ ඇහුවද ඒකිගෙන්?”

“මං මොකටද ඒකිගෙන් එහෙම අහන්න යන්නෙ. හරිනං ඒකි සන්තෝස වෙන්න ඕන මං ටික කාලෙකට හරි ඒකි වගේ එකියක් එක්ක යාලුවෙලා උන්න එක. මං ඒකිව අතාරින්න නෙවි උන්නේ. රුපියල් තිස් දාහක් වියදම් කරලා මං ඒකිට බ්ලීචින් ක්‍රීම් බෝතල් පිටින් ගෙනත් දුන්නා ෆේස්බුක් පේජ් එකක දැකලා අඟුරු කෙල්ලො කිරිබත් වෙච්ච ෆොටෝ දැකලා.

ඒකි මහ ලොකුවට ඒ වෙලාවෙ කිව්වෙ මනුස්සයෙක්ගෙ ආදරෙයි, යහපත්කමයි, මනුස්සකමයි මනින්නෙ හමේ පාටින් නෙවේය. කලු උනත් හිත සුදුය අරක මේක කියලා.

එහෙම එකේ මං වරදක් කරපු ලෙවල් එකෙන් කතාකරන්න එන්න එපා හොඳේ. ඒකිට ඕනකමක් තිබ්බෙ නෑ මේ සම්බන්ධෙ දිගටම කරගෙන යන්න. එහෙම උවමනාවක් තිබ්බ නම් මං අතෙන් වියදම් කරන් ඒකිට බ්ලීචිං ක්‍රීම් ගෙනත් දෙන්නෙ නෑනෙ. ඒකිටයි උවමනා උනෙ මගෙන් අයින්වෙන්න. එහෙම නැත්තම් ඔච්චර ඉක්මනට වෙන මිනිහෙක්ව බැඳගන්නෙ නෑනෙ” කියලා දැනෙද්දි තමයි කළූට තේරුණේ මුං එක්ක කොච්චර කතා කරත් මෙච්චර තමයි කියලා.

ජයතු තමන්ට කරෙත් ඕකනෙ. අන්තිමට ගං ඉවුරෙ හම්බෙච්ච දවසෙ මොනවද කිව්වේ?

“අපේ අම්මලා ඔයාට අකමැති වෙන කිසි දෙයක් හන්දා නෙවෙයි ඔයා කළු හන්දා. අනික ගමේ හැමෝම ඔයාට කළූ කියලා කතාකරන එකට අපෙ අම්මලා ආසත් නෑ. එයාලා කියන්නෙම කොච්චර හොඳ උනත්, පවුල වැදගත් උනත්, උගත් උනත්, සල්ලි භාගෙ තිබ්බත් වලව්වට ආවයින් පස්සෙන් ගමේ ඉන්න හැම එකාම ඔය කළු කෑල්ල ඉස්සරහට දාන් ආවොත් කොච්චර කැතද කියලා.

ඔයා දන්නවනෙ අපෙ අත්තම්මල පවා සුදුම සුදුයිනෙ. අපිට උනත් ඇවිත් තියෙන්නෙ ඒ සුදනෙ. අනික අපේ පවුල්වල කළු තියා තලෙලුයි කියන්නවත් කෙනෙක් නෑනෙ. වැඩ කරන මැණිකා පවා සුදුයි. අම්මලා ආස නෑ අන්තිමේ ඕවට කයි කතන්දර අහගන්න වෙනවා කියලා.

මං මන්ද්‍රිව බඳින්නෙ එයා සුදු හන්දාවත්, ලස්සන හන්දවත් මං එයාට ආස හන්දවත් නෙවෙයි. මං එයාට විරුද්ධ වෙලා ඔයා එක්ක දිගටම සම්බන්ධෙ තියාගෙන උන්නොත් අපෙ අම්මල ඔයාට මොකක් හරි අතුරු අන්තරාවක් කරාවි කියලා බයට.

අනික මං කාව බැන්දත් මං වැඩිපුරම ආදරේ ඔයාට විත්තිය අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. අපි වෙනදා වගේම මෙහෙදි හම්බෙමු. ගඟේ මේ පැත්තට කවුරුවත් එන්නෙ නෑනෙ” කියලා.

ඒ එක්කම තමයි කළූට ඇහුණෙ සුරංග කොඳුරනවා “කළණි සුදු උනා නම් මේ කරදර මුකුත් නෑනෙ” කියලා.

ඕකම ජයතුත් කිව්වනෙ “ඔයා සුදු උනා නම් මේ ප්‍රශ්න මුකුත් නෑනෙ” කියලා කළුට මතක් වුනා.

ඉන් දවස් ගාණකට පස්සෙ සුරංගගෙ කළු පාට සරීරෙ සිහි නැතුව ගං ඉවුරෙන් හම්බ උනා. අනිත් පිරිමින්ට වගේම සුරංගටත් මතක තිබ්බෙ නෑ තමන්ට පහුගිය ටිකේ මොනවද උනේ කියලා.

තමන් මේ කරන දෙයින් මිනිස්සු වෙනස් වෙන්නෙ නැති බව දන්නව උනත් ජයතු තමන්ව අතෑරලා ගිය වෙලාවෙ දුක දරාගන්න බැරිව ගං පත්ලෙ හැංගිලා යන්නෙ නැතිව ඉන්න බැරිවෙච්ච දුකට, “කළු හන්දා ඉතිරිවෙච්ච, අතෑරිච්ච, ලස්සන නැහැයි කියලා හංවඩු ගැහිච්ච” කෙල්ලො වෙනුවෙන් කළූ දිගටම මේ වගේ පිරිමින්ව උස්සන් ගියා. 

බ්ලීචින් ක්‍රීම් ගාලවත් වෙන මුකුත් කරලවත් කෙල්ලො අමුතුවෙන් ලස්සන වෙන්නෝන නැති විත්තියත්, කිසිම මනුස්සයෙක්ගෙ හැබෑ ලස්සන ඒ මනුස්සයගෙ හමේ පාටෙන් තීරණේ වෙන්නෙ නැති බවත් මිනිස්සු තේරුම්ගන්නකම්ම කළූ ඒක දිගටම කරා.

More Stories

Don't Miss


Latest Articles