ආදර සැලසුම් – 65

0
1689

දේවපුර නිවසට අලුත් දිනක් උදා වී තිබුණද එය වෙනදා මෙන් නොවූයේය .නින්දත් නොනින්දත් අතරේ හුන් අශිකා අලුයම හතරට මුළුතැන්ගෙයට පැමිණ පුරුද්දට මෙන් කෝපි කෝප්පයක් පානය කළේ පෙර දින රැයේ රාත්‍රී ආහාරයද නොගත් නිසාය. කෝප්පය සෝදා තබා අශිකා නිසොල්මනේ තරප්පුව නැග තම කාමරයට යන්නට පෙර නිකමට මෙන් ආදිත්‍ය ගේ කාමරයේ දොර හැර එයට ඇතුල් වූවාය. ආදිත්‍ය ඒ වන විට නින්දේ පසු වෙතැයි සිතා ලා එළියක් සහිත බල්බයක් පමණක් දල්වා බැලූ අශිකාට දක්නට ලැබුණේ හිස්ව ගිය යහන පමණි. අශිකා අඩියට දෙකට නාන කාමරයේ දොර වෙතට ගොස් එයට කිහිප වරක් තට්ටු කරේ දෙපා පණ නැති වන බව හැඟෙද්දිය. කිසිම ප්‍රතිචාරයක් නොලද තැන අශිකා නාන කාමරයේ දොර විවෘත කර බැලූ අතර ආදිත්‍ය එහි සිටියේ ද නැත. අශිකා බැල්කනියට යන දොර විවෘත කර බැල්කනියෙන් පහළ බැලූ අතර ආදිත්‍ය ගේ වාහනය මිදුලේ නතර කර තිබෙනු දක්නට ලැබුණි.

අශිකා කලබලයෙන් ඇගේ කාමරයට පැමිණ ජංගම දුරකථනය අතට ගෙන ආදිත්‍යය ගේ අංකයට ඇමතුමක් ගත්තේ වෙව්ලන ඇඟිලි තුඩු වලිනි. ආදිත්‍ය ගේ අංකයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවූ අතර දුරකථනයද ක්‍රියා විරහිත කර තිබුණි.අශිකා නැවතත් ආදිත්‍ය ගේ කාමරය වෙත පැමිණ අල්මාරියේ දොර විවෘත කළාය. බැලූ බැල්මට එහි ඇඳුම් යම් තරමක ප්‍රමාණයක් අඩු බව දක්නට තිබුණු අතර අල්මාරිය මත තිබූ විශාල ගමන් බෑගයද අතුරුදහන්ව තිබිණි. 

අශිකා එතනම බිම වාඩි වී හැකි තාක් වෙර යොදා කෑ ගසා හැඬුවාය. තමා අතින් සිදු වූයේ කිසිදා නිවැරදි කළ නොහැකි තරමේ වරදකි.එක් වරක් ජීවිතය වැරදුනු තම වැඩිමහල් පුතු ඔහුට ගැලපෙන අන්දමේ තරුණියකට ආදරය කිරීමට තෝරා ගෙන තිබුණ ද තමා විසින් අතීතයේ කරන ලද වැරැද්ද එයට හරස් වී තිබුණේ දෛවයේ සරදමක් ලෙසය.තමා එය ආදිත්‍ය වෙත පැවසූ මොහොතේ ආදිත්‍යය නිසොල්මනේ තරප්පු පේළිය නැග කාමරය වෙත පැමිණි අන්දම අශිකාට සිහිපත් වූයේ අශිකා ගේ කෑ ගැසීම ඇසී අභිමන් කලබලයෙන් කාමරයට දුවගෙන එන අතරේය.

” අම්මා ඇයි මේ ? ” 

අභිමන් බිම වාඩි වී හඬන අශිකා අසල වාඩි වන අතරේ ඇසුවේ හිරු පිබිදී වත් නැති අලුයමක මේ සිදු වන්නේ කුමක් දැයි සිතා ගත නොහැකිවය.නමුත් අශිකා උන්නේ වචනයක් හෝ පිට කර ගත නොහැකි තත්ත්වයකය. ඇය හැඬුම් අතරින් වචන පිට කිරීමට මහත් උත්සාහයක් ගනිමින් අභිමන්ව වැළඳ ගත්තාය.

” අයියා.. අයියා ” 

අභිමන් සිතුවේ ආදිත්‍යය නාන කාමරයේ හෝ නිවස තුළ සිටිනවා කියාය. ඒ නිසා ඔහු හැකි තාක් වෙර දරා ආදිත්‍ය ඇමතුවේය. එහෙත් කිසි ප්‍රතිචාරයක් නිවස දෙසින් වත් නාන කාමරය දෙසින් වත් පැමිණියේ නැත.

” අයියා ගෙදරින් ගිහින් පුතේ ” 

අවසානයේ දී අශිකා හැඬුම් අතරින් කියා ගත්තාය.අශිකාව අස්වසන්නට පැමිණි අභිමන් මොහොතකට ගල් ගැහී බලා උන්නේ පුදුමයෙනි. 

” මොකද්ද ? ” 

අභිමන් නැවතත් ඇසුවේ අශිකා පැවසූ දෙය පැහැදිලි කර ගන්නටය.

” අයියා ගෙදරින් ගිහින් ” 

” ගිහින් කිව්වේ ?” 

” මං දන්නෑ දෙයියනේ ” 

අභිමන් කල්පනා කළේය.නිවසින් පිට මං වී යන්නට තරම් ආදිත්‍ය හට ගැටළුවක් මේ නිවස තුළ තිබුනේ නැත.යමක් සිදු වුනා නම් සිදු වන්නට ඇත්තේ පෙර දින රාත්‍රියේ ය. අසනීප තත්ත්වය හේතුවෙන් තමා ලබා ගත් ඖෂධ නිසා තද නින්දට වැටී සිටි මොහොතේ සමහර විට කුමක් හෝ ගැටලුවක් සිදු වන්නට ඇතැයි අභිමන් අනුමාන කළේය.

” මොකක් හරි ප්‍රශ්නයක් උනාද අම්මා ? ” 

අශිකා හැඬුම නවතා කඳුළු පිස දාගෙන අභිමන් දෙස බලා වාඩි වී හුන් තැනින් නැගී සිටියාය. දික්කසාදයෙන් පසුව හිත හදා ගන්නට තමා ගේ සෙවනට පැමිණි තමා ගේ වැඩිමහල් පුතුට තමා සැලකූ ආකාරය අතිශයින්ම ආත්මාර්ථකාමීය.එහෙත් සත්‍ය ඔහු ඉදිරියේ හෙළිදරව් කරනවා හැර වෙනත් විකල්පයක් ද තිබුණේ නැත. අශිකාට දරා ගත නොහැකි වූයේ ඒ අසරණකමය.

” අයියට බෑ පුතා අපිව දාලා යන්න. එයා යන්න ඇති එයා ගේ ගෙදරට ” 

අශිකා උත්සාහ කලේ හිත රවට්ටා ගැනීමටය.කුමන තත්ත්වයක් යටතේ වුවද ආදිත්‍ය මෙවන් තීරණයකට එළඹේ යයි තමා සිහිනකින්වත් සිතුවේ නැත. තමා පැවසූ සත්‍යය ඉදිරියේ වචනයක් හෝ නොකී ආදිත්‍යය රාත්‍රිය ගෙවන්නට ඇත්තේ දැඩි කම්පනයකින් හා ශෝකයකින්ය. එයින් මිදෙනු පිණිස සමහර විට ඔහු තමා ගේ නිවසට නැවත යන්නට ඇත.අභිමන් උන්නේ මේ සිදුවන සිදුවීම් කිසිවක් ගලපා ගත නොහැකිවය.

” අයිය ගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ.අපි දැම්ම එයා ගේ ගෙදරට යන්න ඕනේ. ලෑස්ති වෙන්න අභිමන් ” 

අශිකා තම නිදන කාමරයට පැමිණ අල්මාරිය හැර අතට අසු වූ ඇඳුමකින් සැරසී යන්තමින් කොණ්ඩයද පිළිවෙලක් කර ගත්තාය. අනතුරුව සිහිනයෙන් මෙන් තරප්පු පේළිය බැස පහත මාලයට පැමිණ සෝෆාවෙන් වාඩි වූවාය. අතීතයේ තමා විසින් සිදු කරන ලද වැරදි වලට ආදිත්‍යය හට වන්දි ගෙවන්නට වීම පිළිබඳව අශිකා හට දැනුනේ දැඩි පසුතැවීමකි. ආදිත්‍යය යනු බොහෝ බලාපොරොත්තු තබා ගෙන සිදු කර ගත් විවාහයෙන් ද පරාජිත වූ අයෙකි. නමුත් එයින් පසුව ඔහු ආදරය කරන්නට තෝරා ගෙන තිබුණේද කිසිසේත්ම තමාට විවාහ කර ගත නොහැකි තරුණියකි. 

අඩ අඳුරේ සෝෆාව මත වාඩි වී නිසොල්මනේ ඔහේ බලා හිඳින මව දෙස බලා ගෙනම අභිමන් තරප්පු පේළිය බැස්සේය. මේ නිවස තුළ තමා නොදැන යම් කිසිවක් සිදු වී ඇතැයි යන හැඟීම අභිමන් ගේ හදවත පෙළමින් තිබුණේය.එහෙත් ඒ කුමක් දැයි තෝරා බේරා ගත නොහැකිව අභිමන් පහත මාලයට පැමිණ අශිකා ඉදිරියෙන් වාඩි වූයේය. 

” අම්මා යන් ” 

අශිකා අභිමන් ගේ හඬට තිගැස්සුණාය. අනතුරුව වචනයකුදු හෝ නොකියාම වාඩි වී හුන් තැනින් නැගී සිටි අශිකා ප්‍රධාන දොර වෙත පැමිණ එය විවෘත කළාය. එය තිබුණේ අගුළු ලා නොවේ. ආදිත්‍යය පිටව ගිය මොහොතේ එය පිටතින් වසා යන්නට ඇත. අශිකා ගේ කඳුළු අලුත් වූයේ තමා කළ වැරදි වලට වන්දි ගෙවන්නට සිදු වූ තම වැඩිමහල් පුතු සිහි වීමෙනි.

අළුයම් කාලය නිසා මාර්ගයේ එතරම් වාහන නොතිබූ බැවින් ආදිත්‍ය ගේ නිවසට පැමිණීමට අභිමන්ට ඒ තරම් වෙලාවක් ගත වූයේ නැත. ආදිත්‍ය ගේ නිවසට පැමිණෙන අතර මගදී පවා අශිකා ආදිත්‍ය නිවසේ සිටිනු දක්නට ලැබේවා යැයි දෙවියන් ගෙන් යදිමින් ප්‍රාර්ථනා කරමින් උන්නාය. දේවක නිවසින් පිටමං වූ දිනයේ දැනුනාට වඩාත් තදබල වේදනාවක් ඒ මොහොතේ දී අශිකා හට දැනුනේ මේ ව්‍යසනය සිදු වූයේ සම්පූර්ණයෙන්ම තමා ගේ වරදින් නිසා යන හැඟීම දැනෙමින් තිබුණු නිසාය.

” අයියා ගෙදර ඉන්නවද කියලා මං ගිහින් බලන්නද අම්මා ? ” 

ආදිත්‍ය ගේ නිවස පෙනෙන මානයෙන් වාහනය නතර කළ අභිමන් ඇසුවේ සම්පූර්ණ නිවසම අඳුරේ ගිලී තිබෙන බව දුර තියාම දුටු නිසාය. 

” මාත් එන්නම් පුතා.අයියා ගෙදර ඇති ” 

එසේ කියමින් වාහනයෙන් බැස ගත්තද අශිකා ඉදිරියට පැමිණියේ වෙව්ලන දෙපා වලිනි. අලුයම දැනෙන සීතලද දරාගෙන අශිකා සහ අභිමන් ආදිත්‍යය ගේ නිවසේ ස්වයංක්‍රීය ගේට්ටුවට අසලින් තිබූ කුඩා ගේට්ටුව අසලට පැමිණියහ. එහි පිටතින් ඉබි යතුරු දමා තිබෙන ආකාරය අඳුරේ වුවද පැහැදිලිවම දක්නට තිබුණි. අශිකා ගේ හදවත තවත් වරක් කඩා ගෙන වැටුණේ එය දුටු පසුවය. ආයාසයෙන් හිර කර ගෙන වුන් ඉකිබිඳීම පිට පැන්නේ අනතුරුවය.

අභිමන් අශිකා ගේ අතින් අල්ලා ගෙන පැමිණ වාහනයේ දොර ඇර ඇයව වාහනයේ වාඩි කරවා අනෙක් පසෙන් රියදුරු අසුනට ගොඩ වූයේය. අශිකා මේ තරම් කලබල වන්නට සහ කම්පා වන්නට අනිවාර්යෙන්ම පැහැදිලි හේතුවක් තිබිය යුතුය. අභිමන්ට ඒ වන තුරුත් වටහා ගත නොහැකි වූයේ ඒ හේතුවය. අශිකා දෑතින්ම මුහුණ වසා ගෙන ඉකි ගසමින් විනාඩි ගණනාවක් එක දිගට හැඬුවේ කිසිවක් කර කියා ගත නොහැකිවය.

” මං නොදැන අපේ ගෙදර ඇත්තටම උනේ මොකක්ද අම්මා ? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here